简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 18 – චුන්ඩිකුලම් ජාතික උද්‍යානය

Content Image

දිවියාගේ අවසානය

2019 වසරේදී මම සේවය කළේ කිළිනොච්චිය ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂ විදියට. කිළිනොච්චිය ප්‍රදේශයට ජාතික උද්‍යන 2 ක් අයත් වෙනවා. ඒ චුන්ඩිකුලම් හා ඩෙල්ෆ්ටි.

චුන්ඩිකුලම් ප්‍රදේශයේ පොඩි පොඩි විල්ලු තියෙනවා. සංචාරක පක්ෂීන් ඉස්සෙල්ලම පා තබන්නේ චුන්ඩි කුලම් ප්‍රදේශයට. දහස් ගණන් සංචාරක පක්ෂීන් විල්ලු වල ඉන්නවා. වර්ෂා කාලයටමේ විල්ලුවතුරෙන් පිරෙනවා. ඒ කාලයට සංචාරක පක්ෂීන් මන්නාරම වංකාලඅභය භූමියේ ඉන්නවා.

මේ ප්‍රදේශයේ මුහුදු තීරයත් එක්ක කැස්බෑවන් ඉන්නවා. විශේෂයෙන් ඉන්නේ බටු කැස්බෑවන්. උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතු වල ධීවරයන් නිරත වෙනවා. කැස්බෑවන් දැල් වලට අහුවෙනවා. පාදවලටයි හිසටයි තුවාල වෙනවා. නීති විරෝධීව ගෙනියන අවස්ථාත් තියෙනවා. නීති විරෝධී නිසා අල්ලලා බාර දෙන අවස්ථාත් නීතිමය පියවර ගන්න අවස්ථාත් තියෙනවා. වැඩිපුරම අහුවෙන්නේ පොලීසියට. බටු කැස්බෑවන් අමතරව අනෙක් කැස්බෑ විශේෂත් කලාතුරකින් අහුවෙනවා.

දවසක් මම නිලිනොච්චිය කාර්යාලයේ ඉන්නකොට මටපණිවිඩයක් ආවා දිවියෙක් ගමට ඇවිත් කියලා.ගමේ නම අම්බාල කුලම්. මගේ කාර්යාලයේ ඉඳලා ටිකක් දුරයි. මම වහාම කණ්ඩායමක් ඇරියා එතනට. පස්සේ ඔවුන්ගෙන් පණිවිඩයක් ආවා දිවියා ගමේ කොටුවෙලා ඉන්නවා අපි පශු වෛද්‍යවරයාව දැනුවත් කරන්නම්. දිවියාටත් රැකවරණය දාන්නම් කියලා.

පස්සේ මෙතනට පශු වෛද්‍යවරයාත් ආවා. නමුත් පශු වෛද්‍යවරයා සතාව නිර්වින්දනය කරන්න සුදානම් වෙනකොට මිනිස්සු කලහකාරී ලෙස හැසිරිලා තියෙනවා. මේ කලබලය අස්සේ දිවියා අපේ නිලධාරියකුගේ ඇඟට පැනලා. පිටිපස්ස පැත්තට. දිවියාගේ නියපොතු ඇනිලා මස් කඩාගෙන සීරිලා. දරුණු විදියට. තුවාල වුන නිලධාරියා අරගෙන දෙන්නෙක් රෝහලට ගිහින් තියෙනවා. මිනිස්සුන්ගේ කලබල වැඩි වුනා. ඔවුන් අපේ රාජකාරි කටයුතු වලට බාධා කරලා. ඒ අතරතුර සතා මිනිස්සු පස්සේ පන්නන්න පටන් ගත්තා. එතකොට මිනිස්සුන් කැති පොරෝ අරගෙන දිවියා එක්ක සටනට ගියා.

මේ වෙනකොට මමත් ඒ කිට්ටුවට එන්න පුළුවන් වුනා. නමුත් පොලීසිය කිව්වා මිනිස්සු නොසන්සුන් විදියට හැසිරෙනවා. ටිකක් ඉන්න කියලා. ඒත් එක්කම ආරංචි වුනා වුන දිවියා මරලා කියලා.

අපි යනකොට මිනිස්සු කැති පොරෝ වලින් සතාට පහර දීලා. මැරුණු දිවියා ඇඟේ දමාගෙන සෙල්ෆි ඡායාරූප ගන්නවා. මිනිස්සු හැසිරුනේ විශාල වීර ක්‍රියාවක් කරපු විදියට. ඔවුන් ශබ්ද නඟා කෑ ගසමින් හිටියා.

අපි පොලීසියත් සමඟ ගිහින් මිය ගිය දිවියාගේ සිරුර ගත්තා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කලා. අර මිනිස්සු ගත්ත ෆොටෝ ෆේස් බුක් වල දාලා. ඒවත් අරගෙන අධිකරණයට වාර්තා කලා. උසාවියෙන් පොලීසියට නියෝග කළා. සියලු දෙනා අත්අඩංගුවට ගන්න පොලීසිය දස දෙනෙකු පහලොස් දෙනෙකු විතර අත්අඩංගුවට ගත්තා.

තවමත් නඩුව විභාග වෙනවා. සිද්ධිය මතක් වෙනකොට දිවියා බේරා ගන්න බැරිවීම ගැන කණගාටුයි.

ජී. යූ. සාරංග මහතා

ජී. යූ. සාරංග මහතා 1983 වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ අඩවි ආරක්ෂක නිලධාරියෙකු ලෙසය. විවිධ ජාතික උද්‍යාන හා අභය භූමි වල සේවය කිරීමට සාරංග මහතා භාග්‍යවන්ත විය. ඔහුට මූලික පුහුණුව ලැබුණේ යාල හා විල්පත්තු අභය භූමි වලිනි. සීගිරිය අභය භූමිය භාරව වැඩ කළ ඔහු පසුව මින්නේරිය ජාතික උද්‍යානයේත් අනතුරුව අවුරුදු 7ක් වස්ගමුව ජාතික උද්‍යානයේත් සේවය කළේය. එමෙන්ම 2004- 2005 වර්ෂවල හා 2009- 2012 වර්ෂයන්යිදී ඔහු හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස සේවය කළේය. අනතුරුව සහකාර අධ්‍යක්ෂක වරයකු ලෙස උසස්වීම් ලැබූ සාරංග මහතා කිලිනොච්චි ප්‍රදේශය භාරව ද පසුව අම්පාර ප්‍රදේශය භාරවද කටයුතු කළේය.

මේ වනවිට ඔහු වවුනියා කලාපය භාරව සේවය කරයි.

1995 වසරේ දී වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ප්‍රදානය කරනු ලබන මාස 9 ක ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සාරංග මහතා එහි කොටසක් ලෙස මාස 3ක් ඉන්දියාවේ ඩෙහෙරාඩුන් නගරයේ වනජීවී ආයතනයේ පුහුණුව ලැබීය. ඔහු කොරියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද කෙටි පුහුණු පාඪමාලා හදාරා ඇත.

සාරංග මහතාගේ නිවස පිහිටා ඇත්තේ මහනුවර, කටුගස්තොටය.

චුන්ඩිකුලම් ජාතික උද්‍යානය

ඉහල ජෛව විවිධත්වයකින් මෙන්ම අද්විතීය ජලජ හා වෙරළබඩ පරිසර පද්ධතියකින්දසමන්විත වු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට වන්නට කලපු ආශ්‍රීතව පිහිටා ඇති තෙත්බිම් පරිසර පද්ධතියක් ලෙස චුන්ඩිකුලම් ජාතික උද්‍යානය හඳුන්වා දිය හැකිය. මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 19565.33 කින් හෙබි මෙම ප්‍රදේශය 1983 පෙබරවාරි 26 වන දින අභය භූමියක් ලෙස මුලින්ම නම් කොට ඇති අතර වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදනයන්ට අනුව 2015 ජූනි 22 දින ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. උද්‍යානය පුච්චිලයිප්පලි සහ කරච්චි ප්‍රදේශ අතර පිහිටා  ඇති අතර ආසන්නතම නගරය වන්නේ කිලිනොච්චියයි.

චුන්ඩිකුලම් උද්‍යාන භූමිය කලපු පරිසර පද්ධතියක් ආශ්‍රිතව පිහිටා ඇති බැවින් මිරිදිය සහ කරදිය භූමි ලක්ෂණ දැකිය හැකිය.මුහුදු මට්ටමට සමාන්තරව පිහිටා ඇති මෙය පහතරට නිවර්තන දේශගුණික ලක්ෂණ  පෙන්නුම් කරන පරිසර පද්ධති කිහිපයක එකතුවකින් සැදුම්  ලත් තැනිතලා ප්‍රදේශයක් වන අතර මෙහි  ජලයෙහි ලවණතාවය කාලයෙන් කාලයට වෙනස් වීමටද භාජනය  වේ. ඊසාන දිග මෝසම් හා සංවහන වැසි මගින් වරෂය ලැබෙන අතර වරෂයේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය වියළි කාළගුණික තත්ත්වයක් පෙන්නුම් කරයි.

පරිසර පද්ධති කිහිපයකින් සැදුම්ලත් මෙම උද්‍යානයේ ඉහළ ශාක විවිධත්වයක් දැකගත හැක. ඒ අනුව ශාක විශේෂ 187ක් පමණ සොයා ගෙන ඇති අතර එයින් විශාල පුමාණයක් තෙත්බිම් ආශ්‍රිතව වැවෙන ශාක විශේෂ වේ.එයින් කඩොලාන විශේෂ සහ මුහුදු තණකොළ විශේෂ බහුල වශයෙන් දැකගත හැක.කඩොලාන විශේෂ ලෙස මන්ඩා,බේරියා,මූදූ කෙයියා, මහ කඩොල්,කිරල  දැක ගත හැකිය. විශාල ශාක උද්‍යානය තුළ දක්නට නොමැති වුවත් අතරින් පතර තල් ශාකයවේ.තවද ජලජ ශාක විශේෂ 18ක් පමණද හඳුනා ගෙන ඇත.

තල් ශාකය
‌මහ කඩොල්
කිරල
කිරල

චුන්ඩිකුලම් ජාතික උද්‍යාන භූමිය තෙත් හා වියලි පරිසර පද්ධති  දෙකෙන්ම සමන්විත  භූමියක් වන බැවින් සත්ත්ව විවිධත්වය අතින් පොහොසත් වේ.එනම් මෙම පරිසර පද්ධති තුළ ආහාර බහුල වීමත් තම වර්ගයා බෝ කිරිමට උචිත ස්ථාන තිබීමත් නිසා පක්ෂි විශේෂ 136ක් පමණ හඳුනාගෙන ඇති අතර එයිනුත් පර්යටන පක්ෂින් බහුලව දැකිය හැකිය. සුලභව දැකිය හැකි පක්ෂින් ලෙස වයිරපෙද ගොහොදුවිත්තා,රජ සියක්කාරයා,කළු පිය  ඉපල්පාවා,බොරහිස් ගල්වියා,පොදු සිලිත්තා,යුරාසියා කලිත්තා,ගුලුතුඩු මුහුදුලිහිණියා,වගුරු සිලිබිල්ලා හිසකළු කෑදෑත්තා ආදීන් හදුනා ගත හැක.

වයිරපෙද ගොහොදුවිත්තා
රජ සියක්කාරයා
කළු පිය ඉපල්පාවා
බොරහිස් ගල්වියා
පොදු සිලිත්තා

ක්ෂීරපායි විශේෂ ලෙස කොටියා,වලහා, මුවා හා තවත් විශේෂ 26ක් පමණ හදුනා ගෙන ඇත.කිඹුල් විශේෂ ලෙසහැල කිඹුලන්,ගැට කිඹුලන්  වේ.

කොටියා
වලහා
හැල කිඹුලා

එසේම උභය ජීවි විශේෂ 08 ක්,උරග විශේෂ 05 ක්, කැස්බෑ විශේෂයක්,සමනල් විශේෂ 34 ක්,කූරන් විශේෂ 20 ක්,ජලජ පෘෂ්ඨවංශි විශේෂ 30 ක් හා ජලජ අපෘෂ්ඨවංශී විශේෂ 17 ක් ද මෑතකදි කළ පර්යේෂණ වලදි හඳුනා ගෙන ඇත.

කොළඹ සිට උද්‍යානය වෙත මුළු දුර පුමාණය 361 කි.මී වේ.චුන්ඩිකුලම් ජාතික උද්‍යානය කරා ළගා වන්නකුට මීගමුව – පුත්තලම -අනුරාධපුරය – රබෑව- මැදවච්චිය කිලිනොච්චිය -අලිමංකඩ- අයියනච්චි හංදිය – කුවේණි හංදිය පසු කරමින් උද්‍යානයට පිවිසිය හැකිසේම  නිට්ටඹුව -කැකිරාව -තිරප්පනේ -මිහින්තලය -රබෑව- මැදවච්චිය- කිලිනොච්චිය හරහාදගොස් උද්‍යානය වෙත ළගා විය හැකිය.

සංචාරක බංගලාව

චුන්ඩිකුලම් ජාතික උද්‍යානය නැරඹිමට එන සංචාරකයින්ට නවාතැන් ගැනිමට වෙරළ ආසන්නයට වන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන සංචාරක බංගලාවෙහි දස දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සපයා ගත හැකි අතර  එය වෙන් කරවා ගැනීම  කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ.

චුන්ඩිකුලම් ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Botanical Name

කොටියා

புலி

Leopard

Panthera pardus kotiya

වලහා

தேன் கரடி

Sloth bear

Ursus ursinus

මුවා           

மான்

Spotted deer

Axis axis ceylonensis

වයිරපෙද ගොහොදුවිත්තා 

பட்டைவால் மூக்கன்

Bar-tailed godwit

Limosa lapponica

රජ සියක්කාරයා 

பெரும் பூநாரை

Greater flamingo

Phoenicopte rusroseus

කළු පිය  ඉපල්පාවා

நெடுங்கால் உள்ளான்

Black-winged stilt

Himantopus himantopus

බොරහිස් ගල්වියා 

பழுப்புத்தலை கடற்பறவை

Brown headed gull

Chroicocephalus brunnicephalus

පොදු සිලිත්තා

சாதா உள்ளான்

Common sandpiper

Actitis hypoleucos

යුරාසියා කලිත්තා

பெரிய கோட்டான்

Eurasian curlew

Numenius arquata

ගුලුතුඩු මුහුදු ලිහිණියා

பருத்த அலகு ஆலா

Gull-billed tern

Gelochelidon nilotica

වගුරු සිලිබිල්ලා

சின்ன பச்சைக்காலி

Marsh sandpiper

Tringa stagnatilis

හිසකළු කෑදෑත්තා

வெள்ளை அரிவாள் மூக்கன்

Black-headed ibis

Threskiornis melanocephalus

හැල කිඹුලා

சதுப்பு முதலை

Mugger crocodile

Crocodylus palustris

ගැට කිඹුලා

செம்மூக்கு முதலை

Estuarine crocodile

Crocodylus porosus

චුන්ඩිකුලම් ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

කඩොලාන විශේෂ

சதுப்புநில  புதர்கள் 

Mangrove swamp Sps

 

මුහුදු තණකොළ

கடற் புட்கள்

Sea grass

 

කිරල

கிண்ணை

Mangrove apple

Sonneratia caseolaris

 

තල් ශාකය

ஆசியப் பனை

Palmyra Palm

Borassus flabellifer

මන්ඩා

சாம்பல் சதுப்பு நிலம்

Grey mangrove

Avicennia marina

මහ කඩොල් 

சிவப்பு சதுப்பு நிலம்

Red mangrove

Rhizophora mucronata

 

බේරියා

கறுப்பு சதுப்பு நிலம்

Black mangrove

Lumnitzera littoralis

 

මූදූ කෙයියා

கைதை

Thatch screw pine

Pandanus tectorius

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව          

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.