简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංගය 3 – කවුඩුල්ල ජාතික වනෝද්‍යානය

Content Image

අනතුරු දෙකක් එකට

මේ සිද්ධිය වුනේ 2004 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පෝය දවසක,කවුඩුල්ල වන උද්‍යානයට අයිති කිතුල් උතුවකියනප්‍රදේශයේ . එතකොට මම වැඩ කළේකවුඩුල්ල ජාතික උද්‍යායේ පොළොන්නරුව වන සත්ව අධිකාරි විදිහට. මට රෑ 12.45 ට විතර ඔත්තුවක් ලැබුණාඅළුත් ඔය ඉඳලා මැදිරිගිරියට කවුඩුල්ල උද්‍යානය හරහා ලී ප්‍රවාහනයක් සිද්ධ වෙනවා කියලා. වනජීවී දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසල ඉඩම් වල තිබෙන කැලෑ කපලා එ් ලී ඉරලා තමයි මෙහෙම ප්‍රවාහනය කරන්නේ. මම අපේ කට්ටියත් එක්ක එතැනට ගියා.

කිතුල් උතුවදුම්රිය පාර ලඟ අපි අට දෙනෙක් විතර රැකලා හිටියා. මට මතක හැටියට එතැන සුරංග රත්නායක, පුෂ්පකුමාර කියන වන අඩවි ආරක්ෂකවරුන් දෙන්නත් හිටියා. අපි එතැනට ගියේ කැබ් එකෙන්. කැබ් එක පැදවූයේ රියදුරු තිලකරත්න.

සාමාන්‍යයෙන් ලී ඡාවාරම් කරුවන්ගස් කපලා ලී ඉරනවා වගේම සතුන් දඩයම් කිරීමත් කරනවා. ඔවුන් ලඟ අවි ආයුධ තියෙනවා. එක පාරට පනින්න එපා.ප්‍රවේශමෙන් ඉන්න කියලා කට්ටියට උපදෙස් දීලා මම එතැනින් අයින් වෙලා එතනටමීටර් තුන්සීයක් හාරසීයක් විතර දුරින් තිබුණු කොටු අතු ලඟට යන්න ආවා.කොටු අතු කියන්නේ පොලවේ මිනිස්සු හැංගිලා ඉන්න හදාගත්ත තැනක්. පැල වර්ග සහඅතුවලින් කොටුවක් වගේ හදලා මැදට වෙලා හැංගිලා ඉන්නවා වතුර බොන්න එන සත්තු දඩයම් කරන්න.

සාමාන්‍යයෙන් ජලාශයකට යාබදවයි කොටු අතු හදන්නේ. මෙතැන ඇලක් තිබුණා. ඇලට යාබදව කොටු අතු කිහිපයක් හදලා තිබුණා.

මම පාරේ වාහනය නවත්තලා කොටු අතු  ලඟට ඇවිදගෙන ගියා. මගේ පස්සෙන් රියදුරාත්,ක්ෂේත්‍ර සහායක වරයාත් ආවා.හඳ එළිය තිබුණට ඒ පැත්ත ගස් නිසා අඳුරු වෙලා තිබුණේ. කොටු අතු තියෙන පැත්තේ විශාල කුඹුක් ගහක් තිබුණා.

මම කුඹුක් ගහ ලඟට ගියා. මම දන්නේ නෑ එතන අලියෙක් හිටගෙන ඉන්නවා. එකපාරටම අලියා මම ඉන්න පැත්තට හැරුණා. ඒත් එතකොට මගේ පස්සෙන් හිටපු  රියදුරාත්,ක්ෂේත්‍ර සහායක වරයාත් කෑගහපු නිසා මමත් පැත්තට පැනගත්තා. අලියා පැනලා දිව්වා.

එ් සද්දෙට ලී ඡාවාරම් කාරයො අපි ඉන්න පැත්තට වෙඩි තිබ්බා. ඒත් එක්කම රැකලා හිටපු අපේ කට්ටියත් අපි ඉන්න පැත්තටම වෙඩි තිබ්බා.කන් දෙදරන්න වෙඩි හුවමාරුවක් සිද්ධ වුනා.

වාසනාවකට අපිට වෙඩි වැදුනේ නෑ. අන්තිමට බලනකොට ලී ඡාවාරම් කාරයො බයිසිකල් අතහැරලා පැනලා ගිහින් තිබුණා. කැලේ ඉඳලා ඉරපු ලී ගෙනෙන්නේ බයිසිකල්වල බැඳගෙන.එක  බයිසිකලයක ලෑලි නැතිනම් පරාල අටක් නවයක් බැඳගෙන ගේනවා.

ඔවුන් දමලා ගියපු බයිසිකල් අටක් ලී පරාලත් එක්ක අපට හම්බ වුනා.ඡාවාරම් කාරයන්ව නම් අල්ල ගන්න බැරි වුනා.

එදා අලියා ගැහුවා නම් මම ඉවරයි. ඒ වගේම දෙපැත්තෙන්ම ආපු වෙඩි වරුසාවෙනුත් බේරෙන්න පුළුවන් වුණා.

ඩී. එම්. වීරසිංහ         

පොළොන්නරුව වන සත්ව අධිකාරි පළමු ශ්‍රේණිය, මාණ්ඩලික නිලධාරී වරයෙකු ලෙස 1998 දී වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුනු ඩී. එම්. වීරසිංහ මහතා 2013 වර්ෂයේ සිට සහකාර අධ්‍යක්ෂ ( නීති) ලෙස සේවය කරනු ලබයි.

ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වන හා පරිසර විද්‍යා පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත. එයට අමතරව කැළණිය විශ්වවිද්‍යාලයෙන් පුරා ජෛව විවිධත්වය පිළිබඳ ඩිප්ලෝමාවක් ද, ඉන්දියාවේ වනජීවී  පාලනය සම්බන්ධ පාඨමාලාවක් ද, තායිලන්තය හා පිලිපීනය යන රටවල කෙටි කාලීන වනජීවීපාඨමාලාවන් ද හදාරා ඇත.

මේ වන විට ඔහු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අපරාධ විද්‍යාව පිළිබඳව උසස් ඩිප්ලෝමාව හදාරමින් සිටි.බිරිඳගෙන් ද, දියණියකගෙන් හා පුතනුවන්ගෙන් ද සමන්විත වූ වීරසිංහ මහතාගේ ආදරණීය පවුල ඔහු සමග බත්තරමුල්ලේ පදිංචි වී සිටි.

 

කවුඩුල්ල ජාතික උද්‍යානය

ආසියානු අලින්ගේ (Elephas maximus) ස්වභාවික හැසිරිම් රටාවන් කදිමට නැරඹිය හැකි ස්ථානයක්  ලෙස මින්නේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යාන ලෝ ප්‍රචලිතය. කවුඩුල්ල ජලාශය වටා පිහිටි තණ බිම් අලින්ට තෝතැන්නකි.  අවුරුද්ද පුරාවටම මෙහිදි අලි රංචු නැරඹිය හැකි වන අතර අගෝස්තු- සැප්තැම්බර් වියළි කාලයේදි අලින් දෙසියයක් තුන්සියයක් පමණ සිටින රංචු වැව් පිටියේ සුලබ දසුනකි.

ආසියානු අලියා

(Elephasmaximus )

වනජීවින්ට පූර්ණ ආරක්ෂාව සපයමින් පරිසරලෝලින්ට,වනජීවින් හා ස්වභාවික පරිසර පද්ධතිය නැරඹීමට හා අධ්‍යයනය කිරිමට ඉඩ සලසන රක්ෂිත භුමි වර්ගය ජාතික උද්‍යානයි.1938 වර්ෂයේ ප්‍රකාශයට පත් කල වන සත්ත්ව හා වෘක්ෂලතා  ආරක්ෂක ආඥා පනතට යටත්ව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර ඇති මුළු ජාතික උද්‍යාන ගණන26 කි.

 කවුඩුල්ල ජාතික උද්‍යානය පොළොන්නරුව දිස්ත්‍රිකයට අයත් මැදිරිගිරිය සහ හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශ වලට අයත්ව  පිහිටා ඇත. මෙය හෙක්ටයාර් 6900 කින් යුක්ත භුමි ප්‍රමාණයකින් සමන්විත වන අතර 2002  අප්‍රේල් මස 01 දින ජාතික  උද්‍යානයක්  ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

 කවුඩුල්ල ජලාශය ආශ්‍රිතව මෙම ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කර ඇති බැවින් මෙය කවුඩුල්ල ජාතික උද්‍යානය ලෙස හැදින්වේ.වසරේ මාස කිහිපයක්ම මුළු බිම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇත්තා වු මෙම ජාතික උද්‍යානයේ මීටර් 60 සිට මීටර් 500 දක්වා උසකින් යුක්ත කදුපන්තියක් උතුරු මායිමේදි දැක ගත හැකිය. කවුඩුල්ල ජලාශය තුන් වන ශත වර්ශයේ මහසෙන් රජසමයේ මින්නේරි වැවට යාබදව ඉදිකරවන ලද්දකි. මෙම ජලාශය කෘෂිකර්මාන්තය හා සංස්කෘතික උරුමයන් පදනම් කර ගත් ශිෂ්ටාචරයකට හිමිකම්  කියන්නා වු එදා මෙන්ම අදටත් බෙහෙවින් වැදගත් වන ජලාශයකි.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500 ත් 2000 ත් අතර වේ. වැඩිම වර්ෂාපතනයනොවැම්බර්සිට පෙබරවාරි දක්වා ඊසාන දිග ‍මෝසමින් ඇද හැලෙයි. අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා වියළි කාළගුණයකි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20 සිට 34.5 දක්වා වෙනස් වේ.

කවුඩුල්ල ජාතික  උද්‍යානය මින්නේරි ජාතික උද්‍යානයටත්,සෝමාවති ජාතික උද්‍යානයටත් යාබදව පිහිටා ඇත. මෙම උද්‍යානය තුල වියළි හා තෙත් මිශ්‍ර සදාහරිත වනාන්තර,  තෘණ භුමි,ලදු කැළෑ හා කදුවැටි ආදි පරිසර පද්ධතීන් දක්නට ලැබේ.

 

මෙම ජාතික උද්‍යානය තුල,කවුඩුල්ල ජලාශය ඔලමඩු ජලාශය,වෙහෙරගල ජලාශය සහ පුලියන්කැලේ වැව පිහිටා  තිබේ.මීට අමතරව මින්නේරිය-කන්තලේ යෝධ ඇල සහ හතරුස් කොටුව ඔය,අලුත් ඔයද මේ ඇසුරෙන් ගලා බසියි.

එසේම මෙම පරිසරපද්ධතිය ඇසුරු කර ගත් සත්ත්ව විශේෂ රාශියක් දැක ගන්නට ලැබේ.මෙම උද්‍යානයේ විවිධ වර්ගයේ තෘණ භුමි සහ තෙත් බිම් පරිසර පද්ධතිය තුළ අලි ,ගෝන, තිත් මුව රංචුද,මීමින්නන්,වල් ඌරන් ආදි සත්ත්වයින් ද  දැක ගතහැක. එසේම කොටියා,වලසා,හැල කිඹුලන්, ජලජ පක්ෂි විශේෂ හා විවිධ වර්ගයේ මත්ස්‍ය විශේෂ ද වේ.තවද උද්‍යානය ආශ්‍රිතව දේශිය මෙන්ම පර්යටන පක්ෂින් රාශියක්ද හදුනා ගත හැක. මෙහි කුඩා ජලාශ හා ඇළ මාර්ග  ආශ්‍රිතව ජලජ පක්ෂි විශේෂ වන දිය කාවූන්,සේරුන්, කොක්කුආදින් දැක ගත හැකි වේ.

 

වියළි කාලවලදි රුස්වන අලිරංචු සහ ඔවුන්ගේ හැසිරිම් උදෙසා වෙන්වු භුමියක් ලෙස හදුනා ගත් කවුඩුල්ල උද්‍යානය,විවිධ කාලවලදි අලි සංක්‍රමණ මාර්ග පහසුකම්ද සපයනු ලබයි. ඒ රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයේ සිට සෝමාවති  ජාතික උද්‍යානය  වෙත  ගමන් කිරිම සදහා අලින්ගේ ගමන් මාර්ගය මෙම ජාතික උද්‍යානය හරහා වැටි තිබිම නිසාවෙනි.

සතාසිවුපාවුන්ට ,වෘක්ෂලතාවන්ට වාසස්ථාන සපයමින්  දේශිය විදේශිය සංචාරකයින්ගේ මන දොල සපුරන මෙම අගනා ජාතික උද්‍යානය අද වන විට විවිධ තර්ජනයන්ට නතු වෙමින් පවති. නීති විරෝධි ගස් කැපීම,සත්ත්ව දඩයම,කැළෑ ගිනි තැබිම,නීති විරෝධී ඉඩම් අත්කර ගැනීම,උද්‍යානයට ගවයන් මුදා හැරිම,වැලි හෑරීම ආදි කටයුතු මැඩලිම සදහා මෙම ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරිහු නිරන්තර මෙහෙයක යෙදි සිටිති.



සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තා හා කරුණු)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව