简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංගය 6 – වස්ගමුව ජාතික වනෝද්‍යානය

Content Image

දඩයක්කාරයන් මුහුණට මුහුණ

මේ සිද්ධිය වුනේ 2017 අවුරුද්දේ ජනවාරි මාසේ 17 වැනිදා.එවිට මමඋද්‍යාන භාරකරුවිදියට  වස්ගමුව වනෝද්‍යානයේ වැඩ කලා. ඒ වෙනකොට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට ඇවිත් අවුරුදු තුනක්.

වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරනකොට අපිට නිතරම එක එක ආකාරයේ ඔත්තු ලැබෙනවා. ගස් කැපීම්, සතුන් දඩයම, මැණික් ගැරීම එම ඔත්තු අතර  ප්‍රමුඛයි. මේ කියන දවසේ අපිට තොරතුරක් ලැබුණේ මිනිස්සුකට්ටියක් සංස්ථාපිටිය කියන ප්‍රදේශයටදඩයමේඇවිත් කියලා.සංස්ථාපිටිය වස්ගමුව ඇතුලේම ප්‍රදේශයක්.මෙහෙම වෙලාවට අපි සතුන් දඩයම් කිරීම හැකි ඉක්මනින් වලක්වන්න ඕනේ. නැත්නම් විවිධ විශේෂ වල සතුන් මරා දමන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් අපි කණ්ඩායමක් එතනට යන්න සුදානම් වුණා. මාත් ඇතුලුව වන සත්ව අඩවි ආරක්ෂක චින්තන බණ්ඩාර, වන සත්ව නියාමක චිත්‍රලාල් බණ්ඩාර, ක්ෂේත්‍ර සහායක සාලිය බණ්ඩාර, ක්ෂේත්‍ර සහායක ශාන්ත ශ්‍රියානන්ද යන අයකණ්ඩායමට එකතු වුණා. අපි වස්ගමුව ප්‍රධාන කාර්යාලයේ සිට සංස්ථාපිටිය ප්‍රදේශයට වාහනයෙන් ගියා. මේ වගේ වැටලීම්වලදී පහරදීම් සිද්ධවෙන්න පුලුවන් නිසා අපි  යනකොට ආයුධ අරගෙන යන්නේ.

එදා අපි ප්‍රධාන කාර්යාලයෙන් පිටත් වෙනකොට හවස තුනහමාරට විතර ඇති.අපිසංස්ථාපිටිය ප්‍රදේශයේ රැකවල් දා ගත්තා. මේ වෙනකොට වෙලාව හවස හයයි හතලිස් පහට විතර ඇති. ඒ හරිය ඝණ කැලෑව.අඳුර වැඩිවෙමින් තිබුණා.අපි දැක්කා දඩයක්කාරයෝ කිහිපදෙනෙක් එනවා.එතන ඔවුන් පස්දෙනෙක් ඉන්න බව පෙනුනා.ඔවුන්  අපි රැකවල්ලාසිටිපැත්තට එමින් සිටියේ.ඔවුන් අත තුවක්කු දෙකක්ද ටෝච් වගේ ආම්පන්නද තියෙන බවත් පෙනුණා.

සාමාන්‍යයෙන්  වනජීවී දෙපාර්තමේන්තුවෙන් වැටලීම් කරන කොට දඩයක්කාරයන් බයයි. පැකිලිමක් නැතිවවහාම යටත් වෙනවා.

එදා අපි එකපාරට ඉස්සරහට පැනලා “අපි වනජීවි දෙපාර්තමේන්තුවෙන්. නතර වෙන්න” කියලා ඔවුන්ට අණ කලා.යටත් වෙනවා වෙනුවට ක්ෂණයකින් ඔවුන් අපි දෙසට වෙඩි තිබ්බා.එය බලාපොරොත්තු නොවුණු සිදුවීමක්.අපේ ජීවිත අනතුරේ බව අපට වැටහුණා.

ඒත් එක්කම අපේ පැත්තෙනුත් දඩයක්කාරයින්ට වෙඩි තිබ්බා.එක දඩයක්කාරයෙකුට වෙඩි වැදුනා.වෙඩිල්ල වැදුනේ ඔහුගේ ඔලුවට බව පෙනුණා.වෙඩි වැදීමත් එක්ක දෙපැත්තේම වෙඩි තැබීම නතර වුණා. වෙඩි වැදුන පුද්ගලයාට අමාරු බව පෙණුනා. ඉක්මනින්ම අනෙක් දඩයක්කාරයින්ව අත්අඩංගුවට අරගෙන වෙඩි වැදුන කෙනාව  ලඟම තිබුණු රෝහලට අරගෙන ගියා.

රෝහලේදී රෑ අට හමාරට විතර ඔහු මිය ගියා.මේ මොහොතේ වෙඩි වැදිලා අපිත් තුවාල වන්නට හෝ  මිය යන්නට ඉඩ තිබුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් නඩුවක් දාලා තියෙන්නේ.දැනට එම නඩුව විභාග වෙනවා.

(නඩුවක් පවතින සිද්ධියක් බැවින් වෙඩි තැබීම පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සඳහන් නොවේ. )

දිලිප් ඩිලන්ත සමරනායක

දිලිප් ඩිලන්ත සමරනායක මහතා කුමන ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස දැනට සේවය කරමින් සිටී. ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ජාතික වනෝද්‍යාන වල සේවය කර ඇත. යාල, උඩවලව, ලුණුගම්වෙහෙර, වස්ගමුව, ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, වලව් වම් ඉවුර (Walawa left bank) වැනි සේවස්ථාන ඔහු සේවය කර ඇති විවිධ ස්ථාන අතරෙන් සමහරකි.

දිලිප් සමරනායකමහතා පුතනුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. හොරණ වැල්ල පිටියේ පදිංචිව සිටී.

වස්ගමුව ජාතික උද්‍යානය

පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට අයත්ව  පිහිටා ඇති වස්ගමුව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ උතුරු මැද හා මධ්‍යම පළාත්වල විහිදි ඇත. වනජීවී විශේෂ 300 කට ආසන්න සංඛ්‍යාවකට වාසස්ථාන සපයන මෙම ජාතික උද්‍යානයේ නැගෙනහිර මහවැලි ගඟෙන්ද,බටහිර සිට උතුර දක්වා කළු සහ අඹන් යන ගංගා වලින්ද මායිම් වි ඇත.1977 දී කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය දියත් කිරීමේදී වනාන්තර සහ වන සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන විශාල වශයෙන් අහිමි විය. එසේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේදී අවතැන් වූ වන සතුන්ගේ ආරක්ෂාව සහ රුකවරණය සැලසිම සඳහා  එම ව්‍යාපෘතිය යටතේ 1984 දි ප්‍රකාශයට පත් කරන ලද ජාතික උද්‍යාන හතරෙන් එකකි.වස්ගමුව ජාතික උද්‍යානය.මාදුරු ඔය,සෝමාවතිය සහ මින්නේරිය ජාතික උද්‍යාන එසේ ප්‍රකාශයට පත් කල අනෙකුත් ජාතික උද්‍යාන වේ.

 

වස්ගමුව ජාතික උද්‍යානය1984 අගෝස්තු 7 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහි වර්ගඵලය හෙක්ටයාර් 37,062.9 කට ආසන්න වේ.කොළඹ සිට  කිලෝමීටර් 225ක දුරකින් පිහිටා ඇති වස්ගමුවජාතික උද්‍යානය පාරිසරික හා ජෛව විවිධාත්මක වටිනාකමින් යුත් මනස්කාන්ත ස්ථානයකි.

 

ජලයෙන් පෝෂණය නොඅඩුව ලබන වස්ගමුව ජාතිකඋද්‍යානය තුල ක්‍රි.ව. 1153-1186 පළමුවන පරක්‍රමබාහු රජු සමයේ ඉදිකරන ලදැයි සැලකෙන කාලිංග යෝධ ඇළ, මාලගමුව, විල්මිටිය, දාස්තොට වැනි ඇළ මාර්ගයන්හි නටබුන්දතවමත් දැක ගත හැකිය.එමෙන්ම දුටුගැමුණු රජු සහ එළාරරජු අතර සිදු වු සටනේ කදවුරු බදින ලදැයි සැලකෙන යුධගනාපිටියද, එම සටන ශාසනයේ ඉදිරි පැවැත්මට බාධාවක් වේ යැයි සැකකල රහතන් වහන්සේලා එය වැලැක්විමට මවා ඇති කන්ද වන රහතන්මැවු කන්ද ද පිහිටා ඇත්තේ වස්ගමු ජාතික උද්‍යානය තුලය .වසර 1800 ක් පමණ පැරණි බුද්ධ ප්‍රතිමාවක් වන බුදුරුවායාය ප්‍රතිමාවද , පැරණි ගල් කණු කිහිපයක්ද ඇති බැවින්මෙම උද්‍යානය ප්‍රසිද්ධ සංස්කෘතික ස්ථානයක් ලෙසද සැලකේ.

 

දේශගුණික තත්වයන් වියළි සහ අතරමැදි කලාපයට අයත් වන අතර බොහෝ දුරට ඔක්තෝබර්-පෙබරවාරි මාසවල ඊසානදිග මෝසම් වැසි බලපෑම් කරනු ලැබේ. අන්තර් මෝසම් වැසි මාර්තු-මැයි මාසවලදී සිදු වුවද වර්ෂාව අඩු ජුනි-සැප්තැම්බර් කාලය සංචාරය සදහ සුදුසුම කාලය වේ.වාර්ෂික වර්ෂාපතනය උතුරේ මිලිමීටර් 1,750 සිට දකුණේ මි.මී. 2,250 දක්වා ඉහළ යයි. අතර සාමන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වන අතර වසර පුරා සුළු වෙනස්කම්ද ඇත. නිරිතදිග මෝසම් සමයේදී (මැයි – අගෝස්තු) සුළං වේගය ඉහළ සහ වියලි බවක් ගන්නා අතර උතුරේ- නැගෙනහිර මෝසම් සුළං වේගය අඩු හා තෙත් බවක් දැකිය හැක.

 

මහවැලි ගඟ, අඹන් ගඟ සහ කළු ගඟේ ජලාප්‍රවාහන ද්‍රෝණි තුනක් තුළ මෙම උද්‍යානය පිහිටා ඇති අතර තවද කරාපන ඇළ, කිරුලේ ඇළ, වැද්දිගේ ඇළ, පලුගහ ඇළ, මිදිරනේ ඇළ, නවගහ ඇළ, වස්ගමු ඔය ආදි දිය පහර වලින්ද පෝෂණය ලබයි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මී.470 ක් පමණ උස් වන දර්ශනීය සුදු කන්ද ආශ්‍රිතව ගලා බසින දිය දහරින් උද්‍යානය තුල ගංගා ඇළ දොළ පෝෂණය වේ. උද්‍යානයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල රතු පැහැයට හුරු දුඹුරු පැහැ පොළොවක් මෙන්ම රොන්මඩ පිරුණු පසින්ද යුක්තය.එම ප්‍රදේශ කොන්ඩලයිට් ,තිරුවාන සහ කිරිගරුඩ වැනි ඛනිජ සම්පත් වලින්ද පෝෂිත වේ. ජාතික උද්‍යානයේ ඉහළ ජෛව විවිධත්වයට හේතු වි ඇත්තේද උද්‍යානය හතර වටින්ගලා යන ගංගා හේතුවෙන් පසෙහි සාරවත්භාවය හා විවිධත්වය ඉහළ යාමය.

වස්ගමුවෙහි වනාන්තර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වියළි සදාහරිත වනාන්තර නියෝජනය කරන අතර මෙම උද්‍යානය තුළ ප්‍රාථමික වනාන්තර, ද්විතීයික වනාන්තර, ගංගාධර වනාන්තර , තෘණ බිම්, කටු පදුරු සහ ගල් සහිත ප්‍රදේශ වලින්ද සමන්විත වු  ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ප්‍රදේශ අතර ඉහළම ජෛව විවිධත්වය ප්‍රදර්ශනයකරනු ලබන උද්‍යානය. ශාක විශේෂ 150 කට වැඩි ප්‍රමාණයක් උද්‍යානයෙන් වාර්තා වී ඇති අතර ජලජ පැළෑටියක් වන Cryptocorynewalkerසහ Munroniapumilaයනු ආර්ථික වටිනාකමක් ඇති දුලබ ශාකවර්ග දෙකකි. වනාන්තරය ස්ථර කිහිපයකින් සමන්විත වන අතරඉහල ස්ථර ශාක ලෙස  බුරුත,පලු,වෙලන්,කළුවර,මිල්ල,වීරසහ හල්මිල්ලශාකද ලදු කැලෑ ආශ්‍රිතව දිවුල්,රතුවා, කටුපිල ආදිඅනෙකුත් ස්ථරවල ශාකද ඉස්මතු වේ.

ජලාශ සහ ගංගාධාර වනාන්තර විශාල සත්ව විශේෂවලට සහාය වන අතර වස්ගමුව උද්‍යානයේ හිමිකරුවන් ලෙස ක්ෂීරපායී විශේෂ 23 ක්,පක්ෂීන් විශේෂ149ක්,උභයජීවී විශේෂ8 ක්,උරගය විශේෂ 17 ක්,මත්ස්‍යය විශේෂ17ක්සහ සමනල විශේෂ50 ක් පමණ ජිවත් වේ.මෙහි සිටින ක්ෂිරපායි විශේෂ අතර විශේෂ 2 ක් ආවේණික වන අතර  විශේෂ 6 ක් වද විමේ තර්ජනයටද , පක්ෂි විශේෂ 8 ක් ආවේණික වන අතර 9 ක් වද විමේ තර්ජනයටද උරග විශේෂ 5ක් ආවේණික වන අතර විශේෂ 8ක් වද විමේ තර්ජනයටද  මුහුණ දි ඇත.

වලසා - වලසුන් නැරඹීමට හැකි හොඳම වනෝද්යාෂනයකි වස්ගමුව

ජාතික උද්‍යානයේ  ශ්‍රී ලාංකීය වල් අලි 150 ක රංචුවක් මහවැලි ගංගා ප්‍රදේශයේ සැරිසරන අතර මෙම අලින්, විල් අලීන්ද ලෙසද හඳුන් වනු ලැබේ.

                                                                                                                                          වල් අලීන්

ශ්‍රී ලංකාවට ආවේණික මහ වදුරා හා රිළවා, හිවලුන්, උනහපුලුවා, වල් ඌරා, තණ බිම් උලා කමින් සැරිසරන වල් මී හරකුන්සහ තිත් මුවන් වැනි සතුන්සමාන්‍යයෙන් නිරීක්ෂණය වන අතර දුර්ලභ දිවියා සහ වලසා කලාතුරකින් නිරීක්ෂණය කළ හැක.

තිත් මුවන්
උනහපුලුවා

ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂ 143 ක්ම උද්‍යානය තුළ දැක ගත හැකි අතර ගංගාධර වනපෙතේ හමුවන වතුරතු මල්කොහා, වලි කුකුළා, බහුරුමානාවා,රන් නළල් කොට්ටෝරුවා,ශ්‍රී ලංකා සිළු මහාකවුඩා, හබන් කුකුලා,අළු කෑදැත්තා මේ අතර විශේෂ තැනක් ගනි.

දුම්බොන්නා
අළු කෑදැත්තා

මෙහි වසන ආවේණික හා වදවිමේ තර්ජනයට ලක් වි ඇති සත්ව විශේෂ අතරට  උභය ජිවියෙක් වන ලංකා බැදි මැඩියා,උරග විශේෂයක් කිහිපයක්ද එක් වේ. එම උරගයන් අතර හීරළු විශේෂයන්වන ලක්හීරළුවා, කටුසු විශේෂයන් වන තොල විසිතුරු කටුස්සාහා පිණුම් කටුස්සා,සර්ප විශේෂයක් වන දගර දණ්ඩා,තලගොයා,හැල කිඹුලාහාකබරගොයා අයත් වේ. මෙහි ඇති ජලාශයන්හි  ආවේණික මත්ස්‍ය විශේෂයක් වන ගල්පාඩියාද සිටී. සමනලුන් රාශියක්ද උද්‍යානය වටා පියාසර කරන අයුරු දැකගත හැකි අතර සමනල් විශේෂ 50 ක් වාර්තා වී ඇත.

 

නේවාසික පහසුකම් සදහා උද්‍යාන තුළ කදුරුපිටිය, වවුල්ඇබේ හා මහවැලි යන (ගග අසබඩ) සංචාරක නිවහන් තුනක්ද හතරමං හන්දියෙ,මහවැලි 1, මැදපිටිය1/2, වවුල්එබේ සහ උල්පත්  හත ආදි කදවුරු බිම්ද උද්‍යාන තුල පිහිටා ඇති අතරඒවා වෙන් කරවා ගැනීම කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ.

මහවැලි බංගලාව
වවුල්ඇබේ බංගලාව
වස්ගමුව ප්‍රධාන දොරටුව
වස්ගමුව ජාතික උද්‍යානයේ සිතියම

වස්ගමුව පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

காட்டு யானைகள்

Asian elephant

Elephas maximus

මහ වදුරා

மந்தி

Southern Purple faced langur

Semnopithecus senex

රිළවා

சிறு குரங்கு

Toque Macaque

Macaca sinica

හිවලා

நரிகள்

Golden jackal

Canis aureus

උනහපුලුවා

தேவாங்கு

Gray Slender Loris

Loris lydekkerrianus

වල් ඌරා

காட்டுப் பன்றிகள்

Wild Boar

Susscrofa

වල් මී හරකා

காட்டு எருமைகள்

Water buffalo

Bubalus bubalis

තිත් මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

කොටියා

புலி

Leopard

Ardeacinerea

වලසා

கரடி

Sloth bear

Melursus ursinus

වතුරතු මල්කොහා

சென்முகப் பூங்குயில்

Red- faced malkoha

Phaenicophaeus pyrrhocephalus

වලි කුකුළා

இலங்கை காட்டுக்கோழி

Sri lanka junglefowl 

Gallus lafayetill

බහුරුමානාවා

சிறுத்த பெரு நாரை

Lesser adjutant

Leptoptilos javanicus

රන් නළල් කොට්ටෝරුවා

குக்குறுவான்

Yellow-fronted barbet

Megalaima flavifrons

ශ්‍රී ලංකා සිළු මහාකවුඩා

தீக்காக்கை

Srilanka trogon

Harpactes fasciatus

හබන් කුකුලා

சின்னக் காட்டுக் கோழி

Srilanka Spurfowl

Galloperdix bicalcarata

අළු කෑදැත්තා 

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Srilanka grey hornbill

Ocyceros gingalensis

ලංකා බැදි මැඩියා

இலங்கை மரத் தவளை

Sri Lanka wood frog

Rana gracilis

ලක්හීරළුවා

இலங்கை அரணை

Sripada forest skink

Lankascincus sp

තොල විසිතුරු කටුස්සා

சிவப்பு உதட்டுப் பல்லி

Red lipped lizard

Calotes ceylonensis

දුම්බොන්නා

இந்தியன் ரோலர்

Indian roller

Coracias benghalensis

පිණුම් කටුස්සා

பெரிய காது இல்லாத பல்லி

Earles’s lizard

Otocryptis wiegmanni

දගර දණ්ඩා

இலங்கை பறக்கும் பாம்பு

Sri Lanka fling snake

Chrysopelea taprobanica

තලගොයා

உடும்பு

Land monitor lizard

Varanus bengalensis

කබරගොයා

நீர் உடும்பு

Asian water monitor

Varanus salvator

හැල කිඹුලා

சதுப்பு முதலை

Mugger crocodile

Crocodylus palustris

ගල්පාඩියා

கல்பாடியா

Ceylon logsucker

garra ceylonensis

වස්ගමුව පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

 Ceylon Iron wood

Manilkara hexandra 

වීර

வீரை

 Hedge Boxwood

Drypetes sepiaria 

බුරුත

முதிரை

Satin

Chloroxylon swietenia

මිල්ල

காட்டு நொச்சி

Milla

Vitex altissma

වෙලන්

வெண்ணங்கு

Welan

Pterospermum canescens

හල්මිල්ල

சாவண்டலை மரம்

Halmilla

Berriya cordifolia

කළුවර

கருங்காலி

Ebony

Diospyros ebenum

දිවුල්

விளா

Divul

Limonia acidissima

රතුවා

ரது வா

Rathuwa

Cassia roxburghii

කටුපිල

வெட்புலா

Katupila

Flueggea leucopyrus

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය- එ්.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව