简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 25 – ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය

Content Image

එදා තවත් උද්‍යානයක් මහජනතාවට විවෘත වුණා

2007 වසරේ ‘ගැල්වේස් ලෑන්ඩ්’ සංචාරය සඳහා මහජනයාට විවෘත කරන්න තීරණය වී තිබුණි. ඒ් වෙනකොට ‘ගැල්වේස්ලෑන්ඩ්’ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ තිබුණ රක්ෂිතයක්. විශාලත්වයෙන් අඩුවුණාට සතුන් හා ශාක ගොඩක් තියෙන මේ ප්‍රදේශය නුවරඑළියට මහජනාතාවට බලන්න අවස්ථාව ලබා දෙන්න දෙපාර්තමේන්තුවට වගේම ඒ් කාලයේ හිටපු විෂයයභාර අමාත්‍යාවරයාටත් අවශ්‍ය වුණා. මට ඒ් දවස්වල උද්‍යාන භාරකරුවෙක් විදියට ගැල්වේස්ලෑන්ඩ්වල වැඩ කළා. එතකොට දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල් සූරියබණ්ඩාර මහතා වැඩ කළේ මේ ප්‍රදේශයභාර සහකාර අධ්‍යක්ෂවරයා විදියට. එතුමාටත් අඩවි ආරක්ෂකවරයා විදියට හිටපු ඒ්.එන්. ජයසූරිය මහතාටත් ගැල්වේස්ලෑන්ඩ් මහජනයාට විවෘත කරන කටයුත්තට පුදුම උනන්දුවකින් වැඩ කළේ.

ගැල්වේස්ලෑන්ඩ් මැදින් යන්න අඩි පාරක් තිබුණ. දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශය අළුතෙන්ම කලුගල් අල්ලපු පාරක් බවට මේ අඩි පාර පත්කළා. පාර අඩි 2 ½ ක් 3ක් පළලයි.

පාරේ යනකොට අපට හරි ලස්සනට පේනවා. වනාන්තරය නැති තැන්වලින් පිදුරුතලාගලත්, නුවරඑළිය නඟරයත් පේනවා. විනාඩි 35කින් 40කින් ඇවිද ගන යන්න පුළුවන්. පාරේ නැති තැන්වල බංකු දාලා තියෙනවා, වාඩි වෙලා ඉන්න.

ඇතුළු වෙන තැන ප්‍රවේශපත්‍ර කවුළුවකුත් වැසිකිලිත් හැදුවා. එතනත් බංකු දාලා තියෙනවා.

විවෘත කරපු දවසේ පොඩි උත්සවයක් ඇමතිතුමාත්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරියත් මාධ්‍යත් පැමිණුනා.

දැන් නුවරඑළියට එන දේශීය සංචාරකයන් ගැල්වේස්ලෑන්ඩ්  බලන්න අමතක කරන්නේ නෑ. විදේශීය සංචාරකයන් නම් තවමත් මදි. අපි නුවරඑළිය ටවුමේත් බෝඩ් ඒක්ක දැම්මා. සංචාරකයන් ප්‍රවර්ධන කටයුතුත් සිදු කළා.

මට ගැල්වේස්ලෑන්ඩ් වැඩ කරපු කාලයේම එය මහජනාතාවට විවෘත කරන්න සහභාගි වෙන්න ලැබීම සතුටක්. මුලින් කියපු අයට අමතරව මේ වන විට අඩවි ආරක්ෂකවරුන් ලෙස විශ්‍රාම ලබාගන්න එම්.පී. විමලරත්න හා කේ.ඊ. පියදාස යන අයත් මේ කාර්යයට දායක වුන බව මතකයි.

ඒ් වගේම ගැල්වේස්ලෑන්ඩ් එකටමායිම් වුණේ අඩු ආදායම්ලාභී දෙමළ ගමක් ගැල්වේස්ලෑන්ඩ් කියන්නේ ඔවුන් නිතර කැලෑවට විත් දර කඩන්න පුරුදු වෙලා තිබුණා. වනාන්තරය විනාශයට යටින් තිබුණේ. මේ විවෘත කිරීමත් සමඟ අපි ගම්මුන් වෙනුවෙන් ජන විහිඳුම්කරණයක් (Community Out Reach Program) සිදු කළා. දෙපාර්තමේන්තුවේ සෑම පවුලකටම කාර්යක්ෂම දර ලිප් දුන්නා. ඒ්වායේ උයන හැටි පුරුදු කළා. ඒවුන්ගේ කුණු කසල කැලෑවට වීසි කරන්න පුරුදු වෙලා තිබුණේ. අපි ඔවුන්ට කසල ප්‍රතිවක්‍රීකරණය සඳහා කොම්පොස්ට් බඳුන් ලබා දුන්නා. ඒ් වගේම ගමේ කෝවිල් අළුත්වැඩියා කරලා දුන්නා. දැන් ඔවුන් අපිත් සමඟ සහයෝගයෙන් වැඩ කරනවා.

ඉන්දික ගල්පාත මහතා

ඉන්දික ගල්පාත මහතා වනඩීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේ 1998 වර්ෂයේදීය. තරඟ විභාගයකින් සමත් වීමෙනි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව සිටීම ඔහුට මේ රැකියාව සඳහා අවස්ථාව උදාකර දිනි.

ගල්පාත මහතාගේ  පළමු පත්වීම අනුරාධපුර පළාතේ ගල්ගමුව අඩවියේ මීගලෑවටය. අනතුරුව ඔහු මීගලෑව අලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සේවය කළේය. ‍

2002-2007 විල්පත්තු ජාතික උද්‍යානයේ සේවය කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණු අතර 2003 වර්ශයේ විල්පත්තුව මහජනාතාවට විවෘත කිරීමටද සහභාගි වීමට හැකිවීම තම ජීවිතයේ ලද අගනා අවස්ථාවක් ලෙස ඔහු සලකයි.

2007 වසරේ සිට ගැල්වේස්ලෑන්ඩ්හි වසර 4ක් සේවය කළ ගල්පාත මහතා පසුව පොල්ගොල්ල වනෝද්‍යානයේද, ගම්පහ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේද වසර 5ක් පමණ සේවය කළේය. 2017 වසරේදී කුරුණෑගල කලාප අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කිරීමෙන් පසු ගල්පාත මහතා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නීති අංශයට අනුයුක්ත කෙරිනි. මේ දක්වා ඔහු එහි සේවය කරනු ලබයි.

2000 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මාස 09ක ගිරිතලේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමටද ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීමටද චීනයේ සංචාරය කිරීමටද ගල්පාත මහතාට අවස්ථාව ලැබිණි.

ඔහුගේ බිරිඳ ප්‍රමිලා රවින්දිකා මහත්මිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන්නීය. ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ උගන්න දියණිය මොහාන්සා මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන අතර එම විද්‍යාලයේම ඉගෙන ගන්නා පුතා සවිඳු 10 ශ්‍රේණියේය.

ගල්පාත මහතාගේ ලිපිනය

නො. 106,

පිනිගමුව, කිරිඳිවැලය.

ඔහුගේ දුරකථන අංකය – 071 3101687

ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය

සොබාදහම සමඟ එක් වීමට කැමති අයට සිත් ඇදගන්නාසුළු හා උද්යෝගිමත්ගමනාන්තයක් සපයන ජෛව විවිධත්වයෙන් පොහොසත්ගැල්වේස්ලෑන්ඩ් ජාතිකඋද්‍යානයේ ඉතිහාසය බ්‍රිතාන්‍ය පාලන යුගය දක්වා දිව යයි. ශ්‍රී ලංකාවේ නුවරඑළි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙය ලංකාවේ නගර මධ්‍යයේ පිහිටා ඇති එකම උද්‍යානයද වේ.  මෙය බ්‍රිතාන්‍ය ජාතික ගැල්වේස් නම්  සාමිවරයාගෙන් හිමි වු භුමියක් වන බැවින් ගැල්වේස්ලෑන්ඩ් ලෙස නම් කර ඇත.1938 මැයි 27 වන දින අක්කර 15කින් ආරම්භ වු මෙම අභය භූමිය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ප්‍රතිපාදනයන්ට අනුව 2006 මැයි 18 දින අංක 1445/18දරණ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 29.24 කින් යුතු ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද අතර මෙමගින්  කඳුකර පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනිම ප්‍රමුඛ අරමුණක් විය.

                                                                                                                           උද්‍යානයේ ඇති විස්තරාත්මක පුවරු

මෙය කදුකර තෙත් කලාපයට අයත්ව පිහිටා ඇති බැවින් වසරේ වැඩි කාලයක් නිරතදිග මෝසම් හා සංවහන වැසි වලින්  යුක්ත වේ.මිලිමීටර 2400ක් පමණ වර්ෂාපතනයකින් යුක්ත වු මෙහි ශීත දේශගුණික තත්ත්වයක් පවතින අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-16 ක් පමණ වේ. මෙම භූමිය බොහෝ විට රතු කහ *පොඩ්සොලික් පසක් සහිත, සූර්යාලෝකය පතිත වීමද ඉතා අඩු අගයක් ගන්නා ස්ථානයකි.

වසරේ වැඩි කාලයක් තෙත්ව පවතින මෙහි ශාක වල විවිධත්වයද ඉතා ඉහලය.විශේෂයෙන් කදුකර තෙත් සදාහරිත වනාන්තර වල දක්නට ලැබෙන කීන, දඹ විශේෂ මෙහි සුලභව දක්නට ලැබේ. බ්‍රිතාන්‍ය සමයේ පිහිටවු උද්‍යානයක් වන බැවින් යුකැලිප්ටස්, ෆයිනස්යන විදේශිය ශාක විශේෂ ගණනාවක් දක්නට ලැබේ.යටි රෝපණය ඝනව දැකගත හැකි අතර සූර්යා ලෝකය උද්‍යානය තුළට පතිත වීම සීමා වි ඇති බැවින් බොහෝ ශාක විශේෂ වල අරටුවේ වැඩීම සීමා සහිත වීම හා ශක්තිමත්භාවය අඩු  වීම නිරීක්ෂණය කෙරේ. එමෙන්ම කදුකරයේ දැඩි සුළං ධාරා පදනම් කරගෙන ශාක වල කඳ කොටස ඇඹුරුණු ස්වභාවයකින් ඉහලට වැඩී ඇති බවත් දක්නට ලැබේ. ප්‍රමාණයෙන් විශාල විවෘත බීජක ශාකයක් වන අරවුකේරියා විදේශිය ශාක විශේෂයද පර්ණාංග විශේෂයක් වන ගිණිහොට විශේෂ උද්‍යානය තුළ දැක ගතහැක.උසස් ශාක ලෙස වල්සපු, වැල් උණ වැනි ශාක දැකගත හැක.එසේම දේශීය හා විදේශීය සම්භවයක් ඇති අලංකාර මල් විශේෂ සඳහාද ප්‍රසිද්ධය වේ. ඕකිඩ් විශේෂ රාශියක් උද්‍යානයේ දැකිය හැකි අතර **ලයිකන (Lichen Sps.) හා දිලීර ද (Fungus Sps.) බහුලය.

උද්‍යාන භූමි ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ සත්ව විවිධත්වයක්ද දක්නට ලැබේ. මෙහි විශාල ක්ෂිරපායීන් දක්නට නොලැබුණද කුඩා ක්ෂීරපායින් විශේෂ ගණනාවක් දක්නට ලැබෙයි. එම විශේෂ අතර කළු වදුරා,දඩු ලේනා,වැලි මුවා, වල් ඌරා, හදුන් දිවියා, වල් හාවා සහ ඉත්තෑවා නිතර හමුවේ.

කළු වදුරා

උභය ජීවීන් ලෙස ඉන්දියානු කදුකර ගස් මැඩියාවැනි ලංකාවට ආවේණික විශේෂදගස් මැඩියා විශේෂද වේ.උද්‍යානයේ පවතින කාළගුණික තත්ත්වය හේතුවෙන් එහි වෙසෙන උරග විශේෂ සංඛ්‍යාව සීමා වී ඇතත්  නයා,ලේ මැඩිල්ලාදැකගත හැකි වේ.ආවේණික කටුසු විශේෂලෙස කළු කොපුල් කටුස්සා,මහඑළිය කුරු බෝදිලිමාසහ අං කටුස්සා සුලභව දැකගත හැකිය.ශ්‍රී ලංකාවට ආවේණිකඅං කටුස්සා කදුකර තෙත් කලාපයේ දැක ගත හැකි වුවද එයින් වැඩිම ගහණයක් ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයේ දැකිය හැකි වීම විශේෂත්වයයි.

කළු කොපුල් කටුස්සා

සමනළ විශේෂ 20ක් පමණ උද්‍යානය තුළ නිරික්ෂණය කල හැකි අතර සෙව්වන්දියා,දෙහි සැරියා,මහසිවා,රතු කොන්නගියා විශේෂ සුලභ වේ.

උද්‍යානයේ සතුන් අතර වැඩිම ගහණයක් පෙන්නුම් කරන්නේ පක්ෂින්ය.ප්‍රවීණයන් විසින් පක්ෂීන් නිරීක්ෂණය සඳහා රටේ වඩාත්ම වැදගත් ස්ථානයක් ලෙස සලකන මෙහි සෑම වසරකම සංක්‍රමණය වන දුර්ලභ පක්ෂි විශේෂ 20 ක් පමණ ඇත. පක්ෂි විශේෂ 7ක් පමණ ආවේණික වන අතර වාර්තා වන මුළු පක්ෂි විශේෂ සංඛ්‍යාව 35ක් පමණ වේ.එමනිසා ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානය පක්ෂීන් නැරඹීමේ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. ආවේණික පක්ෂින් විශේෂ ලෙස ලංකා පීතකන් කොණ්ඩයා,අරංගයා,ලංකා වළි කුකුළා,ලංකා අදුරු නිල් මැසිමරා, ලංකා සිතැසියා ආදි වේ.දේශිය පක්ෂි විශේෂ අතර පොල්කිච්චා,පුංචි මිණිවිත්තා,කහ කුරුල්ලා,නීල කොබෙයියා යන විශේෂද පර්යටන පක්ෂී විශේෂ අතර වන හැලපෙන්දා,බොර සබරිත්තා වැනි විශේෂ ද දක්නට ලැබේ.

ලංකා අදුරුනිල් මැසිමරා
ලංකා වළි කුකුළා
ලංකා පීතකන් කොණ්ඩයා

ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානය කුඩාම ජාතික උද්‍යානවලින් එකක් වුවද නගර ආශ්‍රිතව ඇති ප්‍රසිද්ධ ජාතික උද්‍යාන කිහිපයෙන් එකකි. උද්‍යානය වෙත කොළඹ සිට පැමිණෙන්නෙකුට මෙහි පැමිණීමට මාර්ග කිහිපයක් ඇති අතර පහසුම මාර්ගය ලෙස කඩුවෙල-කොස්ගම-අවිස්සාවේල්ල-යටියන්තොට-කිතුල්ගල-ගිනිගත්හේන-තලවකැලේ හරහා නුවරඑළිය නගරයට පිවිසිය හැක.නුවරඑළිය නගරයේ සිට උඩුපුස්සැල්ලාව මාර්ගයේ කිලෝමීටර එකක් පමණ ගමන් කරන විට හමු වන නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අසලින් ගැල්වේස් මාර්ගය ඔස්සේ  නැවත කිලෝමීටරයක් පමණ ගමන් කර ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යාන පිවිසුමට ළගාවිය හැක.

උද්‍යානයට ඇතුළු වීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර සහ උපදෙස් පිවිසුමෙන් ලබා ගත හැකි අතර උද්‍යානය දිනපතා පෙරවරු 6 සිට පස්වරු 6දක්වා කාලය තුළ විවෘත පවති. එසේම පැමිණෙන සංචාරකයින්ට කදවුරු බිම් සදහා උද්‍යානය පහසුකම් සලසා ඇති අතර ඒ සදහා දින වෙන් කිරිමට උද්‍යාන කාර්යාලයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් කළ හැකිය

* Podsoilic soil – soil which is well drained & are leached of clay and organic matter.

– නිසරු පසකි. ජලය හා පෝෂණය ද්‍රව්‍ය අඩුය.

**   ලයිකන විශේෂ-  දිලීර හා ඇල්ගේ හෝ සයනොබැක්ටීරියා අතර සහජීවන සම්බන්ධයෙන් ඇතිවෙන්නකි.

Lichen- Symbiolic relationship between fungi and algae or a cyanobacteria (Photosynthetic bacteria)

ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

කළු වදුරා

ஊதா நிற முகம் கொண்ட இலைக் குரங்கு

Purple faced langur

Semnopithecus vetulus

දඩු ලේනා

பழுப்பு மலை அணில்

Giant squirrel

Ratufa macroura

වැලි මුවා

செம்மான்

Barking deer

Muntiacus muntjak

වල් ඌරා

காட்டுப்பன்றி

Wild boar

Sus scrofa

හදුන් දිවියා

மீன்பிடிப்பூனை

Fishing cat

Prionailurus viverrinus

වල් හාවා

இந்திய குழி முயல்

Black naped hare

Lepus nigricollis

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

ලංකා පීතකන් කොණ්ඩයා

மஞ்சள் காது புல்புல்

Sri lanka yellow-eared bulbul

Pycnonotus penicillatus

අරංගයා

இலங்கை விசில் த்ரஷ்

Sri Lanka whistling thrush

Myophonus blighi

ලංකා වළි කුකුළා

இலங்கை காட்டுக்கோழி

Sri lankaJunglefowl

Gallus lafayetti

ලංකා අදුරු නිල් මැසිමරා

வலி மரிச்சான் குருவி

Dusky blue flycatcher

Eumyias sordidus

ලංකා සිතැසියා

வெள்ளைக் கண்ணி

White  eye

Zosterops ceylonensis

පොල්කිච්චා

வண்ணாத்திக் குருவி – பாடும் குருவி

Oriental magpierobin

Copsychus saularis

පුංචි මිණිවිත්තා

சிறிய மின்சிட்டு

Small minivet

Pericrocotus cinnamomeus

කහ කුරුල්ලා

கருந்தலை மாங்குயில்

Black hooded oriole

Oriolus xanthornus

නීල කොබෙයියා

மரகதப்புறா

Emerald dove

Chalcophaps indica

වන හැලපෙන්දා

கொடிக்கால் வாலாட்டி

Forest wagtail

Dendronanthus indicus

බොර සබරිත්තා

பழுப்புக் கீச்சான்

Brown shrike

Lanius cristatu

කදුකර ගස් මැඩියා

மரத் தவளை

Indian Mountain hourglass tree frog

Taruga eques

ඉන්දියානුගස් මැඩියා

இந்திய மரத் தவளை

Tree frog

Polypedates maculatus

නයා

இந்திய நாகம்

Cobra

Naja naja

ලේ මැඩිල්ලා

பாயின் கரடுமுரடான பாம்பு

Boie’s rough-sided snake

Aspidura brachyorrhos

කළු කොපුල් කටුස්සා

கறுப்புக் கன்ன பல்லி

Black-cheeked lizard

Calotes nigrilabris

මහඑළිය කුරු බෝදිලිමා

பிக்மி பல்லி

Mahaeliya pygmy lizard

Cophotis ceylanica

අං කටුස්සා

காண்டாமிருகக் கொம்புப் பல்லி

Rhino horned lizard

Ceratophora stoddartii

සෙව්වන්දියා

ரோசா அழகி

Common rose

Pachliopta aristolochiae

දෙහි සැරියා

கொன்னை வெள்ளையன்

Lemon emigrant

Catopsilia pomona

මහසිවා

பெரிய முட்டைப்பூச்சி

Great eggfly

Hypolimnas bolina

 

රතු කොන්නගියා

பெரிய நீலன்

Red pierrot

Talicada nyseus

ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

කීනகீனKina

Calophyllum walkeri

දඹநீர்க்குமளிDamba

Syzygium assimile

යුකැලිප්ටස්யூகலிப்டஸ்Eucalyptus

Eucalyptus sps

ෆයිනස්பைனஸ்Pinus

Pinus sps

අරවුකේරියාஅரவுக்கேரியாAraucaria

Araucaria Sps.

ගිණිහොට

சைதியா

Tree fernsCyatheaSps.
වල්සපුகாட்டுச் சண்பகம்

Zenker

Michelia nilagirica

වැල් උණமூங்கிலிரிசிCommon bamboo/Golden bamboo

Bambusa matioter

ඕකිඩ් විශේෂஓகிட் இனங்கள்

Orchid Sps.

Orchidaceae sps.

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.