简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 17 – ඩෙල්ෆ් ජාතික උද්‍යානය

Content Image

ඩෙල්ෆ් දූපතේ තනි වුනු අශ්වයෝ

ඩෙල්ෆ් දූපතක්. මෙහි මිනිස්සු 4000 ක් 5000 ක් විතර ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඩෙල්ෆ්.

ඩෙල්ෆ් දූපතේ අශ්වයන් ඉන්නවා. ඔවුන් ඕලන්ද යුගයේ බඩු අදින්න ගෙනාපු අශ්වයින්. දැන් ඔවුන් අපේ රටට අනුවර්තනය වෙලා. මධ්‍යම ප්‍රමාණයේ අශ්වයින් 400 ක් 500 ක් විතර ඉන්නවා.

මේ අශ්ව ගහණය සොබාවිකවයි පාලනය වෙන්නේ. ඩෙල්ෆ් ප්‍රදේශයට ජුනි සිට සැප්තැම්බර් දක්වා ඇති නියඟයක් එනවා. මේ නියගයත් එක්ක වයෝවෘද්ධ සතුන් හා පැටවුන් මිය යනවා. ශක්තිමත් අය ජීවත් වෙනවා. වන උද්‍යනයේ සාදා ඇති ටැංකි වලට වනජීවී දෙපාර්තමේන්තුව බවුසර් මඟින් වතුර ලබා දෙනවා. නමුත් මේ කාලය තුළ සතුන් මිය යනවා.

කල්පිටියේ ඉඳලා යාපනයට එනකම් නොගැඹුරු මුහුද තියෙන්නේ. මේ මුහුදේ මුහුදු ඌරන් ඉන්නවා. උන් ආහාරයට ගන්නේ මුහුදු තණ. මුහුදු තණ යාපනයේ ඉඳලා පහලටම හැදිලා තියෙනවා. එක විශේෂයක් ආවේණිකයි ධීවර කටයුතු නිසා නොගැඹුරු මුහුදේ ඉන්න මුහුදු ඌරන් තර්ජනයට ලක් වෙලා තියෙනවා.

මේ ඩෙල්ෆ් දූපතේ ‘බයෝපැක්’කියන විශේෂ වෘක්ෂයක් තියෙනවා. මෙය දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගසක්.තලෛයි මන්නාරමෙත් මේ වගේ ගසක් තියෙනවා. ලංකාවට තියෙන්නේ මේ ගස් දෙක විතරයි.

සංචාරකයන් දූපතට එනවා. ඔවුන්ට යන්න එන්න පෞද්ගලික බෝට්ටු තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බෝට්ටුවෙන් කාර්ය මණ්ඩලය යනවා එනවා. මීට අමතරව උදේ 8.00 ට විතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් 100 කට විතර යන්න පුළුවන් බෝට්ටුවක් දූපතට එනවා. ඒ බෝට්ටුවේ නොමිලේ යන්න එන්න පුලුවන්. නාවික හමුදාවෙන් බෝට්ටුවේ මෙහෙයුම් කටයුතු කරන්නේ.

ඩෙල්ෆ් දූපතටත් සංක්‍රමණික පක්ෂීන් එනවා. ඩෙල්ෆ් දූපත සම්බන්ධ විශේෂ සිද්ධියක් නොවුවත් යුද්ධයෙන් පස්සේ මේ පරිසරය සාමාන්‍ය තත්වයට හැරෙන විට එහි කොටස් කාරයකු වී ඉන්න ලැබීම සතුටක්.

ජී. යූ. සාරංග මහතා

ජී. යූ. සාරංග මහතා 1983 වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ අඩවි ආරක්ෂක නිලධාරියෙකු ලෙසය. විවිධ ජාතික උද්‍යාන හා අභය භූමි වල සේවය කිරීමට සාරංග මහතා භාග්‍යවන්ත විය. ඔහුට මූලික පුහුණුව ලැබුණේ යාල හා විල්පත්තු අභය භූමි වලිනි. සීගිරිය අභය භූමිය භාරව වැඩ කළ ඔහු පසුව මින්නේරිය ජාතික උද්‍යානයේත් අනතුරුව අවුරුදු 7ක් වස්ගමුව ජාතික උද්‍යානයේත් සේවය කළේය. එමෙන්ම 2004- 2005 වර්ෂවල හා 2009- 2012 වර්ෂයන්යිදී ඔහු හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස සේවය කළේය. අනතුරුව සහකාර අධ්‍යක්ෂක වරයකු ලෙස උසස්වීම් ලැබූ සාරංග මහතා කිලිනොච්චි ප්‍රදේශය භාරව ද පසුව අම්පාර ප්‍රදේශය භාරවද කටයුතු කළේය.

මේ වනවිට ඔහු වවුනියා කලාපය භාරව සේවය කරයි.

1995 වසරේ දී වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ප්‍රදානය කරනු ලබන මාස 9 ක ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සාරංග මහතා එහි කොටසක් ලෙස මාස 3ක් ඉන්දියාවේ ඩෙහෙරාඩුන් නගරයේ වනජීවී ආයතනයේ පුහුණුව ලැබීය. ඔහු කොරියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද කෙටි පුහුණු පාඪමාලා හදාරා ඇත.

සාරංග මහතාගේ නිවස පිහිටා ඇත්තේ මහනුවර, කටුගස්තොටය.

ඩෙල්ෆ් ජාතික උද්‍යානය

ඩෙල්ෆ් දූපත ශ්‍රී ලංකා‌වේ ජනාවාස වු  දූපත් වලින් දුරස්ව ලංකාවේ වයඹ දෙසින්සහ ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටා ඇත. යාපන අර්ධද්වීපයේ ස්වභාව සෞන්දර්යෙන් මෙන්ම පැරණි ගොඩනැගිලිවල නටඹුන් වලින් හැඩවුනු ඩෙල්ෆ්ට් දූපත කාගෙත් සිත් ඇදබැද ගත් දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නා වු දූපතකි.

ඩෙල්ෆ් ජාතික උද්‍යානයේ සිතියමක්

මෙම දූපත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය පරිපාලන දිස්ත්‍රිකයට අයත්ය. නෙඩුන්තිව් (ඩෙල්ෆ්) දූපතේ පිහිටා ඇති හෙක්ටයාර 1846.2 කින් සමන්විත වන්නාවූ භූමි ප්‍රදේශය, සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදනයන්ට අනුව 2015 ජූනි 22 අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ඕවලාකාර හැඩයකින් සමන්විත වන දූපතේ වර්ගඵලය වර්ග කිලෝ මීටර් 50 ක් වන අතර උපරිම දිග කිලෝමිටර් 8ක් සහ පළල කිලෝමීටර 6ක් වේ.යාපනයට කිලෝමීටර් 35ක් නිරිත දෙසින් පිහිටා ඇති භූමියකි. ලංකාවේ යාපනය අර්ධද්වීපයේ  බටහිර කෙළවරේ ඉන්දියානු ගොඩබිමට කිලෝමීටර් 80ක් දුරින් ද තලෙයිමන්නාරම සහ රාමේශ්වරම් වලට කිලෝමීටර් 42ක් දුරින්ද පෝක් සමුද්‍ර සන්ධිය මැද පිහිටා තිබෙන ඩෙල්ෆ් දූපත, ශ්‍රී ලංකාවට අයත් දෙවන විශාලතම දූපත වේ.

ඩෙල්ෆ් දූපත පුරාම ඇත්තේ පෘතුගීසි සහ ලන්දේසි යුගවලට අයත් යටත් විජිත රාජ්‍යයන්හි වගතුග කියාපාන නටඹුන් සහ  ඊටත් එහා යුගයන් දක්වා දිවයන බොදු නටඹුන්ය.දූපතේ ඉතිහාසය මීට වසර 1000කට පමණ පෙර චෝළ  රාජවංශය කාලය දක්වා දිවෙන අතර,දිවයිනේ බටහිර වෙරළ තීරයේ පැරණි ස්ථූපද දැකිය හැක. ලන්දේසි යුගයේ දී මෙම දූපත ශක්තිමත් වූ අතර පෘතුගීසි විසින් භාවිතා කරන ලද පසුව ලන්දේසීන් විසින් භාවිතා කරන ලද “මීකානම්” වූ එකම යටත්විජීත බලකොටුවද මෙහි පිහිටා ඇත.තවද ඩෙල්ෆ් දූපතෙහි දකුණු වෙරළ තීරයෙහි ලන්දේසීන් විසින්  ඉදිකරන ලද සරල ප්‍රදීපාගාරයක් බදු වු ක්වීන්ස් කුළුණ හෙවත් රැජින කුළුණ ද වේ.

මීකානම් බලකොටුව
‌පෞරාණික ස්ථූප නටඹුන්
‌පෞරාණික ස්ථූප නටඹුන්
ක්වීන්ස් කුළුණ

මෙම උද්‍යානයේ විශේෂත්වය වන්නේ ලංකාවේ අනෙකුත් උද්‍යානවල දක්නට නොමැති ඩෙල්ෆ් වලට ආවේණික වූ කැලෑ අශ්වයින් දක්නට ලැබීමයි.උද්‍යානයේ හමුවන කැළෑ අශ්වයින් 16 වන සියවසේදි පෘතුගිසින් විසින් අරාබියෙන් ගෙනවිත් ඇති අතර පසුව ලන්දේසීන් විසින් අභිජනනය කොට ඩෙල්ෆ්ට් හරහා වැටී ඇති මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගන්නා නෞකාවලට අලෙවි කර ඇත. ලන්දේසීන් මෙරටහැරගිය පසු මෙම අශ්වයින් ක්‍රමයෙන් වල් වැඳී කැළෑ අශ්වයින් බවට පත්වී ඇත. ‌ඩෙල්ෆ්ට්හි සිටින මෙම අශ්වයින් බොහෝ විට හැදින්වන්නේ “පෝනීන්” ලෙසය.

නොගැඹුරු මුහුදු ආශ්‍රිත කලාපයක් වන මෙහි  වැසි සමය ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා වන  නමුත් මුළු වර්ෂා කාලය තුලම නිල් අහසක් ඇති දින ගණනාවක්ද තිබේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර්  750ක්  පමණ වන අතර සාමාන්‍යයෙන් උතුරැ අර්ධ ගෝලයේ ගිම්හාන මාසවල වියළි කාලයේ උච්චතම කාලයේදි වර්ෂාපතනය මුළුමනින්ම හිඟ වේ.වාර්ෂික වර්ෂාපතනය ඉතා අඩු අගයක පවතින බැවින් මෙහි අර්ධ ශුෂ්ක කලාපීය ලක්ෂණ පෙන්වයි.දූපත මධ්‍යයෙහි වෙඩ්ඩුක් කුලම් සහ පෙරිය කුලම් ලෙස වැව් දෙකක්ද පිහිටා ඇත.

වියළි දේශගුණික තත්වයන්ට හා ප්‍රදේශයේ පවතින පසට (Porous coralline soil)  හැඩගැසුණු ශාක උද්‍යානය තුළ දැකගත හැකිය.මුල් යුගයේ පදිංචි වූවන් එය මුළුමනින් එළිකොට ඇති බැව් පෙනෙන අතර, කටුක කාලගුණ තත්වයන් හා ශාක භක්ෂක සතුන්ගේ තණ උලා කෑම නිසා මෙහි දේශීය ශාක වර්ධනය ඇනහිට ඇති බැව් පෙනේ. හදුනා ගත් විශේෂ අතර සපුෂ්ප ශාක විශේෂ 209 ක්, පදුරු විශේෂ 29ක්,අපුෂ්ප ශාක විශේෂ 67 ක් සහ ඖෂධ පැළැටි විශේෂ 70 ක් පමණ වේ.තල් ශාකය බහුල ලෙස දූපත පුරා පැතිර තිබෙනු දක්නට හැකිය. උද්‍යානයේ පිහිටා ඇති බයෝබැබ් ශාකය නිවර්තන අප්‍රිකාවේ ඉතියෝපියාව නිජබිම කරගත් ශාක විශේෂයකි. මෙම ශාකය අරාබි වෙළදුන් විසින් මෙහි රෝපණය කර ඇතැයි විශ්වාස කෙරේ.මෙම ශාකයේ කදෙහි විශාල කුහරයක් ඇති අතර එහි මිනිසුන් කිහිප දෙනෙකුට පහසුවෙන් සිටගෙන සිටිය හැකි තරම් විශාල ය. මෙහි කඳේ උස මීටර් 12ක් පමණ වන අතර වට ප්‍රමාණය මීටර් 15ක් පමණ වේ.

                                                                                                                                බයෝබැබ් ශාකය

තල් ශාකය

වාර්තා වී ඇති මල් විශේෂ අතර වදවීමේ තර්ජනයට ලගාවෙමින් පවත්නා Fimbristylisdipsacea විශේෂයද වදවීමේ තර්ජනයට ලක්ව ඇති lpomoeacoptica, Cocculushirsutus හා Peplidiummaritimum විශේෂ 5ක් මෙන්ම තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂ 11 ක්ද හමුවේ. මුහුදු ශාක අතර Sargassum සහ Caulerpa ඇල්ගී විශේෂ බහුලව දැකිය හැක.

උද්‍යානයේ සත්ව විශේෂ අතරින් ක්ෂීරපායි විශේෂ 11ක්, උභයජීවි එක් විශේෂයක්, උරගවිශේෂ 08ක්, පක්ෂි විශේෂ 101ක්, සමනල් විශේෂ 15ක් සහ කූරන් විශේෂ 10ක් වාර්තා වේ.

ඩෙල්ෆ් ජාතික උද්‍යානය තුළ ක්ෂිරපායින් අතරින් ඩෙල්ෆ් පෝනි හෝ කැලෑ අශ්වයා ප්‍රමුඛ වේ. මොවුන් 1000කට ආසන්න ප්‍රමාණයක් උද්‍යානය තුළ වාසය කරයි. එසේම කුඩා ක්ෂීරපායි අතර බොර මුගටියා, අලු මුගටියා, වල් හාවා, මා වවුලා හෝ පළතුරු වවුලා සුලභ විශේෂ වේ.

                                                                                                                                   කැලෑ අශ්වයා

වල් හාවා
මා වවුලා

උරග විශේෂ ලෙසවැලි පොළඟා, ගරා කටුස්සා දැකිය හැක.

වැලි පොළඟා
ගරා කටුස්සා

උද්‍යානය වැඩි පක්ෂි විවිධත්වයක් පෙන්නුම් කරන අතර බොහෝ සංක්‍රමණික පක්ෂීන්ට හොද විවේක ස්ථානයක්ද වේ. පොදු උකුසු ගොයා, පුංචි මාලඔලෙවියා,කෙන්ටිඔලෙවියා,වී කුරුල්ලා,අළු උස්සවටුවා,මාල කොබෙයියා,මහා කොණ්ඩ මුහුදු ළිහිණියා,රෑකණ කොකා දැක ගතහැකි පක්ෂි විශේෂයන්ගෙන් කිහිපයකි.

පොදු උකුසු ගොයා
පුංචි මාල ඔලෙවියා
මාල කොබෙයියා

සමනල විශේෂ ලෙස අරූණු සෙව්වන්දියා, ඉරි කෝනංගියා, මලිතරිසියා සහ කූරන් විශේෂයන් ලෙස Pruinosedbloodtail බහුලව දැක ගත හැක.

කොළඹ සිට පැමිණෙන්නෙකුට කුරූණෑගල-දඹුල්ල_මැදවච්චිය-වව්නියාව-කිලිනොච්චිය-අලිමංකඩ -කයිට්ස් පාර හරහා යාපනයට ළගා වීමට හැකි අතර කොළඹ සිට මුළු දූර ප්‍රමාණය කිලෝමීටර් 389කි. එතැන් සිට කයිට්ස් මාර්ගය හරහා කිලෝමීටර් 31ක් ගොස් කුරිකට්ටුවාන් නාවුක ජැටියට ලගා විය හැක. ජැටියේ සිට ඩෙල්ෆ් ජාතික උද්‍යානය වෙත ලගා වීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ඇති  නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන ‘වඩතාරකී’ සහ ‘කුමුදිනී’ යන විශාල බෝට්ටු දෙකක් මගින් වරකට සියයකට වඩා වැඩි පිරිසක් දූපත වෙත ප්‍රවාහනය කරනු ලබයි. උදේ 8.30ට පමණ ආරම්භ වන මෙම බෝට්ටු දෙක ද ඇතුළුව බෝට්ටු ගමන් වාර පහක් පමණ ක්‍රියාත්මක වේ. පැයක පමණ මුහුදු ගමනකින් කිලෝමීටර්14ක් ගමන් කල පසු ඩෙල්ෆ් දූපත වෙත ලඟා විය හැක.දූපත තුළ ප්‍රවාහනය සඳහා බස් සේවාවක් ක්‍රියාත්මක වේ. උතුරු පළාත් සභාවෙන්  පවත්වාගෙන යන නවාතැන් පහසුකම් සහ සංචාරක මධ්‍යස්ථානද මෙම දූපත නැරඹීමට එන සංචාරකයින් වෙනුවෙන්  දැනට ක්‍රියාත්මක වේ.

ජල ගැලුම් වලට යට නොවන, ශාක පරිසරයට වඩා සුදුසු දූපතේ සංවර්ධිත ප්‍රදේශය මුළු ප්‍රමාණයෙන්1/4 ක් පමණ වන අතර ඉතිරි ප්‍රදේශ සතුන් සඳහා වෙන්ව ඇත. මෙහි සම්පූර්ණ ජනගහනය 5000 කට ආසන්නය.

නාවුක හමුදාව විසින් ක්‍රියාත්මක කරන බෝට්ටුවක්

ඩෙල්ෆ් ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific name

කැලෑ අශ්වයා

காட்டுக் குதிரை

Wild horse

Equus caballus

වල් හාවා

காட்டு குழி முயல்

Black naped hare

Lepus nigricollis

බොර මුගටියා

குட்டைவால்  இந்திய சாம்பல் கீரிப்பிள்ளை

Brown mongoose

Herpestes brachyurus

අලු මුගටියා

சாம்பல் கீரிப்பிள்ளை

Grey mongoose

Herpestes edwardsii

මා වවුලා

பெரிய வௌவால்

Flying fox

Pteropus giganteus

ගරා කටුස්සා 

பொதுவான தோட்டப்பல்லி

Common garden lizard

Calotes versicolor

වැලි පොළඟා

சுருட்டை விரியன்

Saw- scaled viper

Echiscarinatus

පොදු උකුසු ගොයා

சாதாரண சிற்றெழால்

Common kestrel

Falco tinnunculus

පුංචි මාල ඔලෙවියා

சிறிய வளையம் கொண்ட பிளவர்

Little ringed plover

Chara driusdubius

කෙන්ටි ඔලෙවියා

கென்டிஷ் ப்ளோவர்

Kentish plover

Charadrius alexandrinus

වී කුරුල්ලා

நெற்குருவி

Silverbill

Lonchura malabarica

අළු උස්සවටුවා

கௌதாரி

Grey francolin

Francolinus pondicerianus

මාල කොබෙයියා

யுரேஷியா காலர் புறா

Eurasian collared dove

Streptopelia decaocto

මහා කොණ්ඩ මුහුදු ළිහිණියා

பெரிய முகடு டெர்டன்

Great crested tern

Sterna bergii

රෑකණ කොකා

கறுப்பு கிரீடம் அணிந்த நைட் ஹெரான்

Black-crowned night -heron

Nycticorax nycticorax

අරූණු සෙව්වන්දියා 

சிவப்புடல் அழகி

Crimoson rose

Pachliopta hector

ඉරි කෝනංගියා

தருகஸ் நாரா

Striped pierrot

Tarucus nara

මලිතරිසියා

சிறிய சால்மன் அரபு

Small samonarab

Colotis amata

කූරන් විශේෂයන්

தும்பி இனங்கள்

Pruinosedbloodtail

Lathrecista asiatica

ඩෙල්ෆ් ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

තල් ශාකය

ஆசியப்பனை

Palmyra Palm

Borassus flabellifer

බයෝබැබ්

பெருக்க மரம்

Baobab

Adansonia digitata

මල් විශේෂයන්

பூ வகைகள்

Flower Sps

Fimbristylis dipsacea

මල් විශේෂයන්

பூ வகைகள்

Flower Sps

lpomoea coptica

වැල්  විශේෂයන්

கொடி  வகைகள்

Creeper Sps

Cocculus hirsutus

මල් විශේෂයන්

பூ வகைகள்

Flower Sps

Peplidium maritimum

මුහුදු ශාක  විශේෂ

கடற் தாவர   வகைகள்

Ocean plant Sps

Sargassum

මුහුදු ශාක  විශේෂ

கடற் தாவர   வகைகள்

Ocean plant Sps

Caulerpa

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

උද්‍යානය පිළිබඳව විස්තරහසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව         

දෙමළ පරිවර්තනයඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත්  සංරක්ෂණ අමාත්‍යාංශය

ඉංග්රීසි පරිවර්තනයඅසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන  සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

වෙබ් අඩවි සැකසුමඑන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත්  සංරක්ෂණ අමාත්‍යාංශය – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

ඡායාරූපරෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව