简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් තිබූ විරෝධාකල්ප වෙනස්වී එසේ පෞද්ගලිකකරණය වීම යහපත් බව ජනතාව දැන් ප්‍රකාශ කරන බව අමාත්‍යතුමිය සඳහන් කරයි…

Content Image
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් තිබූ විරෝධාකල්ප වෙනස්වී එසේ පෞද්ගලිකකරණය වීම යහපත් බව ජනතාව දැන් ප්‍රකාශ කරන බව අමාත්‍යතුමිය සඳහන් කරයි…

මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ ආදායම වැඩිකරගැනීමට නම් අවම වශයෙන් සංචාරකයන් මිලියන 10ක් පමණ මෙරටට  ගෙන්වා ගතයුතු බවත්, ඒ සඳහා අවශ්‍ය වනගහනය සහ වනජීවී සම්පත් ප්‍රමාණය වැඩි කරගතයුතු බවත්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය  පවසයි.

අමාත්‍යතුමිය මේ බව පැවසුවේ පසුගිය  (05) දා ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙකක්  විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව පැවැත්වූ උත්සව සභාව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය කෘතවේදී බව ප්‍රකාශ කළ අතර එම නිලධාරීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ ගල්ඔය පාරිසරික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම පෙරළියක ඇරඹුමක් බවත්, ඉදිරියට පැමිණෙන්නේ පරිවර්තන  රැසක් සිදුවන යුගයක් බවත් සඳහන් කළාය. අද වන විට ජනතාවගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වී ඇති බවත්, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් තිබූ විරෝධාකල්ප වෙනස්වී එසේ පෞද්ගලිකකරණය වීම යහපත් බව ජනතාව දැන් ප්‍රකාශ කරන බවත්, අමාත්‍යතුමිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් , උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ජී ජී චන්ද්‍රසේන, ඇළහැර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජානක නලීන්කුමාර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පියතිස්ස බණ්ඩාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ එම් ඒ බණ්ඩාර, එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ආනන්ද ජයරත්න, වන සංරක්ෂකවරුන් වන නිශාන්ත එදිරිසිංහ, එච් යූ ඩයස්, පාලම කුඹුර, දිසා වන නිලධාරී ධම්මික තිස්ස, අතිරේක දිසා වන නිලධාරී කිංස්ලි ඉලුක්කුඹුර, හබරණ වන අඩවි නිලධාරී කුසල් බමුණුසිංහ, හබරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ඉලංගංසේකර , ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එච් එම් ඒ කේ හේරත් යන මහත්වරුන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හබරණ පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීහු යන පිරිස සහභාගි වූහ.