简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 20 – මඩුපාර ජාතික උද්‍යානය

Content Image

මරුවා පෙනි පෙනී

මම වනජීවී දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ 2004 අවුරුද්දේ දහවැනි මාසයේ 1 වෙනිදා. මට සේවය කරන්න ලැබෙන්නේ අනුරාධපුර වයඹ සහ උතුර ප්‍රදේශෙයේ. මෙය විශාල ප්‍රදේශයක්. ලංකාවෙන් භාගයක් විතරම තියෙනවා. ඒ වගේම ඉතා දුෂ්කරයි. ඒ වෙනකොට මේ පැත්තේ බොහෝමයක් ප්‍රදේශ එල්.ටී.ටී.ය. අල්ලාගෙන හිටියේ. පශු වෛද්‍යවරුනුත් හිටියේ ඉතාම ටිකදෙනයි.

 මේ පැත්තේ එල්.ටී.ටී.ඊ. ය නිසා විශාල ජීවිත තර්ජනයක් තිබුණා. නිතරම වෙඩි තියනවා. බිම් බෝම්බ හැම තැනම වගේ අටවලා තිබුණා. අපිට දවසකට කි.මී. 200 – 300 සතුන් හොයා ගෙන ගමන් කරන්න සිද්ධ වුනා.  ශ්‍රී ලංකා හමුදාවේ අවසර අරගෙනයි අපි සෑම තැනකට යන්න ඕනෑ. හමුදාව පැය ගණන් පරීක්ෂා කරනවා.අවසර ගන්න ක්‍රියාදාමයන් ටිකක් දිගයි. සමහර දවස්වල අපි හමුදා කඳවුරු වල නවාතැන් ගන්නවා. බොහොමයක් ප්‍රතිකාර වලට යන්නේ හමුදා සහයෙන්. බිම් බෝම්බ නිසා හමුදාවත් වැඩිය ඇවිදින්න කැමති නෑ. අපි ගෙවල් වලට මේ තත්ත්වය කිව්වේ නෑ.

2008 වසරේ මුල් කාලයේ වෙඩිතලවු ප්‍රදේශයේ මිනිසුන්ට ගහන අලියෙක් හිටියා. මේ අලියා මිනිස්සු මරන්න පටන් ගත්තා. වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කළා අලියා අල්ලන්න. අලියා සැරිසරනවා සැලකිය යුතු විශාල ප්‍රදේශයක. සමහර ප්‍රදේශ බිම්බෝම්බ තියෙන ප්‍රදේශ. සමහර ප්‍රදේශ බිම් බෝම්බ ඉවත් කරපු ප්‍රදේශ සමහර ප්‍රදේශ තිබුණේ එල්.ටී.ටී.ය. යටතේ.

අපිට මේ වගේ මෙහෙයුම් වලට විසි දෙනෙකුගේ විතර කණ්ඩායමක් හිටියා. මාත් පශු වෛද්‍ය ධර්මකීර්ති මහතාත් හිටියා. එදා අපි අලියා නිර්වින්දනය කරලා අල්ලලා ලොරියක පටවාගෙන වෙනත් ප්‍රදේශයකට ගෙන ගිහින් නිදහස් කරන්න බලාපොරොත්තු වුනා.

එදා උදේ 7.00ට පමණ අපි කණ්ඩායම පිටත් වුනා. අපිත් සමඟ යුද හමුදාවේ 15ක් 20ක් පමණ හිටියා. වාහන කිහිපයක් හා ලොරියක් රැගෙන ගියා. වෙඩිකලතිවු කැළෑව ඇතුලේදී අපි අලියාව දුටුවා. අලියා හිටියේ බිම්බෝම්බ නැති ප්‍රදේශයක. අපි නිර්වින්දන බෙහෙත් විද්දාම අලියා මීටර් 500ක් විතර දුවලා ගියා බිම්බෝම්බ තියෙන පැත්තට. අපි පස්සෙන් ගිහින් අමාරුවෙන් අලියාව හොයා ගත්තා. අලියා වැටිලා ඉන්නවා දුටුවා. අපි ප්‍රතිනිර්වින්දනය නොකොළොත් අලියා මැරෙනවා. එතෙනට යනවා හැර වෙන විකල්පයක් නෑ. අපි යුද හමුදාවේ උපදෙස් පරිදි අලියා අඩි තියපු පාර දිගේ කකුල් තිය තිය එතනට ගියා. ප්‍රතිනිර්වින්දනය කළාට පස්සේ කඹයක පටලලා බිම් බෝම්බ නැති ප්‍රදේශයට බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් අලියාව ටික ටික ඇදලා ගත්තා. පස්සේ අමාරුවෙන් වාහනයට පටවා ගෙන නිරුපද්‍රිතව පිටත් වුනා.

මේ ප්‍රදේශයේම තවත් සිදුවීමක් වුනා. එවිට සාම කාලය. අලියෙකු ලිඳට වැටී ඉන්නවා කියලා වවුනියාව දිසාපති කාර්යාලයෙන් දැනුම් දීමක් කලා. එල්.ටී.ටී.ඊ. යයි දැනුම් දීලා තියෙන්නේ. අලියා වැටිලා ඉන්නේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ. වවුනියාව දිසාපති කාර්යාලය අපිත්, එල්.ටී.ටී.ඊ යත් අතර සම්බන්ධීකරණ කටයුතු කළා. අපි 5-6ක කණ්ඩායමක් හමුදාවෙන් අවසර අරගෙන පිටත් වුනා. වවුනියාවේ අඩවි ආරක්ෂක හේරත් මහත්මයාත් අපි සමඟ හිටියා. එක ස්ථානයකින් එහාට හමුදාව නෑ. එල්.ටී.ටී.ඊ බලය තියෙන්නේ. පාරේ බලු බල්ලෙක් නෑ. ආයුධ ගත් අය හැම තැනම අපි දිහා බලන් ඉන්නවා. කාන්තා බලකායත් තැන්තැන්වල හිටියා. ගොඩක් හිටියේ පොඩි කෙල්ලෝ. අපි හරි බයෙන් ගියේ.

ඔවුන්ට සිංහල බෑ. අපිට දෙමළ බෑ. පොඩ්ඩක් ඉංග්‍රීසී පුළුවන් අය සමඟ අපි ඉංග්‍රීසීයෙන් කතා කළා. ඔවුන් ආපේ වාහනය පරීක්ෂා කළා. වාහනයේ නිර්වින්දන තුවක්කු වලට අමතරව රීපීටර් තුවක්කුවක් තිබුණා. පාපිස්ස යට. එය ඔවුන් දුටුවේ නෑ. එල්.ටී.ටී.ඊ බලකාය මෝටර් බයිසිකල් දෙක බැගින් ඉස්සරහින් හා පසුපසින් අප සමඟ පිටත් වුනා. එක් අයෙකුට ආයුධ දෙක බැගින් තිබුණා.

මේ ගමනේදී අපි එල්.ටී.ටී.ඊ කඳවුරු දුටුවා. වටේ ආවරණය කරලා යකඩ තහඩු ගහලා. ට්‍රැක්ටර් ද නවත්තලා තිබුණා. මේ අතරවාරයේ අපිට පේරාදෙණිය සරසවියේ මා සමඟ ඉගෙන ගත් ඉංජිනේරවරයෙකු මාර්ග ප්‍රතිසංස්කරණය කරමින් ඉද්දී හමුවුණා. ඔහු අපට සම්බන්ධීකරණ කටයුතු කර දුන්නා. අදාල තැනට යනකොට ගම්වාසීන් විශාල පිරිසක් රැස්වී හිටියා. ගැඹුරු විශාල ළිඳකට අලියා වැටිලා තියෙන්නේ. උඩින් බලනකොට අලියා පොඩියට සුදුවට පෙනුනේ. දවස් 10ක් විතර ලිඳේ වැටිලා ඉඳලා තියෙනවා.

ඒක කළු ගලෙන් බැඳපු ලිඳක්. ලිඳ කඩනවාට ඒ ගොල්ලන් විරුද්ධ වුනා. මට කිව්වා ලඟ තියෙන ළිඳකින් වතුර ගහමු කියලා. පස්සේ මෝටරයක් හොයාගෙන ළඟ ළිඳකින් මේ ළිඳ පිරෙව්වා. වතුර පිරෙනකොට අලියා උඩට ආවා. ඉන් පස්සේ අලියා බඩ ගාගෙන ගොඩබිමට ආවා. ආපු ගමන්ම දුර්වල වෙලා පණ නැතිව බිම වැටුණා.

අපි අලියාට සේලයින් බෝතල් 4ක් 5ක් දුන්නා. එකපාරටම අලියා නැගිට්ටා. අපි හැමෝම සීසී කඩ දිව්වා. එල්.ටී.ටී.ඊ එකත් ආයුධ අරගෙන දිව්වා. මම හැංගුනේ ගහක් පිටිපස්සේ මෙන්න එල්.ටී.ටී.ඊ කාරයෙකුත් එතැන. මිනිහා උඩට වෙඩි තියන්න ගත්තා. මම එපා කිව්වට පස්සේ ඒක නැවැත්තුවා. මෙතනදී අපි අපේ රිපීටර් තුවක්කුව එළියට ගත්තා. එල්.ටී.ටී.ඊ එ්ක කලින් දුටුවේ නැති නිසා කලබල වුනා. නමුත් අපි කිව්වා කොහොමත් මෙහෙම මෙහෙයුම් වලදී අපි රිපීටර් තුවක්කුව ගෙනියනවා කියලා. ඔවුන් එය පරීක්ෂා කර බැලුවා.

පස්සේ එල්.ටී.ටී.ඊ. ය අපට බටුයි උරු මසුයි එක්ක බත් දුන්නා. රස නම් නෑ. අපිව දේශපාලන නායකයා ලඟටත් එක්ක ගියා. ඔහුගේ නම මට දැන් මතක නෑ. එයා අපිට සත්ව සුභසාධනය ගැන දේශනයක් කළා.  පස්සේ එතැනින් පිටත් වෙලා අපි හමුදාව ලඟට ආවා. අපේ ගමන ගැන හමුදාවේ සතුටක් තිබුණේ නෑ. එදා අපි ආපහු එනකොට රෑ දොළහ විතර උනා. පස්සේ දැන ගත්තා එල්.ටී.ටී.ඊ.බුද්ධි අංශයේ දෙන්නෙක් මගේ ගැනත් විස්තර හොයලා තියෙන බව.

මේ සිද්ධීන් දෙකට මගේ ජීවීතයේ අමතක නොවන වනගත මතක.

පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා

2004.10.01 වැනි එදින වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට තරඟ විභාගයකින් තේරී පත්ව පශු වෛද්‍යවරයකු ලෙස සේවයට බැදුණු චන්දන ජයසිංහ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශුවෛද්‍ය උපාධිය හදාරා ඇත.

පරිසර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන ඔහු ‘ Wildlife & Rehabilitation’සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් ඇමෙරිකාවේදී ලබා ගැන්මට සමත් විය.

අනුරාධපුර වයඹ සහ උතුර ප්‍රදේශයේ දුෂ්කර පෙදෙසක සේවයේ යෙදෙන පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ලබා ඇති අත්දැකීම් සම්භාරයකි.

ඔහු පුතණුවන්  දෙදෙනෙකුගේ සහ දියණියකගේ පියෙකි. ඔහුගේ බිරිඳ කළණි, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරියක ලෙස සේවය කරන අතර පුතණුවන් දෙදෙනා ශාන්ත ජෝශප් විදුහලේද දියණිය ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේද ඉගෙනීම ලබති.

ඔවුන්ගේ ලිපිනය 186/1, සුභසාධක මාවත, විජේපුර, අනුරාධපුරය.

මඩුපාර ජාතික උද්‍යානය

1937 වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ 1968 ජුනි 28 දින අභයභූමියක් ලෙස නම් කරන ලද මඩු පාර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම නගරයට කිලෝමීටර් 25ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත. මෙම අභයභූමිය වර්ග සැතපුම් 103ක වපසරියකින් යුක්තව උතුරු පළාතේ මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල මාන්තායි නැගෙනහිර,මාන්තායි දකුණ, චෙන්කලාවෙඩ්ඩි සහ වව්නියාව දකුණ (දෙමළ) යන ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අයත්ව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන්  වීමෙන් පසු රජයේ පාලනයෙන් තොරව නීති විරෝධි වැලි ගොඩ දැමීම්, පස් ඉවත් කිරීම් සහ සංවර්ධන කටයුතු ව්‍යාප්ත වු බැවින් උතුරු පළාතේ අභය භූමි කිහිපයක් ජාතික උද්‍යාන බවට පත් කිරීමට සැලසුම් කරන ලදි. ඒ අනුව රජය විසින් 2014 ඔක්තෝම්බර්  මාසයේදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහය ඇතිව ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු උතුරු පලාතේ ඒකාබද්ධ උපාය මාර්ගික පාරිසරික තක්සේරුව, සංවර්ධිත ප්‍රදේශ හැර මඩුපාර අභය භූමිය සහ ඒ අවට රජයට අයත් වනාන්තර, ජාතික උද්‍යාන ලෙස නම් කිරිම නිර්දේශ විය. ඒ අනුව එහි ජෛව විවිධත්වය හඳුනාගත් රජය මඩුපාර, ආදම්ගේ පාලම, චුන්ඩික්කුලම් සහ ඩෙල්ෆ්ට් වනාන්තර ජාතික උද්‍යාන ලෙස නම් කරන ලදි.මෙමගින් මඩුපාර අභය භූමිය හෙක්ටයාර් 163,067.39ක භූමි ප්‍රමාණයකින් යුත් ජාතික උද්‍යානයක් ලෙස 2015 ජූනි 22 වන දින අංක 1920/3 යටතේ ගැසට් කරන  ලදි.

මඩුපාර ජාතික උද්‍යානයේ සිතියම

ශ්‍රී ලංකාවේ ශුද්ධ වූ කතෝලික සිද්ධස්ථානයක් වු වසර 400කට වඩා පැරණි රෝමානු කතෝලික මරියා දේවස්ථානයක් වන මඩු අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ද මඩු ජාතික උද්‍යානය ආසන්නයේදි දැකබලා ගත  හැක.

මඩුපාර ජාතික උද්‍යානයේ නාම පුවරුව
මඩුපාර ජාතික උද්‍යානයේ සංකේත පුවරුව

උද්‍යානයට සෙවණ දෙන ප්‍රමුඛ ශාක විශේෂ ලෙස වීර, බුරුත, කොහොඹ, නුග, කලුමැදිරිය හදුනාගත හැකි අතරම මඩු පාර විවිධ පක්ෂීන්ගේ නිවහනක්ද වේ.

මඩුපාර ජාතික උද්‍යානයේ දර්ශන

මෙම උද්‍යානය තුල විවිධ සත්ව විශේෂ ජිවත් වන්නේද ඔහුන්ට එහි ඇති පාරිසරික හිතකර භාවය නිසාමය. මෙලෙස හමුවන සත්ව විශේෂ අතරින්, පක්ෂි විශේෂ ලෙස ශ්‍රී ලංකා අළුකෑදැත්තා, වත නිල් මල් කොහා, ලංකා මුදුන් බොර දෙමලිච්චා, ශ්‍රී ලංකා මල්  කොට්ටෝරුවා, වළි කුකුලා, පොදුවනසැරටින්නා, පොරෝ කෑදැත්තා, බ්‍රාහ්මණ උකුස්සා වේ.

මඩුපාර උද්‍යානයෙහි සැලකිය යුතු ප්‍රමාණයක වනඅලිද ගැවසෙන අතරම මඩු ප්‍රදේශය හරහා අලිමංකඩක්ද දක්නට ලැබේ. මෙලෙස උද්‍යානය තුල හමුවන විශාල ක්ෂිරපායීන් අතරින්  අලින්, වලසුන්, කොටියා, වල් මී හරකුන්,  වල් ඌරා, ප්‍රධාන වන අතර දඬු ලේනා, හිවලුන්, අළු වදුරා, මුගටියා, හාවා වැනි කුඩා ක්ෂිරපායි සතුන්ද වනාන්තරයේ රැකවරණය ලබති.

මෑතකදි ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද බැවින්මඩු ජාතික උද්‍යානය සංචාරකයින් සදහා තවම විවෘත කර නොමැත.

මඩුපාර ජාතික උද්‍යානයේ වව්නියා කලාප කාර්යාලය

මඩුපාර ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

කොටියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

වලහා

தேன் கரடி

Sloth bear

Melursus ursinus

අලියා

ஆசிய யானை

Asian elephant

​Elephas maximus

වල් මී හරකා

காட்டெருமை

Water buffalo

Bubalus bubalis

වල් ඌරා

காட்டுப்பன்றி

Wild Boar

Sus scrofa

හිවලාநரிGolden JackalCanis aureus

අළු වදුරා

சாம்பல் முகக் குரங்கு

Common langur

Semnopithecus entellus

හාවා

இந்தியகுழி முயல்

Indian hare

Lepus nigricollis

මුගටියා

இந்திய சாம்பல் கீரிப்பிள்ளை

Common Mongoose

Herpestes edwardsii

දඬු ලේනා 

பழுப்பு மலை அணில்

Giant squirrel

Ratufa macroura

ශ්‍රී ලංකා අළුකෑදැත්තා  

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Sri lanka Grey Hornbill

Ocyceros gingalensis

වත නිල් මල් කොහා

நீல முகச் செண்பகம்

Blue – faced malkoha

Phaenicophaeus viridirostris

ලංකා මුදුන් බොර දෙමලිච්චා

பழுப்பு நிற மூடிய புளுணி

Brown- Capped Barbbler

Pellorneum fuscocapillus

ශ්‍රී ලංකා මල් කොට්ටෝරුවා

சின்ன குக்குறுவான்

SL Crimson-Fronted Barbet

Psilopogon rubricapillus

වළි කුකුලා

இலங்கைக்காட்டுக்கோழி

Sri lankajunglefowl

Gallus lafayetii

පොදුවනසැරටින්නා

இலங்கைவுட்ஷ்ரைக்

S.L Wood shrike

Tephrodornis affinis

පොරෝ කෑදැත්තා

மலபார்கறுப்புவெள்ளைஇருவாய்ச்சி

Malabar pied hornbill

Anthracoceros coronatus

බ්‍රාහ්මණ උකුස්සා

செம்பருந்து

Bhaminy kite

Haliastur indus

මඩුපාර ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

වීරவீரைHedge Box wood

Drypetes sepiaria

බුරුතமுதிரைSatin wood

Chloroxylon swietenia

කොහොඹவேம்புKohomba 

Azadirachta indica

නුගஆலமரம்Banyan

Ficus benghalensis

කලුමැදිරියபதுரங்கலிKalumadiriya

Diospyros quaesita

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.

උපුටා ගැනීම

Wikipeedia

Ceylon expeditions

Ceylon wildtour