简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 13 – රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය

Content Image

හෙළට ලිස්සුවා

මගේ නම ඩබ්ලිව්.එම්.කේ.එන්. චන්ද්‍රරත්න. දැනට පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. මම කතා කරන සිද්ධිය 2006, රිටිගල දැඩිසොබාව රක්ෂිතයේ සිදුවුන දෙයක්. රිටිගල දැඩිසොබාව රක්ෂිතය පිහිටලා තියෙන්නේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ කලාපය තුල.රිටිගල දැඩිසොබාව රක්ෂිතය සුවිශේෂී පරිසර පද්ධතියක් විදිහට සලකන්නේ. පරිසර පද්ධති කීපයක එකතුවක්. පහලම ප්‍රදේශයේ තියෙන්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරය. මැද ප්‍රදේශයේ තෙත් වනාන්තර පද්ධතිය. ඉහළම මීදුම් ගහණ ප්‍රදේශයක්. කඳුකර වනාන්තර පද්ධතියට සමානයි. හෝර්ටන් තැන්නේ හම්බවෙන “මහල්ලාගේරැවුල”කියන ලයිකන විශේෂයත්, කුරුශාකත් මෙම ප්‍රදේශයේ දකින්න ලැබෙනවා.

2006 වසරේදී අපි නිළධාරී කණ්ඩායමක් කන්ද උඩට නැග්ගා. අපිට යන්න ඕනෑවුණේ වේවැල්තැන්න කියන ප්‍රදේශයට. ඉංග්‍රීසි ආණ්ඩුකාලේ අනුරාධපුර හිටපු දිසාපතිවරයාගේ නිලනිවස වේවැල්තැන්නේ තිබුණුබව අපි දැනහිටියා. පිටත් වෙන කොට වේලාව උදේ දහයහමාර විතර වුණා.

අපි පරිසර පද්ධති පහුකරගෙන ගිහින් කොඩිගලකන්දට නැග්ගා. කොඩිගලකන්ද කළුගලක්. එතන මුදුනේ තියෙනවා ත්‍රීකෝණමිතික ලක්ෂයක්. මිනින්දෝරු දෙපාර්තමේන්තුව එතන සලකුණු කරලා කොඩියක් ගහල තිබිලා තියෙනවා. අපේ කණ්ඩායමට මමයි, සුනිල් කියන අඩවිසහකාරවරයායි, අටලුගම, වාසල ,තෙන්නකෝන් කියන නියාමකවරු තිදෙනායි හිටියා.

කොස්ගලකන්ද උඩට නැග්ගම අනුරාධපුරේ රුවන්වැලිසෑය චෛත්‍යයේ කොත පේනවා. විරුද්ධ පැත්තට සීගිරිය. තව පැත්තක හුරුළුවැව. අනිත් පැත්තේ කලාවැව. හරිම ලස්සන තැනක්. හවස් වෙන කොට අව්ව අඩුවෙලා ගිහින් මීදුම එනවා. සීතල සුළං වදිනවා.

අපි මෙහෙම ගමන් යන කොට දවල්ට කෑම, වතුර අරගෙන යනවා. මෙතන නම් හැමතැනම වතුරතිබුණා. දියකඳුරු වගේ.මල්වතුඔය පටන් ගන්නෙ මේ රිටිගලින්. අපි කොස්ගලකන්දෙන් බැහැලා වේවැල්තැන්න හොයාගෙන ගියා.වේවැල්තැන්න හමුවුණේ නෑ. දැන් වේලාව හවස පහමාරට විතරවුණා .කළුවර වැටීගෙන එනවා. සීතලයි. අපි ඉක්මනින් පහළට බහින්න වුණා.

හැමතැනම කොළරොඩු වැටිල, යටවතුර. එකතැනක සෑහෙන ලොකුබෑවුමක් තිබුණා. කොළරොඩු  ගොඩක් උඩින් කකුල තිබ්බ විතරයි. කකුල ලිස්සුවා. මාව ලිස්සගන පහළට යද්දි තෙන්නකෝන් ආවා මගේ උදව්වට. එයත් ලිස්සුවා.ඉස්සරහ ලොකු වැලක් තිබුණා. මම ඒකෙ එල්ලුනා. තෙන්නකෝනුත් ඒකෙ එල්ලුනා. ඒත් නැවතුනේ නෑ. දිගටම ලිස්සාගන ගියා. අපි වැලේ එල්ලීගෙනෙම ඉදිරියට ඇදුනා. අන්තිමට යන්තම් පොළවට නොවැටී බේරෙන්න පුළුවන් වුනා.

ඒ වෙලාවේ අතඇරුණානම් අඩුම තරමේ අතක් කකුලක්වත් කැඩෙනවා. වාසනාවට අත ඇරුණේනෑ. ගල් මුල්වල හැප්පෙමින් රූටලා පහලට ආවා. අපි එදා රෑවෙද්දි ආපහු ආවා.

පස්සේ දවසක අපේ කට්ටිය ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක පරිසර පද්ධති සිතියම්ගත කරන වෙලාවේ වේවැල්තැන්න බංගලාව තිබුණු ස්ථානය හමුවුණා. එතැන තිබුණේ තිරුවාණාගල් අත්තිවාරම විතරයි. බංගලාවේ ඉඳලා ගනේවැල්ල ටවුම පැත්තට බහින්න පුළුවන්. පාර තියෙන්න ඇත්තේ එතැනින්.

ඩබ්ලිව්.එම්.කේ.එන්. චන්ද්‍රරත්න මහතා

1998.11.09 වැනි දින 1 වන ශ්‍රේණියේ අඩවි ආරක්ෂක නිලධාරියකු ලෙස දීප ව්‍යාප්ත තරඟයක ප්‍රතිඵල මත වනජීවි දෙපාර්තමේන්තුවට තේරී පත්වුන චන්ද්‍රරත්න මහතාගේ පළමු සේවය විල්පත්තු ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස ඇරඹිනි.

2003 ජනවාරි මාසයේ කවුඩුල්ල ජාතික උද්‍යානයේ පළමුවන උද්‍යාන භාරකරු ලෙසද සේවය කරන අතරතුර 2003 වසරේ අගෝස්තු මස ඉන්දියානු පශ්චාත් උපාධි පාඨමාලාව හැදැරීම සඳහා විදේශගත වන්න සිදුවිනි. නැවත 2004 වසරේ ජූනි මස ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ප්‍රධාන කාර්යාලයේ අලි සංරක්ෂණ අංශයේ පළමු ශ්‍රේණියේ අඩවි ආරක්ෂකවරයෙකු ලෙස මාස 3 ක් සේවය කලේය.

2009 ජනවාරි 1 වෙනිදා සිට ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ සේවය කළ චන්ද්‍රරත්න මහතා 2015.11.09 වැනි දින කලාප සහකාර අධ්‍යක්ෂවරයා ලෙස පුත්තලම කලාප කාර්යාලයට උසස්වීමක් ලද්දේය. මෙය 2012.01.01 දින සිට කලාප සහකාර අධ්‍යක්ෂවරයාගේ රාජකාරි ආවරණය කිරීම ස්ථිර කරමින් ලද උසස්වීමකි. 2020 ජනවාරි මස සිට ඔහු පොළොන්නරුව  කලාප සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරනු ලබයි.

චන්ද්‍රරත්න මහතා තම කණිෂ්ඨ අධ්‍යාපනය කුලියාපිටිය අස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලයෙන් ද ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ද ලබා ගත්තේය. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වන විද්‍යා හා පරිසර කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධි ලබාගෙන ඇත. දෙපාර්තමේන්තුව විසින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා දීමට කටයුතු කරන ඩිප්ලෝමාව ඇතුළුඩිප්ලෝමාසහතික පත්‍ර පාඨමාලා කිහිපයක් ද ඔහු විසින් හදාරා ඇත.

චන්ද්‍රරත්න මහතාගේ බිරිඳ කුලියාපිටිය රෝමානු කතෝලික විදුහලේ ගුරුවරියකි. පුතණුවන් දෙදෙනා තවම පාසල් වයසේ. ඔහුගේ ලිපිනය රත්නපාය, ජයසිරි පෙදෙස, උඩුබද්දාව වේ.

රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය

මහා වැව්දාගැබ් සිය ගණනක් ඉදිවූ රජ රට, වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර  අතරින් රිටිගල වන පියසට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.උතුරු මැද  තැනිතලාවේ අනුරාධපුරය සහ පොලොන්නරුව යන පැරණි නගර දෙක අතර පිහිටා  ඇති රිටිගල කන්ද, පලුගස් වැව ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටත් මායිම් වේ.රිටිගල ස්වභාව රක්ෂිතය ශ්‍රී ලංකාවේ දැඩි ස්වභාවික රක්ෂිත තුනෙන් එකක් වන අතර  මෙම ප්‍රදේශය ප්‍රධාන වශයෙන් දැඩි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පර්යේෂණ අරමුණු සඳහා,සංරක්ෂණය සඳහා සහ ආරක්ෂා කිරීම සඳහාය. එවැනි ප්‍රදේශ වල මූලික අරමුණ වන්නේ විද්‍යාත්මක කටයුතු සහ පාරිසරික නිරීක්ෂණ සදහා අත්‍යවශ්‍ය විමර්ශන ප්‍රදේශ ලෙස ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමයි.

                                                            රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය

1941 නොවැම්බර් 7 වන දින වර්ග කි.මී.5.29ක භූමි ප්‍රමාණයක් (හෙක්ටයාර් 1528) දැඩි රක්ෂිතයක් ලෙස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ රිටිගලභූමිය ප්‍රකාශයට පත් කර ඇත.දැඩි රක්ෂිතයක් සංචාරක පහසුකම් හෝ කිසිඳු මිනිස් ක්‍රියාකාරකමකට අවසර නොලැබෙන වනජීවීන්ගේ හා ස්වභාවික පරිසර පද්ධතිවල පැවැත්ම සඳහා පමණක්ම සම්පූර්ණයෙන්ම වෙන්වු ජාතික රක්ෂිතයකි.වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ අවසරය මත විද්‍යාත්මක පර්යේෂණපමණක් දැඩි ස්වභාවික රක්ෂිතයක් තුළ සිදු කිරීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු මැද වියළි කලාපයේ පිහිටි මෙම සුවිශේෂී ස්ථානය, දිවයිනේ මානව ඉතිහාසය සමඟ බොහෝ කලක සිට සම්බන්ධ වී ඇති බැවින්,එහි බොහෝ ඉතිහාසවෘතාන්තද වේ. දැනට අවුරුදු 2434 ක් පමණ දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල මෙරට ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවැතුණි. ඔහු සිය මාමාවරුන් සමග කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම භුමිය වේ . ඈත අතීතයේ  පණ්ඩුකාභය,සූරතිස්ස,ලජ්ජාතිස්ස ආදී රජවරුන් යුධමය කටයුතු සඳහාද රුකවරණය සඳහාද රිටිගල යොදාගත් බව ප්‍රසිද්ධය. නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වුයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ ,වෙස්සගිරිය යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමිවේ. මෙරට සෙල්ලිපි අධ්‍යයනයේදි ප්‍රමුඛයකු වු සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය රිටිගල කෙරෙහි යොමු වීමත් සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැඩි වන්නට විය.රිටිගල හමුවු ශිලා ලේඛන 152ක්,ගල් ලෙන් 74ක් සහ පුරාවිද්‍යා  ගොඩනැගිලි 140කින්  පොහොසත් වු මෙම සංස්කෘතික උරුමයන් තුළ පැරණි ආයුර්වේද රෝහලක නටබුන්ද,සක්මන් මලු,ශීත කුටීර  ආදි නෂ්ඨාවශේෂ අදටත් ඉතිරිව පවති. 

                                                                                                          රිටිගල ඉපැරණි සංස්කෘතික උරුමයන්

මෙම කඳුවැටිය වනාන්තර වර්ග තුනකින් සමන්විත වේ . කඳු පන්තියේ පහළ කොටස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වර්ගයකි, පරාසයේ මැද කොටස නිවර්තන කදුකර වනාන්තර වර්ගය සහ ඉහළ කඳුකර වනාන්තර වර්ගයට අයත් උසම භූමි ප්‍රදේශය වේ. වසර මිලියන 2000ක කාලයක් තිස්සේ දේශගුණික විපර්යාසයන්ට භාජනය වීමෙන් රිටිගල කන්ද නිර්මාණය වී ඇත.අවට පිහිටි භූමිය ඛාදනය වී තැනිතලාවක් බවට පත්වුණද රිටිගල එසේ නොවුයේ එය ඛාදන ක්‍රියාවලියට ඔරොත්තු දෙන දැඩි පාෂාණ වන ක්වාර්ට්සයිට්, සහ කිරිගරුඬ පාෂාණ වලින් නිර්මාණය වී තිබු හෙයිනි.

දේශගුණිකව මේ කන්ද වියළි කලාපයේ පහත් තැනිතලාවේ පිහිටා ඇත. එසේවුවත් රිටිගල එයටම ආවේණිකවූ දේශගුණික විපර්යාසයන්ගෙන් සමන්විතය. අවට තැනිතලාවේ දැඩි උෂ්ණ දේශගුණයක් පැවැතියද රිටිගල කන්දේ දැඩි සිසිල් දේශගුණයක් පවති. රිටිගලට ඊසාන දිග හා නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාපතනය ලැබේ.වාර්ෂික වර්ෂාපතනය මි.මී 1482ක පමණ වන අතර, ඔක්තෝම්බර් නොවැම්බර් සමයේ මේ ප්‍රදේශයට ඉතා තෙත් දේශගුණයක්ද ජූනි-සැප්තැම්බර් කාලයේ දැඩි වියළි දේශගුණයක්ද සාමාන්‍යයෙන් පවතී. සාමාන්‍ය උෂ්ණත්වය 28 0C කි.

ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණයෙන් 0.0237%ක ප්‍රතිශතයක් තුළ ව්‍යාප්තවී ඇති මෙම භූමි ප්‍රමාණයේ ශාක විශේෂ 10% ක් වාර්තා වන අතර  එය විශේෂතා අනුව  418ක් පමණ වන අතර මින් ශ්‍රී ලංකාවට ආවේණික වූ විශේෂ 54ක් පමණ වේ.  මේ පුංචි කන්ද සතුව පවතින්නේලෝකයේ කිසිම රටක බිම් කඩක් සතුව නොපවතිනශාක ප්‍රභේද සහ සත්ත්ව විශේෂ සම්භවය කිරීමට හැකියාව ඇති පාරිසරික ගුණයකි. රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරිම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටි ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. එසේම පලු,වීර,අන්නාසි,දෙහි,දොඩම් වැනි නොයෙකුත් පළතුරු මෙන්මරිටිගල පුරා ඉරරාජ,සඳරාජ, බිම් කොහොඹ වැනි දුර්ලභ ගණයේ බෙහෙත් පැළැටිද  ඇති බව පැවැසේ.

පක්ෂි විශේෂ 100ක් පමණ ජීවත් වන මෙම වනරොදේ ලංකාවට ආවේණික වළිකුකුලා,හබන් කුකුළා,මල් කොට්ටෝරුවා,අලු කෑදැත්තා,වත නිල් මල් කොහා,  කළු හිසැති කොණ්ඩයා,ලංකා සැළලිහිණියා,පොරෝ කෑදැත්තා,තිප්පි තිරාසිකයාවැනි පක්ෂීන්දැකිය හැක.

එසේම ක්ෂීරපායි විශේෂ ලෙස අලියා, වලසා,කොටියා,වල්ඌරා, තිත් මුවා, වැලි මුවා,ගෝනා,ඉත්තෑවා, අළු වදුරා, රිලවා,හිවලා, උනහපුළුවා,  හඳුන් දිවියා, කොළ දිවියාමෙන්ම තවත් බෝහෝ වන සතුන් මෙහි නිවහන කර ගෙන ජීවත් වේ.

තවද වර්ණවත් සමනල විශේෂ 50ක්,මත්ස්‍ය විශේෂ 20ක්, උරග විශේෂ 16 ක් සහ ගොළුබෙල්ලන් විශේෂ 16ක් පමණ වාර්තා වීද ඇත.

රිටිගල යනු ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ අනුරාධපුරයට ආසන්න කඳුවැටියකි. එය අනුරාධපුරයේ සිට කිලෝමීටර් 42ක් පමණ දුරින් පිහිටා ඇති අතර මරදන්කඩවල පසුකර අනුරාධපුර-හබරණ අධිවේගී මාර්ගය ඔස්සේ ගනේවල්පොලින් හැරී ළඟා විය හැකිය.දඹුල්ලේ සිට රිටිගලට කි.මී.28ක් හා අනුරාධපුර සිට කි.මී. 37ක් දුර වේ. ගනේවල්පොල අසලින් ඇතුලට හැරුන විට පුරාවිද්‍යා ස්ථාන පිවිසුමට ඇති දුර කිලෝමීටර් 9ක් පමණ වේ. රිටිගල දැඩි රක්ෂිතයට පිවිසෙන පහසුම මාර්ගය වැටි ඇත්තේ බන්දාපොකුණ අසලිනි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය සහ දකුණු ඉන්දියාවේ කඳුකරය අතර පිහිටි උසම කන්ද වශයෙන්  වැදගත් වන රිටිගල කන්ද දැඩි නීති රීති යටතේ සංරක්ෂණයට සහ කළමණාකරණයට පත් වෙමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකවරණය යටතේ පවතී.

සම­නල අඩ­වි­යෙන් හමු­වන මත්ස්‍ය විශේෂ අතරආවේණික වූ ලේ තිත්තයා, බුල­ත්හ­පයාආදි තර්ජ­න­යට ලක්‌වූ විශේ­ෂද සුල­බව දැකිය හැකි මෙවන් මහගු පාරිසරික  සම්පත් සුරකීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ සංරක්ෂණ ක්‍රියාදාමයන් සිදුකරනු ලබයි.

අතීතයේදී අසල වනයෙන්ම ලබාගත් දර මගින් කෑම කඩවල ඉවුම් පිහුම් කටයුතු සිදු වූ අතර අද වනවිට වනජීවි සංරක්ෂණ අංශවල මැදිහත් වීම මත දර භාවිතය සෑහෙන දුරට අඩු වී තිබේ. ශීත ගඟුලෙන් උඩ කොටසේ කඩවල ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ගෑස් පමණි. එය අදාළ අංශවලින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක වැඩපිළිවෙලක ප්‍රතිඵලයකි.තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්සමනළ ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වීමඑහි ශාක සහ සත්ව ප්‍රජාවට හානි කිරිම , පරිසර පද්ධතිය දුෂණය කිරිම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝධි ක්‍රියාවක්ය.

වතු වගා­වත් සමඟ හෙළි පෙහෙළි වී ගිය කඳු­ක­රයේ බොහෝ බිම් අතර නොඉ­ඳුල්ව ආරක්ෂා වන්නට සිරිපා වන ගොමු­වට හැකි­යාව ලැබිණි.අතී­තය කෙත­රම් සුන්දර වුවද සිරිපා අඩ­වියේ අනා­ග­තය අවි­නි­ශ්චි­තය. ලෝක සංර­ක්‍ෂණ සංග­මය (IUCN) කළ සමී­ක්‍ෂ­ණ­ව­ලට අනුව ශ‍්‍රීපාද අඩි­වියේ සිදු­වන පරි­සර දූෂ­ණය නිසා ඉතා දුර්ලභ ශාක සහ සත්ව විශේෂ ගණ­නා­වක්ම වඳවී යාමේ තර්ජ­න­යට මුහුණ පා සිටිති. ලංකා­වට ආවේ­ණික පක්ෂි විශේෂ 14 ක්ද ඒ අතර සිටින බව (IUCN) වාර්තා­වල දැක්වේ.

එබැවින් සුවිශේෂි ජෛව විවිධත්වයකින් සමන්විත මෙවැනි  පරිසර පද්ධතිය සංරක්ෂණය කිරිමේ කාර්යය මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරමින් සිටින අතර මෙවන් වු පරිසර පද්ධතින් අනාගත පරම්පරාව සදහා දයාද කිරිමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇපකැප වී සිටි.

උපුටා ගැනීම්-

වනජීවී සඟරාව 2011

වාරණ සඟරාව

දියදම සඟරාව 2000

Wikipedia

         

රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific name

අලියා

ஆசிய யானை

Asian elephant

Elephas maximus

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

වලහා

தேன் கரடி

Sloth bear

Ursus ursinus

වල් ඌරා

காட்டுப் பன்றி

Wild Boar

Sus scrofa

තිත් මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

වැලි මුවා

கேளையாடு

Barking Deer

Muntiacus muntijak

ගෝනා

மரை

Sambar

Rusa unicolor

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

අළු වදුරා

சாம்பல் முகக் குரங்கு

Common langur

Semnopithecus entellus

රිලවා

செங்குரங்கு

Toque Macaque

Macaca sinica

හිවලා

நரி

Golden jackal

Canis aureus

උනහපුළුවා

தேவாங்கு

Gray Slender Loris

Loris lydekkerrianus

හඳුන් දිවියා

மீன்பிடிப் பூனை

Fishing Cat

Prionailurus viverrinus

කොළ දිවියා

துரும்பன் பூனை

Rusty- spotted cat

Prionailurus rubiginosus

වලි කුකුළා

இலங்கைக் காட்டுக் கோழி

Sri lanka junglefowl

Gallus lafayettii

හබන් කුකුළා

சின்னக் காட்டுக்கோழி

sri lanka Spurfowl

Galloperdix bicalcarata

මල් කොට්ටෝරුවා

சின்ன குக்குறுவான்

Crimson-Fronted Barbet

Psilopogon rubricapillus

අළු කෑදැත්තා

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Sri lanka Grey Hornbill

Ocyceros  gingalensis

 

වත නිල් මල්

කොහා

நீல முகச் செண்பகம்

Blue – faced malkoha

Phaenicophaeus viridirostris

ලංකා සැළලිහිණියා

இலங்கை மைனா

Sri Lanka  Myna

Gracula ptilogenys

 

පොරෝ කෑදැත්තා

மலபார் கறுப்பு வெள்ளை இருவாய்ச்சி

Malabar pied horn bill

Anthracoceros coronatus

තිප්පි තිරාසිකයා

புள்ளிச் சிறகுகள் கொண்ட த்ரஷ்

Sri Lanka Spot-Winged Thrush

Geokichla spiloptera

රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

Palu

Manilkara hexandra

වීර

வீரை

Hedge Box wood

Drypetes sepiaria

ඉරුරාජ

இருராஜ

Iru raja

Zeuxine regia

සඳරාජ

சந்த ராஜ

Sanda raja

Fittonia verschaffeltii

බිම්කොහොඹ

நிலவேம்பு

Bimkohomba

Munronia pinnata

අන්නාසි

அன்னாசி

pineapple

Ananas comosus

දෙහි

எலுமிச்சை

Lime

Citrus species

දොඩම්

–       හීන් නාරං

–       ඇඹුල් දොඩම්

தோடை

– சிறு தோடை

-புளி தோடை

Orange

-Heennaran

– Ambuldodan

 

Citrus crenatifolia

Citrus guramtium

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව         

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (කථාව)- දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව