简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 15 – හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය

Content Image

අවදානම වටහා ගත යුතුයි

මම හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ 2004-2005 වර්ෂ වලත්, 2009- 2012 අවසානය දක්වාත් සේවය කළා. ලංකාවේ තියෙන වැඩිම සංචාරක ආකර්ෂණය තියෙන වනෝද්‍යානය හෝර්ටන් තැන්නයි. දේශීය, විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් වසරකට මේ වනෝද්‍යානය නරඹන්න එනවා. 2009-2012 කාලයේ දී මම වැඩ කළේ උද්‍යාන භාරකරු විදිහට. අපි කාර්ය මණ්ඩලය 25 ක් විතර හිටියා. අපි නැවතිලා හිටියේ උද්‍යානයේ නිල නිවාස වල. වනජීවී නිලධාරීන් විදිහට අපි පැය 24 පුරාම රාජකාරියේ නිරත වෙලා ඉන්නේ.

හෝර්ටන් තැන්න වන උද්‍යානය තුල පිහිටි ලෝකාන්තය නැරඹීමට ගොඩක් අය කැමතියි. ලෝකාන්තය පිහිටලා තියෙන්නේ සොබාව මං පෙතේ. ඒ මං පෙතේ කිලෝමීටර් 7 ½ ක් විතර යන්න ඕනෑ ලෝකාන්තය ලඟට යන්න. මේ මං පෙතේ නරඹන ස්ථාන ගනණක් තියෙනවා. කුඩා ලෝකාන්තය, චිමිණි පොකුණු, බේකර්ස් ඇල්ල ඒ අතර වෙනවා. කිරිගල්පොත්ත, තොටුපොල කන්ද කියන ලංකාවේ දෙවැනි හා තුන්වැනි උස කඳුත් පිහිටලා තියෙන්නේ හෝර්ටන් තැන්න උද්‍යානය තුලය.  පාසල් ළමුන්, ශිෂ්‍ය භට කණ්ඩායම්, ඡායාරූප ශිල්පීන්, පරිසර වේදීන් වගේ අය කඳු නගින්නත් එනවා. ජල පෝෂක ප්‍රදේශයක් විදිහට හෝර්ටන් තැන්න ක්‍රියා කරන නිසා පොකුණු, ඇල දොල හැමතැනම පිහිටලා තියෙනවා. මහවැලි, කැළණි, වලවේ අතු ගංගා වල ආරම්භයත් සිදුවෙනවා මෙතනින්. බෙලිහුල් ඔය මූලාරම්භය බේකර්ස් ඇල්ල වගේම ඩයගම පැත්තෙන් අග්‍රා ඔය ගලනවා.

හෝර්ටන් තැන්නට එන සංචාරකයන් මේ සුන්දරත්වයෙන් කුල්මත් වෙනවා. පරිසරය සුන්දර වුනාට අවදානම් තැන් බහුලයි. සංචාරකයින්ට අවදානම අමතක වෙනවා.

දවසක් ඔස්ට්‍රේලියානු ජාතික විදේශිකයෙක් ලෝකාන්තයේදී හෝර්ටන් තැන්නේ ඉන්න ලස්සන කටුස්සකුගේ ඡායාරූපයක් ගන්න ගියා. එයා පැමිණිලා හිටියේ බිරිඳත් එක්ක. පස්සෙන් පස්සට ගියපු මොහු  ලෝකාන්තයෙන් පහලට වැටිලා. අපි පොලීසියත් ප්‍රදේශවාසීනුත් සමඟ එකතු වෙලා මළසිරුර සොයාගත්තේ ඉතා වෙහෙස මහන්සියෙන්. මළ සිරුර හමුවුණේ ලෝකාන්තයෙන් පහල පෙරියල්වත්ත කියන ප්‍රදේශයෙන්.

තව දවසක් දේශීය සංචාරකයන් කණ්ඩායමක් ආවා. මොවුන් අතර ප්‍රිය මනාප පිරිමි ළමයෙක් හිටියා. මේ ළමයා හැම තැන දීම නාන්න උත්සාහ කරලා තියෙනවා. බේකර්ස් ඇල්ල ලඟට ආවා විතරයි එයා එකපාරටම වතුරට පැනලා.බේකර්ස් ඇල්ල තද සීතලයි. නාන්න තහනම්. ළමයි දෙන්නෙක් අඬාගෙන දුවගෙන ආවා මල්ලි කෙනෙක් වතුරේ ගිලුනා කියලා කියමින්. අපි පොලීසිය දැනුවත් කරලා ළමයව හෙව්වා. නමුත් අපිට සොයාගන්න බැරිවුණා. පස්සේ නාවික හමුදාවෙන් කට්ටියක් ඇවිත් සොයා ගත්තේ.

සංචාරය කරද්දී වගකීමෙන්, අවබෝධයෙන් සංචාරය කරන්න ඕනෑ. එතකොට මේ වගේ අනතුරු වලක්වා ගන්න පුළුවන්.

මට තව එකක් කියන්න ඕනෑ. සංචාරය කරන්න එන තරුණ කණ්ඩායම් මල්, පැළෑටි කඩනවා. මේ මල් පැළෑටි වෙනත් පරිසරයක හැදෙන්නේ නෑ. අපි ඒවා ආරක්ෂා කරන්න ඕනෑ. හෝර්ටන් තැන්නේ ලස්සන රැකගන්න ඕනෑ.



ජී. යූ. සාරංග මහතා

ජී. යූ. සාරංග මහතා 1983 වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ අඩවි ආරක්ෂක නිලධාරියෙකු ලෙසය. විවිධ ජාතික උද්‍යාන හා අභය භූමි වල සේවය කිරීමට සාරංග මහතා භාග්‍යවන්ත විය. ඔහුට මූලික පුහුණුව ලැබුණේ යාල හා විල්පත්තු අභය භූමි වලිනි. සීගිරිය අභය භූමිය භාරව වැඩ කළ ඔහු පසුව මින්නේරිය ජාතික උද්‍යානයේත් අනතුරුව අවුරුදු 7ක් වස්ගමුව ජාතික උද්‍යානයේත් සේවය කළේය. එමෙන්ම 2004- 2005 වර්ෂවල හා 2009- 2012 වර්ෂයන්යිදී ඔහු හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස සේවය කළේය. අනතුරුව සහකාර අධ්‍යක්ෂක වරයකු ලෙස උසස්වීම් ලැබූ සාරංග මහතා කිලිනොච්චි ප්‍රදේශය භාරව ද පසුව අම්පාර ප්‍රදේශය භාරවද කටයුතු කළේය.

මේ වනවිට ඔහු වවුනියා කලාපය භාරව සේවය කරයි.

1995 වසරේ දී වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ප්‍රදානය කරනු ලබන මාස 9 ක ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සාරංග මහතා එහි කොටසක් ලෙස මාස 3ක් ඉන්දියාවේ ඩෙහෙරාඩුන් නගරයේ වනජීවී ආයතනයේ පුහුණුව ලැබීය. ඔහු කොරියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද කෙටි පුහුණු පාඪමාලා හදාරා ඇත.

සාරංග මහතාගේ නිවස පිහිටා ඇත්තේ මහනුවර, කටුගස්තොටය.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය

මහා කඳු සිසාරා සෑදුනු බිංගෙවල් තුලින් ඇදෙන දුම්රිය කවුලුවකින් ඈත පෙනෙන නිසංසල තේයායක සුන්දරත්වය විදිමින් යාහැකි දුම්රිය ගමනකින් පසුව, දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියක් වන හෝර්ටන්තැන්නට අපි දැන් ළගාවෙමු.

ඉමක් කොනක් දැකිය නොහැකි වු මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම අතින් ද ඉතා විශේෂ, අසිරිමත් වූ ජාතික උද්‍යානයකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික උද්‍යානය වන හෝටන්තැන්න, මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම කන්ද පිහිටි තැනිතලා භුමිය වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2100-2300ක් පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇති භූමි ප්‍රදේශයක් වන මෙය හෙක්ටයාර් 3.169ක් පුරා ව්‍යාප්තව ඇති සුන්දර භූමි ප්‍රදේශයකි.1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර්,කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනාටහෝර්ටන්තැන්න නිලවශයෙන් සොයා ගැනිමේ ගෞරවය  හිමිවන අතර  ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව එයට හෝර්ටන්තැන්න යන නම යොදන ලදි.1969 දෙසැම්බර් 05 වන දීන මෙම වනාන්තරය ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද අතර සමනළ කන්දට මායිම්ව පිහිටා ඇති මෙම උද්‍යානයේ  ඇති ස්ථාන ගත අගය නිසා 1988 වසරේ මාර්තු මස 16 වන දින ජාතික උද්‍යානයක් බවට පත් කරන ලදි. 2010 ජූලි මස මෙය ලෝක උරුම ලැයිස්තුවටද ඇතුලත් ඇත.

දර්ශනීය බේකර්ස් දියඇල්ල

හෝර්ටන්තැන්න මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා රමණීය භූමියකි. නුවරඑළිය හා හපුතලේ අතර මධ්‍යම කදුකරය පුරා පැතිර ඇති මෙම ප්‍රදේශයට නිරිතදිග සහ ඊසාන දිග හා අන්තර් මෝසම් වැසි ලැබේ.මහඑළියෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි.2500ට වඩා වැඩි වන අතර සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයට වසර පුරාම වර්ෂාව පතිත වුවත් ජනවාරි සිට මාර්තු දක්වා දැඩි වියළි කාලයක් පවති. එසේම හෝර්ටන්තැන්න ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් පමණ වීමත්  ඇතැම් කාලවල දී සහ රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 5 දක්වා ප්‍රමාණයක අගයකට පහත වැටීමත් වන අතර හිමිදිරි උදෑසනබිම් තුහින දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා සමාන්‍යයෙන් දැකිය හැකිද  වේ.

ලංකාවේ උසම සානුව වන හෝර්ටන් සානුවට උතුරින් මීටර් 2357ක් පමණ උස තොටුපල කන්දද බටහිරින් මීටර් 2389ක් පමණ උසකින් යුත් කිරිගල්පොත්ත කන්දද ප්‍රධාන කඳු වශයෙන් පිහිටා ඇත. හෝර්ටන්තැන්න ලංකාවේ වඩාත් ශීත හා සුළං වැඩිම ස්ථානය වන අතර මෙම භූමි ප්‍රදේශය හරහා අධික ලෙස සුළං හැමිම නිසා ශාක කුරුවී තිබෙන ආකාරයද නිරීක්ෂණය කර ගත හැක.මෙය කඳුකර සදාහරිත වනාන්තර, තෘණ බිම්,වගුරුබිම් හා ජලජ පරිසර පද්ධතියකින් සමන්විත වන අතරඅක්කර 7000 ක් පමණ භූමියෙන් අක්කර හාරදහසක පමණ ප්‍රමාණයක තණබිම් ඉතා සරුවට වැඩී ඇති ආකාරය දැක ගත හැක. ලංකාවේ වඩාත්ම වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස පවතිනමෙය මහවැලි,කැළණි,වලවේ යන ගංගාවල පෝෂක ප්‍රදේශය මෙන්ම බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔය සඳහා වූ ජලපෝෂණයද ලබාදේ.

1992 දී සිදුකරන ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවාය. බහුතරයක් හෝටන්තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. වැසි වනාන්තර වලට ආවේණික වෘක්ෂලතා මෙහි දක්නට ලැබෙන අතර අලංකාර රතු පැහැති මලක් පිපෙන මහරත්මල් ශාකයදෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ ජනප්‍රිය ශාකයකි. මහරත්මල මධ්‍යම පළාත් පුෂ්පයක් වන අතර  සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා මෙම පරිසරයේ දී මහරත්මල දැකගත හැක. තවද රතු මිහිර,කින, වල් කුරුදු, වල් සපු, බිනර ශාකද මේ අතර වේ.

මහරත්මල් මල
බිනර මල

ලංකාවට ආවේණික සත්ව විශේෂ විශාල පිරිසක් දක්නට ලැබෙන හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ මෙරටට ආවේණික  පක්ෂීන් විශේෂ 98 ක් ද, ක්ෂීරපායින් විශේෂ 14 ක්ද,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.සිව්පා සතුන් අතුරින් වැඩිම ගහණයක් පෙන්වන්නේ  ගෝන පරපුරයි. ඊට අමතරව හදුන් දිවියා, වැලි මුවා, දඬුලේනා, කොටියා, හාවා, වල් ඌරා, ඉත්තෑවා, දියබල්ලා, උණහපුලුවා, වලස් වඳුරාවැනි ක්ෂීරපායින් මෙම පරිසර පද්ධතිය තුළ දී දැකගත හැක. උභය ජීවීන් ලෙස පළා පදුරු මැඩියා, ලංකා කඳුකර මැඩියා, ලංකා මුව පටු මැඩියා, අං කටුස්සා මෙන්ම විවිධ සමනල විශේෂ සහ උරග විශේෂ රැසක්ද හෝර්ටන්තැන්න ජීවත් වනමුත් විශාල ක්ෂීරපායින් හෝර්ටන්තැන්නෙහි දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

සංරක්ෂක කණ්ඩායම සඳහා වෙන්කර ඇති නිවහන ඉදිරිපිට සිටින ගෝනෙක්
අං කටුස්සා

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ආවේණික පක්ෂි විශේෂ 12ක්  පමණ වාසය කරන අතර පහත සඳහන් පක්ෂීන් වාර්තා වන්නේ හෝර්ටන්තැන්න සඳහා පමණි. ශ්‍රී ලංකා කැහිබෙල්ලා, ශ්‍රී ලංකා අනු මැසිමාරා,ශ්‍රීලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා මයිල ගොයා,ශ්‍රී ලංකා හබන් කුකුළා, ශ්‍රීලංකා වළි කුකුලා, ශ්‍රී ලංකා අරංගයා, ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා සහ ශ්‍රී ලංකා වන රැවියා ආදී පක්ෂීන් මෙම උද්‍යානයේදී දැක ගත හැකි අතර මෙය සමනලුන්ගේ ද පාරාදීසයකි.

ශ්‍රී ලංකා කැහිබෙල්ලා
ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා

සංචාරකයින් සංචාරය කිරීමට ප්‍රිය කරන ස්ථාන අතුරින් නුවරඑළිය විශේෂ වේ. සුවදායී දේශගුණය පමණක්ම නොව, මනස්කාන්ත සංචාරක ඉසව් රැසක් නුවරඑළිය නගරය ආශ්‍රිතව පිහිටා ඇත. ඒ සොඳුරු ඉසව් අතරට හෝර්ටන්තැන්න දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගෙන තිබෙන ස්ථානයකි. එසේම ඉතා පොහොසත් ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතුවල යෙදී සිටින්නන් සඳහා ඉතා වටිනා ප්‍රදේශයකි.

තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් වූ හෝර්ටන්තැන්න,තුරුමුදුන් සහිත කදුශිඛරයන් නිරන්තර මිහිදුම් සලුවෙන් වැසී ඇති චමත්කාර භූමි ප්‍රදේශයක් වන අතරමෙහි ඔබට නැරඹිය හැකි සොදුරු ස්ථාන කිහිපයක් වේ. හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙළවරට වන්නට පිහිටි සුන්දරත්වයෙන් අනූන ස්ථානයක් වන ලෝකාන්තයත්, එයට කලින් හමුවන කුඩා ලෝකාන්තයත්, සුන්දර බෙලිහුල් ඔයේ පහස ලබන දර්ශණිය බේකර්ස් දිය ඇල්ලත්දෙස් විදෙස් සංචාරකයන්ගේ සොදුරු පාරාදීසයන්ය.

හෝර්ටන්තැන්න වෙතට පිවිසීම සඳහා මාර්ග 3ක් තිබෙන අතර ඉන් ප්‍රධානතම මාර්ගය වන්නේ නුවරඑළිය, අඹේවෙල සහ පට්ටිපොල හරහාය (කි.මී. 32). සාමාන්‍යයෙන් සංචාරකයන් වැඩි ප්‍රමාණයක් හෝර්ටන්තැන්නට පිවිසීම සඳහා භාවිතා කරන්නේ මෙම ගමන් මාර්ගය යි. එසේම හපුතලේ වැලිමඩ, බොරලන්ද, ඔහිය හරහා (කි.මී. 38)වැටී ඇති ගමන් මාර්ගය ඔස්සේත් නුවරඑළිය, හග්ගල, රේන්දපොල, අඹේවෙල, පට්ටිපොල (කි.මී. 38)හරහා වැටී ඇති ගමන් මාර්ගය ඔස්සේත් හෝර්ටන්තැන්න වෙත ළඟාවිය හැක. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සංචාරක නිවාස කීපයක්ම හෝර්ටන්තැන්නේ ඇත.නවීකරණය කරන ලද ගිණිහිරිය (ඇන්ඩර්සන්) හා මහාඑළිය නිවාසය මෙන්ම පරිසරයට ඇලුම්කරන්නන්ට ස්වභාවික පරිසරයේම නිවාඩුව ගත කළ හැකි පරිදි කඳවුරු බිම් 3ක්ද සකස් කර ඇත. තවද 50 දෙනෙකු දක්වා වන සංචාරක කණ්ඩායම් සඳහා වෙන්කොට ඇති වන නිවහනද ස්වභාව සුන්දරත්වය නැරඹිට හැකි ආකාරයට රමණීය පරිසරයක පිහිටා ඇත. මෙම  සංචාරක නිවාස සහ කඳුවුරු බිම්  කොළඹ බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් වෙන් කරවා ගත හැක. 

ඒ අයුරින් ලෝක උරුමයක්, ස්වභාවික රක්ෂිතයක් සහ උද්‍යානයක් ලෙස නම් කරනු ලැබුවේ මෙය ඉතා වටිනා, අති විශේෂ පරිසර පද්ධතියක් නිසාය. එනිසා හෝර්ටන්තැන්න පරිසර පද්ධතිය රැකගැනීම අප කාගේත් වගකීම විය යුතු යි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific name

ගෝනා

மரை

Sambar

Rusa unicolor

හඳුන් දිවියා

மீன்பிடிப் பூனை

Fishing Cat

Prionailurus viverrinus

වැලි මුවාகுரைக்கும் மான்Barking DeerBarking Deer

වල් ඌරා

காட்டுப் பன்றி

Wild Boar

Sus scrofa

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

හාවා

இந்திகுழி முயல்

Indian hare

Lepus nigricollis

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

දඬු ලේනා

பழுப்பு மலை அணில்

Giant squirrel

Ratufa macroura

දියබල්ලාநீர் நாய்Eurasian otterLutra lutra ceylonica
උණහපුලුවාசிவப்பு மெல்லிய லொரிஸ்Gray Slender Lorisloris lydekkerrianus
වලස් වඳුරා (කළු වඳුරා)

ஊதா முக இலங்கை குரங்கு

Purple-faced langurSemnopithecus vetulus monticola
පළා පදුරු මැඩියාஇலை கூடு புதர் தவளைLeaf-nesting shrub frogPseudophilautus femoralis
ලංකා කඳුකර මැඩියාஇலங்கை தவளை​வாயன்Srilanka frogFejervarya greeni

ලංකා මුව පටු මැඩියා

இலங்கையின் குறுகிய வாய் கொண்ட தவளை

Sri Lanka Narrow-mouth Frog

Microhyla zeylanica

අං කටුස්සාகாண்டா மிருகக் கொம்புப் பல்லிRhino horned lizard Ceratophora stoddartii

වලි කුකුළා

இலங்கைக் காட்டுக் கோழி

Sri lanka junglefowl

Gallus lafayettii

ශ්‍රී ලංකා කැහිබෙල්ලාஇலங்கை நீலச் செவ்வலகன்Sri Lanka blue magpieUrocissa ornata

ශ්‍රී ලංකා අනු මැසිමාරා

வெளிர் நீல ஈப்பிடிப்பான்

Dusky blue flycatcher

Eumyias sordidus

ශ්‍රී ලංකා අනු මැසිමාරාவெளிர் நீல ஈப்பிடிப்பான்Dusky blue flycatcherEumyias sordidus
මයිල ගොයාஇலங்கை மரப் புறாSri Lanka wood pigeonColumba torringtoniae

හබන් කුකුළා

சின்னக் காட்டுக்கோழி

srilankaSpurfowl

Galloperdix bicalcarata

ශ්‍රී ලංකා අරංගයා

இலங்கை விசில் த்ரஷ்

Sri Lanka Whistling Thrush

Myophonus blighi

ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා

மஞ்சள் காது புல்புல்

Sri Lanka Yellow-eared Balbul

Pycnonotus penicillatus

ශ්‍රී ලංකා වන රැවියා

இலங்கை புஷ் போர்ப்லர்

Sri Lanka  Warbler 

Elaphrornis palliseri

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

මහරත්මල්

மகா ரத்மல்

Rhododendron

Rhododendron arboreum

රතු මිහිරිය

ரது மிஹிரிய

Ratumihiriya

Adinandra lasiopetala

කින

கின

Kina

Calophylem walkeri

වල් කුරුදු

வல் குருந்து

walkurudu

Cinnamomum ovalifolium

වල් සපු

வல் சபு

walsapu

Michelia nilagirica

බිනර

பினர

Binara

Exacum trinerva macranthum

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව          

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත්  සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන  සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත්  සංරක්ෂණ අමාත්‍යාංශය – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූප- රෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව