简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 8 – බූන්දල ජාතික වනෝද්‍යානය

Content Image

බූන්දල උද්‍යානයේ මරණයක්

මට හිතෙන හැටියට මේ සිද්ධිය වුණේ 2004 වසරේදි විතර. එතකොට මම ඇවිත් අවුරුදු දෙකයි.මම හිටියේ වන සත්ව නියාමක තනතුරේ බූන්දල ජාතික වන උද්‍යානයේ. එය මගේ දෙවැනි පත්වීම.

බූන්දල ජාතික වන උද්‍යානය පොඩියි. නමුත් සෑම අංශයකින්ම පාරිසරික වශයෙන් පරිපූර්ණ පර්යේෂණාගාරයක් වගේ.මෙතනට පර්යටන පක්ෂීන් එනවා. බුන්දල උද්‍යානයේ එක පැත්තක් මුහුදට මායිම්ව තියෙන්නේ. ඒ නිසා අනතුරට ලක්වුණ කැස්බෑ විශේෂ පහක් වෙරළ තීරයට එනවා.

ආගන්තුක ආක්‍රමණික ශාක විශේෂත් තියෙනවා.

මෙම උද්‍යානයේ වැඩ කරන විට මෙම සත්ව හා ශාක විශේෂ ගැන මෙන්ම ඒවාට සම්බන්ධව සංරක්ෂණ කලමනාකරණ නීති පිළිබඳවත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

ගැසට් මඟින් රක්ෂිත වන උද්‍යානයක් ලෙස ප්‍රකාශ කරපු  බුන්දල වන උද්‍යානයට යාබදව විල්මැන්න අභය භූමිය තියනවා.

බුන්දල ජාතික  වන උද්‍යානයේ දඩයම් කිරීම බොහොම අඩුයි. නමුත් 2004 වර්ෂයේ දි අපිට තොරතුරක් ලැබී තිබුණා යම් පුද්ගලයෙකු නිරතුරුවම උද්‍යානයේ  දඩයම් කරන බවක්. ඊට අමතරව ඔහු වනජීවී නිලධාරීන්ට අභියෝග කරන බවටත් තොරතුරු ලැබී තිබුණා.

මේ පරිසර විරෝධී කාර්යය නවතා දැමීමට වැටලීම් කරන්න අපි තීරණය කළා. ඒ අනුව එක දවසක් රෑ අට හමාරට විතර අපි බුන්දල කලපුවේ මුර සංචාරයේ රැඳී සිටියා. පැයක් එක හමාරක් විතර එතන රැදී ඉදලා හෝඩුවාවක් නැති තැන එතනින්  පිටත් වුණා. අපේ කණ්ඩායම අඩවි ආරක්ෂක චමත් ලක්ෂ්මන්, වන සත්ව නියාමක නිහාල් රත්නපාල, වන සත්ව නියාමක වයි.ඩී. කරුණාරත්න, වන සත්ව රැකවල්වේදි එච්. කරුණාරත්න සහ මම ඇතුළත් වුණා.

අපි එතනින් එන්න පිටත් වෙනකොට යාබදව තියෙන විල්මැන්න අභය භූමියෙන් වෙඩි ශබ්දයක් ඇසුණා. අපි ක්ෂණිකව පාරෙන් එහා පැත්තට පැනලා වෙඩි සද්දෙ පැත්තට කිට්ටු කළා. කට්ටිය එහෙට යනකොට වෙලාව රෑ දහයට විතර ඇති. වටේම කළුවරයි. ලඳු කැලෑවක් තමයි තිබුණේ. අපි ඉස්සරහට යනකොට එකපාරටම ට්‍රැක්ටරයක් පණ ගන්වනවා ඇහුණා.  ට්‍රැක්ටරයේ විදුලි ලාම්පුත් එක පාරට පත්තු වුණා. අපි කට්ටිය හිටපු තැන්වලම එහෙමම පාත් වුණා. ට්‍රැක්ටරයේ එන්ජිම කොටස පමණක් අපේ ඉදිරියට එනවා පෙණුනා. තවත් පරීක්ෂා කරන කොට ට්‍රැක්ටර එළියට ඉදිරියෙන් පුද්ගලයෙක් තුවක්කුවකුත් අතේ අරන් වටපිට බල බලා එනවා. ඔහු දඩයමේ එන බව පෙනුණා. මිනිහා හැඩිදැඩි පුද්ගලයෙක් බවත්  පෙනුණා.

ඒ වෙලාවේ ට්‍රැක්ටරය පදවාගෙන තව කෙනෙක් ඉන්න බවක් දුටුවා.

මමයි රැකවල්කරු කරුණාරත්නයි ට්‍රැක්ටරයේ පිටුපස පැත්තට යමු කියලා පිටිපස්ස පැත්තට හිමින් හිමින් ගියා. එහෙම ගියේ පිටිපස්සෙන් ගිහින් තුවක්කුව ගන්න ලේසි නිසා වගේම ආරක්ෂා සහිත නිසා. කොහොම වුණත් ට්‍රැක්ටරය ඉස්සරහට එනකොට අපේ  අනිත් කට්ටිය පුද්ගලයා ඉස්සරහට පැනලා තුවක්කුව ගන්න උත්සාහ කළා. අපි ඔහුව නිරායුධ කරන්නයි හැදුවේ. ඒ වෙලාවේ මම දුටුවේ එයා තුවක්කුව නොදී අනිත් අය එක්ක පොර බදිනවා.

තත්පර ගණනක දි ‘බුම්’ ගාලා තුවක්කුවක් පත්තුවෙන ශබ්දය ඇසුණා. මගේ අත්දැකීමට අනුව තුවක්කුවකින් ශබ්දයක් පිටවී වෙඩිල්ල කිසිවක නොගැටෙන එකයි වෙඩිල්ල යමක ගැටෙන එකයි අඳුන ගන්න පුළුවන්. ඒ වෙලාවේ මට තේරුණා කාටහරි හෝ ලඟ කුමකට හෝ වෙඩිල්ල වැදුන බව. ඒ වෙලාවෙම ට්‍රැක්ටරයේ  එන්ජිම නතර වුණා. ඇවිත් බලන කොට තුවක්කුව අරන් ආපු මනුස්සයා බිම වැටිල හිටියා. ලේ ගලාගෙන යනවා. කණ ළඟින් ලේ ගලන බවත්  පෙනුණා. ඔහුගේ කණ ලඟින් වෙඩිල්ල බැහැලා තිබුණේ. ඒ අනුව ඔහුට මාරාන්තික තුවාල සිදු වී ඇති  බව මට හැඟී ගියා. අපි සියලු දෙනාම විනාඩි දෙක තුනක් දැඩි නිශ්ශබ්දතාවයකට පත් වුණා.

වන සත්ව අඩවි ආරක්ෂක ආඥා පනත ගැන මට අවබෝධයක් තිබුණත් මෙවැනි වේලාවක ක්‍රියාකරන ආකාරය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඒ ගැන හිතන්නේ නැතිව අපි එම පුද්ගලයාව අපේ වාහනයෙන් වහාම හම්බන්තොට රෝහලට ගෙනිච්චා. ට්‍රැක්ටරය පැද වූ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා.

මමයි චමත් මහත්තයයි තව කෙනෙකුයි ලෙඩාව අරන් රෝහලට ගියා. අනිත් අය අනිත් පුද්ගලයාව රැගෙන කාර්යාලයට ගියා.

රෝහලට ලෙඩාව ඇතුලු කරනකොට ඔහු මිය ගිහින් කියලා අපට දැනුම් දුන්නා. ඊට පස්සේ අපි සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට දැනුම් දුන්නා. මහේස්ත්‍රාස්වරයා පැමිණ සිද්ධිය වූ ස්ථානයේදී ම විභාගයක් පැවැත්වූවා. කට උත්තරත්ගත්තා.

පසු දා ආරංචි වුණා මොහු ප්‍රදේශයේ නමගිය දඩයක්කාරයෙක් බවත් අපරාධවලට සම්බන්ධ කල්ලියක සාමාජිකයෙක් බවත්.  ඒ අනුව දින දෙක තුනක් පුරා කාර්යාලීය දුරකතනයට තර්ජන ලැබුණා. නමුත් අපි ඒවාට බයෙන් සේවා ස්ථානය හැර ගියේ නෑ.තව දුරටත් අපි එහි රාජකාරිය කළා.

මේ සිද්ධියෙන් පස්සේ අපි වන එනම් වනජීවී කාර්ය මණ්ඩලයට විමර්ශනයක් හා විමර්ශනයකදී අවධානය කළ යුතු සියලුම කටයුතු පිළිබඳව ලොකු අත්දැකීමක් ලැබුණා.  නිදසුනක් විදියට වැටලීමකට යනවා නම් වාහනය ලඟම තියෙන්න ඕනෑ වගේ දේවල්.

අධිකරණ කටයුතු පොලිසියෙන් සිදු කළා. අපි විත්ති පාර්ශවය වුණා. පසුව නිසි ලෙස සත්‍ය හා නිවැරදි ලෙස සාක්ෂි ලබා දීම හා අනෙකුත් කරුණු නිවැරදිව කිරිම මත අපි නිදහස් වුණා.

මෙම සිද්ධියෙන් පස්සේ ප්‍රදේශයේදඩයම් කිරීම් ගැන වාර්තා වීම් බොහෝ දුරට අඩු වුණා.

මට පෞද්ගලිකව හිතෙන්නේ  ඔහු සත්තු දඩයම් කළ ලෙසටම ඔහුටත් මිය යන්නට සිදු වුණාදෝ කියලයි.

එම්. රත්නසිරි පෙරේරා මහතා

එම්. රත්නසිරි පෙරේරා මහතා මේ වනවිට වනසත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙස හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලයේ සේවය කරයි. වසර 2000 දී වන සත්ව නියාමකවරයෙකු ලෙස සේවයට බැදුණු ඔහු අඩවි සහකාරවරයෙකු ලෙස ද අනතුරුව වන සත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙස ද උසස්වීම් ලැබී ඇත.

රත්නසිරි පෙරේරා 2017 වසරේ දී කොළඔ විශ්වවිද්‍යාලයේ වනජීවී කලමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා මහාචාර්ය සරත් තොටගම නමින් ප්‍රධානය කෙරුණු විශිෂ්ඨ ක්ෂේත්‍ර රන් සම්මානය(Best Field Performance) ද  දිනා ඇති දක්ෂ පළපුරුදු වනජීවී නිලධාරියෙකි. මෑතකදී කදුකර දිවියාට ඇති වූ තර්ජන වලින් දිවියා ගලවා ගැනීම සඳහා විසඳුම් සොයමින් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  කරමින් සිටියි.

රත්නසිරි පෙරේරා මහතා බිරිඳ සහ පුතණුවන් සමඟ සාර්ථක විවාහ ජීවිතයක් ගෙනයනු ලබයි. ඔහුගේ බිරිඳ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන අතර එකම පුතණුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තෙවැනි වසරේ උපාධි අපේක්ෂකයෙකු වේ. ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටියි.

තව ද ඔහු සියලුම අදාළ කලමනාකරණ පාඨමාලා සම්පූර්ණ කර ඇත. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් 2001 වසරේදී පිරිනැමුණු වනජීවී විශිෂ්ඨ කුසලතා සමමානය ද දිනා ඇත.

බූන්දල ජාතික උද්‍යානය

ඉන්දු ආසියා පක්ෂි සංක්‍රමණික මාර්ගයේ අවසන් නවාතැන් කිහිපයෙන් එකක් වන බූන්දල හා ඒ ආශ්‍රිත කලපු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ මුලික අරමුණ ඇතිව 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වන දින අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු බූන්දල වනජීවී රක්ෂිතය, 1993 වර්ෂයේ ජනවාරි 04 වන දින ජාතික උද්‍යානයක් බවට පත්ව වඩාත් දැඩි ආරක්ෂාවක් ලද්දේය.ශ්‍රී ලංකාවේ ගිණිකොණ දිග ශුෂ්ක කලාපයට අයත් මෙහි පිහිටා ඇති නොගැඹුරු කලපු වන කොහොලංකල,මලල,ඇඹිලිගල සහ බූන්දල යන තෙත් බිම් සමුහය ඉහල පක්ෂි විශේෂ විවිධත්වයක් උසුලන අතර එයට සංක්‍රමණික පක්ෂීන්ද අයත්ය.මෙම හේතුව නිසා බුන්දල තෙත් බිම්, විශේෂයෙන්ම සංක්‍රමණික ජලජ පක්ෂීන් හට වැදගත් වන ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ​රම්සා තෙත් බිම් ලෙස රම්සා අන්තර්ජාතික සම්මුතිය යටතේ 1990 වර්ෂයේ ඔක්තෝම්බර් මස 15 වන දින ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රමාණයෙන් හෙක්ටයාර් 6216 ක් පමණ වන මෙම ජාතික උද්‍යානය අනෙකුත් ජාතික උද්‍යාන වලට සාපෙක්ෂව කුඩා ජාතික උද්‍යානයක් වුවද මෙහි ඇති සුවිශේෂීතා රැසකි.

                                                                                                                බූන්දල ජාතික උද්‍යානයේ පිවිසුම

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයකුගේ පොසිල සාක්ෂි හමුවීමෙන් පසු උද්‍යානය තුල ඇති පතිරාජ පෙදෙස පුරා විද්‍යාත්මකව  අතිශය වැදගත් වු  පෙදෙසක් ලෙසට හදුනා ගෙන ඇත. පතිරාජ ප්‍රදේශයෙන් හමු වු සුවිශේෂී බොරළු හා පස් ස්ථර  අවුරුදු 74,000 -64, 000 ත් අතර පැරණි  ඒවා බව තහවුරු වී ඇත. කාබන් 14 පර්යේෂණ වලට අනුව මෙම බොරළු ස්ථර චාතුර්ථ යුගයේ ඉරණමඩු නම් සංයුතියට අයත් බවට හා මෙම බොරළු තට්ටු අතර තිබි හමු වු ක්ෂුද්‍ර ගල් මෙවලම් අනුව ශිලා යුගයේ මේ ප්‍රදේශයේ මනුෂ්‍ය ජනාවාසයක් තිබු බවට සාධක පුරා විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. තවද බූන්දල ප්‍රදේශයේ වැලි කඳු ආශ්‍රිතව අඩසදාකාර හා ත්‍රිකෝණාකාර ගල් මෙවලම් හමු වීමෙන්  දිවයිනේ මානව ඉතිහාසය පිළිබදව වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනිමට හැකිව තිබේ. එක්සත්ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් මිනිසා සහ ජෛව ගෝලීය රක්ෂිතයක් ලෙස (Man Biosphere Reserve)බූන්දලජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත.

පතිරාජ පෙදෙස පැතිරී වැලිකඳු

බූන්දල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රිකයේ මාගම්පත්තුවට අයත් ප්‍රදේශයේය.පහතරට වියළි කලාපයට අයත් මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 107.4 ක් සහ  සාමාන්‍ය උෂ්ණත්වය 27°C ක් පමණ වන  නමුත් අප්‍රේල්,මැයි, ජුනී මාසවල උෂ්ණත්වය බොහෝ වැඩි  අතර පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණික තත්වයක් පවතී.

උද්‍යානයේ 1/3 ක් පමණ ප්‍රධාන කලපු ආශ්‍රිත ජලයෙන් යට වී ඇත. මෙයට අමතරව ලවණ හැල්, වැලි කදු, කඩොලාන, තෘණ භූමි වලින් සමන්විත වේ.මෙම උද්‍යානයේ පිහිටා ඇති ප්‍රධාන පාරිසරික කලාප වන්නේ කටු පදුරු සහිත ලදු කැලෑ සහ කලපු වේ.මෙම පාරිසරික පද්ධතීන් වලට අමතරව මෙහි හමුවන අනෙක් පාරිසරික පද්ධතීන් වනුයේ ශුක්ෂ කලාපීය වනාන්තර (පලු ශාකය ප්‍රමුඛ වේ),වැලිතුඩු ආශ්‍රිත ශාක ප්‍රජාවන්,වෙරළාසන්න ශාක ප්‍රජාවන්,වෙරළබඩ තෘණ භූමි,ගංගාධර වනාන්තර, කලපු අන්දර ලදු කැලෑ, ලවණ වගුරු, කඩොලාන සහ වරින් වර ජලයෙන් යටවන වැව් සහ පොකුණුය.  උද්‍යානයෙන් දකුණු සීමාවෙන් මුහුදට වැටෙන කිරිඳි ඔයදෙපස ගංගාධර වනාන්තර දැකිය හැක.

මෙම පාරිසරික පද්ධති වලින් සපුෂ්ප ශාක විශේෂ 383 ක් පමණ වාර්තා වි ඇත. ඒ අතුරින් ශාක විශේෂ 06 ක් ඒකදේශීය වන අතර විශේෂ 07 ක් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇත.ඒකදේශීය ශාක ලෙස පලු, මලිත්තන්, කටුපිල, රණවරා, වීරප්‍රමුඛ ශාඛ වේ. වෙරළබඩ ශාක ‍ලෙස මහා රාවණ රුවුල, මුහුදු බිම් තඹුරු සහ විශ්ණුක්‍රාන්ති වේ. ආක්‍රමණික ශාක ලෙස පරිසර පද්ධතිය පුරා පැතිරි යන කලපු අන්දර සහ පතොක් උද්‍යානයේ ස්වභාවික ශාක සහ සත්ත්ව ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් වී ඇත.

සත්ත්ව විශේෂ සලකා බැලීමේදි ආසියානු අලියාප්‍රධාන තැනක් ගනී.ස්ථිර නේවාසික අලින් 10-15 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර,වසරේ වරින් වර උද්‍යානය තුලට පිටතින් පැමිණෙන සංචාරක අලි කණ්ඩායම් 25-50 ත් දක්නට ලැබේ.

ආසියානු අලියා

වෙනත් ක්ෂීරපායි සතුන් ලෙස තිත් මුවා, වල් ඌරා, හිවලා, රිලවා, හාවා සහ අළු වදුරා, කොටියා සහ ඉත්තෑවා ද උරගයන්  ලෙස හැළ කිඹුලා, ගැට කිඹුලා යන කිඹුල් විශේෂ දෙකද සර්පයන් වන පිඹුරා,නයා ද සුවිශේෂී වේ.

කලු වඳුරා
හැළ කිඹුලා

උරගයන් වන ලෝකයේ ජිවත් වන කැස්බෑ විශේෂ 07 න් 05 ක්ම බූන්දල වෙරළ තීරයේ වාර්තා වී ඇත. කොළ කැස්බෑවා, බටු කැස්බෑවා,දාර කැස්බෑවා,ඔලුගෙඩි  කැස්බෑවා සහ පොතු  කැස්බෑවායන මෙම කැස්බෑ විශේෂයන්ගේ බිත්තර සහ පැටවුන් සුරැකීමට විශේෂ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක්ද බූන්දල ජාතික උද්‍යානයේ ක්‍රියාත්මක කෙරේ.බූන්දල ජාතික උද්‍යානයේ වාර්තා වී ඇති මත්ස්‍ය සංඛ්‍යාව 32 ක් වන අතර සමනලුන් විශේෂ 52 ක් සිටින බවට වාර්තා වී ඇත.

මෙම කලපු සහ ඒ ආශ්‍රිත වගුරු බ්ම් ජලාශ්‍රිත පක්ෂීන් සදහා උචිත ආහාර බිම් සහ ලැගුම් පොලවල් වේ. පක්ෂීන් විශේෂ ලෙස ශ්‍රී ලංකා වලි කුකුළා, ලතු වැකියා, වත නිල් මල් කොහා, තිත් හොට පැස්තුඩුවා උද්‍යානය තුල දැකිය හැකි දේශීය පක්ෂි වේ.

                                                                                                                      දර්ශනීය රජ සියක්කාරයන්

රජ සියක්කාරයා, කළු පෙද ගොහොදු විත්තා උද්‍යානයට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් කිහිප දෙනෙක් වේ. රජ සියක්කාරයන්ගේ පරාදීසයක්ව පැවැති මෙම භුමි ප්‍රදේශය වර්තමාන මානව ක්‍රියාකාරකම් හේතුවෙන්  කලපු තුලට මිරිදිය ජලය මුසුවීමෙන් ඇති වු ආහාර හිඟය මෙම පක්ෂීන්ගේ පැමිණීම අඩු විමට බලපා ඇත.

තවත් ජලජ පක්ෂීන්
හීන් තඹ සේරුවා
කහ යටිමල් කිරලා

කොළඹ සිට ගාල්ල, තංගල්ල  හරහා කතරගම මාර්ගයේ කි.මී. 256 ක් පමණ ගෙවා වැලිගත්ත මංසන්ධියෙන් දකුණට හැරී කි.මී .1.6 ක් අවසානයේ උද්‍යාන මුලස්ථාන කාර්යාලය හමු වේ. මීට අමතරව ‍කොළඹ, රත්නපුර මාර්ගයේ,ඇඹිලිපිටිය, නෝනගම හන්දිය හරහා කතරගම මාර්ගය ඔස්සේ කි.මී. 245 ක් දුර ගෙවා බූන්දල ජාතික උද්‍යානයට ලඟා විය හැකිය.

සංචාරක මධ්‍යස්ථානයක්ද, සිහිවටන අලෙවි සැලක්ද පිහිටුවා ඇති  බූන්දල ජාතික උද්‍යානය තුළ කුරුල්ලන් නැරඹීම සදහා ඉදි කරණු ලැබු විශේෂ කුරුළු අංගනයක් ද වේ.බංගලා පහසුකම් සලසා නොමැති  අතර කඳවුරු බිම් කිහිපයක් ඇත.

                                                                                                සංචාරක මධ්‍යස්ථානයේ ඉදිරිපස පෙනුම සහ ඇතුලතින්

බූන්දල ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

 யானைகள்

Asian elephant

Elephas maximus

තිත් මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

වල් ඌරා       

காட்டுப் பன்றிகள்

Wild Boar

Sus scrofa

හිවලා

நரிகள்

Golden jackal

Canis aureus

රිලවා

செங்குரங்கு

Toque Macaque

Macaca sinica

හාවා

இந்திகுழி முயல்

Indian hare

Lepus nigricollis

අළු වදුරා

சாம்பல் முகக் குரங்கு

Common langur

Semnopithecus entellus

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

කලු වඳුරා

கருங் குரங்கு

Purple faced langur

Trachypithecus vetalus

වලි කුකුළා

இலங்கைக் காட்டுக் கோழி

Sri lankajungle fowl 

Gallus lafayetill

ලතු වැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork 

Mycteria leucocephala

වත නිල් මල් කොහා

நீல முகச் செண்பகம்

Blue – facedmalkoha

Phaenicophaeus viridirostris

තිත් හොට  පැස්තුඩුවා

சாம்பல் கூழைக்கடா

Spot- billed pelican

Pelecanus philippensis

Sinhala name

Tamil name

English name

Scientific name

රජ සියක්කාරයා

அமெரிக்க பூநாரை

Greater flamingo

Phoenicopterus ruber

කළු පෙද ගොහොදු විත්තා

கருவால் மூக்கன்

Black tailed godwit

Limosa limosa

හීන් තඹ සේරුවා                      

சிறிய சீழ்க்கைச்சிரவி

Lesser Whistling duck

Dendrocygna javanica

කහ යටිමල් කිරලා

மஞ்சள் மூக்கு ஆள்காட்டி

Yellow Wattled Lapwing

Vanelius malabaricus

හැල කිඹුලා

சதுப்பு முதலை

Mugger crocodile

Crocodylus palustris

ගැට කිඹුලා

செம்மூக்கு முதலை

Estuarine crocodile

Crocodylus porosus

කොළ කැස්බෑවා

தோணியாமை

green sea turtle

Chelonia mydas

බටු කැස්බෑවා

ஒலிவ நிறச் சிற்றாமை,

Olive ridley sea turtle

Lepidochelys olivacea

දාර කැස්බෑවා

பேராமை

Leatherbacked sea turtle

Demochelys coriacea

ඔලුගෙඩි  කැස්බෑවා

பெருந்தலைக் கடலாமை

Logger head

Caretta caretta

පොතු  කැස්බෑවා

அழுங்காமை

Hawks bill

Eretmochelys imbricata

පිඹුරා

மலைப்பாம்பு

Python 

Python molurus

නයා

நாகம்

Cobra

Naja naja

බූන්දල ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

 Ceylon Iron wood

Manilkara hexandra 

වීර

வீரை

 Hedge Boxwood

Drypetes sepiaria 

මලිත්තන්

​உகாய்

Malittan

Salvadora persica

කටුපිල

கொழுஞ்சி

Katupila

Tephrosia purpurea

රණවරා

ஆவாரம்

Ranawara            

Cassia auriculata

මහා රාවණ රුවුල

பெரிய இராவணன் மீசை

MahaRawanaRewla

Spinifex littoreus

මුහුදු බිම් තඹුරු

அடும்பு

MuhuduBimthamburu

Ipomoea pescaprae

විශ්ණුක්‍රාන්ති

விஷ்ணு கிரந்தி

Vishnu kranthi

Evolvulus alisinoides

කලපු අන්දර

சீமைக் கருவேலம்

Andara

Prosopis juliflora

පතොක්

நாகதாளி

Cactus

Opuntia dillenii

 

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව