简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 10 – කුමන ජාතික වනෝද්‍යානය

Content Image

හොරු විසිපස්දෙනයි

මම වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ 1981 නොවැම්බර් මාසේ වන නියාමකවරයෙක් විදියට. විල්පත්තුවේ තමයි ඉස්සෙල්ලාම වැඩ කළේ.ඉන්පස්සේ 1983 පෙබරවාරි පළමු වැනිදා කුමන ජාතික උද්‍යානයට ආවා.කුමනට ඒ කාලේ කිව්වේ යාල නැගෙනහිර ජාතික  උද්‍යානය එහෙම නැත්නම් හෝකන්ද ජාතික උද්‍යානය කියලා. එතන තිබුණේ හරි දුෂ්කර සේවයක්. මම නතර වෙලා හිටියේ නිල නිවාසයේ. ගෙදර ගාල්ලේ. පාරේ බස් නෑ. සිකුරාදට විතරක් බස් එකක් එනවා ඕකන්ද දේවාලෙට. බස් එක අහුවුණේ නැත්නම් හැතැම්ම දොළහක් පානම ඉඳල හෝකන්ද ජාතික මූලස්ථානයට පයින් යන්න ඕනෑ. නැත්නම් ට්‍රැක්ටරයක් හරි කුබෝටා ට්‍රැක්ටරයක් හරි හමුවුණොත් නැඟලා යනවා.

1985 අවුරුද්ද එල්.ටී.ටී.ඊ.* ත්‍රස්තවාදීන් බලවත්ව හිටපු කාලයක්. 1985 මාර්තු තුන් වෙනිදා එල්.ටී.ටී.ඊ එක හෝකන්ද උද්‍යානයට පහර දුන්නා. ඉන්පස්සේ අපි සේරම තාවකාලිකව යාල ජාතික උද්‍යානයට අනුයුක්ත කෙරුණා.

1988 අවුරුද්දේ මුල් කාලයේ අපට ආරංචි වුණා හෝකන්ද ජාතික උද්‍යානය ධීවරයෝ ආක්‍රමණය කරලා කියලා. ධීවරයෝ කුමන විල්ලුවේ මෝය ගඟ දිගේ වාඩි හදාගෙන ඉන්නවා, කඩොලාන පුච්චලා වතුර පාදාගෙන ධීවර කර්මාන්තය කරනවා,ඊට අමතරව කලපුවලත් ධීවර කර්මාන්තය කරනවා වගේ දේවල්. මේ සම්බන්ධයෙන් අපිට දුක හිතුණා.  අපි කුමනට හරි ආදරෙන් හිටියේ. කොහොමහරි කුමන පරීක්ෂා කරන්න ඕනෑ කියලා අපි හිතුවා. ප්‍රශ්න නොතිබුණු කාලේ අපි බඩු මුට්ටු අරගෙන සෝදිසි කිරීම්වලට යනවා. නතර වෙලා උයාගෙන කාලා සෝදිසි කරනවා. ඒ සේරම නතර වෙලා.

මේ වනවිට එල්.ටී.ටී.ඊ බලපෑම වගේ ම ජේ.වී.පී.* බලපෑමත් තදින් ම තියනවා. ඒ වෙනකොට යාල ජාතික වන උද්‍යානයේ තුවක්කු ජේ.වී.පී. එකෙන් අරගෙන තිබුණේ. රජය අපට කියලා තිබුණේත් තමුන්ගේ ආරක්ෂාව තමුන් ම  සපයගන්න කියලා.ඉහළ නිලධාරීන් කාටවත් බල කරන්නේ නෑ.  ඒ කාලයේ යාල වන උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස හිටියේ එඩ්මන්ඩ්  විල්සන් මහත්තයා. අපි එයාට කිව්වා අපිට කුමන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බලන්න යන්න ඕනෑ කියලා.අපි අපේ කැමැත්තෙන් ම විල්සන් මහත්තයාගෙන් ඉල්ලුවා කුමන මෝය පරීක්ෂා කරන්න ඕනෑ කියලා. තුවක්කු මොනවත් තිබුණේ නෑ.

එදා ගමනට අපි එකොළොස් දෙනෙක් සිටියා. අපට ස්ථිර කාර්ය මණ්ඩලය විදියට හිටියේ අඩවි සහකාර ආර්.පී. කරුණාසේන,අනෙක් අඩවි නියාමකවරයා මැණිකා එම්. ගුණදාස සහ මම පමණයි. ගමනට අනියම් කම්කරුවෝ අටදෙනෙක් එක්වුණා. සරත් ඉන්ද්‍රපාල, ඩබ්ලිව්. රූපසිංහ, එස්.එම්.අනුර බණ්ඩාර, නාලක වීරතුංග, සෝමරත්න හෙට්ටිගොඩ, ප්‍රේමරත්න මනම්පේරී, සේපාල මනම්පේරී හා කේ. කරුණාසේන ඒ අටදෙනා. අපට යන්න ලැබුණේ 36 ශ්‍රී 2490 TMT ට්‍රැක්ටරය යි.

එදා උදේ පහට විතර අපි පළටුපාන මූලස්ථානයෙන් පිටවුණා. අපි අතරේ ප්‍රදේශය දන්න කිහිපදෙනෙකුත් හිටියා. අපි මැණික් ගඟෙන් එගොඩ වුණා. පොත්තන, පහළ පොත්තන මාර්ගය හරහා වැටිච්ච අතු අයින් කර කර ට්‍රැක්ටරයෙන් ගියා. ගජබාව කිට්ටුවට යනකොට ට්‍රැක්ටරයේ ඉස්සරහ රෝදයක හුළං ගියා. ට්‍රැක්ටරයට ලී කොටයක් ගහගෙන තව කිලෝ මීටර තුනක් විතර ගියා.

අපි උදේ කෑම හදාගෙන ගියේ. ඒවා කාලා පයින් යන්න පටන් ගත්තා. ගජබාවේ ඉඳලා මඩමතොටට කිලෝමීටර පහක් විතර තියෙනවා. අපි යනකොට පාරේ වැටිල තිබුණ දිවුල් ගෙඩි කකා ගියා. අපි මඩමතොටට යනකොට එතන වාඩි ගහගෙන හිටපු අය පැනලා දිව්වා.

මඩමතොට ඉඳලා කැබලිත්තට යන පාර දිගේ කිලෝමීටර තුනක් විතර යනකොට ශබ්දයක් ඇසුණා. යකඩවල ශබ්දයක්. බලනකොට තුන් දෙනෙක් මැණික් ගරනවා. ඒ තුන්දෙනා අල්ලාගෙන අත් පිටිපස්සට කරලා ගැට ගහලා ගමන යන්න එකතු කර ගත්තා.

අපි තවත් සැතපුම් පහක් විතර දුරින් ගඟ දිගේ පාරේ ඉහළට ගල්වංගෙඩි පෙළ හරියටම ගියා. දැන් මිනිස්සු කතා කරන සද්දෙ ඇහෙනවා. බලනකොට මිනිස්සු වාඩි දෙකක් ගහගෙන ඉන්නවා. ඒ වෙලාවේ දවල්ට කන්න හය දෙනෙක් විතර ඇවිත් හිටියා. අපි ඒ අයවත් අත්අඩංගුවට ගත්තා. අපේ දෙන්නෙක්ව එතන ආරක්ෂාවට තියලා ආයෙත් ගමන පටන් ගත්තා. අල්ලගත්ත මිනිසුන්ගේ අත් පිටිපස්සට කරලා ගැට ගැසුවා. තව දුරටත් යනකොට දැක්කා ගඟ දිගේ පාරේ මිනිස්සු එනවා බයිසිකල් වල බඩුත් බැඳගෙන. එතන එකොළොස් දෙනෙක් අල්ලගත්තා. බයිසිකල් නවයක් තිබුණා. බයිසිකල් ද අත්අඩංගුවට ගත්තා. කිහිපදෙනෙක් කැලෑවට පැනලා දිව්වා.

තවදුරක් යනකොට දැක්කා මිනිහෙක් තුවක්කුවක් අරන් ගස් උඩට එල්ල කර කර එනවා. මේ රිලව් වෙඩි තියන්න. අතේ තිබුණේ මසල් ලෝඩින් තුවක්කුවක්.මං හැංඟිලා බලන් හිටියා. මිනිහා ගං ඉවුරට නඟින කොටම පයින් එකක් ගැහුවා. ඒ කාලේ මගේ වයස අවුරුදු විසිහයක් විතර.මට හොඳට ශක්තිය තිබුණා. මිනිහා වැටුණා. ඒ ගමන් ම මම පැනලා අල්ල ගත්තා. මිනිහට කියන්නේ ඇත්මලේ සුදු රජා කියලා. තහනම් පක්ෂයක කෙනෙක්. එයාවත් බැඳගෙන ගමනට ගත්තා.

මේ වනවිට බඩගිනියි. එතන කවුරුත් නැති වාඩියක් තිබුණා. ඒකෙ දෙහියි සීනීයි තිබුණා. අපි දෙහි හදල සීනි දාගෙන බිව්වා.

නැවත ගමන යනකොට ගොන් දෙන්නෙක් බැඳපු තරත්තයක් ඉස්සරහට එනවා. බඩු පුරවගෙන මිනිස්සු හතර දෙනෙක් වාඩියට එනවා. අපි අල්ල ගත්තා. සති හතරකට විතර බඩු කරත්තවල තිබුණා. කරත්තයත් අත්අඩංගුවට ගත්තා. දැන් වේලාව හවස තුනට විතර ඇති. අපි ආපසු එන්න පිටත් වුණා. ගඟ දිගේ පාර දිගේම මඩොල්තොටට  ආවා. අල්ලගත්ත මිනිස්සු විසිපස් දෙනයි අපි එකළොස් දෙනයි. දැන් බඩගිනියි. එතනදී මබතුයි පොල් සම්බෝලයි පරිප්පුයි හදල කෑවා.

පිටත් වෙන්න හදනකොට වෙලාව හවස තුනට විතර ඇති. හතරදෙනෙක් පැනලා ගිහින්. අනිත් අයව අපි කඹයකින් ගැට ගහ ගත්තා. එක් කෙනෙක්ගේ වම් අත අනිත් එක්කෙනාගේ දකුණු අත විදියට. අපි කළුවරේ තවත් හැතැම්ම හතරක් විතර ආවා ගජබා පිටියේ ට්‍රැක්ටරය නවත්තපු තැනට.

විදුලි පන්දමක්වත් නැතිව එල්.ටී.ටී.ඊ ය ගැන බයෙන් ඉන්නකොට හෙලිකොප්ටරයක් අහසේ කරකැවිලා ගියා. පස්සේ ඉන්දියන් ආමි එක කියලා දැන ගත්තා.

පහුව දා හවස හය වෙනකොට සෙනඟත් දාගෙන අපි මූලස්ථානයට ආවා. ගජබා පිටියේ දී අපිට හරක් දෙන්නා මාරු කරන්න වුණා.

වනජීවී දෙපාර්තමේන්තුව මඟින් බර කරත්තයක් අත්අඩංගුවට ගත් පළමු සහ එකම සිදුවීම මෙයයි.

එදා අපි ලබපු අත්දැකීම රසවත් අමතක නොවන මතකයක්. 

*එල්.ටී.ටී.ඊ. – තහනම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායමකි.

*ජේ.වී.පී.     – එම යුගයේ තහනම් කරන ලද දේශපාලන පක්ෂයකි.

රංජිත් සිසිර කුමාර මහතා

1981 නොවැම්බර් 25 වන දින අනියම් සහකාර බංගලා භාරකරුවතු ලෙස සේවයට පැමිණි රංජිත් සිසිර කුමාර මහතා එවකට වනජීවී අඩවි ආරක්ෂකවරයෙකුගේ සුදුසුකම් සපුරා තිබිණි. විල්පත්තුව ජාතික උද්‍යානයේ වසරක පමණ සේවයකින් පසු කුමන ජාතික උද්‍යානයට වනජීවී නියාමකවරයෙකු ලෙස උසස්වීම් ලැබූ ඔහු එහි වසර තුනක පමණ  කාලයක් සේවය කර යාල ජාතික උද්‍යානයේ වසර හතක් ද  සේවය කළේය. රන්දෙණිගල, ඉගිනියාගල, කතරගම අඩවිය, හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානය, කල්පිටිය ආදී ස්ථාන ඔහු සේවය කළ අනෙකුත් ස්ථාන අතරෙන් සමහරකි.

රංජිත් සිසිර කුමාර මහතා දක්ෂ වනජීවී අඩවි ආරක්ෂකවරයෙකු මෙන් ම දක්ෂ කිමිදුම්කරුවෙකි. එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම් 1200 ක් පමණ සිදුකර ඇත. වනජීවී නඩු මෙහෙයවීම් කටයුතු වල දී සාර්ථකව ක්‍රියාකර  නඩු රාශියකින් ම වනජීවී දෙපාර්තමේන්තුව දිනවා ඇති අයෙකි. එය ඔහු ඉතා කැමැත්තෙන් කරනු ලබන කාර්යයකි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වනජීවී කලමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව සමත් ව ඇති රංජිත් සිසිර කුමාර මහතා දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලාවන් තුනක ප්‍රථමයා ලෙස සමත්ව රන් පදක්කම් දිනා ඇත. එමෙන්ම පිහිනුම් හා කිමිදුම් සඳහා ජාත්‍යන්තර ‘පැඩි’ සහතිකය දිනා ඇති අතරදක්ෂ වෙඩික්කරුවකු ලෙස ද ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකායෙන් (STF)සහතික පත්‍ර දිනා ඇත.

රංජිත් සිසිර කුමාර මහතාගේ කැදැල්ල බිරිඳ සහ දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත ය. ඔහුගේ පදිංචිය ගාල්ල හබරාදූව ප්‍රදේශයේ ය.

කුමන ජාතික උද්‍යානය

වියලි කලාපය වු කලී ශ්‍රී ලංකාවේ තිබෙන දේශගුණික කලාප අතුරින් සුවිශේෂි  වූ කලාපයකි. ඒ, එහි ඊටම ආවේණික වු ජෛව විවිධත්වයක් පැවතීමයි. ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගැනිමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන්නේ දිවයින පුරා විසිරි පවතින විවිධ පාරිසරික දේශගුණික ලක්ෂණයන්ගෙන් යුත් වනාන්තර පද්ධතිය හේතුවෙනි .

යාල ජාතික උද්‍යානයට සමාන ජෛව විවිධාත්මක ලක්ෂණ , කුමන ජාතික උද්‍යානයේදීද දක්නට ලැබේ. මෙම ජාතික උද්‍යාන දෙක සසදන විට කුමන ජාතික උද්‍යානය ගොඩබිම්  පරිසර පද්ධතියක දී දක්නට නොලැබෙන ජලාශ්‍රිත පරිසර පද්ධති රාශියකින් සමන්විතය. එබැවින් උභයජීවීන්ගේ මෙන්ම ජලාශ්‍රිත ජිවින්ගේ වැඩි විවිධත්වයක් කුමන ජාතික උද්‍යානයේදී දැකිය හැකිය.  නැගෙනහිර සිට  ගිණිකොණ දෙසට විහිදුනු සුන්දර මුහුදු තීරයන් සහිත වෙරළට යාබදව පිහිටි නිල්ලෙන් පිරුණු කුමන මහා කැලෑව කුරුලු පාරාදීසයක්  ලෙස ප්‍රකටය . ශ්‍රී ලංකාවේ කුරුල්ලන් සදහා ඉතා වැදගත් අභිජනන ස්ථානයක් වු බැවින් කුමන 1938 දී  අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් විය.

කුමන ජාතික උද්‍යානය අම්පාර  සහ  මොණරාගල දිස්ත්‍රික්කයන්ටන් දෙකටම ද, පොතුවිල් මැතිවරණ කොට්ඨාශයට හා  පානම ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් වේ. වසර 1969 දි  හෙක්ටයාර 265.3 ක් ලෙසින්ද, 1970 දි හෙක්ටයාර 17,863.4 ක් දක්වා පුළුල් වෙමින්ද ජාතික උද්‍යානයක් බවට පත් විය. 2006 ජුලි 05 වැනි දින වන විටදි හෙක්ටයාර 35,665 ක් දක්වා පුළුල් වි ඇත.

සොබා සුන්දරත්වය රැදි යාල ජාතික උද්‍යානයෙන් භෞතික වශයෙන් කුමන උද්‍යානය වෙන් වන්නේ කුඹුක්කන් ඔයෙනි. කුඩුම්බිගල ඔකද සිට ආරම්භව කුඹුක්කන් ඔය දක්වා කුමන ජාතික උද්‍යානය විහිදෙන අතර, එතැනින් ඔබ්බට පැතිර පවතින්නේ යාල ජාතික උද්‍යානයේ අංක දෙක කොටසයි. එබැවින්, කුමන ජාතික උද්‍යානය යාල නැගෙනහිර උද්‍යානය ලෙසද හදුන්වනු ලබයි.

මෙහි උස් කදු මුදුන් නැති මුත්, තැන තැන සුන්දර ගල් කදු දැකිය හැක. කුඩුම්බිගල,බඹරගස්තලාව,බාගුර,කෝන්ගල,කිරිපොකුණු හෙළ වැනි ගල් කදු වනයට ගෙන එන්නේ අමුතුම චමත්කාරයකි. තණපිටි, වෙරළාශ්‍රිත ශාක පද්ධති,ගංගාධාර, වනබිම්, මෝය හා කටු පදුරු වලින් ගහණ කුමන ජාතික උද්‍යානයට ඊසාන මෝසමින් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන අතර එමගින් මෙහි පිහිටි ඕකන්ද, තුන්මුල්ල, දිවුල්පල්ලම,එරමිණියා වැව, අලුත් වැව  හා බක්මී වැව ආදී වැව් පිරී ඉතිරි යයි. කුඹුක්කන් ඔය මෝය ආශ්‍රිතව නිර්මාණය වි ඇති කුමන විල්ලුව අක්කර 500 ක් පම්‍ණ වන ලොව ප්‍රකට විල්ලුවකි. කුමන විල්ලු මුහුදු ජලයෙන් විටින් විට යටවීමට ලක් වන අතර උද්‍යානය තුල කුරුළු විශේෂ වල පැවැත්මට ඉතා උචිත ලෙස නිර්මාණය වු  වැව් කලපු 20 ක් පමණ සහ  වනන්තර රැසක් පිහිටා තිබේ. කලපුවල  ගැඹුර මීටර් 2 කටත් අඩුය.

කලපුව

කොළඹ සිට කිලෝමීටර් 391 ක් දුරින් ගිණිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇති කුමන ජාතික උද්‍යානයේ  සාමාන්‍ය වාර්ෂික උෂ්නත්වය සෙල්සියස් අංශක 27.30 ක් පමණ වන අතර සමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 ක් පමණ වේ.

තුන්වන ශත වර්ෂයට පමණ අයත් පුරාණ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන මෙහි ආරම්භය මාගම රාජධානි සමයටත් පෙර අවදියේ සිට පැවත එයි. 1වන හා 2වන ශතවර්ෂයන්ට අයත් ශිලා ලේඛණ මෙම ප්‍රදේශයේ අවටින් සොයා ගෙන ඇත. කුමන ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වාර්ෂිකව හා සම්ප්‍රදායිකව හින්දු බැතිමතුන්  පාද යාත්‍රාව යෙදෙන කතරගම හින්දු කෝවිල පිහිටි මාර්ගයේමය.

මෙහි ජෛව විවිධත්වය විමසා බැලු විට ශාක විශේෂ 223 ක් පමණ දක්නට ලැබේ. කෝන්, හල්මිල්ල,  මලිත්ත,  තිඹිරි,පුස්වැල්,නියගල,පලු, බුරුත,නුග,බෝවිශාල ශාක  ලෙසද, වෙරළ ආසන්න භූමියේ වරා,කටු ඉකිළි, බිං තඹුරුශාකද මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශ වල සරුවට වැඩුණු ඕලු,නෙළුම්වැනි ජලජ ශාක දක්නට  ලැබීම ද සුවිශේෂි දසුනකි.

කුමන ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ වැදගත්ම හා ජනප්‍රිය කුරුලු ජාතික උද්‍යානයක් ලෙස  කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන් එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.  ආවේණික, නේවාසික  සහ සංක්‍රමණික පක්ෂින්ගෙන් සමන්විත පක්ෂි විශේෂ 430 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවේ. මෙහිදි කුරුලු නිරීක්ෂකයින්ට  කුරුළු විශේෂ 200 කට අධික සංඛ්‍යාවක් පහසුවෙන් නැරඹිය හැකිය.

අප්‍රේල් – ජූලි කාලයේදි කුමනෙහි වගුරු බිම් ප්‍රදේශයට මෙරට වෙසෙන කුරුල්ලන් දස දහස් ගණනක්  බිත්තර දැමිමට විල්ලු කරා රොක් වන අතර  , විශාල රංචු වශයෙන් පැමිණෙන දේශිය ජලචර පක්ෂිහු ලෙස  කරවැල් කොකා, ලොකු සුදු කොකා, කණ කොකාදැකිය හැක .සැප්තැම්බර් සිට මාර්තු දක්වා සංචාරක පක්ෂිහු විශාල සංඛ්‍යාවක් ලංකාව  කරා පියාසර කර පැමිණෙන්නේ උෂ්ණත්වය ලබා ගැනිම හා ආහාර සොයා ගැනිම සදහාය.පර්යටන පක්ෂින් මෙහි පැමිණෙන නමුදු උන් මෙහි බිත්තර නොදමයි.මෙහිදි පොදුවේ  දැකගත හැකි පක්ෂින් අතරදුර්ලභ පක්ෂියකු වන අලිමානාවා, හීන්මානාවා, ලතු වැකියා, අළු කොකා, පොදු දම් කිතලා, පාදලි මානාවා, පුංචි දිය කාවා, තිත් හොට පැස්තුඩුවා,මහා දියකාවාවැනි ජලජ පක්ෂි විශාල සංඛ්‍යාවක්ද මාංශ පක්ෂින් ලෙස  කුරුළු ගොයා, බ්‍රහ්මණ උකුස්සාවැනි උකුසු විශේෂ කිහිපයක්ද හමුවේ.

අලිමානාවා
කස්බියානු මුහුදු ලිහිණියා
පොරෝලුවා
වල් පොල්කිච්චා

කුමන ජාතික උද්‍යානය කොටින් (දිවියන්) සදහා ප්‍රකට ජාතික උද්‍යානයකි. යාල,විල්පත්තු තරම්ම කොටි දැක බලා ගන්නට කුමන උද්‍යානයේදි හැකි නිසාම සංචාරකයින්ද, වනසත්ත්වලෝලීන්ද, වනජීවී ජායාරූප ශිල්පීහුද නිරන්තරයෙන් කුමන ජාතික උද්‍යානයට පැමිණෙතිවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කුමන ජාතික උද්‍යානය අද කොටීන්ගේ පරාදීසයක් බවට පත්ව ඇත. අතීතයේ කුරුලු පාරාදීසයක් ලෙස ප්‍රකට මෙම උද්‍යානය අද කොටීන් හොදින් දැක ගත හැකි ප්‍රකට උද්‍යානයකි.

කොටියා (දිවියා)

අලියා, වලහා, හෝතම්බුවා, මුගටියා, ඉත්තෑවා, හිවලා,වල් ඌරා,මුවන්,වල් මී හරකාආදී සත්ත්වයින්ද  දැකබලා ගත හැක. 

අලියා
තිත් මුවා
වල් හාවා
සමනළ රංචුවක්

මෙම උද්‍යානයේ මිරිදිය කලපු පරිසර පද්ධතිය තුල මත්ස්‍යය විවිධත්වය අතිමහත්ය. මොරැල්ලා,උඩුප්පුවා,ගංආරා,කනයා,මස් පෙතියාමේඅතර වේ.මෙහි ඇති කඩොලාන පද්ධති ආශ්‍රිතව කූනිස්සන්,ඉස්සන් විශේෂ ද, කලපු කකුළුවන් සහ ඇලි කොකාවැනි මාංශ පක්ෂීන්ද ගෙබි විශේෂ කිහිපයක්ද දැකිය හැක .

ශ්‍රී ලංකාවේ දැකිය හැකිය හැකි ප්‍රමුඛ ජීවීන් 7 දෙනෙකු(Top 7 Wild Sri Lanka) නම් කරන ලද නිල් තල්මසා, අලියා, කොටියා, ගැට කිඹුලා, දාර කැස්බෑවාසහ අලි මානාවා,  යන සතුන් 7 දෙනාට මෙම ජාතික උද්‍යානයේදි දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

පොතු කැස්බෑවා

කුමන වෙරළ තීරයට පැමිණෙන කැස්බෑ විශේෂ සංරක්ෂණය සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික උද්‍යානය තුල කිරිගල්බේ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එමගින් කැස්බෑ පැටවුන් දසදහස් ගණනක් බිහි කර සාගරයට මුදා හැරිමට කටයුතු කර ඇත.

පොතුවිල් නගරයට දකුණු පැත්තෙන් සැතපුම් 21 ක් පමන දුරින් පිහිටා ඇති මෙහි පිවිසුම් මර්ගය කොළඹ රත්නපුර,උඩවලව,වැල්ලවාය, මොණරාගල, සියඹලාණ්ඩුව,ලාහුගල හරහා පොතු විල් පානම ඕකන්ද කුඩුම්බිගල ඔස්සේ යෙදි ඇත. උද්‍යාන පිවිසුම ඇත්තේ පානමය, උද්‍යාන කාර්යාලය පිහිටා ඇත්තේ පානම  සිට කිලෝමීටර් 22 ක් දුරිනි. සංචාරකයින්ගේ  නවාතැන් පහසුව සදහා තුම්මුල්ල සහ කිරිගල්බේ සංචාරක නිවාස දෙකක් ඉදිකර ඇති අතර එය වෙන් කරවා ගැනීම  කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ.සොබා සෞන්දර්ය රසය නිදහසේ විද ගැනිම සදහා හෙරලිගස්ආර,කුඹුක 01,කුඹුක 02, ගල්අමුණ,මෝයකට හි කදවුරු බිම්ද පිහිටුවා ඇත.

කැස්බෑ මධ්‍යස්ථාන අසල බංගලාවක්
තුම්මුල්ල සංචාරක නිවාස

කුමන ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

ஆசிய யானை

Asian elephant

Elephas maximus

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

තිත් මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

වල් ඌරා       

காட்டுப் பன்றி

Wild Boar

Sus scrofa

හිවලා

பொன்னிறக் குள்ள நரி

Golden jackal

Canis aureus

වලහා

தேன் கரடி

Sloth bear

Ursus ursinus

වල්හාවා

இந்திய முழி முயல்

Black napedrabbit

Lepus Nigricollis

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

මුවා

இந்திய மான்

Deer

Muntiacus muntijak

වල් මී හරකා

காட்டெருமை

Water buffalo

Bubalus bubalis

මුගටියා

இந்திய சாம்பல் கீரிப்பிள்ளை

Mongoose

Herpestes edwardsil

හෝතම්බුවා

சிவந்த கீரி

Ruddy mongoose

Herpestes smithii

කරවැල් කොකා

செந்நாரை

Purple heron

Ardea purpurea

ලතු වැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork 

Mycteria leucocephala

ලොකුසුදුකොකා

பெரிய கொக்கு

Great egret

Casmerodius albus

තිත් හොට  පැස්තුඩුවා

சாம்பல் கூழைக்கடா

Spot- billed pelican

Pelecanus philippensis

Sinhala name

Tamil name

English name

Scientific name

කණ කොකා

இந்திய குளத்துக் கொக்கு

Indian pond- horon

Ardeola grayii

අලිමානාවා

கறுப்புக் கழுத்து நாரை

Black-necked stork

Ephippiorhynchus asiaticus

හීන්මානාවා

சிறுத்த பெரு நாரை

Lesser adjutant

Leptoptilos javanicus

අළු කොකා

சாம்பல் நாரை

Grey heron

Ardea cinerea

පොදු දම් කිතලා

நீலத் தாழைக் கோழி

purple swamphen

porphyrio porphyrio

පාදලි මානාවා

வெண்​ கழுத்து நாரை

Woolly-necked stork

Ciconia episcopus

පුංචි දිය කාවා

சின்ன நீர்க்காகம்

Little Cormorant

Phalacrocorax niger

මහා දියකාවා

பெரிய நீர்க்காகம்

Great cormorant

Phalacrocorax carbo

කුරුළු ගොයා

வைரி

Shikra

Accipiter badius

බ්‍රහ්මණ උකුස්සා

செம்பருந்து

Brahming kite

Haliastur indus

පොරෝලුවා

கொண்டலாத்தி

Common hoopoe

Upupa epops

කස්බියානු මුහුදු ලිහිණියා

கஸ்பியன் ஆலா

Caspian tern

Hydroprogne caspia

වල් පොල්කිච්චා

சோலைபாடி

White rumpedshama

Copsychus malabaricus

ඇලි කොකා

சின்னக் கொக்கு

Little egret

Egretta garzetta

ගැට කිඹුලා

செம்மூக்கு முதலை

Estuarine crocodile

Crocodylus porosus

දාර කැස්බෑවා

பேராமை

Leatherback Sea Turtle

Demochelys coriacea

පොතු  කැස්බෑවා

அழுங்காமை

Hawks bill

Eretmochelys imbricata

නිල්තල්මසා

நீலத் திமிங்கிலம்

Blue whale

Balaenoptera musculus

මොරැල්ලා

மொரெல்லா

Morella

Zenarchopterus dispar

උඩුප්පුවා

உடப்புவா

Uduppuwa

Butis butis

ගංආරා

பூவிரால்

Ganara

Channa ara

කනයා

கனயா

Kanaya

Channa gachua

මස්පෙතියා

மஸ்பெதியா

Maspethiya

Puntius sarana

කූනිස්සා

தசக்காலி ஓட்டு மீன்கள்

Shrimp

Shrimp species

ඉස්සා

இறால்

Prawn

Prawn species

කලපු කකුළුවා

களப்பு நண்டு

Lagoon crab

Lagoon crab species

ගෙබි විශේෂ

தவளை வகைகள்

Frog and toad

Frog and toad species

කුමන ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

කෝන්

பூக்கம்

Kon

Sheleichera oleosa

හල්මිල්ල

சாவண்டலை மரம்

Halmilla

Berrya cordifolia

මලිත්තන්

​உகாய்

Malittan

Salvadora persica

තිඹිරි

பத்திரி

Thimbiri

Diospyros malabarica

පුස්වැල්

யானைக் கொழிஞ்சி

Puswel

Entada pursaetha

නියගල

செங்காந்தன்

Flame lily

Gloriosa superba

පලු

பாலை

Palu

Manilkara hexandra

බුරුත

முதிரை

Ceylon Satain wood

Chloroxylon sweietenia

නුග

ஆலமரம்

Banyan

Ficus benghalensis

බෝ

அரச மரம்

Sacred fig

Ficus religiosa

වරා

வெள்ளெருக்கு

Wara

Calotropis procera

කටු ඉකිළි

கழிமுள்ளி

Katuikill

Acanthus ilicifolius

බිං තඹුරු

அடும்பு

Bin thaburu

Ipomoea pescaprae

ඕලු

நெய்தல் மலர்

Olu

Nymphaea nouchali

​ නෙළුම්

தாமரை

Lotus

Nelumbo nucifera

 

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව