简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 5 – මින්නේරිය ජාතික වනෝද්‍යානය

Content Image

ජීවිතයයි මරණයි අතර අත්දැකීමක්

මේ සිද්ධිය උනේ මම මින්නේරිය ජාතික උද්‍යානයේ සේවය කරන කාලේ. මගේ වල්ගමුව කාර්යාලයට පණිවුඩයක් ආවා තුවාල වුනු අලියෙක් ගැන. මම, ගැමුණුයි, ජීවකයි කියන මාගේ සහායකයන් දෙන්නත් එක්ක අලියාට බෙහෙත් කරන්න ගියා. අපිට යන්න වුනේ මින්නේරිය වැව් වේල්ල ලඟට.

මින්නේරිය වැව් වේල්ල ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ ලඟ දී. එතන දහස් ගණනින්ගස් වතුරට යට වෙලා තියෙනවා. වියළි කාලයට වතුර මට්ටම යටට ගියාම මේ ගස් හොඳින් පේනවා. මාළු ආහාරයට ගන්න කුරුල්ලන්ට මේ ගස් වසා සිටින්නත්, කූඩු හදන්නත් හොඳම තැන්. තව දුරටත් වතුර මට්ටම අඩු වෙනකොට මේ ප්‍රදේශය, තණ භූමි බවට පත් වෙනවා. අක්කර දහස්ගණන් පුරා දිවෙන මිය ගිය ගස් තිබෙන, මේ තණ භූමිය කුරුල්ලන්ට රැඳී ඉන්න වගේම අලියන්ටතණ උලා කන්න හොඳ තෝතැන්නක්.

එදා අපි යනකොට අලි රංචු, රංචු ඒ ප්‍රදේශයේ ඉන්නවා දැක්කා. මුළු ප්‍රදේශය පුරාම වගේ වාහනයෙන් ගිහින් හෙව්වාට පස්සේ වැවේ කොනකට වෙන්න හිටපු ඒ විශාල අලියව අපි දැක්කා. අපිට ලැබුණු තොරතුරු අනුවත්, අලියගේ ප්‍රමාණය අනුවත් මේ අපි සොයන අලියාම බව අපිට තේරුණා. තව දුරටත් ලඟට යනකොට දැක්කා අලියා උගේ බඩේ පැත්තක තියෙන තුවාලයකට මඩ ගහ ගන්නවා. ඒක විශාල තුවාලයක්. කොහොමද මේ තුවාලෙ වුණේ කියන එක හිතා ගන්නත් අමාරුයි. තුවාලය නරක් වෙලා මැස්සො වහමින් තිබුණේ.ඒ තුවාලයට අමතරව අලියගේ ඉස්සරහ වම් කකුලේ දණහිසට උඩින් වෙඩි පාරක තුවාලයකුත් තියෙන බව පෙනුණා. බඩේ තුවාලය තරම් දරුණු නොවුනට මේ තුවාලයත් නරක් වෙලා තිබුණේ. මේ අලියගේ එක ඇහැක් අන්ධ බවත්, අලියා දැඩි වේදනාවකින් ඉන්න බවත් තේරුණා.

අලියාව සිහි නැති කරලා බෙහෙත් කරන්න ඕනෑ කියලා මං තීරණය කලා. අපි පොඩ්ඩක් දුරට ගියාසිහි නැති කරන උපකරණ ලෑස්ති කරගන්න. මේ වෙලාවේ අලියා වතුරෙන් අයින් වෙලා තණ පිට්ටනිය ප්‍රදේශයට ඇවිත් හිටියා. අපිට උවමනා කළේ අලියව තණ පිට්ටනියේ දීසිහි නැති කර ගන එතන දිගා කරවගන්න. නමුත් අලියා වැව ලඟ වතුර තියෙන  අයිනේ හිටපු නිසා වාහනයෙන් ගිහින් සිහි නැති කරන්න අමාරුයි. එතනට පයින් ගිහින් බෙහෙත් කරන එකත් අනතුරුදායකයි.

ඒ නිසා අලියාගේඅන්ධ ඇහැ ප්‍රයෝජනයට ගන්න මම හිතුවා. වාහනයෙන් බැහැලා අපි හෙමින් හෙමින් අලියා ලඟට අන්ධ ඇහැ පැත්තෙන් ගියා සිහි නැති කරන බෙහෙත විදින්න. මගේ පිටිපස්සෙන් තුවක්කුවත් අරගෙන ජීවක ආවා.

යාර පනහක් විතර දුරක ඉඳලා මම නිවැරදිව ඉලක්ක කරලා අලියාට බෙහෙත විද්දා. නොරිස්සුම් සහගත වුනු අලියා  අපි හිටපු පැත්තට හැරුණත් අපි බිම දිගාවෙලා හිටපු නිසා අපිව දැක්කෙ නෑ.

අනතුරක් කියලා දැනිලා වගේ අලියා කැලෑව පැත්තට දිවුවා. අපි වාහනයට දුවලා ගිහින් වාහනය ඒ පැත්තට එලෙව්වේ අලියා දුවන එක වලක්වන්න. අපේ උත්සාහය අසාර්ථක වුනා. අලියා කැළෑවට දුවන අනෙක් අලින් එක්ක එකතු වුනා. අපි වැටුණේ හරි අනතුරුදායක තත්වයකට.

ඒ පැත්ත  තරමක් ඝන කැළෑවක්. හැම පැත්තෙන්ම අලින්ගේ ගමන් මාවත්. ඒවා එක උඩඑක වැටිලා තිබුණේ. එක අලියෙකුගේ පා සලකුණු පස්සේ යන එකඉතා අපහසුයි.

උපකරණත් උස්සාගෙන භයානක කාර්යයක් අපි ආරම්භ කළා. අපේ කණ්ඩායමේ හිටියේ තුන්දෙනයි. තුන් දෙනෙක් මේ වගේ වැඩකට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම මගේ සහායකයන් දෙන්නා මීට ඉස්සර අත්දැකීම් ලබපු අයත් නෙවෙයි.

අපිට සිද්ධ වුණේ අලින් පිරුණු ප්‍රදේශයක, තමන්ගේ පස්සෙන් පන්නනවා කියලා දැන සිටිය, කුලප්පු වුන අලියෙකුව සොයා ගෙන යන්න නිසා ආරක්ෂාව වඩාත් වැදගත් වුනා. වාසනාවට වගේ මීටර් සීයක විතර දුරින් කැළෑවේ ගියාට පස්සේ අපිට පුළුවන් වුනා බෙහෙත් විඳපු අලියා ගිය මාර්ගය හඳුනා ගන්න. ඇදිලා ගියපු අඩි සළකුණු වලින් අපි ඒ මාර්ගය හඳුනා ගත්තේ . ඒ බෙහෙත වැඩ කරන බව පෙන්වන සළකුණක්. සිහි නැතිව ඉන්න අලියෙකු දකින බලාපොරොත්තුවෙන්අපි ඉස්සරහට ගියා. අපි දුටුවා අලියා වැටිලා ඉන්නවා. වාසනාවට වගේ අලියා වැටිලා හිටියේ උගේ සාමාන්‍ය හුස්ම ගැනීමට ප්‍රශ්නයක් නොවෙන විදියට.

සමහර තුවාල ශුද්ධ කරලා අවශ්‍ය සියළුම ප්‍රති ජීවක ඖෂධ සහ උපකාරක ඖෂධ විඳින්න අපට පුළුවන් වුනා. නමුත් අලියගේ දකුණු පැත්තේ බඩ ප්‍රදේශයේ තුවාලය හොඳින් ශුද්ධ කරන්න බැරි වුනා. ඒ අලියා තුවාලය පැත්තට වැටිලා හිටපු නිසා. කෙසේ වුනත් මේ බෙහෙත් වලින් පණුවන් දැමීම වලක්වලා අලියාට තියෙන වේදනාව අඩු කරනවා.මම සිහිනැතිව හිටි අලියා දෙපැත්තේ සහායකයන් දෙන්නව හිටවලා පිංතූරයක් ගත්තේ ඔවුන් සහභාගි වුන අලියකු සිහිනැති කිරීමේ පළමු අත්දැකීම එය නිසා.

අලියාට නැවත සිහිය ලැබෙන එන්නත විදලා ආරක්ෂිත දුරකින් අපි රැඳී සිටියා. නමුත් අතු කෑල්ලකින් ඇන්නත් අලියා නැගිට්ටේ නෑ. ඒ ගැන අපි කණගාටු වුනා. ටික වෙලාවකට පස්සේ අලියා නැවත සිහි ගැන්වෙන ලකුණු පෙනුණා.අපේ ආරක්ෂාවට අපි තවත් ටිකක් ඈතට ගියා. නමුත් අලියා හිට ගත්තෙ නෑ. උගේ පපුවට බර දීලා වැතිරලා හිටියා. මේ ඉරියව්වෙන් හුස්ම හිරවීම නිසා අලියෙකු මිය යන්න පුවවන්. මට අවශ්‍ය වුනා අලියාව කෙලින් හිටුවන්න.

මේ වගේ අවස්ථාවක දී සාමාන්‍යයෙන් කරන්නේ අලි වෙඩිල්ලක් පත්තු කරලා ඌව බය කරලා නැගිට්ටවන එක. නමුත් මෙතන දී තණ පිටියේ ඉන්න අනෙක් අලි කලබල වෙලා කැළෑව ඇතුලට රිංගන්න පුලුවන් නිසා වෙඩි පත්තු කරන්නත් බෑ.

දැන් වෙලාව සවස හයට විතර ඇති. වනය අඳුරු වෙමින් තිබුණා. ශබ්ද කරමින්, අඩියෙන් අඩිය, සෙලවීමක් නැතිව ඉන්න අලියට අපි කිට්ටු කලා. උගේ ඇහැ අපි දිහාව එල්ල වෙලා තිබුණත් කිසිම වෙනසක් පෙනුණේ නැහැ.

අපි නැවතත් අතු කෑල්ලක් අරගෙනඅලියාට ඇනලා බාධා කලා.

මෙන්න එක පාරටම හිට ගත්ත අලියා අපේ පැත්තට හැරිලා පටන් ගත්තා අපිව එළවන්න. ජීවිතේ බේර ගන්න අපි දුවන්න ගත්තා. අලියාගේ හොඬවැල මට ඉතාම ලඟින් දැනුනා. මේ මගේ ජීවිතේ අවසාන මොහොත කියා මට හිතුණා. මරණ බය නිසාම කැළෑවෙන් ඔබ්බටම දුවන්න අපට පුලුවන් වුනා. තණ පිට්ටනියට ආපු ගමන්ම මගේ කකුල පැටලිලා බිම වැටිලා මාව කීප සැරයක් පෙරලිලා ගියා. කම්පනය නිසා මම තප්පර ගාණක් එහෙමම වැතිරිලා හිටියා.

කැළෑවෙන් එළියට පනින්න පුළුවන් වුනෙත්,අලියා විවෘත පෙදෙසට එන්න අකමැති වුනෙත් අපේපූරුවේ පිනට. තවත් පියවර කීපයක් අලියා ඉස්සරහට ආවා නම් මාව පහසුවෙන්ම තලා පොඩි කරලා දාන්න ඉඩ තිබුණා. කෙසේ නමුත් අපි ආරක්ෂා වුනා.

පස්සේ මම ජීවකගෙන් ඇහුවා ‘අලියා එළවනකොට ශබ්ද එන්න තුවක්කුව පත්තු කළේ නැත්තේ ඇයි’ කියලා. ඔහු කිව්වේ උත්සාහ කළත් තුවක්කුව වැඩ කළේ නෑ කියලා. පරීක්ෂා කරලා බලනකොට තුවක්කුවේකොක්ක වෙනස් වෙලා තිබුණේ.

සතියකට විතර පස්සේ අපි නැවත මින්නේරිය උද්‍යානයේ දී ඒ අලියාව දුටුවා. අලියාගේ තුවාල හොඳින් සුව වෙමින් තිබුණා. ඒ නිසා එදින සිදුවීම ජීවිතේ මරණාසන්න භයානක අත්දැකීමක් වුනත් සිතට ගෙන දුන්නේ සතුටක්.

පශුවෛද්‍ය විජිත පෙරේරා

පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා වනජීවී පශු වෛද්‍ය වරයෙකි. එමෙන්ම ආසියානු අලින් පිළිබඳ විශේෂඥ වරයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපාධිධාරීවරයෙකු වන ඔහු තම පශ්චාත් උපාධිය ලබා ගත්තේ එක්සත් රාජධානියේ, ලන්ඩන් අගනුවර රාජකීය පශු වෛද්‍ය පීඨයෙනි. පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා එක්සත් රාජධානියේ ‘ඩරල්’ වනජීවී සංරක්ෂණ අධ්‍යාපන ආයතනයෙන් හා ටැන්සානියාවේ අප්‍රිකානු වනජීවී විද්‍යාලයෙන් පුහුණුව ලබා ඇත. ත්‍යාග දිනා ගත් කතුවරයෙකු වන ඔහු වනජීවීන් සම්බන්ධ පොත් රාශියක්ම එළි දක්වා ඇත.

වසර 23 ක්ම අලි සංරක්ෂණය වෙනුවෙන් සේවය කර ඇති පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා මේ වන විට අනාථ අලි පැටවුන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ (ඇත් අතුරු සෙවණේ) පාලක වරයාය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය භාර ප්‍රධාන පශු වෛද්‍ය වරයාය.

මින්නේරිය ජාතික උද්‍යානය

අතීතයේ ශ්‍රීලංකාව කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වු  භූමියකි.අනුරාධපුර රාජධානියේ මැදභාගයේ සිට පොළොන්නරු රාජධානි යුගය දක්වා ශ්‍රී ලංකාවේ ජලාශ ගොඩනැගීමේ තාක්ෂණය උපරිම මට්ටමක පැවැති අතර රටේ විශාලතම ජලාශ බොහොමයක් ඉදිකරන ලද්දේ මෙම කාලය තුලය.

මහසෙන් රජ විසින් කරවන ලද පොළොන්නරු දිස්ත්‍රිකයේ පිහිටි මින්නේරි ජලාශයට අදටත් අද්වීතීය ස්ථානයක් හිමිවන්නේ එබැවිනි. මින්නේරිවැව පොළොන්නරුව තුල පිහිටා ඇති විශාල වැවක් වන අතර එය ක්‍රිස්තුවර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරි නදිය හරස් කොට ඉදිකරන ලද්දකි.මෙම ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය  වර්ග කිලෝ මිටර් 249 ක පුළුල් වපසරියක පැතිර පවතින අතර එහි කිලෝ මිටර් 2 ක දුරක් දිවෙන මීටර් 13 ක් උස වේල්ලක් වේ. මින්නේරි ජාතික උද්‍යානයට ආසන්නම නගරය වන පොළොන්නරු දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රදේශයකට ජලය සපයන අලුත්වැඩියා කරන ලද පුරාණ මින්නේරිය වැව ,මින්නේරිය ජාතික උද්‍යානයේ කේන්ද්‍රස්ථානයයි.

විසිවන සියවසේ දි ඇති වු අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්  එහි වෙසෙන සතුන් දිගුකාලීනව ආරක්ෂා කර ගනු පිණිස වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1938 වර්ෂයේදි මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නමුත් වනාත්තරය එළිකිරිම් නොනැවතුනු බැවින්  මෙම ප්‍රදේශයේ දිගු කාලීන ආරක්ෂාව පිණිස වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1997 වසරේ අගෝස්තු මස 12 වන දින ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර 1998 වසරේදි එහි පාරිසරික සංචාරක කටයුතු ආරම්භ කරන ලදී.

මෙම ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හෙක්ටයාර් 8,889.411 ක භුමි ප්‍රදේශයක පැතිර පවති.  මුහුදු මට්ටමින් මීටර් 60 සිට මීටර් 500 පමණ උසට විහිදෙන කදු වලින් සහ ලදු කැලෑ, ඝන කැලෑ සහ තණබිම් උද්‍යානය පුරා දැකගත හැක.මින්නේරිය ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1500-2000 අතරද සාමාන්‍ය උෂ්ණත්ව පරාසය සෙන්ටිග්‍රේඩ් අංශක 20.6 සිට 34.5 ත් අතර ද වේ. ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි ලබන තෙත්සමය වන මෙම ජාතික උද්‍යානයෙහි අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා පවතින්නේ වියළි කාලගුණයකි. මෙම භුමිය ප්‍රධාන වශයෙන් රතු දුඹුරු හා රොන්මඩ සහිත පසකින් යුක්ත වේ.

මින්නේරි ජාතික උද්‍යානය තුල ඇති මින්නේරිය ජලාශයට ප්‍රධාන ජල සැපයුම වන්නේ යෝධ ඇල මගින් ගලා එන මහවැලි ජලයයි. බටු ඔය, ඊරිගේ ඔය, තල්කොටේ ඔය, කිරි ඔය,මඩයම්පල ඔය යන ඔය වෙතින් ගලා එන ජලය මින්නේරිය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට එක්වන අතර ජලාශයට එකතු වන්නේ ඉතා සුළු වශයෙනි.

මෙම උද්‍යානය ආශ්‍රිතව දක්නට ලැබෙන ශාක ප්‍රජාව වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වර්ගයට අයත් වේ. වෘක්ෂලතා හා වාසස්ථාන වර්ග ලෙස පහත් වියනක් සහිත මිටි වෘක්ෂලතාවන්ගෙන් යුත් කදුවැටි වනාන්තර, මධ්‍යස්ථ වියනක් සහිත ද්විතීය වනාන්තර, කටු පදුරු වනාන්තර, අත් හැර දමන ලද හේන වගා ඉඩම්, තණ බිම් සහ තෙත් බිම් සේම ඝර්මකලාපීය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරද දැක ගත හැක. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වගාකරන ලද තේක්ක හා යුකැලිපිප්ටස් වගාවන් අඹගස්වැව හා කහටිවෙමුල්ල යන ප්‍රදේශවල ඇත.

මෙහි ඇති ශාක ප්‍රජාව පිළිබදව සැලකිමේදි පලු, බුරුත, මිල්ල, කලුමැදිරිය, හල්මිල්ල, වීර, වැනි ශාක බහුලව දක්නට ලැබේ. වියළි කලාපීය වනාන්තර වල දක්නට ලැබෙන  කටු උණ, වල්ඉදි,පොහොන් ආදි තෘණ වර්ගද අත්හැර දමන හේන් හා ලදු කැළැවන්හි කුකුරුමාන, කැප්පේට්ටිය හා වරා ආදි විශේෂද දැක ගත හැකි වේ.

ජාතික උද්‍යානයේ වෘක්ෂලතාවන්ගේ මෙවැනි විවිධත්වය නිසා මෙහි ජිවත් වන සතුන්ට ආහාර, සෙවණ හා රුකවරණය නොවඩුව ලැබෙනු ඇත. වියළි කාලය එළඹීමත් සමඟ මින්නේරි ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර‍යෙන් පහළ ගියද වැව්පිටියේ වැඩෙන තෘණ පදුරු හා පැළැටි නිසා අවට වනපෙතේ සිට විවිධ වන සතුන් තම ආහාර සහ ජලය සොයාමෙහි ඇදී එති. දැඩි නියං සමය වැඩිවීමත් සමගම අගෝස්තු-සැප්තැම්බර් මාසවලදි වස්ගමුව, මාදුරු ඔය, සෝමාවතිය ආදි විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන අලි රංචු වැව් පිටිය අවට සවස් භාගයේදි දැකගත හැකි වීම සුලභ දර්ශණයකි.

වනඅලින් එකවර 500 ක් පමණ දැක බලා ගැනිමට ලැබෙන මෙම දුර්ලභ අවස්ථාව නැරඹීමට දේශිය හා විදේශීය පරිසරලෝලීන් බොහෝ පිරිසක් මෙහි පැමිණිම ද විශේෂ වේ.කවුඩුල්ල සහ වස්ගමුව උද්‍යානය සමග සම්බන්ධ වන අලි කොරිඩෝවේ කොටසක් වන මින්නේරිය ජාතික උද්‍යානය වසර පුරා අලි රංචු දැක බලා ගැනිමට අවස්ථාව ලබා දෙන මෙන්ම විශාල අලි රංචු නඩත්තු කිරිමට දායකවන උද්‍යානයකි.

මින්නේරිය උද්‍යානය ආශ්‍රිතව ක්ෂිරපායි විශේෂ 24 ක්ද, පක්ෂි විශේෂ 160 ක්ද, උරග විශේෂ 25 ක්ද, මත්ස්‍යය විශේෂ 26 ක් හා සමනළයින් විශේෂ 75 ක් පමණ ද හදුනා ගෙන ඇත. මෙහි ජිවත් වන වනසත්ව ප්‍රජාව ලෙස වනඅලින්, වදුරන්, රිළවුන්, ගෝනුන්, තිත් මුවන්ආදි ශාකභක්ෂකයින් බහුල වශයෙන්ද කොටියන් හා වළසුන් ආදි මාංෂභක්ෂකයින්ද  ජිවත් වේ.

මින්නේරිය ජලාශය සහ ඒ අවට ඇති තෙත් බිම් පරිසරය ආශ්‍රිතව දේශිය මෙන්ම සංක්‍රමණික පක්ෂීන්ද සැරිසරන අතර  දියකාවුන්, කලපු කොකුන්, ලතු වැකියන්, මහ සුදු පැස්තුඩුවන්, ආදි දේශිය පක්ෂින්ද  ශ්‍රී ලංකාවට ආවේණික වු වළි කුකුළා, ගිරා මලිත්තා, ලංකා මුදුන් බොර දෙමලිච්චා, අළු කෑදැත්තා, ඔලුව රතු කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා ආදීන්ද දැක ගතහැකි වේ. උද්‍යානයේ ජිවත් වන උරග විශේෂ අතරතොල විසිතුරු කටුස්සා, හීරළුවා, හැල කිඹුලා, පිඹුරා, තලගොයා, කබරගොයා ප්‍රධාන වේ. සමනළ විශේෂ රාශියක් ද මෙහිද දැකිය හැක.

දුම්බොන්නා

මහසෙන් රජු විසින් ඉදිකල විශාල ජලාශ 16 අතරින් විශාල තම ජලාශය මින්නේරි ජලාශය වන අතර මහසෙන් රජු මියගියත් ඔහු වෙනුවෙන් කැපකල දේවාලයක් තවමත් මින්නේරිය වේල්ල මත පවතිනසේම  රජතුමා මින්නේරි දෙවියෝ ලෙස අදටත් බුහුමන් ලබති.

රඹවිල සංචාරක නිවාසය

මින්නේරිය ජාතික උද්‍යානයට පැමිණිමේදි කොළඹ සිට හබරණ හරහා පොළොන්නරුව මාර්ගයේ කිලෝ මිටර් 182 ක් දුරින් අඹගස්වැව පිහිටි උද්‍යාන මුලස්ථ කාර්යාලය වෙත ලගා විය හැකිය. පොළොන්නරුවේ සිට  කිලෝ මිටර් 36 ක් දුරින් පිහිටි මෙම උද්‍යාන පිවිසුම් කාර්යාලය මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබේ. සංචාරකයින්ගේ  නවාතැන් පහසුව සදහා රඹවිල සංචාරක නිවාසය ඉදිකර ඇති අතර එය වෙන් කරවා ගැනීම  කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ.

 

මින්නේරිය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

காட்டு யானைகள்

Asian elephant

Elephas maximus

වදුරා

குரங்குகள்

Purple faced langur

Presbytes senex

රිළවා

செங்குரங்குகள்

Toque Macaque

Macaca sinica

ගෝනා

மரை​கள்

sambar

Cervus unicolor

තිත් මුවා

புள்ளி மான்கள்

Spotted deer

Axis axis ceylonensis

කොටියා

புலிகள்

leopard

Panthera pardus kotiya

 වළසා

கரடிகள்

Sloth bear 

Melursus  ursinus

දියකාවා

நீர்க்காகம்

Little Cormorant

Phalacrocorax niger

කලපු කොකා

சாம்பல் நாரை

Grey heron

Ardea cinerea

ලතු වැකියා

மஞ்சல் மூக்கு நாரை

Painted stork 

Mycteria leucocephala

මහ සුදු පැස්තුඩුවා

பெரிய வெள்ளை நாரை

GreatWhite Pelican

Pelecanus onocrotalus

වළි කුකුළා

காட்டுக்கோழி

Sri lanka junglefowl 

Gallus lafayetill

ගිරා මලිත්තා

இலங்கை தொங்கும் கிளி

Sri Lanka Hanging parrot 

Loriculus beryllinus

ලංකා මුදුන් බොර දෙමලිච්චා

பழுப்புத் தலை​ச் சிலம்பன்

brown-Capped Babler 

Pellorneum fuscocapillum

අළු කෑදැත්තා

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Sri lanka Grey Hornbill

ocyceros  gingalensis

Sinhala name

Tamil name

English name

Scientific name

ඔලුව රතු කොට්ටෝරුවා

கிரிம்ஸன் ப்ரென்டட் குக்குறுவான்

Crimson-Fronted Barbet

Megalaima rubricapilla

හිස කළු කොණ්ඩයා

செந்தொண்டை​ச் சின்னான்

Black- Crested bulbul

Pycnonotus melanicterus

දුම්බොන්නා

இந்தியன் ரோலர்

Indian roller

Coracias benghalensis

තොල විසිතුරු කටුස්සා

சிவப்பு உதட்டுப் பல்லி

Red lipped lizard

Calotes ceylonensis

හිරළුවා

அரணை

Skink

Lankascinicus fallax

හැල කිඹුලන්

சதுப்பு  நில முதலை

Mugger crocodile

Crocodylus palustris

පිඹුරා

மலை​ப் பாம்பு

Python 

Python molurus

තලගොයා

உடும்பு

Land monitor lizard

Varanus bengalensis

කබරගොයා

நீர் உடும்பு

Asian water monitor

Varanus salvator

මින්නේරිය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

 Ceylon Iron wood

Manilkara hexandra 

වීර

வீரை

 Hedge Boxwood

Drypetes sepiaria 

බුරුත

முதிரை

Satin

Chloroxylon swietenia

මිල්ල

காட்டு நொச்சி

Milla

Vitex altissma

කලුමැදිරිය

பதுரன்கொலி

Kalumediriya

Diospyros aquaesita

හල්මිල්ල

சாவண்டலை மரம்

Halmilla

Berriya cordifolia

කටු උණ

மூங்கிலிரிசி

katuUna

Bambusa bambos

වල් ඉඳි

காட்டு ஈச்சை

walindi

Phoenix  zeylanica

පොහොන්

கினியா புல்

Pohon

Panicum maximum

කුකුරුමාන

மருக்கரை

Kukuruman

Randia dumetorum

කැප්පේට්ටිය

ஆலை வகைகள்

Keppttia

Croton sp

වරා

நீல எருக்கு

Wara

Calotropis gigantea

 

සංස්කාරක කථාව හා සිංහල අනුවාදය – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති), වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර – හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය – ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්) – අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

වෙබ් අඩවි සැකසුම – එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප – රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව