简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංගය 1- විල්පත්තු ජාතික වනෝද්‍යානය

Content Image

අලියා පැන්නෙ මගේ ඇඟට උඩින්

මට මතක හැටියට මේ සිදුවීම සිද්ධ වුනේ එක්දහස් නවසිය අසූ හතර අවුරුද්දේ පෙබරවාරි මාසයේදී අලි ඇල්ලීමේ මෙහෙයුමක් තිබුණා ගල්ගමුව රැස්වෙහෙර ප්‍රදේශයේ. අලි ඇල්ලීමේ මෙහෙයුමක් කියන්නෙ අලි අල්ලලා වාහනයක පටවලා ගිහින් නිදහස් කිරීමක්. මේ වෙන කොට මම සේවයට බැඳිලා අවුරුදු දෙකක් විතර ඇති. මම අලි පලවා හරින මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා තිබුණට අලි අල්ලන මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා තිබුණේ නෑ.

රැස්වෙහෙර කහල්ල පලලේ කැලේ රක්ෂිතයේ කත්නෝරුව වැව ඉස්මත්තෙයි අලියා අල්ලන්න තිබුණේ. ඒ කාලයේ  මේ ප්‍රදේශය රක්ෂිතයක් ලෙස නම් කර තිබුණේ නෑ. මහවැලියට අයිති අභය භූමියක් විදිහටයි තිබුණේ.

අල්ලන්න ගියපු අලියා මිනිසුන් තුන් හතර දෙනෙක් මරපු, ගෙවල් කඩපු, ප්‍රදේශ පිටින් විනාශ කරපු දරුණු අලියෙක්. අල්ලන්න ගියපු කණ්ඩායමේ මාත් එක්ක විසි දෙනෙක් විතර හිටියා. අපේ කණ්ඩායමේ බහමන්, මන්සුර් කියන පළපුරුදු නිලධාරීනුත් හිටියා.

මේ දවසේ අලියා ගම්මානෙකට ගිහින් වගා පාලු කරලා කැළයට ඇතුලු වෙලා. අපි අලියාගේ අඩිපාර දිගේ ගියා. මේ වන කොට අලියා මඳ කිපිලා හිටියේ කියලා අපි දැන ගෙන හිටියා. මද කි‍පෙන  කාලෙට අලි හරි දරුණුයි.

අපි අඩි පාර දිගේ කැළයට ඇතුලු වුනා. කැළයට ඇතුළු වෙලා කිලෝමීටර් භාගයක් විතර යනකොට තනි අලියා විතරක් නෙමෙයි අලි අංචුවක් ඉන්නවා කියලා අපට දැනුනා, ඒ පැත්ත අන්දර කැළෑවක්, මොනවත් පැහැදිලි නෑ.එකපාරටම මන්සුන් මහත්තයා කිව්වා අන්න අලියා ඉන්නවා කියලා. මෙන්න අලියා මීටර් පනහක් හැටක් විතර දුර ඉඳලා අපි ඉස්සරහට දුවගෙන එනවා. මොකද හුලං පාර වෙනස් වෙලා අලියාට දැනිලා තියෙනවා අපි ඉන්න බව. අපේ අය අලි වෙඩි ගැහුවා. නමුත් අලියා නැවතුනේ නෑ. ඉස්සරහටම දුව ගෙන ආවා. අපි මෙහෙයුමට ගිහින් හිටියේ එක එක්කෙනා අතර අඩි දහයක පහළොවක විතර පරතරයක් තියාගන. මම තමයි ඉස්සරහින්ම හිටියේ. මට දුවන්න තැනක් තිබුනේ නෑ. අනෙක් අය කියනවා  “ පැනලා දුවන්න පැනලා දුවන්න කියලා ” පනින්න තැනකුත් නෑ. මට මරණ භය දැනුනා.

මම හිටපු තැන කිට්ටුව තිබුණා ලොකු පලු ගහක්. එකපාරටම මම පලු ගහ අයිනේ බිම දිගා වුනා. එත් එක්කම දුවගෙන ආපු අලියා මගේ ඇඟට උඩින් පැන්නා. මට දැනුනා  ලොකු හුලඟක් ගහනවා වගේ. අලියාගේ ඇගේ ගෑවිලා තිබුණු  පස් ගොඩක්  මගෙ ඇඟට  වැටුණා. ඒ වෙලාවේ මම අත්දිග කමිසයක්  අඳලා හිටියේ. මට දැනුනා මගේ කමිස අයිනේ කොටසක් අලියට පෑගිලා තද වෙනවා.  නූලෙන් මගේ පණ බේරුනේ.

ඊළඟ මොහෙතේ මට ඇහුනා කට්ටිය කියනවා “අනේ සර් අහුවුනා වගේ ” කියලා. නමුත් ජීවිතය බේරා ගන්නට මම වාසනාවන්ත වුනා.

අපිට අලියට එන්නත් විදින්න හම්බවුණේ ඊට පහුවදා.

වෙහාන් සහන්ජිත් වේරගම

වයස අවුරුදු විස්සටත් අඩු තරුණයකුසේ 1981 නොවැම්බර් දෙවැනිදා 3 වන ශ්‍රේණිය වන අඩවි ආරක්ෂක වරයකු ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට බැදුණු සහන්ජිත් වේරගම මහතා අද වන විට 2 ශ්‍රේණිය හා 1 ශ්‍රේණිය කාර්යක්ෂමතා කඩඉම් පසු කර අනුරාධපුර කලාප සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරනු ලබයි. බිරිඳගෙන්ද, දියණියකගෙන්ද පුතනුවන් දෙදෙනකුගෙන්ද සමන්විත වේරගම මහතාගේ ආදරණීය පවුල නුවර දිස්ත්‍රීක්කයේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු අනුරාධපුර නිල නිවසේ සිට රාජකාරී කටයුතු කරනු ලබයි.

විල්පත්තු  ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ  වනජිවි රක්ෂිත  ප්‍රදේශ 1938 දි  වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇත. වනජීවි රක්ෂිතය කොටස්  කිහිපයක් වේ.                                     

1)      ජාතික උද්‍යානය

2)      දැඩි ස්වාභාවි රක්ෂිතය.

3)      ස්වභාවික රක්ෂිත

4)      අභය භුමි 

 

මින් පළමු කොටස් තුන රජයේ ඉඩමි පමණක් ඇතුලත් වන අතර  ඒවා “ජාතික රක්ෂිත භූමි” ලෙස හැදින්වේ.අභය භූමියකට රජයේ ඉඩම් හා පෞද්ගලික යන දෙවර්ගයේම ඉඩම් ඇතුලත් විය හැකිය. දැනට දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන්  සියයට  දහ හතරක පමණ “වනජිවි රක්ෂිත” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම රක්ෂිත ප්‍රදේශ වලින් මහජනතාවට වඩාත් සමීප වන්නේ “ජාතික උද්‍යානයි”. ඒ ඒවායේ ජිවත් වන සතුන් දැකබලා විනෝද විමට මහජනතාවට අවශ්‍ය පහසුකම් සලසා ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන විසි හයක්වේ. රජයේ ඉඩම් පමණක් ඇතුලත් වන බැවින් විල්පත්තු උද්‍යානයද “ජාතික රක්ෂිත භූමියක්”  ලෙස සැලකේ. කොළඹ  සිට විල්පත්තු ජාතික උද්‍යානයට  ඇති දුර කිලෝමීටර්ම 180 ක් පමණවේ.

Park Entrance

උද්‍යාන පිවිසුම


උද්‍යාන මුලස්ථානය

වගා කළ නොහැකි තරමටම වගුරක්ව පවතින භූමිය “විල්ලුව” වේ. උස් බැමිමක් මෙන් පිහිටා ඇති මැද පහත් වු මෙම විල්ලු ප්‍රදේශය වැසි කාලයට ජලයෙන් පිරි පවති. “පත්තුව” යනු ගම් කිහිපයක්, තුලාන් කිහිපයක් හෝ වසම් කිහිපයක් එකතු සැදෙන සීමා නියාමය . ඵ් අනුව බොහෝ විල්ලු පැවතිම නිසා මෙ ප්‍රදේශයට  “විල්පත්තුව” යන නම යෙදේ.

කාල  විල්ලු

 

කළමණාකරන පහසුව සදහා විල්පත්තුව කොටස් දෙකකට බෙදා වෙන් කර ඇත.

  1) විල්පත්තු ජාතික උද්‍යානය

11) විල්පත්තු උතුරු අභයභුමිය         

විල්පත්තු ජාතික උද්‍යානයේ ප්‍රදේශ භෙක්ටයාර් 131667.1 ක් වේ. විල්පත්තු උතුරු අභයභුමියට හෙක්ටයාර් 624 අයත් වේ.

මෙම භූමියන් පොදුවේ ගත් කළ තෘණ භුමි, ලදූකැළැ, වැලිපර, ජලාශ, වැව් සහිත වනාන්තරයකි. ජනවාරි පෙබරවාරි මාසවල වියළි දේශගුණික තත්වයක් පවතින අතර මාර්තු අප්‍රේල් දක්වා අන්තර් මෝසම් වැසි ලැබේ. මැයි මස සිට සැප්තම්බර් මුල් කාලයේ තෙත් වියළි දේශගුණික තත්වයක් හටගෙන දිගු නියන් සමයක් ඇති වේ. පසුව සැප්තැම්බර් දෙසැම්බර් දක්වා කාලයම වර්ෂාව පවති. සමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක27.2 කි. වාර්ෂික වර්ෂා පතනය මිලි මිටර් 1000 කි.

විල්පත්තු උද්‍යානයට විල්ලු හතලිහක් පමණ අයත්ව තිබේ. මේවා වැඩි වශයෙන් මිරිදිය වේ. මතුපිටින් මුහුද හා සම්බන්ධ නැති වුවද මින් සමහරක් ලවණ ගතියෙන් යුක්තය. විවිධ වර්ගයේ ජලාශ්‍රිත පක්ෂීන් හා ක්ෂීරපායින් ඵ්කරාශි වි සිටින විල්ලු වටා පිහිටා ඇති පළල් බෑවුම් සහිත වෙරළ වැනි තීරු අගනා “ පෝෂක ප්‍රදේශ” ලෙස නමි කරනු ලැබේ. මේවා ප්‍රධාන විල්ලු ලෙස හදුනා ගනි.

විල්පත්තු ජාතික උද්‍යානය තුළ ඇති  වගුරු බිම් කාලයකට  වියළි යන ගංගා වලින් වෙන් වු පිටාර තැනි  නියෝජනය කරයි. මෙහි වෙරළේ සිට  ආසන්න වශයෙන් කිලෝමිටර්  විසි හතරක් පමණ ප්‍රදේශයක පවතින හුණුගල් යාපන අර්ධද්වීපයේ පවතින හුණුගල් වලට වඩා වෙනස් බවද හදුනාගෙන ඇත. පහත් බිමි බටහිර තීරුවද මුහුදු වැල්ලෙන් සමන්විත වන අතර ඵහි අවසාදිත පාෂාණ ද බහුලය.  පලගතුරායි සහ කුදිරමලෙයි අතර පිහිටි වැලි සහ රතු පස් පර්වතද ශ්‍රී ලංකාවේවෙනත් ප්‍ර‍දේශයන්හි පහසුවෙන් හමු නොවන ඒවාය. මෙහි මධ්‍ය ප්‍ර‍දේශයේ ස්වභාවික දිය වලවල් වලින් හා විල්ලු වලින් ගහණය.

බටහිර තීරයේ පස බොහෝ නිසරු අතර ඵහි තැනින් තැන රතුකහ ලක්ෂණ දැකිය හැකිය. ඵ්වා කාබනික හා ඛණිජ ද්‍රව්‍යන්ගෙන් ඌන ය.  නැගෙනහිර ප්‍රදේශයේ පස සරුසාර අතර ඵහි ඛණිජ ද්‍රච්‍ය අඩංගු වේ. ඵ්වා වර්ණයෙන් රතුපාට හා දුඹුරු පාට වේ.

විල්පත්තු ජාතික උද්‍යානයේ ප්‍රදේශ භෙක්ටයාර් 131667.1 ක් වේ. විල්පත්තු උතුරු අභයභුමියට හෙක්ටයාර් 624 අයත් වේ.

මෙම භූමියන් පොදුවේ ගත් කළ තෘණ භුමි, ලදූකැළැ, වැලිපර, ජලාශ, වැව් සහිත වනාන්තරයකි. ජනවාරි පෙබරවාරි මාසවල වියළි දේශගුණික තත්වයක් පවතින අතර මාර්තු අප්‍රේල් දක්වා අන්තර් මෝසම් වැසි ලැබේ. මැයි මස සිට සැප්තම්බර් මුල් කාලයේ තෙත් වියළි දේශගුණික තත්වයක් හටගෙන දිගු නියන් සමයක් ඇති වේ. පසුව සැප්තැම්බර් දෙසැම්බර් දක්වා කාලයම වර්ෂාව පවති. සමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක27.2 කි. වාර්ෂික වර්ෂා පතනය මිලි මිටර් 1000 කි.

විල්පත්තු උද්‍යානයට විල්ලු හතලිහක් පමණ අයත්ව තිබේ. මේවා වැඩි වශයෙන් මිරිදිය වේ. මතුපිටින් මුහුද හා සම්බන්ධ නැති වුවද මින් සමහරක් ලවණ ගතියෙන් යුක්තය. විවිධ වර්ගයේ ජලාශ්‍රිත පක්ෂීන් හා ක්ෂීරපායින් ඵ්කරාශි වි සිටින විල්ලු වටා පිහිටා ඇති පළල් බෑවුම් සහිත වෙරළ වැනි තීරු අගනා “ පෝෂක ප්‍රදේශ” ලෙස නමි කරනු ලැබේ. මේවා ප්‍රධාන විල්ලු ලෙස හදුනා ගනි.

විල්පත්තු ජාතික උද්‍යානය තුළ ඇති  වගුරු බිම් කාලයකට  වියළි යන ගංගා වලින් වෙන් වු පිටාර තැනි  නියෝජනය කරයි. මෙහි වෙරළේ සිට  ආසන්න වශයෙන් කිලෝමිටර්  විසි හතරක් පමණ ප්‍රදේශයක පවතින හුණුගල් යාපන අර්ධද්වීපයේ පවතින හුණුගල් වලට වඩා වෙනස් බවද හදුනාගෙන ඇත. පහත් බිමි බටහිර තීරුවද මුහුදු වැල්ලෙන් සමන්විත වන අතර ඵහි අවසාදිත පාෂාණ ද බහුලය.  පලගතුරායි සහ කුදිරමලෙයි අතර පිහිටි වැලි සහ රතු පස් පර්වතද ශ්‍රී ලංකාවේවෙනත් ප්‍ර‍දේශයන්හි පහසුවෙන් හමු නොවන ඒවාය. මෙහි මධ්‍ය ප්‍ර‍දේශයේ ස්වභාවික දිය වලවල් වලින් හා විල්ලු වලින් ගහණය.

බටහිර තීරයේ පස බොහෝ නිසරු අතර ඵහි තැනින් තැන රතුකහ ලක්ෂණ දැකිය හැකිය. ඵ්වා කාබනික හා ඛණිජ ද්‍රව්‍යන්ගෙන් ඌන ය.  නැගෙනහිර ප්‍රදේශයේ පස සරුසාර අතර ඵහි ඛණිජ ද්‍රච්‍ය අඩංගු වේ. ඵ්වා වර්ණයෙන් රතුපාට හා දුඹුරු පාට වේ.

කුදිරමලේ තුඩුව

භුගෝලීය පිහිටිම ලෙස  මෙය අනුරාධපුරයේ  සිට කි.මි 30  ක් බටහිරින් වයඔ දිග වෙරළ තීරයේ පිහිටා ඇත. ඵසේම  වයඹ පළාත හා උතුරු මැද පළාත් අතර මායිම් පුරාද පැතිර පවති. උතුරින් මෝදරගම් ආරු මගින්ද  දකුණෙන් කළා ඔයෙන් ද  බටහිරේන් පෘතුගීසි හා ලන්දේසි බොකු වලින් ද  විවෘත මුහුදෙන්ද  මායිම් වේ.

අභයභූමිය වෙරළේ සිට අභ්‍යන්තරය  සම්පූර්ණයෙන්ම උතුරු පළාතේ පිහිටියකි. එය උද්‍යානයට යාබද ව මෝදරගම් ආරු මගින් වෙන් වි තිබේ.

විල්පත්තුව ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික භූමියක් ලෙස ද සැලකේ.  ඵ් විජය කුමරු විල්පත්තුවේ ඵක් මායිමක් වන තම්බපණ්ණී නොහොත් කුදිරමලෙයි වරායට අහම්බෙන් ගොඩ බැසිමත් සමගය. ඵ් අනුව  දිවයිනේ ජනාවාස ආරම්භයේ තෝතැන්නට පමණක් නොව රාජ්‍ය සංස්කෘතියේ පදනමද වැටි ඇත්තේද මේ ප්‍රදේශයේ විය හැකිය. අනුරාධපුරය, පුත්තලම හා මන්නාරම දිස්ත්‍රික්ක වලට අයත් විල්පත්තුව තුළ බහුලව පුරාණ නටබුන් පූරාවෘත්ත හා ජනශ්‍රැති බොහෝ වේ.

කුවේණි මාලිගාවේ නටබුන්

 

පුරාවෘත්තයන්ට අනුව විජය කුමාරයා අවාහ කරගත් කුවේණියගේ මාලිගයේ නටබුන් අද “කාලි විල්ලු“ ප්‍රදේශයේ  දක්නට ලැබේ. ඵසේම මීට වසර දෙදහාසකට පෙර දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු හා මනාලිය වු අශෝකමාලා ජීවත් වුයේ යැයි කියන රජමාලිගය, දියපොකුණු, රාජසභා මණ්ඩප වල නටබුන් ආදිය ද තවමත් මරදන්මඩුව ඊසාන දිග පෙදෙසේ පිහිටි වීරන්ගොඩ හා ගල් බැදි තිරය පෙදෙස් වලට අයිතිව පවතින බව පූජ්‍ය එල්ලාවල මේධානන්ධ හිමිගේ කෘතියක සදහන් වේ. එනම් ක්‍රි:පූ 161-131 පමණ ඉදිකරන ලද විලදාගොඩරාජධානිය ඇත්තේ මෙම ප්‍රදේශයේය. පුත්තලම අනුරාධපුර පාරේ සැතපුම් 17 ක් පමණ ගිය විට හමුවන අලුත්ගම හංදියෙන් විල්පත්තු අභයභුමි මායිමේ රාජධානිය පිහිටා ඇත. සාලිය කුමරු විසින් සාදවන ලද “විළදාගොඩ” “විහාරමන්දිරය” ඇතුලු ඓතිහාසික බෞද්ධ නෂ්ටාවශේෂ බොහොමයක් මෙහි ඇති බැවින් මෙය සුවිශේෂි ස්ථානයක් වේ. තවද මෙම ප්‍රදේශයෙහි ගල්කණු, විවිධ ප්‍රමාණයේ ගල්ලෙන්, ලෙන් කටාරම්, බ්‍රාහ්මී අක්ෂරයන් පිහිටුවන ලද ශීලා ලිපි ආදියද දක්නට ලැබේ.

විල්පත්තු ප්‍රදේශයට අයත් පොම්පරිප්පු ප්‍රදේශයද  පුරා විද්‍යාත්මක වැදගත්කමින් යුක්ත වු ප්‍රදේශයක් වේ.මෙම ප්‍රදේශය කැණීම් සඳහා තෝරා ගැනිමට මුලික ලෙස බලපාන ලද්දේ,

1)     මෙය  ඉන්දියානු භුමියට ඉතා ආසන්නව පිහිටිමත් එමනිසා වරාය හා උතුරු ඉන්දියානු වෙර‍ළේ සිට ඵ් පෙදෙස් දෙක අතර නිරන්තරයෙන් පැවතුනා වු සංස්කෘතික හා වෙළද සබදතාව නිසා දිවයිනේ සංස්කෘතියේ ඵ් ඵ් කාලපරිච්ඡේදය තුල සිදු වු දැ පිළිබද විශ්වාසනීය දත්ත ලබා ගැනිමත් සඳහා

     11)  කෘෂිකාර්මික ප්‍රඡා සංක්‍රමණය විම හා පදිංචි විමට නිරන්තරයෙන් හේතු වු පාරිසරික විද්‍යාත්මක සමාන බවක් පෙන්න වීමත්ය.

මෙම ප්‍රදේශය, දිවයිනේ උතුරු පෙදෙස් බටහිර වෙරළ ආසන්නයේ පිහිටි ප්‍රාග් ඓතිහාසික  සුසාන භුමියක් ලෙසට ප්‍රකටය. මෙය එකම වියළි කලාපයක පිහිටා ඇති දැනට වන ආරක්ෂක ස්ථානයකි. පුත්තලමේ  සිට ඉලවන්කුලම දක්වා වැටි ඇති මාර්ගයකින්ද මෙම ස්ථානයට ලගා විය හැක. මෙහි දකුණින් කලා ඔයත් නැගෙනහිරින් පුරාතන ගල්ගේ විහාරයත් වේ. පොම්පරිප්පු හි බොහෝ දුරට සුසාන භූමි ව්‍යාප්ත වි තිබේ. මෙහි කරණ ලද කැණිම් වලින් අළුබදුන ආදි වැළලුණු ද්‍රව්‍යද සොයාගෙන ඇත. මෙලෙස කරන ලද පර්යේෂණ තුලින් එකල සිටි ජනතාවගේ තාක්ෂණික දැනුම පිලිබදව යම් අදහසක් ලබා ගැනිමට හැකි වි තිබේ. තවද කුදිරමලෙයි තුඩුවේ ඉපැරණි කෝවිලක නටඹුන් තිබි හමු වි ඇති අතර නාවික ගමනාගමනය සදහා යොදා ගන්නා ලද පළගතුරෙයි වරායක නටඹුන්ද හමු වි ඇත. වාර්ෂික පූජා පවත්වන ඉපැරණි පල්ලියක් අදද දක්නට ලැබේ.ඉහත තොරතුරු අනුව පෙනී යන්නේ ඉතා වැදගත් ඓතිහාසික වාර්තා හා මුල්‍ය අභිලේඛන හා පුරාණ ක්ෂේත්‍ර, ස්මාරක සහ මානව සංස්කෘතිකාංග රුසක් විල්පත්තුව ප්‍රදේශයේ සැගවි ඇති බවය. එම නිසා ශ්‍රී ලංකාවේ පැරණිතම හා වඩා වැදගත්ම රක්ෂිත ප්‍රදේශ අතර විල්පත්තු ජාතික උද්‍යානයට ප්‍රමුඛස්ථානයක් ලැබේ. 

තවද මෙහි වෘක්ෂලතා හා සත්ත්වයින් පිළිබදව සලකා බැලුව හොත් , බටහිර පවතින වනාන්තර, ලැහැබ, තණබිම්, සහ උද්‍යාන මධ්‍ය‍යේ පවතින විල්ලු සහ කාණු පද්ධති නිසා මෙවැනි පරිසර වල ජෛවී විවිධත්වය හා පාරිසර විද්‍යාත්මක අතින් ඉහල අගයක් ගනි. මෙහි ක්ෂීරපායි විශේෂ 31ක් හදුනාගෙන ඇති ඒ අතර මී සහ වවුල් විශේෂද ඡිවත් වෙති.මෙහි තර්ජනයට ලක් වි ඇති ක්ෂිරපායි විශේෂ වන්නේ අලියා, වළසා, දිවියා සහා කුළු හරකා යන සත්ත්වයින්ය. ශාක භක්ෂකයින් අතරින් සංඛ්‍යා‍වෙන් අඩුම ඝනත්වයක් පෙන්වන්නේ “අලියා“ වන අතර ප්‍රථම ස්ථානයට  සලකන්නේ “තිත් මුවා” වෙ. තිත් මුවන් සංඛ්‍යාත්මක වශයෙන් 3,500ක් පමණ වේ. මේ අතර ජාතික වනෝද්‍යනයේ අභය භූමි කළමණාකරණය යටතේ, මෑතකදි තණකොළ වැවිම ආදිය මගින් අලින්ගේ වාසභූමි ඒ සතුනට සුදුසු වාසභූමි බවට පත්කිරිමට උත්සාහ ගෙන ඇත. තවද දේශිය මෙන්ම සාංක්‍රමණික පක්ෂින්ගේ ගහණද මෙහිදි දැක ගත හැක.

නිදා සිටින කොටියෙකු (Panthera pardus kotiya)

වලසා (Melursns ursinus)

ගෝනා (Russia unicolor)

මෙම ප්‍රදේශයේ ඇති වෘක්ෂලතා පිළිබදව සලකා බැලිමේදි, වෙරළ තිරයට යාබදව පිහිටි කරදිය තණබිම, පහත් ලැහැබ සහ වෙරළාශ්‍රිත වෘක්ෂලතා ලෙස වෘක්ෂ ලතා වර්ග 3කි. උද්‍යානයෙන් 73%ක් පමණ වනාන්තරයේ හෝ ලැහැබ වලින් සමන්විත වන අතර ඉතිරිය විවෘත වාසභුමියක් ලෙස පවති. කිලෝමීටර් 5-10ක්  අතර වු වෙරල තීරය අඩු උසකින් යුක්ත වන අතර භූමිය අභ්‍යන්තරයට වත්ම වෘක්ෂ සහිත වැසි වනාන්තර හමු වේ.

උද්‍යානයේ බටහිර අශ්‍රිත ප්‍රමුඛ ශාක විශේෂ ලෙස වල්ඉදි, උංචි, තෙල්කදුරු, කොළං, වෑවරණ, හල්මිල්ල, බුරුත, ලෝලු, කළුවර, දළුක්, වීර, පලු, කෝන්, මහදන්, මිල්ල, කිරිකොන් වන අතර,

පදුරු ශාක ලෙස හීරස්ස, දමනිය, බූ කොම්බෑ, කරපිංචා, නෙල්ලි, උල්කෙන්ද , කුකුරුමාන  ද,

තෘණ හා පැළැටි ශාක ලෙස  තෝර, මයුර තණ, හීන් තණ ආදිය හදුනා ගත හැක.

මෙලෙස සෞන්දර්යාත්මක ඓතිහාසික වටිනාකමින් යුක්ත වු විල්පත්තු උද්‍යානය  අතීතයේ සිදු වු ත්‍රස්තවාදි කටයුතු නිසාත්, යුධමය හේතුන් මත තනවා ඇති වැඩි දියුණු කරන ලද මාර්ග නිසාත්,  ඉතාම සංවිධානාත්මකව කරනු ලබන නීති විරෝධි දැව කැපීමි සහා දඩයම් කිරීම් ආදිය නිසාත් යම් තරමක හානියකට ලක් විය. ඒසේම උද්‍යානය ආශ්‍රිත ගම්බිම් ව්‍යාප්ත විමද වනෝද්‍යානයේ ඒකීයකරණයට තර්ජනයක් වු අතර ප්‍රතිසංස්කරණය කරවන ලද මහා අන්දරගොල්ලෑව හා මහාවැව ජලාශ වල ආක්‍රමණික ශාඛ  වර්ධනය වීමත්  වනජිවියනට අයහපතක්ම වි ඇත.

එසේම විල්පත්තු ජාතික උද්‍යානය හුණුවිල ගම පිහිටි උද්‍යාන මුලස්ථානයෙන් පාලනය කරන අතර පාරිසරික සංචාරක කටයුතුද සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

 

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර – හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය – ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තා හා කරුණු) – අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්ථනය (කථාව) – තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම – එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප – රෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

සිංහල යතුරු ලියන හා අනෙකුත් සහාය – අරුණි පලාපත්වල, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය