简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 11 – සමනළ සොබාව රක්ෂිතය

Content Image

ඒ දුර්ලභ කළු දිවියා

2017 අවුරුද්දෙ ජනවාරි මාසයේ දී මම නල්ලතන්නි වනඅඩවි කාර්යාලයට මාරු වුණා වන සත්ව අඩවි ආරක්ෂකවරයෙක් විදියට. මෙම ප්‍රදේශය කදුකර සීත කාලගුණය තියන ප්‍රදේශයක්. එනම් නල්ලතන්නි රක්ෂිත වනයට මායිම්ව තේ වතු පිහිටලා තියනවා. තේ වතු ආශ්‍රිතව ජීවත්වන බොහොමයක් දෙනා කරන්නේ තේ දළු නෙලීම. ඔවුන් උදේ පාන්දර ඉදලා තේ දලු නෙලන්න එනවා. ඒ එනකොට ඔවුන් අතර බල්ලෝ ගැවසෙනවා. 

නල්ලතන්නි ප්‍රදේශයේ දිවියෝ ඉන්නවා. දිවි පවුලේ සාමාජිකයින් වන කොළ දිවියා හා හදුන් දිවියා බහුලවම ඉන්නවා. බළල් දිවියන් අඩුයි.

මේ දිවියන්ගේ ප්‍රධාන ආහාරය බල්ලන් කියලා දැනගන්නට ලැබුණා.  මේ හේතුව නිසා ඒ පැත්තේ ප්‍රජාව දිවියන් නොරුස්සන ස්වභාවයක් තිබුණා. බල්ලන් නිසා විවිධ අවස්ථාවල ප්‍රජාව දිවියන් එක්ක ගැටුණු අවස්ථා තිබුණා. විශේෂයෙන් ම බල්ලන් බේරාගන්න යනකොට දිවියන් මිනිසුන්ට ද පහරදීම් කරපු අවස්ථාවන් ගණනාවක් තිබුණා. 

අපි මිනිසුන්ව දැනුවත් කළා දිවියන්ගේ වටිනාකම, ඔවුන්ගෙන් බේරෙන්නේ කොහොම ද යන කාරණාසම්බන්ධයෙන්.  ටික දිනක් යනකොට අපිට දැනගන්නට ලැබුණා මේ ප්‍රදේශයේ අතිශය දුර්ලභ කළු කොටියෙක් ඉන්නවා කියලා. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය අවධානයෙන් සිටියා. දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය ද  මේ සම්බන්ධයෙන් කටයුතු කළා.

උඩවලව පශු වෛද්‍ය ඒකකයේ නාලක මැදිහත්ව කටයුතු කළා. මේ දිවියාගේ සමීප ඡායාරූප කැමරාවල සටහන් වුණා. 

මිනිස්සු දිවියන් අල්ලන්න මදු ගහනවා. අපි ඒවා ඉවත් කරනවා . නැවත දැනුවත් කරනවා. 

අවාසනාවකට මගේ 2019 අවුරුද්දේ අන්තිම වෙනකොට ලංකාවට කොවිඩ් වසංගතයට මුහුණ දෙනවා. මේ නිසා අපිට වෙනදා වගේ දැනුවත් කිරීම් කරන්න නිරතුරුව මිනිස්සු එක්ක රැදෙන්න තියෙන අවස්ථාව අඩුවුණා. නමුත් මිනිස්සු තේ දලු නෙලීම දිගටම කරගෙන ගියා. ගම්මානවල වගා කිරීම් ද කෙරුවා. මේ අතරේ වගා ආරක්ෂා කර ගන්නයි බල්ලො ආරක්ෂා කර ගන්නයි මදු ගහන්න පෙළඹිලා තියෙනවා. තවත් හේතුවක් තමයි දැනුවත් කිරීම් නොලැබුණු මිනිසුන් මේ කටයුතු වල යෙදී තිබුණා. මදු ගහන එක අපේ අධීක්ෂණයෙන් ක්ෂණිකව ගිලිහුණා. 

2020 අවුරුද්දේ මැයි 20 වෙනි දා කලු කොටියා මද්දකට අසුවෙනවා පෙ.ව9.45 වෙනකොට. අපිට තොරතුරු ඉක්මනින් ලැබුණා. දිවියා අහුවෙලා පැය භාගයක් යන්න කලින් අපි එතනට යන්න පුළුවන් වුණා.

ඒක ඉතාම කණගාටුදායක දර්ශනයක්. සතාගේ බෙල්ලට මද්ද වැටිලා සතා ගොරවමින් දගලනවා. එහෙට මෙහෙට පනිනවා. මිනිස්සු වටවෙලා කෑ කෝ ගහනවා. අපි ගියපු ගමන් මිනිස්සු ඉවත් කරලා සතාට ඉන්න පුළුවන් වාතාවරණයක් හැදුවා.

ඒත් එක්කම පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය මාලකයි පශු වෛද්‍ය අකලංක පිනිදියයි සහයකයොත් එක්ක එතනට ආවා. සමනල අඩවියේ අඩවි ආරක්ෂක පියසිංහ මහතාත් ආවා.සතා නිර්වින්දනය නොකර ගන්න විදියක් තිබුණේ නෑ. පශු වෛද්‍යවරු සතා නිර්වින්දනය කරලා මද්ද ඉවත් කළා. අපි සතා පෙට්ටියකට දා ගත්තා. මේ වෙලාව වනවිට හවස 1.30 විතර වුණා. 

සතා නල්ලතන්නි කාර්යාලයට යාබදව පහළ භූමියේ තියාගෙන ප්‍රතිකාර කළා. කාර්යාලය පිහිටා තිබුණේ කන්ද උඩ නිසා එතනට සතා ගෙනියන්න අමාරුයි. රාත්‍රි නවය විතර වෙනකොට සතා ප්‍රකෘති තත්වයට පත්වුණා. 

වැඩිදුර පරීක්ෂණ සදහා සතාව උඩවලව පශු වෛද්‍ය ඒකකය වෙත ගෙනයන්නට තීරණය වුණා. එතනදී දිගටම ප්‍රතිකාර කළා. සතාත් ප්‍රකෘති තත්වයෙන් සිටියා. නමුත් එහෙම හිටියේ දවස් හතරයි. අපේ දුර්ලභ කලු දිවියා ජීවිතක්ෂයට පත්වුණා. මද්දට අසුවුණ වෙලාවේ අභ්‍යන්තර ලේ ගැලීම් සිදු වී තිබීම මරණයට හේතුවයි.

මෙම කලු දිවියන් 1815දී රාජසිංහ රජ්ජුරුවන්ගේ සුරතල් සතුන් සමග සිටි බව වාර්තා වෙලා තිබෙනවා. ඉන්පසු වරින්වර ඔවුන් නිරීක්ෂණය වෙලා තිබුණත් මිනිසුන් සමග දින කිහිපයක් හෝ ගත කළේ මෙම කලු දිවියා පමණකි. 

අපට කලු දිවියාට මද්ද ගහපු පුද්ගලයාව අල්ලා ගන්නට පුළුවන් වුණා. ඔහුට විරුද්ධව නඩුවක් ද අපි ගොනු කළා. නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. 

මෙම කලු දිවියා ගැන විශේෂ අවධානයක් යොමුකරලා තිබුණත් අවසාන මොහොතේ අපේ ළගට ගන්නට හැකිවෙලත් ජීවිතය බේරා ගන්නට බැරි වුණා. මද්දේ සතා වේදනාවෙන් බයවෙලා දගලපු හැටි මතක් වෙද්දි මට විශාල වේදනාවක් දැනෙනවා. කලු දිවියාගේ සිද්ධිය මගේ ජීවිතයට හානිකර සිද්ධියක් නොවුණත් මගේ රාජකාරී ජීවිතය කළඹවපු සිදුවීමක් කියල කියන්න පුළුවන්.

ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා

 

ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා 2003.06.02 දින ආධුනික වන සත්ව නියාමක වරයෙකු වශයෙන් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා පත්කෙරිනි. යාල ජාතික උද්‍යානයට රැකියාව සඳහා  වාර්තා කල ඔහු 2008 වසර දක්වා එහි සේවය කළේය. ගම්පහ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ හා යාල ජාතික උද්‍යානයේ නැවත සේවයෙන් පසුව ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා2014 වසරේ දී මොරගොල්ල ජාතික වන උද්‍යානයේ අඩවි සහකාරවරයෙකු ලෙස සේවයට වාර්තා කළේය.

ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා 2017 වර්ෂයේ නල්ලතන්නි අඩවි ආරක්ෂක  වරයෙකු ලෙස උසස්වීම් ලබා එහි සේවයට පැමිණියේය. ඔහු වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ  ත්‍රෛමාසික නේවාසික පුහුණුව ද, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වනජීවී කළමනාකරණ පාඨමාලාව ද හදාරා ඇත. එමෙන්ම බෙලිහුල්ඔය විශ්ව විද්‍යාලයේ භූ දර්ශන තල පිළිබඳ ඩිප්ලෝමාවක් ද, සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාපාඨමාලාවක් ද හදාරා අවසන් කර ඇත.

ඔහු පුතණුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකි. ඔහුගේ බිරිඳ චාරිකා තෙන්නකෝන් මහත්මිය සංවර්ධන නිලධාරි වරියක වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නොරුව ජාතික සම්පත් මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන්නීය. ඔවුන් දැනට පදිංචිව සිටිනුයේ H 129, මාවැල, හිඳුල යන ලිපිනයේ

සමනල සොබාව රක්ෂිතය

“කිරිකෝඩුත් වන්දවන්න. අපේ බුදුන් අපි වඳින්න. පෙරළි පෙරළි අපි වඳින්න”කියමින් යන සැදැහැති පිරිස බුදුන්වහන්සේගේ වම් සිරිපතුල වැඳ පුදාගැනීමට සමන්ගිර තරණය කරති. අසිරිමත් සූර්ය උදාව දැක ගැනීමටත්, කඳුකර සොබාසිරිය දැක බලා ගැනීමටත් විදේශිකයෝද වැඩිවශයෙන් සිරිපා ගිර තරණය කරති. ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුවවිසින් ඒ අනුව සමනළ අඩවිය රක්ෂිතය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ 1988 දී සිංහරාජ රක්ෂිත වනාන්තරය නම් කිරීමෙන් අනතුරුව, වර්ෂ 22 කින්පසුව ප්‍රකාශයට පත් කල ප්‍රථම ලෝක උරුමයයි.

                                                                                                                       සමනළ සොබාව රක්ෂිතය

සමනළ සොබාව රක්ෂිතය හෙක්ටෙයාර් 22,380ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර මෙය1940 ඔක්තෝබර්25දින  ඉංග්‍රිසි රජය විසින් අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. පසු­කා­ලී­නව එම අභ­ය­භූ­මි­යෙහි වැද­ග­ත්කම හේතු­වෙන් සම­නල අඩ­වි අභ­ය­භූ­මි­යෙන් තෝරා­ගත් හෙක්‌ට­යාර් 12979 (අක්‌කර 32448) ක්‌ වර්ෂ 2007 දී සංර­ක්‍ෂිත අවශ්‍ය­තාව සලකා ස්‌වභාව රක්‍ෂි­ත­ය­ක්‌ ­බ­වට ප්‍රකා­ශ­යට පත් කර තිබේ.ඒ අනුව පූජ­නීය ස්ථාන­යක් ලෙස දෙස් විදෙස් වන්ද­නා­ක­රු­වන්ගේ වන්ද­නා­මා­න­යට පත්වන සිරිපා කඳු මුදුන හා ශ්‍රීපාද පද්මය පිහිටි මළුව (උස මීටර් 2243/අඩි 7360)ද, ශ්‍රී පාද (සම­නල කන්ද) කන්දේ බැති­ම­තුන්ට වෙන්වූ මාර්ග පද්ධ­ති­යද යනාදී පොදු ස්ථාන­යන් අයත් වන්නේ සම­නල අඩ­විය අභ­ය­භූ­මි­යට ය.

ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්ද  වන කේතු හැඩැති “සමනල කන්ද” රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටිසිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ඉතිහාසයකට නෑකම් කියන පූජනීය ස්ථානයකි.

සිරිපාද කදු පන්තිය මුළුමනින්ම සමනල සොබාව රක්ෂිතයට අයත් වන අතර  එහි නැගෙ­න­හිර මායිම  මධ්‍යම කඳු­ක­රයේ පිදු­රු­ත­ලා­ගල කඳු පන්තියේ හෝට­න්තැන්න ජාතික උද්‍යා­නය දක්‌වා සම්බ­න්ධ වේ. මෙම ස්වභාව රක්ෂි­තය සබරග­මුව හා මධ්‍යම පළාත් දෙකට ගැනෙන අතර නුව­ර­එ­ළිය ,කෑගල්ල හා රත්න­පුර දිස්‌ත්‍රි­ක්‌ක­වලට  අයත් වේ. අඹගමුව, දැර­ණි­ය­ගල, රත්න­පුර,ඉඹුල්පෙ, බලංගොඩ සහ කුරු­විටප්‍රාදේ­ශීය ලේකම් කොට්‌ඨාස රක්‍ෂි­තයට අය­ත්වන බල ප්‍රදේශ වේ. නුව­ර­එ­ළිය දිස්‌ත්‍රි­ක්‌ක­යට හෙක්‌ට­යාර් 4897 (අක්‌කර 12243) ක්‌ද, රත්නපුර දිස්‌ත්‍රි­ක්‌ක­යට හෙක්‌ට­යාර් 17483 (අක්‌කර 43707) ක්‌ද රක්‍ෂි­ත­යෙන් අය­ත්වන අතර කෑගල්ල දිස්‌ත්‍රි­ක්‌ ­මායිම්යම් දුරක් ඉක්ම­ව­මින් රක්‍ෂි­තය විහිද ඇති බව 1:50000 සිති­යම්  පරී­ක්ෂා­වෙන් හඳු­නා­ගත හැකිය.

කඳු­කර වනා­න්තර ගණ­යට ගැනෙන වන­ග­හ­න­ය­කින් පෝෂිත සම­නල අඩ­විය අති­ශය සංවේදී ජල­පෝ­ෂිත ඉහළ ජලා­ධාර ප්‍රදේ­ශ­ය­ක්‌ වේ. මෙම වන­ගො­මු­වෙන් කළු, වලවේ, කැලණි යන ගංගා ත්‍රිත්ව­යම සෘජු­වම උපත ලබන අතර එම ගංගා හා සම්බ­න්ධ­වන කුඩා දිය කඳුරු 295ක් සම­නොළ අඩ­වියේ උල්පත් වලින් ජීවය ලබයි.මෝහිනී ඇල්ල, ලක්ෂ­පාන, යකා ඇඬූ ඇල්ල, මාප­නාන ඇල්ල, මරේ ඇල්ල, ගාට්මෝර් ඇල්ල, දීයන් ඇල්ල, අලු­පොළ ඇල්ල ආදී දිය ඇලි සිරිපා අඩ­වියේ විවිධ ස්ථාන­ය­න්ගෙන් පහ­ළට කඩා හැළෙන දියදහරාවෝය.

වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ පවතිනසමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය මිලිමීටර් 5000 ක් වන අතර  නිරිතදිග මෝසම පවතින මැයි – ජුනි – ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය  ලැබේ. දෙසැම්බර් – ජනවාරි – පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩු බැවින් කාලගුණික බාධාද මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ සමනල අඩවියට දක්නට ලැබෙනඅතර මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි – ජුනි – ජූලි සමයේදී අංශක 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.

තෙත් කලාපීය කඳුකර පරිසර පද්ධතියට අයත් මෙම සිරිපා සමනොල රක්ෂිත සීමාවේ විශේෂිත වූ වෘක්ෂලතාද රැසක්ම පවතී.උඩ­වැ­ඩියා විශේෂ හා දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළාව මත හරිත ඇල්ගී විශේෂ මෙන්ම දුර්ලභ ඖෂධ ශාක රැස­ක්‌ ­ර­ක්‍ෂි­තය තුළින් වාර්තා­වන අතර මෙම ශාක සමුහය වනා­න්ත­ර­යට අලං­කා­ර­ය­ක්‌ ­එ­ක්‌ කර දෙයි.

කුරුළු කූඩු මීවණ
ඉරු රාජ
මහ හැඩයා
නා විශේෂ
බිම් උඩවැඩියා

සම­නල විශේෂ රැස­ක්‌ ­මෙම වන­ගො­මුවේ ගැව­සිම සම­නල අඩ­වි­යට ඒ නම ලැබී­මට හේතුවී ඇතැයි සිතිය හැකි අතර ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමනලුන් දැකගත හැකි නිසා බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවත්ය. මහ කුරුලු පිය පැපිලියා,  ඉන්දියානු රතු අද්මිරාල්   ආදි සමනලුන් මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සමුහයන්ට මෙය සුරක්ෂිත අභය භූමියක් වුවත් ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය උද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකිද නොවේ. මෙහි දි  බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

සම­නල අඩ­වි­යෙන් වාර්තා­වන සුවි­ශේ­ෂීම සත්ව කොට්‌ඨා­සය කුරු­ල්ලන්ය.මෙහි පක්ෂීන් විශේෂ 160ක් වාර්තා වී ඇති අතර  ලංකාවට ආවේණික පක්ෂීන් 34 න් 25ක්ම සමනොල සිරිපා ඉමේදී හඳුනාගෙන තිබේ.  වන­බද කුරු­ල්ලන්ගේ වැද­ගත් විවි­ධ­ත්ව­ය­ක්‌ ­මෙහි පෙන්නු­ම්ක­රන අතර ශ්‍රී ලංකා­වට ආවේණික වූ කුරු­ල්ලන්, නේවාසික කුරු­ල්ලන් හා පර්ය­ට­නික කුරු­ල්ලන්ද ඒ අතර වේ. පීත­කන් කොණ්‌ඩයා, සිතැ­සියා, ගිරා­ම­ලිත්තා, අළු­ගි­රවා ඒ අත­රින් සුළ­භව දැක­ගත හැකි කුරු­ල්ලන්ය. එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චායන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.

කළුකුස්සා
කැහිබෙල්ලා
ටිකල්නිල්මැසිමරා
මූකලන් කොට්ටෝරුවා

ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර වල වෙසෙන අලි ප්‍රමාණය සීමිත වන අතර එයින් අලි10 – 11ක් පමණ  සමනොල අඩවියේ සැරිසරතැයි සැළකේ.  තෙත් කලා­පයේ දිවි­ගෙ­වන අව­සන් අලි ගහ­න­යට අයත් එක්‌ ­කො­ට­ස­ක්‌ ­සිං­හ­රාජ වනා­න්ත­රය අවට දිවි­ගෙ­වන අතර ඉතිරි කොටස දැක­ගත හැක්‌කේ සම­නල අඩ­වි­යෙනි.  වල් ඌරන්ද සිරිපා ඉමේ සුලබ තවත් වන සිව්පාවකු  නමුත්සිරිපා කරුණා කරන ඉමේදී දැකගැනීමට අපහසු කොටියා,හඳුන් දිවියා, දඬු ලේනා, ගෝනා, රිලවා, මුගටියා, වල් බළලා,කොළ දිවියා වැනි ක්ෂීරපායින් රැසක්ද  දිවි ගෙවති.

තෙත් කඳු­කර කලා­පීය සුවි­ශේෂ වූ උභ­ය­ජීවී හා උරග විවි­ධ­ත්ව­ය­ක්ද‌ ­ස­ම­නල අඩ­වි­යේන් නිරි­ක්‍ෂ­ණය කළ හැකි අතර උභය ජීවී විශේෂ 21 ක්‌ හා උරග විශේෂ 38 පමණ මෙහි වාර්තාවේ. බ්ලයිත්ගේ පෘථිවි සර්පයා,ලේමැඩිල්ලා,දල­ව­මැ­ඩිල්ලා,රළු­අං­ක­ටුස්‌සා,කඟ­මුව අංක­ටුස්‌සා, පලා කටුස්‌සා, ගරා­ක­ටුස්‌සා, කර­මල් බෝදිලිමාමේ උර­ගුන් අතර ප්‍රමුඛය.

රළුඅංකටුස්සා

සම­නල අඩ­වි­යෙන් හමු­වන මත්ස්‍ය විශේෂ අතරආවේණික වූ ලේ තිත්තයා, බුල­ත්හ­පයාආදි තර්ජ­න­යට ලක්‌වූ විශේ­ෂද සුල­බව දැකිය හැකි මෙවන් මහගු පාරිසරික  සම්පත් සුරකීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ සංරක්ෂණ ක්‍රියාදාමයන් සිදුකරනු ලබයි.

අතීතයේදී අසල වනයෙන්ම ලබාගත් දර මගින් කෑම කඩවල ඉවුම් පිහුම් කටයුතු සිදු වූ අතර අද වනවිට වනජීවි සංරක්ෂණ අංශවල මැදිහත් වීම මත දර භාවිතය සෑහෙන දුරට අඩු වී තිබේ. ශීත ගඟුලෙන් උඩ කොටසේ කඩවල ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ගෑස් පමණි. එය අදාළ අංශවලින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක වැඩපිළිවෙලක ප්‍රතිඵලයකි.තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්සමනළ ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වීමඑහි ශාක සහ සත්ව ප්‍රජාවට හානි කිරිම , පරිසර පද්ධතිය දුෂණය කිරිම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝධි ක්‍රියාවක්ය.

වතු වගා­වත් සමඟ හෙළි පෙහෙළි වී ගිය කඳු­ක­රයේ බොහෝ බිම් අතර නොඉ­ඳුල්ව ආරක්ෂා වන්නට සිරිපා වන ගොමු­වට හැකි­යාව ලැබිණි.අතී­තය කෙත­රම් සුන්දර වුවද සිරිපා අඩ­වියේ අනා­ග­තය අවි­නි­ශ්චි­තය. ලෝක සංර­ක්‍ෂණ සංග­මය (IUCN) කළ සමී­ක්‍ෂ­ණ­ව­ලට අනුව ශ‍්‍රීපාද අඩි­වියේ සිදු­වන පරි­සර දූෂ­ණය නිසා ඉතා දුර්ලභ ශාක සහ සත්ව විශේෂ ගණ­නා­වක්ම වඳවී යාමේ තර්ජ­න­යට මුහුණ පා සිටිති. ලංකා­වට ආවේ­ණික පක්ෂි විශේෂ 14 ක්ද ඒ අතර සිටින බව (IUCN) වාර්තා­වල දැක්වේ.

එබැවින් සුවිශේෂි ජෛව විවිධත්වයකින් සමන්විත මෙවැනි  පරිසර පද්ධතිය සංරක්ෂණය කිරිමේ කාර්යය මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරමින් සිටින අතර මෙවන් වු පරිසර පද්ධතින් අනාගත පරම්පරාව සදහා දයාද කිරිමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇපකැප වී සිටි.

         

සමනල සොබාව රක්ෂිතය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

ஆசிய யானை

Asian elephant

Elephas maximus

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

හඳුන් දිවියා

மீன்பிடிப் பூனை

Fishing Cat

Prionailurus viverrinus

වල් ඌරා       

காட்டுப் பன்றி

Wild Boar

Sus scrofa

දඬු ලේනා

பழுப்பு மலை அணில்

Grizzled giant Squirrel

Ratufa macroura

ගෝනා

மரை

Sambar

Rusa unicolor

රිලවා

செங்குரங்கு

Toque Macaque

Macaca sinica

වල්බළලා

காட்டுப்பூனை

Jungle cat

Felis chaus

කොළදිවියා

துரும்பன் பூனை

Rusty- spotted cat

Felis rubginosa

ශ්‍රී ලංකා අළු වඳුරා

இலங்கை சாம்பற் குரங்கு

Common langur

Semnopithecus entellus

මුගටියා

இந்திய சாம்பல் கீரிப்பிள்ளை

Common Mongoose

Herpestes edwardsii

පීත­කන්කොණ්‌ඩයා

மஞ்சள் காதுள்ள புல்புல்

Srilanka yelloweared Balbul

Pycnonotus penicillatus

සිතැ­සියා

இலங்கை வெள்ளைக் கண்

Sri Lanka White eye

Zosterops ceylonensis

ගිරා­ම­ලිත්තා

இலங்கை தொங்கும் கிளி

Sri Lanka Hanging parrot

Loriculus beryllinus

අළු­ගි­රවා

லேயார்டின் கிளி

Emerald collared parakeet

Psittacula calthropae

රතුදෙමළිච්චා

ஆரஞ்சு படியாக வாயாடி

Oranger-billed Babbler

Turdoides rufescens

මහ කවුඩා

துடுப்பு வால் கரிச்சான்

Greater racked tailed drongo

Dicrurus paradiseus

කළුකුස්සා

கருங்கழுகு

Black eagle

Ictinaetus malaiensis

කැහිබෙල්ලා

இலங்கை நீலச் செவ்வலகன்

Blue magpie

Urocissa ornata

ටිකල් නිල් මැසිමරා

செம்மஞ்சள் மார்பக ப்ளைகேச்சர்

Orange breasted flycatcher

Cyornis tickelliae

මූකලන් කොට්ටෝරුවා

மஞ்சள் நிற பர்பர்ட்

Yellow fronted barbet

Megalaima flavifrons

මහ කුරුලු පිය පැපිලියා

இலங்கை அழகி

Sri lanka birdwing

Troides darsius

ඉන්දියානු රතු අද්මිරාල්  

இந்திய சிவப்பு அட்மிரல்

Indian red admiral

Vanessa indica

රළු­අං­ක­ටුස්‌සා

இலங்கை கருங்காலி பல்லி

Sri Lankan Kangaroo lizard 

Otocryptis wiegmanni

කඟ­මුව අංක­ටුස්‌සා

முரட்டு மூக்கு கொம்புப் பல்லி

Rough horn lizard 

Ceratophora aspera

පලා කටුස්‌සා

பொதுவான பச்சை வனப் பல்லி

Green Garden Lizard

Calotes calotes

ගරා­ක­ටුස්‌සා

பொதுவான தோட்டப்பல்லி

Common Garden Lizard

Calotes versicolor 

කර­මල් බෝදි­ලිමා

ஹம்ப்மூக்குப்பல்லி

Hump norsed Lizard

Lyiocephalus scutatus

බ්ලයිත්ගේ පෘථිවි සර්පයා

பிளைத் பூமிப் பாம்பு

Blythearth snake

Rhinophis blythii

ලේමැ­ඩිල්ලා

பாயின் கரடுமுரடான பாம்பு

Boie’s rough-sided snake

Aspidura brachyorrhos

දල­ව­මැ­ඩිල්ලා

தலவமெடில்லா

common roughside

Aspidura trachyprocta

ලේ තිත්තයා 

லே தித்தயா

Cherry Barb

Puntius titteya

බුල­ත්හ­පයා

புலத்ஹபயா

Black ruby barb

Puntius nigrofasciatus 

සමනල සොබාව රක්ෂිතය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

උඩ­වැ­ඩියා විශේෂ

ஓக்கிட் வகைகள்

Orchid species

 

ඇල්ගී විශේෂ

பாசி வகைகள்

Algae species

 

බිම් උඩ­වැ­ඩියා

தரை ஓக்கிட்

Ground orckid

Spathoglottis plicata

ඉරු රාජ

இரு ராஜ

Iru raja

Zeuxine regia

මහ හැඩයා

மஹ ஹெடயா

Mahahadaya

Hupergia phlegmaria

නා විශේෂ

நாக வகை

Mesuwa spp.na

 

කුරුළු කූඩු මීවණ

குருவிக்கூடு கலன்றாவரம்

Bird nest fern

Asplenium nidus

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව           

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව