简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 16 – උඩවලව ඇත් අතුරු සෙවණ

Content Image

ඒ දසුන සතුටක්

මට උඩවලව ඇත් අතුරු සෙවණට ආවේ 1999දී .එයට පෙර ඇත් අතුරු සෙවණ භාරව හිටපු පශු වෛද්‍ය විජිත මහතා නිවාඩු යන විට වරින් වර ඒ වෙනුවට ඇත් අතුරු සෙවණේ සේවය කරපු අත්දැකීම් මට තිබුණා. වනඅලින්ටත් මිනිස්සුන්ටත් එකට ඉන්න බෑ කියලා විද්‍යාත්මක මතයක් තියෙනවා. නමුත් අපි ඈත අතීතයේ ඉදලා පරිසරයත් එක්ක එකට හිටපු මානව පරපුරක් නිසා ඇත් අතුරු සෙවණේ අලියි මිනිස්සුයි එකට ඉන්නවා.

මම ඇත් අතුරු සෙවණේ සේවයට ආවේ ඉතාම කැමැත්තෙන්. ඇත්තටම කුඩා දූපතක වැඩිවන ජනගහනයක් එක්ක අලි සංරක්ෂණය කරන එක ලේසි කටයුත්තක් නෙවෙයි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අලි මිනිස් ගැටුම උග්‍ර වෙනකොට අලි එලවන මෙහෙයුම් කරලා අලි නැවත වනයට එලවලා දැමීම හරි නිර්වින්දනය කරලා කැලෑවකට ගිහින් දාන එක හරි. මෙහෙම කරන කොට සමහර වෙලාවට පැටවු අතරමං වෙනවා. මෙ පැටවුන්ව නිසි විදියට සංරක්ෂණය කරන්නයි 1995 වර්ෂයේදී  උඩවලව ඇත් අතුරු සෙවණ හදලා තියෙන්නේ.

1997 වර්ෂයේදී මෙහෙම මෙහෙයුමක් තිබිලා තියෙනවා හඳපානගල ඉදලා යාල වනෝද්‍යානයට අලින් පලවා හරින්න. මේ මෙහෙයුම ඉවර වෙන වෙලාවේ තමන්ගේ මී හරක් රංචුව එකක් හිටපු ඇතින්න පැටවෙකු ගැන ῾මද්දා᾿ කියන මීහරක් ගම්භාරයා වනජීවී නියාමක එල්.බී.අනුර මහත්තයාට දන්වලා තියෙනවා. ඒ අනුව අඩවි ආරක්ෂක මන්සූර් මහතා, වනජීවී අඩවි සහකාර දිසානායක මහතා, නියාමකවරුන් වන එල්.බී.අනුර හා කරුණාසේන සමරනායක මහතුන් හා රියදුරු කමල් ජස්මින් මහතා එතනට ගිහින් වනජීවී දෙපාර්තමේන්තුවට අයිති ජේ 44 ජීප් රථයක දමා ගෙන මේ ඇතින්න පැටවා ඇත් අතුරු සෙවණට ගෙනත් තියෙනවා. හඳපානගලින් හමුවන නිසා ඇයට ῾සඳමාලි᾽ කියලා නම දාලා තියෙනවා.

සඳමාලි ඇතුළු අලි කණ්ඩායම මට මුලින්ම හමුවුණේ මම ඇත් අතුරු සෙවණේ සේවයට ආවාට පස්සේ. සඳමාලි තමන්ට බාල අලි පැටවුන්ට හරි ආදරෙයි. ඇය මවු අහිමි ඒ පැටවුන්ට පෙන්නුවේ සැබෑ සෙනෙහෙසක්. කුඩාම අලි පැටවුන් සඳමාලි ළඟ රැදිලා ඇගේ කන් පෙත්ත උරමින් ඇය අසල රැදී සිටීම සුලභ දසුනක් වුණා. ඇය එම පැටවුන්ට මවක් නැත්නම් වැඩිමහල් සහෝදරියක් වගේ වුණා.

අපි කුඩා පැටවුන්ට ප්‍රතිකාර කරන්න යන කොට ඉස්සල්ලාම කරන්න වෙන්නේ සඳමාලිව ඈතට එලවන එක. සඳමාලි ශබ්ද ඇසෙන මානයෙන් ඈතට එලවන්න ඕනැ. නැතිනම් ප්‍රතිකාර ලබන පැටියාට වේදනාවක් දැනිලා කුංචනාදයක් කළොත් සඳමාලි දුවගෙන එනවා. ඇය විරැද්ධත්වය ප්‍රකාශ කරන්නේ ῾ගුරු ගුරු᾽ නාදයකින්. ඇය පැටවාව බඩ යටට ගන්න තැත් කරනවා. සඳමාලි ඇත්තටම කණ්ඩායමේ නායිකාව වගේ ඇයගේ යහළුවා වන සම වයසේ මත්තලී අලි පැටවාත් සමඟ අලි පැටවුන් කණ්ඩායම ඇත් අතුරු සෙවණ වැව් පිටිය පුරා රැගෙන ගියා.

ඇත් අතුරු වෙණේ සිටින අලි පැටවුන් වසර කිහිපයකට වරක් වනයට මුදා හරිනවා. 2000 වසරේ ජූලි මාසයේදී ඒ කාලයේ වනජීවී අධ්‍යක්ෂක ඒ.පී.ඒ. ගුණසේකර මහතා හා ඇත් අතුරු සෙවණේ නිර්මාතෘවරයා වන පශු වෛද්‍ය අංශප්‍රධානී නන්දන අතපත්තු මහතා මූලිකත්වය ලබා දෙමින ඇත් අතුරු සෙවණේ ඉන්න අලි පැටවුන් කණ්ඩායම උඩවලව බොරලුවැව ප්‍රදේශයේදී මුදා හැරියා. මේ කණ්ඩායමේ සඳමාලි, මත්තලී, කොමලි, එමලි කියන ඇතින්න පැටවුනුත් ඉසුරු කියන පිරිමි අලි පැටවාත් සිටියා. එතනදී සඳමාලි, කොමලි හා ඉසුරු කියන පැටවුන්ට අපි රේඩියෝ කරපටි දැම්මා. ඒ ඔවුන් සොයා ගන්න පහසු වෙන්න. මෙහෙම නිදහස් වුණාම අලි පැටවුන් අනිත් අලි රංචු සමඟ එකතු වෙනවා. මෙහෙම අලි රංචු එක්ක එකතු වෙනකොට සඳමාලිගේ හා මත්තලීගේ නායකත්ව ලකුණුත් ඔවුන් දෙදෙනා අතර තිබෙන බැඳීමත් හොඳට පෙනුණා.

ගොඩක් වෙලාවට අලි රංචුවල සිටින ගැහුණු සතුන් පිටතින්එන සාමාජිකයන් රුස්සන්නේ නෑ. තමන්ගේ කණ්ඩායමේ පැටවුන්ට හිරිහැරයක් සිද්ධ වෙනවානම් සඳමාලි පෙරට එනවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. අපේ පසු විපරම අඛණ්ඩව සිදු කළා. අපි දුටුවා සඳමාලි ඇතුළු කණ්ඩායම උඩවලව ජාතික උද්‍යානයේ වනඅලින් සමඟ හොඳින් මිශ්‍ර වෙන ආකාරය. කොමලි හැරෙන්න අනිත් අය හිටියේ එකම කණ්ඩායමකට එකතු වෙලා. අලි පැටවුන් කණ්ඩායම මුදා හැරලා අවුරුදු 03ක් ගියාට පස්සේ අපි අලින්ගේ රේඩියෝ කරපටි ඉවත් කළා. නමුත් සඳමාලි ඇතුළු කණ්ඩායම ඉන්න ප්‍රදේශය තහවුරු කර ගෙන තිබුණු නිසා අපිට ඔවුන් සොයා ගැනීම අපහසු වුණේ නැහැ.

සඳමාලිට වයස අවුරුදු 13ක් වනවිට ඇය ගැබ්බර වෙලා කියලා අපි දුටුවා. වයස අඩු නිසා අපිට එය කුතුහලයක් වුණා. නමුත් 2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ උදෑසන උඩවලව ජාතික උද්‍යානයේ තේක්ක වැටට ඔබ්බෙන් වුණ තේක්ක මානා පඳුරුයායේ සඳමාලි ඇතුළු කණ්ඩායම අපිට නිරීක්ෂණය වුණා.

ඔවුන්ට තවත් ලංවන විට අපි දුටුවේ පුංචි අලි පැටවෙක් සඳමාලිගෙන් කිරි උරමින් ඉන්නවා. ඒ අසලින් ඇගේ මිතුරිය මත්තලීද උන්නා. විනාඩි 15ක පමණ කාලයක් මානා පඳුරු අතරින් ඔවුන් නොපෙනී යන තෙක් අපි බලා සිටියා.

ඒ දසුන අපිව උද්දාමයට පත්කළා. අපේ කැමරා සඳමාලි ඇතුළු කණ්ඩායමේ පින්තූරවලින් පිරී ගියා. ඒ මගේ වනජීවී සංරක්ෂණ කාලය තුළ දුටුසුවිශේෂීම තෘප්තිමත්ම දසුනයි.

ආචාර්ය සුහද ජයවර්ධන

 

ආචාර්ය සුහද ජයවර්ධන 1999 සිට ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී පශු වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. ඔහු 1997 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් BVScඋපාධිය ලබා ඇති අතර 2004 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මත්ස්‍ය හා වනජීවී කළමනාකරණය පිළිබඳ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

හෙතෙම  දශකයකට ආසන්න කාලයක් උඩවලව අලි සංක්‍රමණ නිවාසය භාර නිලධාරියා ලෙස සේවය කර ඇති අතර දිවයිනේ දකුණු, නැගෙනහිර සහ උතුරු-නැගෙනහිර වනජීවී කලාපයන්හි සේවය කර ඇත. 2004 වර්ෂයේදී ඔහු ටැන්සානියාවේ සහ කෙන්යාවේ Mwekaවනජීවී විද්‍යාලයේ වනජීවී රෝග නිරීක්ෂණ සහ ස්ථානීය බැහැරකරණ වැඩසටහනට සහභාගී විය.

ඔහු ජාතික සහ ජාත්‍යන්තර පර්යේෂණ වැඩමුළු සඳහා  වන අනාථ අලි කළමනාකරණය සහ වෙනත් වනජීවී පුනරුත්ථාපනකාර්යයයන් පිළිබඳ පර්යේෂණ ප්‍රකාශන කිහිපයක් ඇත. ශ්‍රී ලංකාවේ අනාථ අලි ඇතුන් නැවත වනයට හුරුකිරීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක්  වනජීවීන් සාර්ථක ලෙස පුනරුත්ථාපනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සංසදයක් වන “Back to Wild” හි ප්‍රකාශයට පත් කරන ලදී.

2013 දී ඔහු තෙත් කලාපීය විශේෂ පුනරුත්ථාපන සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර 2016 වර්ෂයේදී UNDP, SGP සහ දේශීය රාජ්‍ය නොවන සංවිධානවන OARM සහ CES හි සහයෝගය ඇතිව අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටුවන ලදී. දැනට ශ්‍රී ලංකාවේ වැඩිම වනජීවී හානි සංඛ්‍යාවක්‍ වෙනුවෙන්  සේවය සලසන බෙල්ලන්විල-අත්තිඩිය අභයභූමියේ වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන්නේ ආචාර්ය ජයවර්ධනවේ.

ආචාර්ය සුහද ජයවර්ධන මහතා   විවාහ වී සිටින්නේ චාමනී කුමාරසිංහ මහත්මිය සමඟ වන අතර ඔවුන්ගේ එකම දියණිය සයුනි රුහංසි ය.

උඩවලව ඇත් අතුරු සෙවණ

අලි බැලිම සහ බලි බැලිම එපා නොවේ යැයි ජනවහරේ පැවැත එන්නේ වනගත සත්ත්ව විශේෂ අතුරින් මිනිස් සිත්  වඩාත්ඇදබැදතබා ගැනිමට අලි ක්‍රියාකාරකම් සමත් වන බැවිනි.එවැනි අමතක නොවන සිහිවටන අප මතකයන්හි රදවනු ලබන රැකවරණය අහිමි වූ මෙරට අසරණ අලි පැටවුන්ගේ ආදරණීය මෑණියන් ලෙස විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන ඇත් අතුරු සෙවණ, 2021වර්ෂයේ දීඅවුරුදු 26ය සමරනු ලැබිණි. 1995 වර්ෂයේදි  බිහි වු මේ සොදුරු නිවහන සබරගමුවපළාතේරත්නපුර දිස්ත්‍රික්කයේඇඹිලිපිටියප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ උඩවලවග්‍රාමනිළධාරී වසමට අයත්ව පිහිටා ඇත. එමෙන්ම එයඋඩවලව ජාතික උද්‍යානයේ බටහිර මායිමේ පිහිටි අක්කර 200ක පමණ භූමියක පැතිරී තිබෙන, දකුණින් උඩවලව ජලාශයට මායිම් වු ශ්‍රී ලංකාවේ පිහිටි ආසියාවේ එකම අලි ළමා නිවාසය වේ.

විවිධ හේතුන් නිසා අනාථභාවයට සහ නොයෙකුත් අබාධයන්ට පත්වන අලි ඇතුන්ට පිහිට වීමේ අරමුණින් 1975 වසරේදි පින්නවල අලි අනාථාගාරය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කරන ලද අතර වර්තමානයේ මෙය ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය කරනු ලබන  නමුත් මීටත් වඩා අලීන්ට ඔහුන්ගේ නිදහස් ජිවිතය හිමිකර දීය යුතුයැයි දැඩි සංකල්පයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යුතු විය. ඒ අනුව, “යලිත් සිය නිජබිම් කරා පානැගීමට ඉඩදෙන්න” යන තේමාව පෙරදැරිව 1995 දී එවකට සිටි වනජීවී සෞඛ්‍ය අංශයේ ප්‍රධානියා වූ පශුවෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ සංකල්පය ක්‍රියාවට නංවමින් ඇත් අතුරු සෙවණ (Elephant Transit Home-ETH) ආරම්භ කරනලදී. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මෙය ආසියාවේ ස්ථාපිත කරන ලද ප්‍රථම අලිඇතුන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයදවේ. මෙමගින් සිදුවන මුලිකම කාර්යභාරයන් වන්නේ උද්‍යානයන් තුලදී මෙන්ම ඉන් පරිබාහිරවද අනතුරුවලට ලක්වීමෙන් අකාලයේ මියයන අසරණ වන කුඩා අලිපැටවුන්ගේ අනාගතය බාරගෙන ඔවුන්ව රැකබලාගනිමින් වනාන්තර ජීවිතයට හුරුවූ පසු නැවත වනාන්තරයටම නිදහස්‌කරහැරීමේ ක්‍රමවේදයයි.

දිවයිනේ කුමන ප්‍රදේශයකින් වුවත් හමුවන අනාථ අලි පැටවු රැගෙන පැමිණෙන ස්ථානය බවට උඩවලව ඇත්අතුරු සෙවණ පත්වී ඇත. අතීතයේදී ඉතා කුඩා ශාලාවක තිබු ඇත් අතුරු සෙවණ මේ වනවිටතුවාල වූ අලි පැටවුන් සුවකිරීම සඳහා ඇති ශල්‍යාගාරය,උණුසුම් කාමර ,අලින් සඳහා වාට්ටු,වෙළඳ කුටිය,අලි ඇතුන් නැරඹීමේ වේදිකාව සහ තොරතුරු මධ්‍යස්ථානයන්ගෙන් සමන්විත වේ.

අලි පැටවකුට ප්‍රතිකාර කිරීම

අතරමං වූ වන අලි පැටවෙකු හමු වූ විට පන්සලකට හෝ වංශවත් පවුලකට භාර දීමේඅතීතයේ පැවති සම්ප්‍රදාය ඇත් අතුරු සෙවණ බිහිවීමත් සමග වෙනස් විය.කෝමලී නම් කුඩා අලි පැටවෙකුගෙන් ආරම්භ වු මෙම ස්ථානය වර්තමානය වන විට තවත් බොහෝ අසරණ ඇත් පැටවුන් රාශියකගේ රුකවරණ මධ්‍යස්ථානය වී ඇත.වනජීවී නිලධාරීන් විසින් 1998 දී ප්‍රථම වතාවට අනුරාධ, අනුෂා, කණ්ඩුල, ගාමිණි කියන අලි පැටවුන්ට‘රේඩියෝ කරපටි’ පළදාවනයට නිදහස් කරන ලද අතර ඔවුන්  රංචු වලට එකතු වන තුරු නිරන්තර සුපරික්ෂාකාරීව දැඩි කැපවීමෙන් යුතුවනිරික්ෂණයකළහ. මෙම සෙවණේ  හැදී වැඩී, වන දිවියට හුරුවී ජීවිතය ගත කරන අලි ඇතුන්ගේ ගෙල බැඳ ඇති රේඩියෝ සංඥා නිකුත් කරන කර පටිය මඟින් ඔවුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ සොයා බැලීමටත්අලින්ගේ ආරක්ෂාව පිළිබඳ දැනගැනීමටත්උඩවලව ඇත් අතුරු සෙවණේ කාර්ය මණ්‌ඩලයඅදටත්කටයුතු කරනු ලබයි.

1998 අලි පැටවුන් හතර දෙනාගෙන් පටන් ගත් ඇත් අතුරු සෙවණ 2020 වර්ෂය වන විට වන අලින් 100 කටත් අධික  ප්‍රමාණයක් නිදහස් කර ඇති අතර  දැනට මෙහි අසරණ වු අලි පැටවුන් 40-50 ප්‍රමාණයක්  රැකවරණය ලබත්. ඇත් පැටවුන්ගේ නේවාසිකාගාරයක් බදු වු ඇත් අතුරු සෙවණ මෙරට වන අලි ගහනය රැක ගැනීම සහ ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා සැබෑම  දායකත්වයක් සපයන්නාවු ස්ථානයකි. උදේ, දිවා, රාත්‍රී කාලයේදී අඛණ්‌ඩව දියර කිරි ලබා දෙමින් තමන්ගේම දරැවන් ලෙස රැකබලා ගැනීමින් කරනු ලබන මේ මෙහෙවර අප අගය කළ යුතු වේ.  සීමිත සම්පත් මඟින් අලි පැටවුන් රැක බලා ගැනීම සඳහා මුළු දවස පුරා ම වෙහෙසෙන ලොව සාර්ථකම අලි සංරක්‍ෂණ ස්ථානය ලෙසට අද වනවිට උඩවලව ඇත්අතුරු සෙවණ පත්වි ඇත.

වලවේ ගඟේ දියනාන ඇත් අතුරු සෙවණේ අලි පැටවු

මෙරට අලි පැටවුන්ට නිරතුරු රැකවරණ සාදන, ඔවුන්ගේ කුසගිනි නිවමින්, ජීවත්වීමේ අයිතිය තහවුරු කරන මාහැඟි මෙහෙවරට ඔබ ද යම් කිසි අයුරකින් දායක වීමට අපේක්ෂා කරන්නේ නම්අලි පැටවුන්ගේ පෝෂණය උදෙසා, උඩවලව ඇත් අතුරු සෙවණ තුළ ක්‍රියාත්මක කර ඇති මාපිය කැපකරු ක්‍රමය  සඳහා මානුෂික ගුණධර්ම මූලික කරගෙනදායක වීමට අවස්ථාව ඔබටද ඇත. දිනකට කිරි පිටි සඳහා මහත් වියදමක් දරමින් කරනා මේ මහඟු ජාතික කර්තව්‍යයට ඔබේ දායකත්වය ශක්තියකි.

පෙරවරු 6.00 සිට අලි පැටවුන්ට කිරි ලබා දීම ආරම්භ වන ඇත් අතුරු  සෙවණේ  කිරි ලබා ගැනීමට පෝලිම් ගැසෙන දඟකාර  අලි පැටවුන්ගේ ක්‍රියාකාරකම් කාගේත්  නෙත් සිත් ඇදබැද තබාගනි. පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව හන්දියෙන් තණමල්විල පාරේ C.P.D. ද සිල්වා මාවතට පිවිස මීටර්  300ක් ගිය විට ඇත් අතුරු සෙවණට  ඔබට ළගා විය හැක.

අලි පැටවුන් අනාථ වීම පිළිබදව  අප කවුරුත් ශෝක වන නමුත් තවත් කලකදි මෙම පැටවුන් යළි වනයට පිවිස නිදහසේ  දිවි ගෙවීමට භාග්‍යය ලබන බව දැනෙන විට ඇතිවන  සතුට අප කාහටත් ලබා දෙන  මෙවැනි ස්ථානයක් මෙරට  ස්ථාපිත වී තිබීම ද, හිතට සහනයකි.

ආශ්‍රිත ග්‍රන්ථ

කිරට හඩන සද්දන්ත පැංචෝ (ඇත් අතුරු සෙවණ- උඩවලව)  -පශු වෛද්‍ය විජිත පෙරේරා

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තරහසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව         

දෙමළ පරිවර්තනයඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත්  සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්රීසි පරිවර්තනයඅසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන  සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

වෙබ් අඩවි සැකසුමඑන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත්  සංරක්ෂණ අමාත්‍යාංශය – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූපරෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව