简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 7 – මාදුරුඔය ජාතික වනෝද්‍යානය

Content Image

අපි රැවටුණා

මගේපළමුවන පත්වීම මාදුරුඔය ජාතික උද්‍යානයට වනසත්ව අඩවි ආරක්ෂක දෙවන ශ්‍රේණියේ නිලධාරියෙක් විදියට 1998 දී. මට නවතින්න ලැබුණේ මාදුරුඔය උද්‍යාන මූලස්ථානයේ.

ඒ කාලයේ එහි උද්‍යාන භාරකරු විදියට හිටියේ රංජිත් ජයසිංහ මහතා. ඔහු දකුණු අප්‍රිකාවේ විශේෂ පුහුණුවක් ලැබූ අත්දැකීම් බහුල නිලධාරියෙක්. තවත් නියාමකවරු පස්දෙනෙක් විතර එහි හිටියා. මම එතන සේවයට ගිහින්  මාස දෙක තුනක් යනකොට අපිට පාන්දර හයට විතර වන සත්ව නියාමක පීටර් සිංඤෝ මූලස්ථානයට  පැමිණ පණිවිඩයක් දුන්නා උද්‍යානයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ අලියෙකු මැරිල ඉන්නවා කියලා.

ඉන්පසු උද්‍යාන භාරකරු රංජිත් මහතා  එම ස්ථානයට යන්න සූදානම් වුණා. මමත් කැමැත්තෙන්ම ඒ ගමනට සූදානම් වුණා. රංජිත් මහතායි මමයි පීටර්  සිංඤෝයි පයින්ම යන්න  පිටත් වුණා. ප්‍රධාන පාරේ කිලෝමීටර් තුනක් විතර පයින් ගිහින් අතුරු පාරකට හැරිලා කැලේ ඇතුලේ පඳුරු සහිත ප්‍රදේශයකින් මීටර් දෙසීයක් විතර කැලේ ඇතුලට ගියා.

කැලේ ඇතුලේ දී අපි දුටුවා සෙවණ සහිත ගසක් යට  පෘෂ්ටිමත් තරුණ අලියෙක් වැටිලා ඉන්නවා.  ඌට අවුරුදු 25 ක් විතර ඇති කියලා රංජිත් මහත්තයා කිව්වා.  මේ පැත්තේ තිබුණේ පඳුරු සහිත කැලෑවක්.

අලියා මැරිලා කියා දැනගෙන සිටි නිසා අපි අලියා අතගාන තරමටම ළං වුණා. මමයි රංජිත් මහත්තයයි හිටියේ අලියා පිටිපස්සේ. පීටර් අලියාගේ හොඬ පැත්තට ගියා.

රංජිත් මහත්තයා කිව්වා “මෙයා මැරිලා දවසකට ආසන්න කාලයක් වෙනවා, ඒකයි මෙච්චර බඩ පිරිලා තියෙන්නේ, තව ටික වේලාවකින් බඩ පුපුරාවි.” කියලා. ඔහු මට දිගටම අලියාගේ තත්වය කිව්වා.

මේ අතරතුරේ පීටර් අලියාගේ ඉස්සරහට ගිහින් අලියාගේ කණ ඇල්ලුවා. ඒත් එක්කම අලියා කන්පට ගැහුවා. පීටර් කෑ ගැහුවා සර් මූ මැරිලා නෑ කියලා. ඒත් එක්කම කිසිවක් සිදු නොවුණා වගේ අලියා එක පාරටම නැගිට්ටා. හිතාගන්න බෑ, හරියටම සිද්ධ වුණේ මොකක්ද  කියලා. අපි තුන්දෙනා තුන් පැත්තකට දුවලා.  බය වුණ පාරට අන්දුන් කුන්දුන් වෙලා. පැය භාගයකට විතර පස්සේ කෑ ගහලා හූ කියලා තමයි එකතැනකට එකතුවෙලා අපි ආපහු ආවේ.

අලියාගේ බඩ පිරිලා තිබිලා තියෙන්නේ හුළං නිසා නෙවෙයි කෑම නිසා. මේ අලියා කලින් දවසේ රෑ කනිත්තිගල කියන ආසන්න ගමට රිංගලා කුඹුරු යාය කාලා තමයි සැපට නිදාගෙන ඉඳලා තියෙන්නේ.

මේ මගේ ජීවිතයේ පළමුවන රැකියාවේ, පළමුවන සේවා ස්ථානයේ පළමුවන අත්දැකීම. එතකොට මගේ වයස අවුරුදු දහ නවයක් විතර ඇති. මේ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නේ නෑ .

පුබුදු සුරංග රත්නායක මහතා

පුබුදු සුරංග රත්නායක මහතා දැනට විල්පත්තු ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස කටයුතු කරයි. 1998.11.09 දින වනසත්ව අඩවි ආරක්ෂක දෙවැනි ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස තම පළමු පත්වීමෙන්  මාදුරුඔය ජාතික උද්‍යානයට පැමිණි ඔහු මේ වනවිට වස්ගමුව, උඩවලව, කුමන, යාල හා විල්පත්තු වනෝද්‍යානවල හා වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ යන අභය භූමි ප්‍රධාන මූලස්ථානවලත්  සේවය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විද්‍යා අංශයෙන් සම්මාන සහිතව සමත්ව තරඟ විභාගයකින් වනජීවී දෙපාර්තමේන්තුවට ඇතුළත් වූ ඔහු එම අවස්ථාවේ තෝරාගත් 24 දෙනා අතරට ඇතුලත් වීමට භාග්‍යවත් විය. මේ වනවිට සුරංග රත්නායක මහතා  ඉන්දියාවේ වනජීවී කලමනාකරණ පුහුණුවක් හදාරා ඇති අතර ඉන්දුනීසියාව, මැලේසියාව, පිලපීනය වැනි රටවල ද පුහුණු ලබා ඇත.

වර්තමානයේ සුරංග රත්නායක මහතා ආදරණීය දියණියකගේ පියෙකු වන අතර කඩුවෙල, බියගම ප්‍රදේශයේ වාසය කරයි.

මාදුරුඔය ජාතික උද්‍යානය

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ සංවර්ධනය කරන්නට යෙදුනු ජලාශ පහක ජල පෝෂක ප්‍රදේශ ආවරණය කරමින් 1983 නොවැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකාවේ පස් වෙනි ජාතික උද්‍යානය ලෙස මාදුරු ඔය ජාතික උද්‍යානය  ප්‍රකාශයට පත් කරන ලදි. මාදුරුඔය,එන්.ඩි.කේ,උල්හිටිය,රත්කිද සහ හෙන්නානිගල ජලාශ සංවර්ධනය කිරීමේදි  අවතැන් වන සත්ව ප්‍රජාවට වාසස්ථාන සැපයීම සහ එම ජල මුලාශ්‍රයන්හි පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරිම මාදුරු ඔය ජාතික උද්‍යානය බිහිවීමේ මුලික අරමුණයි. මාදුරු ඔය ජාතික උද්‍යාන  භුමිය වපසරියෙන් හෙක්ටයාර්  58‚850  ක් වේ. උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාතට අයත් මෙම වන පෙත පොළොන්නරුව,අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කයන් තුළ පිහිටා ඇත. මුළු වන පෙතම ව්‍යාප්තව ඇත්තේ වියළි කලාපය තුලය. මෙම උද්‍යානය කොළඹ සිට කිලෝමීටර් 288(සැතපුම් 179) ක්ඊසාන දෙසින් පිහිටා ඇත.මහවැලි  සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිහිවු  ජාතික උද්‍යාන  වන  වස්ගමුව, සෝමාවතිය,ජලගැලුම් නිම්න සහ මාදුරුඔය  අතරින් මාදුරුඔය ජාතික උද්‍යානය සුවිශේෂත්වයක් උසුලයි.

මාදුරුඔය ජාතික උද්යාිනයේ සිතියම

මාදුරුඔය ජාතික උද්‍යානයේ අරමුණ තවදුරටත් පැහැදිලි කරනු ලබනවා නම්,දේශීය ස්වාභාවික සම්පත් හා පාරිසරික ක්‍රියාවලීන් ආරක්ෂා කිරීමද, උද්‍යානය තුළ ජලයේ ගුණාත්මකභාවය සහ ජලාශවල ප්‍රමාණය සහතික කිරීමද, පාරිසරික සංචාරක අවස්ථා උදා කරදීම  සහ  උද්‍යානය අවට ප්‍රදේශවල ප්‍රාදේශීය ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ පරමාර්ථයෙන්බිහිවුණු උද්‍යානයකි.

මාදුරු ඔය පිහිටා ඇත්තේ මහවැලියේ ගැලුම් රටාවෙන් දුර බැහැරය. මහවැලි දියවරින් පෝෂණය ලබන නිවුන් සහෝදරියන් බදු වු උල්හිටිය සහ රත්කිද ජලාශයන් දෙක මෙහි දී මුලික වී ඇත. මහවැලි ජලය උල්හිටි ඔය ඔස්සේ ගලාවිත් උල්හිටිය ජලාශයත්, උල්හිටිය නිවුන් ජලාශය වන රත්කිද ජලාශයේ කෙලවර තනා ඇති සැතපුම් හතරක් දිග උමගක් ඔස්සේ මාදුරු ඔය ජලාශය වෙත ජලය රුගෙන යයි. ජලාශයේ රැදිවිය හැකි ජල කද ඝන මීටර් හතලිස් හයයි කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වේ (467,000‚000)

මාදුරු ඔය ජලාශය වෙත ජලය රැගෙන යන උමගක්
සොරොව්ව

අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කයට මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති මාදුරු ඔය ජාතික උද්‍යානය වියළි කලාපයට අයත්  ඔක්තොම්බර්  පෙබරවාරි මාසවල ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් හා මාර්තු මැයි මාස වල ගිණිකොණ දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන්නා  වු ද, සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2000 ක් පමණ වන, සාමාන්‍ය උෂ්ණත්වය  සෙන්ටිග්‍රේට් අංශක 27 ක් පමණ වන්නාවු ප්‍රදේශයකි.මෙහි ප්‍රධානභූ විෂමතා ලක්ෂණය වන්නේ උද්‍යානයේ නිරිත දෙසින් කිලෝමීටර් 8 (සැතපුම් 5.0)ක් දිග පාෂාණ කඳු ය. රතු පස ප්‍රමුඛ වන අතර උද්‍යානය පුරා එක ලෙස පැතිරි නැති අතර  කාබනික  ද්‍රව්‍ය සහිත මෙහි පස ඉතා ඉක්මනින් වියලීමට පාත්‍ර වේ. කිව්ල ඇල්ල ප්‍රදේශයේ ඇති උණුවතුර බුබුල සංචාරකයින්ගේ සිත් ගන්නා ස්ථානයක් ලෙසද නම් කල හැක .

මාදුරුඔය  සෑදී ඇත්තේ ස්වාභාවික හා මානව යන දෙපාර්ශවයේම  පරිසර පද්ධති සංකීර්ණයකින් වන අතර එවැනි විශාල ප්‍රදේශ කුඩා ඒකකවලට හෝ කළමනාකරණකලාපවලට වෙන් කිරීම අනිවාර්ය වේ. ඒ සෑම එකක්ම එහි පරිපාලනය, කළමනාකරණය  සහ භාවිතය අනුව වෙනස් වේ. අවසර දී ඇති මානව ක්‍රියාකාරකම් එක් කලාපයකින් තවත් කලාපයකට සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. පරිපාලනයේ පහසුව සඳහා, මාදුරුඔය පහත කළමණාකරණ කලාපවලට බෙදා ඇත. ඒ

    1)  ස්වාභාවික කලාපය

    2)සංස්කෘතික සම්පත් කලාපය

    3)  සංවර්ධන කලාපය

    4)  කැලෑ කොරිඩෝව හෝ ස්වභාව රක්ෂිතය

    5)ප්‍රේරක  කලාපය    ලෙසය.

ජනප්‍රවාද හා පුරාණ ලිපි ලේඛන වලට අනුව මෙම ප්‍රදේශය ඈත ඉතිහාසයේ සිටම වනගත රක්ෂිතයක් ලෙස හදුන්වන්නට  ඇති වන බිමකි . මහාවංශයට අනුව ක්‍රි:ව 273 දි මහසෙන් රජතුමාගේත් ක්‍රි.ව 1055- ක්‍රි.ව 1110 දක්වා රාජ්‍ය කල 1 වන විජයබාහු රජතුමාගේත් නොඅඩු පුද සත්කාර  මාදුරු ඔය වෙත ලැබි ඇති බව සදහන් ය. අතීතයේ මහාදාරගල්ල යනුවෙන් වහරනු ලැබු මෙම ප්‍රදේශය පසු කාලිනව හෙළ බසට රිසි අයුරින් මාදුරු ඔය නමින් හදුන්වා තිබේ. මාදුරු ඔය ජලාශයේ පසෙකට වන්නට පිහිටා ඇති පෞරාණික සොරොව්ව අතීත වාපි තාක්ෂණික දැනුමේ නිහඩ සාක්ෂියකට සමානය.

එසේම දැනට ශ්‍රී ලංකාවේ ජිවත් වන ආදී වාසී ජනතාව මාදුරුඔය ජාතික උද්‍යානයඅවට ජිවත් වන අතර,ඔවුන් සහ ජාතික උද්‍යානය අතර සහජීවනයක් ද  පවති.

මාදුරුඔය ජාතික උද්‍යානය අවට ජිවත් වන ආදී වාසී ජනතාවගේ කිරිකොරහ නැටුමේ අවස්ථාවක්

ප්‍රදේශයේ ප්‍රමුඛ පරිසර පද්ධතිය වන්නේ නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වේ. මහවැලියෙන් දුරස්ව පිහිටියාවු මාදුරු ඔය තමන්ටම අනන්‍ය වු සුන්දරත්වයකින් යුක්ත වු වනපෙතක් සේ සදහන් කල හැකිය. ජලාශය වටා දැවමය ශාක ගණනාවක් දක්නට ලැබේ. වියළි කලාපීය වනාන්තර ලෙසට වීර, පලු, බුරුත, වෙලන්,ශාක ප්‍රමුඛයි. නමුත් ජලාධාර ආසන්නයේදි ගංගාධාර ලක්ෂණ සහිත වනයේ කුඹුක්, තිඹිරි, මීආදි ශාකත්, තෙත් – වියළි ලක්ෂණ දරන උණු කිරිගල ආශ්‍රිතව කිතුල්,නා, ආදි වු ශාකත්, ගල් ගොඩැලි කටු පදුරු වලින් සමන්විත ද්වීතියික වනය සහ තෘණ භුමිත් දැක ගත හැකි වේ.

සද්දන්ත අලි-ඇත් පරපුරේ  සිට  කුඩා කුහුඹුවා දක්වා වු වියළි කලාපය තුල ව්‍යාප්ත සත්ව විවිධත්වයක් මාදුරු ඔය සතුය. ලංකාවට ආවේණික ඉතාමත් දුර්ලභ කුරුල්ලෙකු සේ   ප්‍රකට වතරතු මල් කොහාටත්මාදුරු ඔය උණුකිරිගල ආශ්‍රිත වනය හොද ගැවසුම් බිමකි.

වතුරතු මල් කොහා

යෝධ අලිපනාව සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි. එනම් එම ස්ථානයේ ඇති නුග ගස් දෙකක් අතරින් වන අලින් නිරන්තරවම ගමන් කිරිම සහ මුල් අගිසිවලින් පිට කැසිම හේතුවෙන් පනාවක දැති හා සමානව නුග වැල් රාශියක් එක පෙලට පිහිටා ඇත්තේ යෝධ පනාවක් සිහිපත් කරමිනි.

යෝධ පනාවක් ලෙස පිහිටා ඇති නුග වැල්

ක්ෂීරපායි විශේෂ,උරග විශේෂ,උභයජිවින් විශේෂ, සමනළ විශේෂහා  කෘමි විවිධත්වයදයහපත් ආකාරයක ව්‍යාප්තියක් දක්නට ඇත. තර්ජනයට ලක් වූ ක්ෂීරපායින්, උරගයින් සහ මසුන් විශේෂ උද්‍යානයේ බහුලව දක්නට ලැබේ. තර්ජනයට ලක් වි ඇති සත්ත්ව කාණ්ඩායම් වන්නේ අලියා,කොටියා, රතු මුහුණැති මල්කොහා, කබරගොයා, හැල කිඹුලාසහ පිඹුරාය.තවද බහුරුමානාවා, පාදිලි මානාවා,බ්‍රහ්මන උකුස්සා  ලතු, පොරෝ දෑකැත්තා ආදි පක්ෂීන්ද,ගෝනා,හිවලා, කුළු හරකා, තිත් මුවා, වල් ඌරා, ඉත්තෑවා, වල් බළලාවැනි ක්ෂීරපායීන් ද,තාරකා ඉබ්බා, කටුසු විශේෂ සහ විෂකුරු සර්පයින් ලෙස නාගයින්,‍පොලොන් විශේෂ වැනි උරගයින් ද මෙහි ජිවත් වෙති.

වල් ඌරා
බ්‍රාහ්මන උකුස්සා
රජ අළු හිස් මසුකුස්සා

කොළඹ සිට පහසුම හා වඩාත්ම ප්‍රායෝගික මාර්ගය වන්නේ කුරුණෑගල,දඹුල්ල,හබරණ,පොලොන්නරුව සහ මනම්පිටිය හරහා පැමිණීමය. පොළොන්නරුව – මඩකලපුව මාර්ගයෙන්ද, මහියංගනය-පදියතලාව මාර්ගයෙන් මේ ජාතික උද්‍යානයට ළගාවිය හැක.

අම්පාර,බදුල්ල සහ පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරය කරන්නකුට පහසුවෙන් ළගාවී පාරිසරික  සෞන්දර්ය විදගැනිමට හැකි අගනා ජාතික උද්‍යානයක් ලෙස හදුන්වන මාදුරුඔය ජාතික උද්‍යානයේ, වර්තමානයේ සැලසුම් සහගතව ජනපදකරණය කිරීම වැඩි වීමක්ද පෙන්නුම් කරයි. මෙය උද්‍යානයේ වන ජීවීන්ට සැලකිය යුතු බාධාවක් වී තිබේ. මාදුරුඔය ජලාශය ඉදිරිපිට පිහිටි එඬරු ඇටමුල්ල පෙදෙසේ  බංගලා දෙකක් සහ එක් නේවාසිකාගාරයක් ඇත. සොබාදහමට ආදරය කරන්නන් සඳහා උල්හිටිය කඳවුරු භූමිය ලබා ගත හැකි අතර උද්‍යාන පිවිසුමේ මනාව සකසන ලද වනජීවී කෞතුකාගාරයක්ද වේ.

මාදුරුඔය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala name

Tamil name

English name

Scientific name

අලියා

காட்டு யானைகள்

Asian elephant

Elephas maximus

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

ගෝනා

மரை​கள்

Sambar

Cervus unicolor

හිවලා

நரிகள்

Golden jackal

Canis aureus

කුළු හරකා

நீர் எருமை

Water buffalo

Bubalus bubalis

වල් ඌරා

காட்டுப் பன்றிகள்

Wild Boar

Sus scrofa

තිත් මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

වල් බළලා

காட்டுப்பூனை

Small cat

Felis chaus

වතුරතු මල් කොහා

செம்முகப் பூங்குயில்

Red-faced malkoha

Phaenicophaeus pyrrhoc

බහුරුමානාවා

சிறுத்த பெரு நாரை

Lesser adjutant 

Leptoptilos javanicus

පාදිලි මානාවා

வெண்கழுத்து நாரை

Woolly-necked stork

Ciconia episcopus

බ්‍රාහ්මන උකුස්සා 

செம்பருந்து

Bhaminy Kite

Haliastur indus

ලතු වැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork 

Mycteria leucocephala

Sinhala name

Tamil name

English name

Scientific name

පොරෝ කෑදැත්තා

மலபார் சாம்பல் இருவாச்சி

Malabar hornbill

Ocyceros griseus

රජ අළු හිස් මසුකුස්සා

சாம்பல் தலை மீன்பிடிக் கழுகு

Grey headed eagle

Ichthyophaga ichthyaetus

කබරගොයා

நீர் உடும்பு

Asian water monitor

Varanus salvator

හැල කිඹුලා

சதுப்பு முதலை

Mugger crocodile

Crocodylus palustris

තාරකා ඉබ්බා

நட்சத்திர ஆமை

Star tortoise

Testudo elegans

කටුසු විෂේශ

ஓணான் வகைகள்

LizardSps

 

පිඹුරා

மலைப்பாம்பு

Python 

Python molurus

නාගයා

நாகம்

Cobra

Cobra cobra

පොලඟා

புடையன் பாம்பு

Viper Sps

 

මාදුරුඔය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

පලු

பாலை

 Ceylon Iron wood

Manilkara hexandra 

වීර

வீரை

 Hedge Boxwood

Drypetes sepiaria 

බුරුත

முதிரை

Satin

Chloroxylon swietenia

කුඹුක්

வெண்மருது

kumbuk

Terminalia arjuna

වෙලන්

வெண்ணங்கு

Welan

Pterospermum canescens

තිඹිරි

பத்திரி

Thimbiri

Diospyros malabarica

මී

இலுப்பை

Mee

Madhuca longifolia

කිතුල්

கித்துள்

Fishtail palm

Caryota urens                 

නා

நாகமரம்

Na tree

Mesua ferrea

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දෙමළ පරිවර්තනය- එ්.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව