简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 14 – ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය

Content Image

යන්තම් පණ බේරුණා

මම වනජිවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුනේ 1999 අවුරුද්දෙදි. හෝර්ටන් තැන්නේ පොඩි කාලයක් සේවය කරලා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට රාජකාරි සඳහා ගියා. ඒ වෙනකොට මට රාජකාරි ජීවිතයේ ලොකු අත්දැකීම් තිබුණෙත් නෑ. ලුණුගම්වෙහෙරට ගියේ 2002 අවුරුද්දෙදී.

ලුණුගම්වෙහෙරට යාබදව යාල ජාතික උද්‍යානයත් අනෙක් පැත්තෙන් උඩවලව ජාතික උද්‍යානයත් තියෙනවා. මේ උද්‍යාන දෙකේම ගොඩක් අලි ඇතුන් ඉන්නවා. ඒ නිසා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ නිතරම අලි ඇතුන් ගැවසෙනවා.

වනජිවී අපේ කාර්ය භාරයක් සතුන්ගේ ආහාර, ජලය, ලවණ අවශ්‍යතා සපුරා ගන්න උදව් කරන එක. මේ අලින්ගේ ලවණ අවශ්‍යතාවය සපයන්න අපි වැඩ කලා. වලවල් කපලා හම්බන්තොට ලුණු ලේවායෙන් ලුණු ගෙනත් පුරවලා ලුණු නිධි හැදුවා. මේ එක වලක් සාමාන්‍යයෙන් අඩි 4 x අඩි 4 x අඩි 4  ප්‍රමාණයේයි.  ලුණු නිධි වලින් අලින් ප්‍රයෝජන ගන්නවාද කියල, පසු විපරම් කරල, බලන්න ඕනෑ. අපි නිතරම ඒ කාර්යය කරනවා.

දවසක් මම බොල්හිඳගල කියන ප්‍රදේශයේ මුර සංචාරයකට ගියා. අපේ කට්ටියත් එක්ක  වාහනයකින්. ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ඇතුළු වෙන්නේ තණමල්විල කලු පාලම තියන තැනින්. එදා මුර සංචාරය කරලා ආපසු කාර්යාලයට එන ගමන් ඒ කිට්ටුව තිබුණු ලුණු නිධි කීපයක් බලන්න හිතුනා. වාහනය නතර කරන් ඉන්න කියලා මම බැහැලා ගියා ලුණු නිධි තියෙන තැනට.

මේ ලුණු නිධි තිබුණේ මම බැහැපු තැන ඉදලා මීටර 20 ක විතර දුරින්. මුලින්ම තියෙන්නේ ගස් අඩු පිට්ටනිය වගේ ප්‍රදේශය. ඊලඟට ලුණු නිධි. ඊට පස්සේ කැලෑව.

මම බැලුවා ලුණු නිධි සත්තු කාලා තියෙනවද කියලා. එතන වන අලින්ගේ වසුරු තිබුණා. අලි ඇතුන් ලුණු නිධි පාවිච්චි කරා කියලා හොදින්ම පෙනුනා. මම ලුණු නිධි පරීක්ෂා කර කර හිටියා.

එකපාරටම ශබ්දයක් ඇහිලා බලනකොට මගේ ලඟ විශාල අලියෙක්. උගේ ශබ්දයෙන් මම ඒ පැත්ත බැලුවේ. අපි දෙන්නා අතර දුර අඩි 5 ක් විතර ඇති. මගේ ඇගේ ලොමු දැහැ ගැනුනා. උගුර කට වේලී ගියා. මරණ භය දැනුනා. ඊළඟ මොහොතේ මම ක්‍රියාත්මක කරපු රොබෝ කෙනෙක් වගේ වේගයෙන් අනිත් පැත්ත හැරිලා දුවන්න ගත්තා. මගෙ කකුල් වලට පුදුම පණක් ආවේ. මම වාහනය නතර කරපු පැත්තටම හැල්මේ දිව්වා. අලියා මගේ පස්සෙන් ලඟ ලඟම එනවා මට දැනුනා.

අපේ කට්ටිය වාහනයේ දොරක් ඇරගෙන අලියට කෑගැහුවා. ඒ ශබ්දයට අලියාගේ සැර බාල උනා. මට වාහනයට නැග ගන්න පුළුවන් වුනා. ඒත් එක්කම අපි වාහනය වේගයෙන් ඉදිරියට ගෙනිච්චා.

එදා මම ඉගෙන ගත්තා වනාන්තරේ යනකොට සතුන් පිළිබඳ හොඳ අවබෝධයෙන් යන්න ඕනෑ කියන එක. ඒ සිද්ධිය මාගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වුනා.

ඒ දැනුන ජීවිත භය මට අද වගේ මතකයි. 

ආර්. පී. එස්. උඩුපෝරුව මහතා

 

ආර්. පී. එස්. උඩුපෝරුව මහතා වනසත්ව අඩවි ආරක්ෂකවරයකු වශයෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ රැකියාවට පැමිණියේ 1999 වසරේ ජුනි 01 වැනිදාය.

තම වසර 22 ක් පමණ වන සේවා කාලය තුල ඔහු හෝර්ටන් තැන්න හා විල්පත්තු ජාතික උද්‍යාන වලදී, මුතුරාජවෙල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමි වලද සේවය කර මේ වනවිට අංගම්මැඬිල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස සේවය කරයි.

උඩුපෝරුව මහතා අඩවි ආරක්ෂකවරුන් සඳහා වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන වනජිවී කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලව හදාරා ඇත.

උඩුපෝරුව මහතාගේ දයාබර බිරිඳ ගුරුවරියක වන අතර ඇය අරණායක රීසද ජාතික පාසැලේ සේවය කරනු ලබන්නීය. ඔහු ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන් පදිංචිව සිටිනු ලබන්නේ මාවනැල්ල ප්‍රදේශයේය.

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය

අප රටේ පළාත් නාමකරණයට අනුව ජෛව විවිධත්වයෙන් සුවිශේෂී වු  ඌව පළාතේ පිහිටා ඇති අමිල වනපෙතක් වන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය,තණමල්විල,වැල්ලවාය,කතරගම සහ බුත්තල මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ ලුණුගම්වෙහෙර හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත්ව පිහිටා ඇත. මෙම ජාතික උද්‍යානය පක්ෂීන් හා අලි ඇතුන් සඳහා වැදගත් වාස භූමියක් වේ.යාල සිට උඩවලව ජාතික උද්‍යානයට සංක්‍රමණය වනඅලි ඇතුන්ට කොරිඩෝවක් ලෙසද ක්‍රියා කරන මෙය වන අලි ඇතුන්ගේ ආරක්ෂාව සඳහා හෙක්ටයාර්23,498කවපසරියකින් යුතු ව1995 දෙසැම්බර් 08 වන දින ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ලෙස ස්ථාපිත කරන ලදී .

ජාතික උද්‍යානය කොළඹ සිට නිරිත දෙසින් 261 km දුරින් පිහිටි ලුණුගම්වෙහෙර ශ්‍රීලංකාවේ වියළි කලාපයේ පිහිටා ඇති වාර්ෂික නියඟයට නිරාවරණය වු උද්‍යානයකි. උද්‍යානයේ උන්නතාංශය මීටර් 91 (අඩි 299) කි. මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 14 ක්, එනම් හෙක්ටයාර 3283 ක් ජලාශය යටතේ ඇති ඉඩම් වන අතර උද්‍යානයේ සැලකිය යුතු ප්‍රදේශයක් ලුණුගම්වෙහෙර ජලාශය විසින් අත්පත් කරගෙනද ඇත. ලුණුගම්වෙහෙර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 30 °C (86 °F) වන අතර මේ අනුව උද්‍යානයේ සම්පූර්ණ වියළි ප්‍රදේශය හෙක්ටයාර 20,156.8 කි. මෘදු රැළි රහිත තැනිතලා සහ පාෂාණ තට්ටුවලින් ආධිපත්‍යය දරන මෙම වියළි කලාපීය උද්‍යානය වාර්ෂික නියඟයකට මුහුණ දෙයි.

ඉතිහාසය හා බැදුණු වැදගත්කමක් ඇති බව නීලගිරි චෛත්‍යය හා සුන්බුන් වූ විහාරයක නටබුන්ද හමු වීමෙන් පෙනී යයි. එසේම විහාරමහා දේවිය විවාහ වූස්ථානය යැයි සැලකෙන මගුල් මහා විහාරයද ඒ ආසන්නයේ පවතියි.එම විහාරය තුළ ඉඳිකරන ලද මඟුල් පෝරුවක නටබුන් හා ආසියාව තුළ මෙතෙක් හමු වී ඇති ඇත් ගොව්වන් සතර දෙනෙකුගෙන් යුක්ත එකම සඳකඩපහන අදටද ඔබට නැරඹිමට හැකියාව ඇත.

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය වනාන්තර ස්ථර කිහිපයකින් යුක්ත  වේ. ලඳු කැලෑ සහ තෘණ බිම් වලින් මෙම වනාන්තර සෑදී ඇත. තේක්ක සහ යුකැලිප්ටස් වගාවන් දැන් වනාන්තරයේ බහුලව දක්නට ලැබේ. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් සහිත උද්‍යානය ප්‍රධාන වශයෙන් වීර,පලු, කුණුමැල්ල, උල්කෙන්ද, කැප්පෙට්ටියා,කෝන්මෙන්මතේක්ක සහ යුකැලිප්ටස්  වගාවන් ඇතුළු විශාල තණබිම්වන මයුර තණ,ඉලුක්, ගිණියාතණ, හීන්තඹල ආදී තෘණ බිම් සහ ලඳු කැලෑ වලින් සමන්විත වන අතර ජාතික උද්‍යානයේ වෘක්ෂලතාවන්ගේ මෙවැනි විවිධත්වය නිසා මෙහි ජීවත් වන සතුන්ට ආහාර, සෙවණ හා රුකවරණය නොවඩුව ලැබේ.

මෙම ප්‍රදේශයේ පාරිසරික තත්ත්වයට ඔරොත්තු දෙන කුඩා කුහුඹුවාගේ පටන් ගොඩබිම් විසල් අලි ඇත් පරපුර දක්වා වු සත්ත්ව නියෝජනයක් දැක ගතහැකිය. අපා,දෙපා,සිව්පා සහ බහුපාධාරි වනදරැවන්ගේ ක්‍රියාකාරකම් වලින් සපිරි  මෙහිමත්ස්‍ය විශේෂ 21ක්, උභයජීවීන්විශේෂ12ක්, උරගවිශේෂ 33ක්, පක්ෂීන් විශේෂ 183ක් සහ ක්ෂීරපායින් විශේෂ 43ක් දැකගත හැක.

ජෛව විවිධත්වයෙන් පොහොසත් මෙම උද්‍යානයේ ශ්‍රී ලංකාවේ අලි,මී හරකා, වල් ඌරා,මුගටියා, දඬු ලේනා, වලසුන්,ගරා කටුස්සා,තොල විසිතුරු කටුස්සා,තාරකා ඉබ්බන්, පිඹුරා ආදි  ජීවී විශාල සංඛ්‍යාවකට හිතකර වාසස්ථානයක් වේ. ලාහුගල ආසනනයේ අලින්ගේ ප්‍රියතම ආහාරයක වු බෙරු තණ බිම්පැවතීම හේතුවෙන් අලින් නිතර එහි සැරිසරනු දැක ගත හැක. මෙම ප්‍රදේශය අලින්ගේ ආහාර ගබඩාව ලෙසින්ද හඳුන්වයි.

දිවියා
තිත් මුවා

ලුණුගම්වෙහෙර ජලාශය සහ උද්‍යානයේ අනෙකුත් ජල කඳන් දහස් ගණනක් ජල කුරුල්ලන්ගේ නිවහන වේ. ආවේණික සහ සංක්‍රමණික විශේෂ 200කට ආසන්න ප්‍රමාණයකගේ අභිජනන භූමියක් බවට පත් වී  ඇත. මෙහි දක්නට ලැබෙන පක්ෂි විශේෂ අතර වළි කුකුලා, වන සැරටිත්තා,වත නිල් මල් කොහා, ලංකා දුඹුරු දෙමලිච්චා, පැස්තුඩුවන්, අළුකෑදැත්තාආදී පක්ෂීන් වේ. ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ශ්‍රීලංකාවේ විවිධ පක්ෂීන් සඳහා නිවහනක් වන බැවින් කුරුල්ලන් නැරඹීමට ප්‍රියතාවයක් දක්වන්නන් සඳහා වඩාත් සුදුසු උද්‍යානයක් වේ.

රෑන කාවා
පොරෝ කෑදැත්තා

උද්‍යානයේ මූලස්ථාන කාර්යාලය වෙත පිවිසිය හැකි ප්‍රධාන මාර්ග දෙක ලෙස කොළඹ සිට රත්නපුර හරහා උඩවලව, තණමල්විල හරහා ලුණුගම්වෙහෙරට ආසන්න වශයෙන් 231km වන අතර කොළඹ සිට හම්බන්තොට හරහා තිස්සමහාරාම, තණමල්විල සිට ලුණුගම්වෙහෙරට ආසන්න වශයෙන් 265km වේ. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලුණුගම්වෙහෙර කොළඹ සිට කිලෝමීටර් 261 ක් දුරින් පිහිටා ඇති අතර දකුණු පළාතේ තිස්සමහාරාමය හරහා හෝ සබරගමුව පළාතේ කලවාන හරහා ප්‍රවේශ විය හැකිය.

වියළි කලාපීය වනාන්තරයක් වන උද්‍යානය සෑම වසරකම නොවැම්බර් සහ ජනවාරි අතර වර්ෂාවත් සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක 30කට ආසන්න උෂ්ණත්වයක් වාර්තා කරන බැවින් උද්‍යානය වසර පුරා නැරඹීමට උද්‍යානයට පිවිසුම් ස්ථාන දෙකක් ඇත. ලුණුගම්වෙහෙර යනු සංචාරකයින් අඩු ජාතික උද්‍යානයක් වන බැවින් ඔබට සාමකාමීව වනසිරිය රසවිඳීමට උද්‍යානයට පිවිසීමට හම්බන්තොට – වැල්ලවාය මාර්ගයේ තණමල්විල අසලින් එක් පිවිසුමක් පිහිටා ඇති අතර අනෙක් පිවිසුම සෙල්ල කතරගම – බුත්තල පාරේ ගල්ගේ දෙසින් පිහිටා ඇත. බොහෝ දෙනා මෙම ජාතික උද්‍යානයට වඩා මේ ආසන්නයේ පිහිටි යාල ජාතික උද්‍යානයට වැඩි ප්‍රියතාවයක් දක්වන බැවින් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය පිවිසුමෙහි ඉතා අඩු වාහන තදබදයක් දැකිය හැකි වුවද මෙම ජාතික උද්‍යානයද වන සතුන් ගහණ සංචාරයට සුදුසු ප්‍රදේශයකි.

නව පිවිසුම

උපුටාගැනීම්

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන (පී.ඇම්.සේනාරත්න)

ශ්‍රී ලංකාවේ වනාන්තර,වනෝද්‍යාන සහ වන ආරක්ෂක නීති(පීරිස් රණසිංහ)

Wildlife tour srilanka

Wikipedia

ecoteam

reddottours

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific name

අලියා

ஆசிய யானை

Asian elephant

Elephas maximus

දිවියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

වලහා

தேன் கரடி

Sloth bear

Ursus ursinus

වල් ඌරා

காட்டுப் பன்றி

Wild Boar

Sus scrofa

තිත් මුවා 

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

මී හරකා 

எருமை

Water buffalo

Bubalus bubalis

මුගටියා

இந்திய சாம்பல் கீரிப்பிள்ளை

Common Mongoose

Herpestes edwardsi

දඬු ලේනා 

பழுப்பு மலை அணில்

Giant squirrel

Ratufa macroura

ගරා කටුස්සා

பொதுவான தோட்டப்பல்லி

Common agamid Lizard

Calotes versicolor

තොල විසිතුරු කටුස්සා

சிவப்பு உதட்டுப் பல்லி

Red lipped lizard

Calotes ceylonensis

තාරකා ඉබ්බන්நட்சத்திர ஆமைகள்Star tortoiseTestudo elegans

පිඹුරා

மலைப்பாம்பு

Python

Python molurus

වලි කුකුළා

இலங்கைக் காட்டுக் கோழி

Sri lankajunglefowl

Gallus lafayettii

වන සැරටිත්තා

சிலோன் வுட்ஷ்ரைக்

Sri Lanka Woodshrike

Tephrodornis affinis

ලංකා දුඹුරු දෙමලිච්චා

பழுப்பு நிற மூடிய புழுணி

Sri Lanka Brown capped Babbler

Pellorneum fuscocapillus

අළු කෑදැත්තාஇலங்கை சாம்பல் இருவாய்ச்சிSri lanka Grey HornbillOcyceros gingalensis

වත නිල් මල් කොහා

நீல முகச் செண்பகம்

Blue – faced malkoha

Phaenicophaeus viridirostis

පැස්තුඩුවන්

சாம்பல் கூழைக்கடா

Spot-Billed pelican

Pelecanus philippensis

පොරෝ කෑදැත්තා

மலபார் கறுப்பு வெள்ளை இருவாய்ச்சி

Malabar pied horn bill

Anthracoceros coronatus

රෑන කාවා

இந்திய நெடுங்கிளாத்தி

Indian darter

Anhinga melanogaster

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

Palu

Manilkara hexandra

වීර

வீரை

Hedge Box wood

Drypetes sepiaria

කුණුමැල්ල

கரிமரம்

Kunumella

Diospyros ovalifolia

උල්කෙන්ද

உழுவிந்தை

Ulkenda

Polyalthia korinti

කැප්පෙට්ටියා

தெப்பாடி

Kappetiya

Croton lacciferus

කෝන්

பூக்கம்

Kon

Schleichera oleosa

තේක්ක

தேக்கு

Teak

Tectona grandis

යුකැලිප්ටස්யூக்கலிப்டஸ்Eucalyptus species 

මයුරතණ

மயுரபுல்

Mayaurathana

Chloris montana

ඉලුක්இலுக்IllukImperata cylindrical

ගිණියාතණ

கினியாபுல்

Guinea tana

Panicum maximum

හීන්තඹල

குரங்குவெற்றிலை

Hinthambala

Carmona microphylla

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව         

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව