简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංගය 4 – යාල ජාතික වනෝද්‍යානය

Content Image

ත්‍රස්තවාදීන්ගේ වෙඩි

මම 1996 දී වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ වනසත්වනියාමකවරයෙක් විදිහට. මේ සිද්ධිය වුණේ 2007 ඔක්තෝබර් පහළොස්වෙනිදා. එතකොට මම සේවය කළේ යාල වන උද්‍යානයේ පළමුවන මූලස්ථානයේ වන හා සත්ව අඩවි ආරක්ෂක 2 ශ්‍රේණියේ නිලධාරි වරයෙක් විදිහට.

යාල ජාතික වන උද්‍යානය සෑම අවුරුද්දකම මාස එකහමාරක  කාලයක් සැප්තැම්බර් පළමු වෙනිදා ඉඳලා ඔක්තෝබර් පහළොස් වෙනිදා දක්වා නියං සමයට වහනවා. ඒ කාලය තුල කාර්යමණ්ඩලය නීති විරෝධී  දඩයක්කරුවන් ඇල්ලීමට මුර සංචාර කරනවා. උද්‍යානය තුල දියවලවල්, පාරවල් ආදියේ නඩත්තු වැඩ කරනවා. සංචාරක බංගලාවල අලුත්වැඩියාවන් කරනවා.සංචාරක බංගලාවලට අවශ්‍ය ද්‍රව්‍ය සපයනවා.

2007 ඔක්තෝබර් දහසය වෙනිදා යාල වනෝද්‍යානය නැවත නරඹන්නන්ට විවෘත කරන්නතිබුණුදවස. 2007 ඔක්තෝබර් පහළොස් වෙනිදා අපි සංචාරක බංගලාවල අවශ්‍යතාවයන්ලබා දීමට උද්‍යාන මූලස්ථානයෙන් පිටත් වුනා. අපි පස් දෙනෙක් ගියා. වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරි අසංක ගුණවර්ධන, වන සත්ව නියාමක මහේන්ද්‍ර ගමගේ, මූල්‍ය සහකාර ඩී.ජේ. ලක්මාල්, රියදුරු එච්. ඒ. බී. චන්දන, මාත් සමග හිටියා. අපි 57-1462 කියන ඩිපෙන්ඩර් රථයෙන් ගියේ.

එදා හවස සාමාන්‍ය වර්ෂාවක් තිබුණා. අපි ‘මහසීලව’ සංචාරක බංගලාවට ගියා. ඊළඟට ‘නව බුතව’ සංචාරක බංගලාවට ගියා. ඉන් පස්සේ ‘තල්ගස්මංකඩ’ සංචාරක බංගලාවට පිටත් වුනා. මේ බංගලාවලට යාල උද්‍යානයට ඇතුලෙන්මයි යන්න තියෙන්නේ.

පාරේ තියෙනවා ‘දර්ශන වැව’ නමින් හඳුන්වන වැවක්. ඒ වැවට කියනවා ‘කොටා බැඳි වැව’ කියලත්. ඒ වැව ආසන්නයට යනකොට තොරතුරක් ආවා තල්ගස්මංකඩ සංචාරක බංගලාවම‘එල්.ටී.ටී.ඊ’*ය වටකරගෙන  ගහනවා යන්න එපා කියලා. ඒත් එක්කම අපි ජීප් රථය හරවාගෙන ආපහු හැරුණා.නමුත් එනකොටම වගේ‘එල්.ටී.ටී.ඊ’ ය කෑ ගහහා තුන් පැත්තකින් වෙඩි තියන්න ගත්තා. එතකොට වෙලාව හවස හයට විතර ඇති. මඳ අඳුර තිබුණේ වැහි අඳුරත් එක්ක.ඒ පැත්ත කැළේ වගේ. ‘එල්.ටී.ටී.ඊ’ යේ දහයක් දොළහක්  විතර ඉන්න බවපෙනුණා. ඔවුන් වෙඩි වරුසාවක් තිබ්බා.

අපි වෙඩි කාගෙනම වේගයෙන් පළමුවන මූලස්ථාන කාර්යාලයට ආවා. ඊට පස්සේ බලනකොට වාහනයට වෙඩි දහතුනක් වැදිලා තිබුණා.

අපිට දැනගන්න ලැබුණා ඒ වෙලාවේ තල්ගස්මංකඩ කඳවුරේ යුධ හමුදා භටයන් අට දෙනෙකු මරා දමලා ඔවුන්ගේ ආයුධ සේරම ‘එල්.ටී.ටී.ඊ’ එක පැහැර ගෙන ගියා කියලා.

ඊට අමතරව අපේ තල්ගස්මංකඩ බංගලා භාරකරුගේ නිවසට ගිනි තියලා තිබුණා. ඒ වෙලාවේ බංගලාවේ හිටපු බංගලා භාරකරු කේ.එල්. චන්ද්‍රසිරි හා සහකාර බංගලා භාරකරු ජගත් තේමියපාල කැළෑවට පැනලා හැංගිලා බේරිලා තිබුණා.

අපි එදා වාසනාවට ජීවිතය බේරා ගත්තත් ‘එල්.ටී.ටී.ඊ’ එක සැරෙන් සැරේ උද්‍යානයට ප්‍රහාර එල්ල කලා. 2009 මැයි මාසේ යුද්ධය අවසන් වෙනකම්ම එම සිද්ධිය සිද්ධ වුනා.

2009 මුලදී මට කොළඹ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයට ස්ථාන මාරුවක් ලැබුණා.

  • ‘එල්.ටී.ටී.ඊ’ යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ භයානක ත්‍රස්ත සංවිධානයකි. වසර තිහක සිවිල් යුද්ධයකින් පසු 2009 මැයි 16 දින ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් ‘එල්.ටී.ටී.ඊ’ සංවිධානය පරාජයට පත්කෙරිනි.

දිලිප් ඩිලන්ත සමරනායක

දිලිප් ඩිලන්ත සමරනායක මහතා කුමන ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස දැනට සේවය කරමින් සිටී. ඔහු ශ්රීක ලංකාවේ විවිධ ජාතික වනෝද්යා න වල සේවය කර ඇත. යාල, උඩවලව, ලුණුගම්වෙහෙර, වස්ගමුව, ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, වලව් වම් ඉවුර (Walawa left bank) වැනි සේවස්ථාන ඔහු සේවය කර ඇති විවිධ ස්ථාන අතරෙන් සමහරකි.

දිලිප් සමරනායක මහතා පුතනුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. හොරණ වැල්ල පිටියේ පදිංචිව සිටී.

යාල ජාතික උද්‍යානය

වනජීවී පාරාදිසයක් ලෙස හැදින්වෙන යාල උද්‍යානය  ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පිහිටා ඇති ලංකාවේ පැරණිතම වනජීවී රක්ෂිත අතරින් එකකි. බිම් ප්‍රමාණය හෙක්ටයාර් 126786 ක් වන මෙම උද්‍යානය විල්පත්තු උද්‍යානයට වඩා භුමි ප්‍රමාණයෙන් අඩු වුවත් ජෛව විවිධත්වයෙන් ඉතා අගනා භුමියකි.ශ්‍රී ලංකාවේ ගිණිකොණ දිග පිහිටා ඇති යාල ජාතික උද්‍යානය  උතුරු දෙසින් ඌව කදුවැටියෙන්ද, නැගෙනහිර සහ දකුණු දෙසින් ඉන්දියන් සාගරයෙන්ද,බටහිරින් මැණික් ගඟෙහි අතු ගංගාවකින් හා කතරගම කඳු යායයෙන්ද  මායිම්ව ඇත.  යාල අභය භුමිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1938 පෙබරවාරි 25 වන දින ජාතික උද්‍යානයක් බවට පත් විය.

මෙම ජාතික උද්‍යානය පරිපාලන පහසුවතකා කලාප 05 කට බෙදා ඇත.

1 කොටස හෙක්ටයාර් 14101 – හම්බන්තොට දිස්ත්‍රිකයට අයත් වේ.

11 කොටස හෙක්ටයාර්  9931 –  හම්බන්තොට දිස්ත්‍රිකයට අයත් වේ.

111කොටස හෙක්ටයාර් 40775 –  මොණරාගල දිස්ත්‍රිකයට අයත් වේ.

1V  කොටස හෙක්ටයාර් 26418 –  මොණරාගල දිස්ත්‍රිකයට අයත් වේ.

V  කොටස හෙක්ටයාර්     6656 – මොණරාගල දිස්ත්‍රිකයට අයත් වේ.

මෙම කොටස් 5 ට අමතරව යාල දැඩි ස්වභාවික රක්ෂිතය හෙක්ටයාර 28905 කින් සමන්විත වේ.

යාල බුතව බංගලාවේ සිට පෙනෙන දර්ශනයක්

දිස්ත්‍රික්ක දෙකකට අයත් වන මෙම ජාතික උද්‍යානයේ දේශගුණික  විවිධත්වයක් දක්නට ලැබෙන අතර මොණරාගල දිස්ත්‍රිකයට අයත්තුන්වැනි,හතරවැනි සහ පස්වැනි කලාපවල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 550-775ත් අතරද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 23 සිට 32 අතරද වේ.හම්බන්තොට දිස්ත්‍රිකයට අයත් පළවෙනි සහ දෙවෙනි කලාපයන් වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර්400-500 ත් අතර ප්‍රමාණයක් ගනී.

මැයි සිට සැප්තැම්බර් දක්වා මාසවල වියළි දේශගුණික තත්වයක් පවතින අතර එම කාලය සතුන්ට ජලය හා ආහාර හිඟ වන කාලයයි. මේ කාලය තුල වන සතුන්ට විවේකය දැඩි ලෙස අවශ්‍ය වන අතර නියගයේ උග්‍ර අවස්ථාව වන සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසයන්හි උද්‍යානය සංචාරකයින් සදහා වසා තැබිමට පියවර ගනු ලැබේ.

මෙම උද්‍යානය පොදුවේ ගත් කල තෙත් මෝසම් හා වියළි මෝසම් වනාන්තර හා කටුපඳුරු. පරිසර පද්ධතීන්ගෙන්ද, මිරිදිය හා සමුද්‍ර තෙත් බිම්, කඩොලාන බිම් පරිසර පද්ධතීන්ගෙන්ද කොරල්පර වැනි සාගරික පරිසර පද්ධතීන්ගෙන්ද සමන්විතය.දිවයිනේ පහත්ම තැනිතලා ප්‍රදේශ පිහිටා ඇති මෙම උද්‍යානයේ ඇතැම් ස්ථාන මුහුදු මට්ටමින් මීටර් 100 සිට මීටර් 125 ක් තරම් උස් වේ.  ශ්‍රී ලංකාවේ ජලප්‍රවාහ අතරින් දිගින් 11 වැනි සහ 12 වැනි තැන ලැබි  ඇති මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය ද යාල උද්‍යානය හරහා ගලා බසී. විලපලා වැව, ගෝනගල වැව, මණ්ඩාගල වැව, ඌරණිය වැව, මහාසීලව වැව, හීන්වැව සහ  කොරවක්කා වැව  ඇතුළු වැව් රාශියක්ද වේ.

යාල  ජාතික උද්‍යානයේ ක්ෂිරපායි විශේෂ 41 ක්ද, දේශිය පක්ෂි විශේෂ 133ක්ද, සංචාරක පක්ෂි විශේෂ 27 ක්ද  වාර්තා වි ඇත.මෙම ජාතික උද්‍යානය දෙස් විදෙස් වනජීවී ලෝලීන් අතර ජනප්‍රිය වන්නේ විශාල සතුන් පහසුවෙන් දැක ගත හැකි ජාතික උද්‍යානයක් බැවිනි. වල් අලින්, කුළු මී හරකුන්,තිත් මුවන්මෙහිදී පහසුවෙන් දැක ගත හැකිය. වන සතුන් වැඩි වශයෙන් නැරඹිය හැක්කේ පළමු කලාපයේ සමුද්‍ර ආශ්‍රිත ප්‍රදේශයන්හිය.උද්‍යානයේ 1 වන හා 11 වන කලාපය දිවියන්ගේ පාරාදීසයයි. තවද වලසුන්, ගෝනුන්, මීමින්නන්, උරලෑවන්, හිවලුන්, වල් බළලන්, වඳුරන්,  කළවැද්දන්, ඉත්තෑවන් මෙම උද්‍යානයේ දි දක්නට ලැබෙන තවත් සතුන් වේ. සමුද්‍ර තිරයට ආසන්නව තාරකා ඉබ්බන්හා ගරා කටුස්සා,පලා කටුස්සා ආදී කටුසු වර්ගද  දිය කඩිති හා ගංගා අසල හැල කිඹුලන්හා ගැට කිඹුලන්ද දක්නට ලැබේ.

අලින්
තිත් මුවන්
වලහා

වරින් වර පැමිණෙන සංචාරක පක්ෂීන්ට කරදරයකින් තොරව කැදලි තැනිමට සුදුසු පරිසරයකින් හෙබි මෙම වනපෙත ජලයෙන්ද අඩුවක් නොමැත. ජලාශ්‍රිත පක්ෂීන්ට සහ අනෙකුත් සතුන්ට පරිභෝජනය සඳහා වැව් සහ කළපු 20 ක් පමණ මෙහි ඇත. වසරේ සැප්තැම්බර් සිට ඉදිරි වසරේ මාර්තු දක්වා පර්යටන පක්ෂීන් මේ අවට සහ ආසන්නයේ ඇති අභය භුමිය තුල ලැගුම් ගනී. ඇතැම් සංචාරක පක්ෂි විශේෂ මෙහි ස්ථිර වශයෙන් නතර වන අතර අලිමානාවා එවැනි පක්ෂියෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කල ‘Top 7 Wild Sri Lanka’සතුන් අතර විශාලම පක්ෂියා වන්නේ අලිමානාවයි. පක්ෂි සංක්‍රමණ සමයේදි පොදු සිලිබිල්ලා,වන හැලපෙන්දා, සියක්කාරයා,පෙද කළු ගොහොදු විත්තා, අවිච්චියා, බිඟුහරයා,මහාරන් ඔලෙවියා දක්නට ලැබේ.අළු පැස්තුඩුවන්, වළි කුකුලා, හබන් කුකුලා, බහුරු මානාවා, සැවුල්පෙද දියසෑනා, පාදිලිමානාවා, ලතුවැකියා හා කොකුන් විශේෂ කිහිපයක්ද මෙහිදි දැක ගත හැක.

අලිමානාවා
4 sutikka

නිල් පෙඳ බිඟුහරයා

මොණරා

උද්‍යානයේ දෙවෙනි  කලාපයේ අඩුම වනාන්තර ප්‍රමාණයක් දක්නට ඇති නමුත් අනෙක් සියළුම කලාප වනාන්තර වලින් වැසී පවති. යාල උද්‍යානය තුල ඇති ශාක පද්ධතීන් අතර වියළි හෝ අර්ධ සදාහරිත හෝ කටු පඳුරු සහිත වනාන්තර, තෙත් පතනශීලි වනාන්තර, කඩොලාන ශාක ආදිය දක්නට ලැබේ.පලු, වීර,ලුණුවරණප්‍රමුඛ ශාක වන අතර ඇහැල,රණවරා,කොහොඹ, දිවුල් ශාකද ව්‍යාප්තව පවති.  අන්දර, කුකුරුමාන්,හීන් කරඹ, එරමිනියා, හිරැස්ස, කිරි වැල්, වල් පිච්ච, හාතවාරියආදි විශේෂද වේ.උද්‍යානයේ පළමු කලාපයේ පමණක් ශාක විශේෂ 300 ක් පමණ හදුනාගෙන ඇත.

අතීතයේ මෙම වනාන්තරය ආශ්‍රිතව ජනාවාස පැවති බව තහවුරු වි ඇත. දැනට භාවිතා වන පොතන, පලටුපාන, හැලව, ඕකන්ද ආදි නම් අතීතයේ මිනිසුන් ජිවත් වු ගම් වේ. කාලයත් සමග මෙම ජනාවාස වනාන්තර බවට පත් වි වනසතුන්ගේ රජදහනක් බවට පත් විය. පලටුපාන ආසන්නයේම මඟුල් මහා විහාර භුමියට අයත් කදු මුදුනේ ගල් ලෙනක් තුල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් වේ. තවද පැරණි මැටි භාණ්ඩ සුන්බුන්,බ්‍රාහ්මීය අක්ෂර, ශිලාලිපි, බුද්ධ ප්‍රතිමාආදිය අනුව එවකට බෞද්ධ සිද්ධාස්ථාන ඉතා දියුණු අයුරින් තිබී ඇති බවට සාක්ෂි හමු වේ. දුටු ගැමුණු රජ සමය ආශ්‍රිත සෙල්ලිපි, සිතුල් පව්ව පුද බිම ආශ්‍රිතව හමු වි ඇත. පිඹුරාගල කන්ද, ගෝන ගල, ආකාශ චෛත්‍යය, විහාර ගොඩැල්ල, රහතුන් වැඩ සිටි සිතුල් පව්ව රජමහා විහාරය හා ගල් ගුහා හා මඟුල් විහාරය උද්‍යාන සීමාවේ පිහිටා ඇති අදටත් බෞද්ධයින්ගේ වැදුම් පිදුම් ලබන ස්ථාන වේ.යාල හා බැඳුනු ඉතිහාස කතා හා ජනප්‍රවාද රාශියක් පවති. ඒ අතර අන්දරේ හා බැඳුනු කතා ඉතා රසවත් වේ.

යාල ඇතුළු වීම පලටුපාන සිට
නව බුතව බංගලාව

පාලන පහසුව තකා කොටස් කර ඇති යාල උද්‍යානය සංචාරකයින්ට නැරඹිම සදහා මාර්ග පහසුකම් සහිතය.යාල පළමු කොටස නැරඹිමට පලටුපානින් ඇතුල් විය යුතුය.  මෙම උද්‍යානය පාලනය කරනු ලබන්නේ පලටුපාන පිහිටි උද්‍යාන මුලස්ථාන කාර්යාලය මඟිනි. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටි තිස්සමහාරාම නගරයේ සිට කිරින්ද පසු කර කිලෝමීටර් 9 ½ක් ගියවිට පලටුපාන ප්‍රධාන පිවිසුම හමුවේ. තවද කතරගම සිට කටගමුව, සිතුල්පව්ව බැඹව හරහා පලටුපාන දක්වා කිලෝමීටර් 40 ක් පමණවේ. සංචාරකයින් සදහා සියළු පහසුකමින් යුත් සංචාරක නිවාස ඉඳිකර ඇති අතර මෙහි නවාතැන් ගැනීම සදහා කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන්කර ගත යුතුය.සංචාරකයින්ට තොරතුරු දැනගැනිම සදහා සංචාරක මධ්‍යස්ථානයක්ද යාල ජාතික උද්‍යානය පිවිසුමේ පිහිටා ඇති අතර එහි උද්‍යානය තුල ජිවත් වන කොටින් හදුනාගැනිමේ මධ්‍යස්ථානයක්ද මෑතකදි ආරම්භ කෙරිණි.

යාල පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

யானைகள்

Asian elephant

Elephas maximus

වලසා

கரடிகள்

Sloth bear

Ursus ursinus

ගෝනා

மரைகள்

Sambar

Rusa unicolor

මීමන්නා

சருகு மான்கள்

Mouse deer

Moscheola meminna

කළවැද්දා

ஆசிய மர நாய்கள்

Palm Civet

Hermophroditus species

උරලෑවා

புனுகுப் பூனைகள்

Ring tailed civet

Viverid species

හිවලා

பொன்னிற குள்ள நரிகள்

Golden jackal

Canis aureus

වල්බළලා

காட்டு பூனைகள்

Jungle cat

Felis chaus

වඳුරා

குரங்குகள்

 Toque monkey

macaca sinica

ඉත්තෑවා

முள்ளம்பன்றிகள்

Porcupine

Hystrix indica

තාරකාඉබ්බා

நட்சத்திர ஆமை​கள்

Star tortoise

Testudo elegans

හැලකිඹුලා

சதுப்பு நில முதலை

Mugger crocodile

Crocodylus palustris

ගැටකිඹුලා

உவர் நீர் முதலை

Estuarine crocodile

Crocodylus porosus

ගරා කටුස්සා

தோட்டப் பல்லிகள்

Oriental garden lizard

Calotes versicolor

පලා කටුස්සා 

பொதுவான பச்சை வன பல்லி

Common green forest lizard

Calotes calotes

අලිමානාවා

கருங்கழுத்து நாரை

Black-necked stork

Ephippiorhynchus asiaticus

කැළෑහැලපෙන්දා

கொட்டிக்கால் வாலாட்டி

 Forest wagtail

Dendronanthus indicus

සියක්කාරයා

பெரும் பூநாரை

Greater flamingo

Phoenicopterus ruber

අළුපැස්තුඩුවා

சாம்பல் நாரை

Spot-billed pelican

Pelecanus philippensis

පෙද කළු ගොහොදු විත්තා

கருவால் மூக்கன்

Blak tailed godwit

Limosa limosa

අවිච්චියා

இந்திய தோட்டக் கள்ளான்

Indian pittah

Pitta brachyura

බිඟුහරයා

நீலவால் பஞ்சுருட்டான்

Bee eater                                       

Merops species

මහාරන් ඔලෙවියා

கல்பொறுக்கி

Golden plower

Pulvialis fulva

පාදිලිමානාවා

வெண்கழுத்து நாரை

Woolly necked stork

Ciconia episcopus

ලතු වැකියා

மஞ்சள் மூக்குநாரை

Painted stork

Mycteria leucocephala

කොකා විශේෂ

சாம்பல் நாரைவகை

Heronspecies

Ardea species

කොකා විශේෂ

பெரிய கொக்கு வகை

Egretspecies

Egretta species

කොකා විශේෂ

மஞ்சள் குருகு வகை

Bitternspecies

Ixobrychus species

සැවුල්පෙද දියසෑනා

நீளவால் இலைக் கோழி

Pheasant tailed jacana

Hydrophasianus chirurgus

බහුරු මානාවා

சிறிய பெரு நாரை

Lesser adjutant

Leptoptilos javanicus

වළි කුකුලා

இலங்கைக் காட்டுக் கோழி

Ceylon jungle fowl

Gallus lafayetti

හබන් කුකුලා

சின்னக் காட்டுக் கோழி

Sri Lanka spur fowl

Galloperdix bicalcarata

සිලිබිල්ලා

பொதுவான புள்ளிச் செங்கால் உள்ளான்

Shanka and Sand pipers

Tringa Species

යාල පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

 Ceylon Iron wood

Manilkara hexandra 

වීර

வீரை

 Hedge Boxwood

Drypetes sepiaria 

ලුණුවරණ

மாவிலங்கம்

 

Crateva adansonii subsp. odora 

ඇහැල

கொன்றை

Indian Laburnum,Shower of gold

Cassia fistula

රණවරා

ஆவாரம்

Matara Tea

Senna auriculata    

(Synonym- Cassia auriculata)

කොහොඹ

வேப்பம்

Margosa, Neem

Azadirachta indica 

දිවුල්

விலா

Wood apple, Elephant apple

Limonia acidissima

අන්දර

பனை

      –

Many species under family Fabacea

කුකුරුමාන්

மலை மாதுளை

Spiny randia , Emetic – nut, False Guava

Catunaregam spinosa 

හීන්කරඹ

சிறு கிளா

 –

Carissa spinarum

එරමිනියා

இலந்தை

       –

Ziziphus species

හිරැස්ස

வச்சிரவல்லி

Veld(t) grape

Cissus quadrangularis

කිරිවැල්

வெண் நுனா

 –

Families Apocynacea and Rubiacea species

වල්පිච්ච

காட்டு மல்லிகை

      –

Jasminum species

හාතවාරිය

சாதாவாரி

      –

Asparagus racemosus

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර – හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය – ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්) – අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව) – තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම – එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප – රෝහිත ගුණවර්ධන, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව