简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංගය 2 – කහල්ලේ පල්ලෙකැලේ අභයභූමිය

Content Image

හැල කිඹුලා පස්සෙන් පැන්නුවා

මේ සිද්ධිය වුනේ මාව රස්සාවට බඳවා ගත්ත කාලේ.

විල්පත්තු වනය අඩවි අටකට බෙදලා තියෙනවා. මට රැකියාව ලැබුණේ ‘පොම්පරිප්පුව’ කියන අඩවියේ, 3 ශ්‍රේණිය වන අඩවි ආරක්ෂක වරයෙක් විදිහට.

මේ කාලේ ක්ෂේත්‍ර වැඩ වලට අපට රජයෙන් වාහන ලැබුණේ නෑ.අපි ගමන් කළේ පයින් නැත්නම් පා පැදි වලින්.

මේ මාර්ගයේ පරණ වෙල් යායක් තිබුණා. ඒ හරහා කොහොමටවත් වාහන යන්න බැහැ. ඊට අමතරව කිලෝමිටර් විස්සක් තරම් දුරට වැල්ල.

අපි වැටලීමක් කළොත් වරදකරුවන් උසාවියට ඉදිරිපත් කරනවා. ඒ දවස්වල වරදකරුවන් උසාවියට දාන්න අපිට විල්පත්තු ප්‍රධාන දොරටුවෙන් වාහනයක් ගන්න පුළුවන්. උසාවි දැම්මට පස්සේ උසාවි දින වලට අපි යන්නේ පයින්.

මම වැඩ කරපු පොම්පරිප්පුව අඩවියේ ඉඳලා විල්පත්තු ප්‍රධාන දොරටුවට කිලෝමීටර් හතලිස් හයක් දුර තියෙනවා.

උසාවි යන දවසට අපි පාන්දරින් නැගිටලා කිලෝමීටර් හතලිස් හයක් පයින් යන්න අරඹනවා. බෑගයක අපිට අවශ්‍ය ලිපිද්‍රව්‍යත් අනෙක් උවමනා කරන ජාතිත් දාලා පිටේ එල්ලා ගන්නවා.

පොම්පරිප්පුවේ ඉඳලා කිලෝමීටර් හතකට දුරින් තලවිල බංගලාව තියෙනවා. එතැන ටිකක් විවේක අරගන්න පුළුවන්. ඉන් පස්සේ කිලෝ මීටර් තිස්නවයක් පයින් යනවා විල්පත්තු ප්‍රධාන දොරටුවට. ඒ හරියට කියන්නේ හුණුවිලගම කියලා. 

තලවිල බංගලාව පහු කරලා එනකොට වැලි තියෙන ප්‍රදේශයේ ‘ කොක්කාරිය ’ විල හමු වෙනවා. මේ විලේ තියෙන්නේ කලපු වතුර. විල ලඟින් යන වැලි පාර එරෙනවා.

දවසක් මම උදේ පාන්දර ආවා උසාවි යන්න. වෙලාව උදේ හයට විතර ඇති. යාන්තමින් ඉර එළිය වැටී තිබුණා. මගේ අතේ ආයුධයක් තිබුණේ නෑ. වල් සතුන් භය කරන්න පාවිච්චි කරන ආලෝක වෙඩි (තන්ඩ ප්ලෑෂ්) දෙක තුනක් විතරක් තිබුණා ආරක්ෂාවට. පැත්ත පලාතක කවුරුත් පේනන හිටියේ නෑ. 

මම විල ලඟින් එනකොට එකපාරටම විශාල කිඹුලෙක් විල ගැට්ටේ ඉඳලා මං ඉස්සරහට පැන්නා. මේ හැල කිඹුලෙක්. අඩි පහළොවක් විතර දිගයි. වාසනාවට මාව අහුවුණේ නෑ, මම පැන ගත්තා, පස්සේ දුවන්න පටන් ගත්තා. වැලි පාර එරෙනවා. නමුත් අමාරුවෙන් දිව්වා. පස්සේ හැරිලා බලනකොට කිඹුලා මගේ පස්සෙන් එළවනවා. මාව වෙව්ලන්න ගත්තා. නමුත් මට දුව ගන්න පුලුවන් වුනා. කිඹුලා මගේ පස්සෙන් මිටර් අටක් විතර දුරට එලෙව්වා.

ඉන්පස්සේ මම මේ පාරේ යනකොට කිඹුලෝ ගැනත් විශේෂයෙන් බැලුවා.

වෙශාන් සහන්ජිත් වේරගම

වයස අවුරුදු විස්සටත් අඩු තරුණයකුසේ 1981 නොවැම්බර් දෙවැනිදා 3 වන ශ්‍රේණිය වන අඩවි ආරක්ෂක වරයකු ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට බැදුණු සහන්ජිත් වේරගම මහතා අද වන විට 2 ශ්‍රේණිය හා 1 ශ්‍රේණිය කාර්යක්ෂමතා කඩඉම් පසු කර අනුරාධපුර කලාප සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරනු ලබයි. බිරිඳගෙන්ද, දියණියකගෙන්ද පුතනුවන් දෙදෙනකුගෙන්ද සමන්විත වේරගම මහතාගේ ආදරණීය පවුල නුවර දිස්ත්‍රීක්කයේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු අනුරාධපුර නිල නිවසේ සිට රාජකාරී කටයුතු කරනු ලබයි.

කහල්ලේ පල්ලෙකැලේ අභය භූමිය

කහල්ලේ පල්ලෙකැලේ අභය භූමිය උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රිකයට අයත් කලගම් පලාත, පලාගල සහ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සහ වයඹ පලාතේ කූරුණෑගල දිස්ත්‍රිකයේ ගල්ගමුව සහ පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා පැතිර තිබේ. මෙම අභය භූමියෙහි ගිණිකොණ දිශා‍වෙන් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රිකයේ මායිම පිහිටා ඇත.

මෙහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 216.9 නැතහොත් හෙක්ටයාර් 26690 ලෙස 1980 ජුලි පළමු වන දින ප්‍රකාශයට පත් කර ඇත. මෙහි පිහිටිම අනුව අභය භූමිය වටා ජනාවාස පිහිටා ඇති අතර හක්වටුනා ඔය සහ සියඹලාංගමුව වැව මේ ආශ්‍රිතව පිහිටා තිබේ. ඉබ්බන්ගමුව සිට පොල්පිතිගම හරහා මොරගොල්ලාගම දක්වා දිවෙන මාර්ගයද ගලේවෙල සිට නෑගම දක්වා දිවෙන මාර්ගයද අභය භූමිය වෙත ලගා විය හැකි ප්‍රධාන මාර්ග වේ. මඩාටු ගම, කලා වැව හරහා කැකිරාව මාර්ග සම්බන්ධ කර අතුරු මාර්ග රාශියක් මෙම අභය භූමිය වටා දිවෙයි. රිටිගල රක්ෂිතයද මෙම අභය භූමියට ආසන්නව පිහිටා ඇත.

මෙම ප්‍රදේශයේ මහවැලි “ එච් ” කලාපය යටතේ ජනාවාස බිහිවීමත්, කෘෂිකාර්මික කටයුතු සහ සංවර්ධන කටයුතු සිදු විම හේතුවෙන් වාසස්ථාන අහිමි වු වන අලි ඇතුළු වනජිවින්ට වාසස්ථාන ලබාදිමේ අරමුණින් හක්වටුනා ඔය, කලා වැව සහා බලලු ඔය ආශ්‍රිතව මෙම අභය භූමිය ප්‍රකාශයට පත් කෙරිනි.

කහල්ලේ පල්ලෙකැලේ අභයභූමිය එහි ප්‍රමාණය හා සැලකිමේදි ඉතා විශාල ජෛව විවිධත්වයකට හිමිකම් කියයි. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලබන අභය භූමියක් තුල රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්ද පිහිටා තිබිය හැකිය. එහෙත් එම පුද්ගලික ඉඩම් තුල ඉදිකිරිමක් හෝ යම් සංවර්ධන ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ සදහා වනජිවි අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු වේ. කහල්ලේ පල්ලෙකැලේ අභයභූමිය තුල ගම්මාන 50 ක් පමණ පිහිටා ඇති අතර අභයභුමි මායිම වටා ද ගම්මාන රාශියක් පිහිටා තිබේ. ‍ මේ සියළු ගම්මාන, අභය භූමිය ප්‍රකාශයට පත් කිරිමට පෙර සිටම පැවති ගම්මාන වේ.  මෙම පැරණි ගම්මාන කුඩා වැව් ආශ්‍රිතව පිහිටා ඇති අතර  පොල්, කෙසෙල්, පලතුරු ආදි ගෙවතු වගාවන් ද මෙහිදි සිදු වේ.

වසර පුරා වියළි දේශගුණයක් දක්නට ලැබෙන අතර, මෙම අභය භූමියේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් පමණ වේ. වර්ෂයේ අප්‍රේල්-මැයි සහ ඔක්තෝබර්-නොවැම්බර් මාස වලදි වර්ෂාපතනය ලැබෙන අතර  ජුනි සිට සැප්තැම්බර් අග දක්වා දිගු වියළි දේශගුණයක් පවති. නොවැම්බර් -ජනවාරි දක්වා මෝසම් වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය මි:මි 1450 සිට 1650 ත් අතර වේ.

කහල්ලේ පල්ලෙකැලේ අභය භූමිය තුල ප්‍රධාන දිය පහර හතරක් දකින්නට ලැබේ. කහල්ලේ නැගෙනහිර බෑවුමෙන් මොරගොල්ල ඔය  කලාවැව වෙත ගලා බසි. දකුණු බෑවුමෙන් හක්වටුනා ඔය ගලා බසින අතර පල්ලෙකැලේ බටහිර බෑවුමෙන් මී ඔය ගලා බසි. මෙහි ප්‍රධාන ජල ප්‍රභවය සියඹලාන්ගමුව ඔයයි. මෙයට අමතරව බලලු වැව, බෝගහපත්තුව වැව, ආඩියාගල වැව, දිවුල් වැව, උල්පත් වැව, රම්බෑව වැව, මිල්ලගොඩ වැව ආදි වැව් රාශියක් කෘෂිකාර්මික කටයුතු සදහා ඉදිකර තිබේ.

කලා වැව

මෙම අභය භූමිය තුල ශාඛ විශේෂ 256 ක් දක්නට ලැබෙන අතර මෙහි උස් වියන් සහිත ප්‍රාථමික වනාන්තර, පහත් වියන් සහිත කදු වැටි, මධ්‍යම ස්ථර සහිත වනාන්තර, පදුරු බිම්, තෙත් බිම්, කුඹුරු, කදුවැටි ආදි පරිසර පද්ධති දක්නට ලැබේ. මෙම පරිසර පද්ධති ඇසුරු කර ගත් විශාල සත්ත්ව විශේෂ රාශියක් මෙහිදි දක්නට ලැබේ. මෙම අභය භූමිය තුල ඖෂධ ශාඛ රාශියක් පවති. ඒ අතර සුදු හදුන්, අරළු, බුළු, මී, ඔලිද, එලබටු, එලනැදුන්, වද කහ, රසකිද, කොහොඹ, කෝමාරිකා, ආඩතෝඩ, කපු කිනිසි, වෙනිවැල්, වැටකේ සහ වල් කදුරු ආදි ඖෂධ ශාඛ ප්‍රධාන වේ.

දඩු ලේනා (Ratufa macroura)

ක්ෂීරපායි විශේෂ, උරගවිශේෂ, උභයජිවින්, පක්ෂි විශේෂ, සමනළයින්, කෘමීන්, ගොළුබෙලි විශේෂ රාශියක් දක්නට ලැබේ. අලියා, වලහා, කළු වදුරා, කොටියා, මී මින්නා, උණහපුළුවා, කලවැද්දා, කබල්ලෑවා මෙහි තර්ජනයට ලක්වි ඇති ජිවි විශේෂ ලෙස වාර්තා වේ. මුවා, ගෝනා, කුළුහරක්, රිලවා, නරියා, හෝතම්බුවා, ඉත්තෑවා, දඩුලේනා ආදි සත්ව විශේෂද මෙහි ජිවත් වෙති. කහල්ලේ පල්ලෙකැලේ අභය භූමිය තුල අලි 150 – 200 ක් පමණ ජිවත් වන අතර දළ ඇතුන්ද ඒ අතර වේ.  අත්හරින ලද හේන්, වැව් තාවුලු සහ තේක්ක වගාවන් අලින්ගේ ප්‍රියතම වාසස්ථාන වේ. දිවා කාලයේදී අලි, ලදු කැළෑ ආශ්‍රිත ගස් සෙවනේ නිදහසේ ගත කරයි.

ළය රන් බටගොයා (Treron bicinctus)

සවස් කාලයේදි වැව් තාවුළු වල පිහිටි තණ බිම් කරා පැමිනෙණි ඔවුන් වැව් වලින් ජල අවශ්‍යතා සපුරා ගනි. තණ බිම් මෙන්ම තේක්ක වගාවන්ද ඔවුන්ට කදිම ආහාර සපයයි.

මෙම අභය භූමිය තුල විශාල මුව ගහණයක් ද ගෝන්නු රංචු කිහිපයක්ද දැකිය හැකිය. ඔවුන් පහල ස්ථර සහිත වනාන්තරයේ මෙන්ම ඉහල ස්ථර සහිත වනාන්තර වලදිද දැකිය හැකිය. කොටි හත් අට දෙනෙකු මෙන්ම වලසුන් කිහිප දෙනෙකු මෙහි ජීවත් වෙති. ශ්‍රි ලංකාවේ කුරුළුවිශේෂ 427 ක් පමණ වාර්තා වන අතර ඉන් 189 ක් පමණ පර්යටන පක්ෂින් වේ. ශ්‍රි ලංකාවේ බිජුලන පක්ෂි විශේෂ 236 ක් පමණ ජිවත් වන අතර ඉන් 34 දෙනෙකු ශ්‍රි ලංකාවට ආවේණික වේ. කහල්ලේ පල්ලෙකැලේ අභය භූමියේදි දේශිය මෙන්ම පර්යටන පක්ෂින් රාශියක් හදුනා ගත හැකිය. මෙම පක්ෂි විශේෂ අතරින් රාශියක් ඉහල ප්‍රාථමික වනාන්තර තුලදි දැකිය හැකි වේ. හේන් භූමි, ලදු කැළෑ, තෙත් බිම් සහ ජලාශ ඔවුන්ගේ වාසභූමි වේ.

ශ්‍රි ලංකාවේ උරග විශේෂ171 ක් පමණ වාර්තා වන අතර ඉන් 75 ක් පමණ ආවේණික වේ. කහල්ලේ පල්ලේ කැලේ අභය භුමියේදි උරග විශේෂ රාශියක් දැක ගත හැකි අතර එහි දි අවේණික උරග විශේෂ රාශියක් තර්ජනයට ලක් වි තිබේ. ශ්‍රි ලංකාවට අවේණික සියළු සත්ත්ව විශේෂ අතරින් 45% ක් උරග විශේෂ වේ. තාරකා ඉබ්බා, තලගොයා, කබරගොයා, කිරි ඉබ්බා, කටුසු විශේෂ, කිඹුලා මෙන්ම හූනු විශේෂ රාශියක් මෙහිදි දැකිය හැකිය. එසේම වැලි පොළග‍ෙ, පිඹුරා, නාගයා ආදි සර්ප විශේෂද මෙහි බොහෝ වෙති.

ශ්‍රි ලංකාවේ මත්සය විශේෂ 82 ක් වාර්තා වේ. මේ අතරින් විශේෂ 20 ක් කහල්ලේ පල්ලෙකැලේ අභය භූමියෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 4 ක් ආවේණික විශේෂ වේ. සමනල විශේෂ 47 ක් කහල්ලේ පල්ලේ කැලේදි හමු වේ. ඉන් 5 ක් ආවේණික විශේෂ වන අතර විශේෂ 3 ක් අන්තරායට ලක්ව ඇත. බ්ලූ මෝමන්ට්, කොමන් බැන්ඩඩ් පීකොක්, බ්ලූඅද්මිරාල් මෙසේ අන්තරායට ලක් වු විශේෂ වේ. කොමන් ඉන්දියන් ක්‍රෝ, බුෂ් බ්‍රවුන් මෙහිදි හමුවන ආවේණික විශේෂ වේ. මෙවැනි සමනල විශේෂ රාශියක් අභය භූමිය තුල ලදු කැලෑ ආශ්‍රිතව දැකගන්නට ලැබේ.

කහල්ලේ පල්ලෙකැලේ අභය භූමිය වයඹ සහ උතුරු මැද පලාත අතර පිහිටි ඉතා වටිනා අභය භූමියකි. විශේෂයෙන්ම අලි ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයන මෙම අභය භූමිය එම ප්‍රදේශයේ වන ජිවින් සදහා වු හිතකර පරිසර පද්ධති රාශියකින් සැදුම් ලත් අභය භූමියකි.  

මෙම අභය භූමියට පවත්නා ප්‍රධානතම තර්ජනය නම් , මෙහි භූමිය කෘෂිකර්මාන්තය සදහා භාවිතා කිරිමයි. ඒ සඳහා වනය එලිපෙහෙලි කිරිමට පදිංචිකරුවන් ක්‍රියා කිරිම නිසා වන සතුනට වාසස්ථාන අහිමි විමේ තර්ජනයක් පවත්නා අතර එමගින් අලි මිනිස් ගැටුමද උග්‍ර වේ. එසේම කිරි ගවයින් ඇතුළු ගව පට්ටින් අභය භූමි තුලට යැවිම හේතුවෙන් අලි ඇතුන් ඇතුළු අනෙකුත් වන සතුන්ට ආහාර හිගයකට මුහුන දිමට සිදුවේ. එසේම අභය භූමිය තුල සත්ත්ව දඩයම  වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂ ආඥා පනතට අනුව තහනම් ක්‍රියාවක් වුවත් අඩුවැඩි වශයෙන් සත්ත්ව දඩයම තවමත් මෙහිදි ඉදහිට හෝ සිදුවනු දක්නට ලැබේ. එසේම නීති විරෝධි ලෙස ගස් කැපිමත්, ඖෂධ සදහා ශාඛ ලබා ගැනිමත් හේතුවෙන් පරිසර පද්ධතියට හානි පැමිණිම සිදු වේ. අනවසරයෙන් වැලි ගොඩ දැමිම, දර සඳහා ගස් කැපිම ආදි වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට විරෝධි ක්‍රියා සිදු කිරිම හේතුවෙන් අභය භූමිය තුල පවත්නා ස්වභාවික සම්පතට හානි පැමිණිමත් ඒවා හීන වි යාමත් සිදු වේ. අභය භූමිය විවිධ සංවර්ධන ක්‍රියා සඳහා යොදා ගැනීමට උත්සාහ කිරීමත් , මෙහි භූමිය අනවසරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කිරිමත් මෙම අභය භූමියට පවත්නා තවත් තර්ජනයකි.

මයුර රාජ නීලයා Tajuria cippus)

ජාතික උද්‍යාන වල මෙන් අභය භූමිය තුල සංචාරක ක්‍රියාවලිය සිදුකිරිමට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ප්‍රතිපාදන නොමැත. අභය භූමියක් යනු මුළුමනින්ම වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කරන ස්ථානයකි. අභය භූමියක් තුල වන සතුන්ගේ වාසභූමි වලට හානි පමුණුවන ආකාරයෙන් යමක් සිදුකිරිම, කැදලි විනාශ කිරිම, පැටවුන් සහ බිත්තර විනාශ කිරිම, සතුන් ඝාතනය කිරිම මුළුමනින්ම තහනම් වේ.

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර – හසිනි සරත්චන්ද්‍රප්‍රධාන මාධ්‍ය නිලධාරිවනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය – ඒ.ආර්.එෆ්. රිෆ්නාසංවර්ධන නිලධාරිවනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තා හා කරුණු) – අසෝක පලිහවඩනපරිවර්ථකවනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්ථනය (කථාව) – තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම – එන්.අයි.ගයත්‍රිසංවර්ධන නිලධාරිවනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප – රෝහිත ගුණවර්ධනවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

සිංහල යතුරු ලියන හා අනෙකුත් සහාය – අරුණි පලාපත්වලවනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය