简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 22 – ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය

Content Image

අපි දෙන්නට එකට අඩි පාරේ වැටුණා 

මම වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ 1998දී අඩවි ආරක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක් විදියට. පො‍ළොන්නරුවේ රාජකාරියට ආවේ 2006 වසරේදී. ජල ගැලුම් නිම්නය ජාතික උද්‍යානය පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ.

එදා ඉරිදා දවසක්. ඉරිදා දවසට සතුන් දඩයම් කිරීම වගේ අනවශ්‍ය ක්‍රියා සිද්ධ වෙනවා වැඩියි.ජල ගැලුම් නිම්නය උද්‍යානයට යන්න අපි හතර දෙනෙක් මනම්පිටිය පැත්තට ගියා. මාත් සමඟ අඩවි ආරක්ෂක සරත් කුමාර, වන නියාමක ටී.විජේසිංහ, නියාමක නිමල් හිටියා. කණ්ඩායම භාරව සිටියේ මම.අපි අතේ තිබුණේ බෝර 12 තුවක්කුවයි. ‍පතරොම් තුනක් හා අලි වෙඩි කිහිපයක් පමණයි.

කැලේට ඇතුළුවෙලා කිලෝමීටරයක් විතර යනකොට අපිට කාර්යාලයෙන් පණිවුඩයක් ආවා ජල ගැලුම් නිම්නයට ආසන්න ගමක් වන මුස්ලිම් කොලනියේ ළමයෙකුට අලියෙක් ගහලා ළමයා මැරිලා කියලා. අවරුදු දොළහක  විතර පිරිමි ළමයෙක්. අපි ආපහු කාර්යාලයට ගිහින් එන්න හිතුවත් ගමට කිට්ටුවෙන් හිටපු නිසා ගමට ගිහින්ම යන්න හිතුවා. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වුණාම මිනිස්සු වනජීවී නිලධාරීන්ට කරදර කරනවා. ඒ නිසා අපි දන්න ගමේ කෙනෙකුගේ දුරකථන අංකයක් හොයාගෙන කථා කරලා බැලුවා තත්ත්වය ගැන. එයා අපිට දැන්වුවා මුස්ලිම් චාරිත්‍ර අනුව මිනිය  එදාම භූමදානය කරන්න ඕන නිසා ගමේ අය භූමදානයට සූදානම් වෙනවා කියලා.  අපිට ඒ පුද්ගලයා ගැන විශ්වාසයක් තිබුණා. ඒ වගේම ළමයා මරපු අලියා ලඟ ඉන්නවා වෙන්න පුළුවන් නිසා අලියාව ඉවත් කළ යුතුයි කියන හැඟීමක් තිබුණා. අපි හතර දෙනා පයින්ම මුස්ලිම් කොලනියට ගියා.

අපිට දුරකථන ඇමතුම දුන්න කෙනා කියපු විදියට ප්‍රදේශයේ මිනිස්සු මළ ගෙදර චාරිත්‍රවල හිටියේ. මිනිස්සු පිරිලා හිටියා. අප එතනට කිට්ටු කරලා අලියා කෙහෙද කියලා ඇහුවා. ඔවුන් මීටර් පන්සියක විතර දුරින් තියෙන කැලෑ කුට්ටියක් පෙන්නුවා. අපි එතනට යන කොට ගමේ මිනිස්සුත් අපේ පස්සෙන්. මේ වගේ වෙලාවට මිනිස්සුන්ට එන්න එපා කිව්වත් අහන්නේ නෑ.

කැලෑ කුට්ටියේ අලියා ඉන්නවා අපි දුටුවා. එක පැත්තකින් ඇලක්. ඊට ඉස්සර දවසේ හොඳට වැහැලා නිසා ඇල පිරිලා. තව පැත්තකින් ගම.තව පැත්තකින් අපි. ඇල හරහා අලියා එලවන එක භයානකයි. යන්නේ නැතිව ආපහු එන්න ඉඩ තියෙනවා. ගම පැත්තටත් අලි ඉන්න පැත්තටත් නොඑන්න කැලෑවටම එලවන්න ඕනෑ. ඇලත් මග ඇරලා කැලෑවටම අලියාව එලවන්න අපි හිතුවා. අපි අලි වෙඩි දෙකක් තුනක් ගැහුවා.

අලියා කැලෑවට යන්නේ නැතුව ගම පැත්තේ මළ ගෙදර පැත්තට යනවා. කෑගහලා අලියාව එලවන්න බැලුවා හරි ගියේ නෑ. මිනිස්සුන්ට දුවන්න කියලා අපි කෑ ගැහුවා . තුවක්කුව තිබු‍ණේ විජේසිංහ අතේ. එයා අලියා පැත්තට වෙඩිල්ලක් තිබ්බා. අලියාට ඒක වැදුණේ නෑ. දෙවෙනි වෙඩිල්ලත් තිබ්බා. ඒක අලියාගේ කකුලකට වදින්න ඇති. අලියා කෑගහගෙන අපි පැත්තට දුවගෙන ආවා.

අපි පැනලා දුවන්න ගත්තා. ඒක අඩිපාරක් දෙපැත්තේ එරමිණියා ගාල. මම ඉස්සරහින් හිටපු නිමල් වැටුනා. අලියා එනවා. මට පිටුපස්සෙන් හිටපු සරත් කුමාර අකුලක් අස්සෙන් අනිත් පැත්තට දිව්වා. මට තිබුණේ නිමල් උඩින් පනින්න විතරයි. මම පනින්න හදනකොටම එයා නැගිට්ටා. අපි දෙන්නා එකිනෙකාට වැදිලා බිම වැටුණා.

පුදුමයක්. අපේ තිබුණු පරණ පිනකට අපිට මීටර් දහයක් විතර දුරින් අලියා නැවතිලා. තුවක්කුව අතේ තියාගෙන තවත් පැත්තක විජේසිංහ බලන් හිටියා මොකද කරන්නේ කියලා. එයා නැවත වෙඩි තිබ්බොත් අලියා අපි ලඟට එනවා. විජේසිංහ කිව්වා අපිට එතනින් පැනලා මළ ගෙදර පැත්තට දුවන්න කියලා.

අපි එතනින් මාරු වෙනකොටත් අලියා ශබ්ද කළේ නෑ. බිම බලාගෙන හිටියා.

පැයක් විතර යනකොට අලියා කැලෑවට යන්න ගියා. එදා අලියා ඉස්සරහට ආවානම් අපි ඉවරයි. තුවක්කුව තිබුනේ  අළුත් කෙනෙක් අතේ නම් එයා වෙඩිල්ලක් පත්තු කරනවා. වෙඩි තිබ්බානම් අලියා ඉස්සරහට ඇවිත්අපිට ගහනවා.තුවක්කුව අතේ තියාගෙන හිටපු විජේසිංහගේ දැනුවත්කම නිසා අපේ ජීවිත බේරුණා.

අපි මුහුණ දුන්න සිදුවීම දැකලා ගමේ මිනිස්සුත් අපිට මුකුත් කීවේ නෑ. අපි මළගෙදරටත් සහභාගි වෙලා ආපහු ගියා. ළමයා පාන්දර දිවුල් අහුලන්න ගිහින් අලියාට අහුවෙලා තියෙන්නේ. මට කියන්න ඕනෑ මිනිසුන් වගේ නෙවෙයි සතුන්. වෛරය තියාගෙන ඉන්නේ නෑ. මේ සතාට වෙඩිල්ලක් වැදුණත් වෛරයක් තිබුණේ නෑ කියලා හිතෙනවා. අද වෙනකොට විජේසිංහ ජීවතුන් අතර නැහැ.

ඩබ්.ඩී.එම්. ජයතිලක වික්‍රමසිංහ මහතා

ඩබ්.ඩී.එම්.ජයතිලක වික්‍රමසිංහ මහතා වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ විද්‍යා උපාධිධාරීන් අතර වන අඩවි ආරක්ෂක 1 ශ්‍රේණිය මාණ්ඩලික තනතුර සඳහා පැවැත්වු තරඟ විභාගයකින් සමත් වූ අතලොස්සකින් එක් අයෙකු ලෙසය.

තම ප්‍රථම රාජකාරි ඇලහැර – ගිරිතලේ අභයභූමි සහිත ඇලහැර අඩවියෙන් ආරම්භ කළ ජයතිලක වික්‍රමසිංහ මහතා අම්පාර අඩවිය, සමනල අඩවිය. පොළොන්නරුව, මාදුරුඔය, උඩවලව, විල්පත්තුව, ගිරිතලේ පුහුණු ක්ෂේත්‍රය, කොළඔ ප්‍රධාන කාර්යාලය වැනි ලංකාව පුරා විසිරුණු ප්‍රදේශවල රාජකාරි ඉටු කළේය. දැනට ඔහු ගිරිතලේ පුහුණු ක්ෂේත්‍රයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරනු ලබයි.

ජයතිලක වික්‍රමසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපති උපාධිය, විවෘත විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, පැළෑටි සුරක්ෂතාවය පිළිබඳ කීට විද්‍යා ඩිප්ලෝමාව, කොළඔ විශ්ව විද්‍යාලයට අනුබද්ධව වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන ඩිප්ලෝමාව මෙන්ම භූ සැකසුම්  පිළිබඳ ඩිප්ලෝමාවක්ද හදාරා ඇත. මීට අමතරව ඉන්දියාවේද වනජීවී පුහුණුව සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරා ඇත.

ජයතිලක වික්‍රමසිංහ මහතාගේ බිරිඳ සජීවනී ප්‍රියන්තිකා මහත්මිය, කෑගල්ල අධ්‍යාපන කාර්යාලයේ තාක්ෂණික නිලධාරිනියක සේ සේවය කරනු ලබයි. දියණිය කෑගල්ල ජෝශප් කන්‍යාරාමයේ අ.පො.ස.උසස් පෙළ හදාරන්නීය. ඔවුන්ගේ ලිපිනය බී, දේවාලේගම වේ. 

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය

ජලගැලුම් නිම්න  ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එය වස්ගමුව ජාතික උද්‍යානයේ උතුරු මායිමේ සිට උතුරු දෙසට විහිදි ඇත. මෙම ප්‍රදේශය 1984 අගෝස්තු මාසය 07වන දින අංක 309/4 දරණ ගැසට්පත්‍රය මගින් ප්‍රකාශයට කරන ලද හෙක්ටයාර් 17350ක භූමි ප්‍රමාණයකින් යුතු ජාතික උද්‍යානයකි. ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය  මහවැලි ගංගා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නම් කර ඇති ජාතික උද්‍යාන හතරෙන් එකක් වන අතර, අලි කොරිඩෝවක්, පරිසර සංරක්ෂණ ප්‍රදේශයක්, විල් අලින් සඳහා විශේෂ ප්‍රදේශයක් සහ ස්වාභාවික තෙත්බිම් පද්ධතියක් ලෙස රක්ෂිත ප්‍රදේශයක එක් භූමිකාවකට වඩා වැඩි කාර්යභාරයක්  ඉටු කරනු ලබන ජාතික උද්‍යානයකි. මෙම උද්‍යානය කොළඹ සිට කිලෝමීටර් 225 ක් දුරින් පිහිටා ඇත.

                                                                                                   ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ විල්ලුවේ දර්ශන

උද්‍යානයට අනුරාධපුර රාජධානිය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති අතර, මහවැලි ගඟ පුරාණ වැව් ජාලයකට සම්බන්ධ වී ඇත. ගං ඉවුරේ දකුණු ඉවුරේ, මුතුගල්ල විල්ලුව අද්දර, ක්‍රිස්තු පූර්ව 2 සහ 7 වැනි සියවස් අතර කාලයට අයත් සෙල්ලිපි සහිත පුරාණ ලෙන් ආශ්‍රමයක නටබුන් හමු වී ඇත.

වැසි සහිත සමයේ සුළඟේ වේගය සාපේක්ෂව අඩු වන අතර සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 1555 පමණ වේ. වාර්ෂික උෂ්ණත්වය 32 °C වේ. ජලගැලුම් නිම්නය සෑදී ඇත්තේ ගංගා ඇල මාර්ග, ගංගා ආශ්‍රිත වගුරු බිම්, විල්ලු, සෘතුමය වශයෙන් ගංවතුරට ලක්වන තෘණ බිම් සහ වගුරු වනාන්තර වලින් සමන්විත වු විවිධ පාරිසරික කලාප සමුහයක එකතුවෙනි.වර්ෂාපතන උච්ච අවස්ථා දෙකක් වසරක් තුළ සිදු වේ. එකක් අප්‍රේල්-මැයි සහ අනෙක නොවැම්බර්-දෙසැම්බර්ය.

උද්‍යානය දිගේ ඇවිදීම සෑම විටම මහවැලි ගඟ දිගේ ඇති අපූරු දර්ශන නැරඹිමට ලැබෙන කදිම අවස්ථාවකි. වස්ගමුව ජාතික උද්‍යානය සහ දකුණේ ගංගා ආශ්‍රිත ජාතික උද්‍යානය සහ උතුරින් පිහිටි සෝමාවතිය උද්‍යානය අතර පිහිටා ඇති අතර මෙය එම උද්‍යාන දෙක අතර අලි මංකඩක් ලෙස ක්‍රියා කරයි. උද්‍යානයේ මෙම කොටසට රටේ වැදගත්ම අභ්‍යන්තර තෙත් බිම ඇතුළත් වේ. මෙම තෙත්බිම්වල විවිධ මත්ස්‍යයන් සිටින අතර එය කුරුල්ලන්ගේ ජීවිතයටද වැදගත් වේ. ජාතික උද්‍යානය තුළ වැදගත් තෙත් බිම් 8ක් ඇත. මහවැලි ගඟ ආශ්‍රිතවඇති මෙම තෙත්බිම්,  විල් අලි නම් විශේෂ අලි ප්‍රභේදයක් සඳහා මෙරට ඇති එකම රැකවරණය වේ. පහළ ගංගා ද්‍රෝණිය සහ ගං ඉවුර සංරක්ෂණය සම්බන්ධයෙන් උද්‍යානය ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන මෙහි වසරේ දීර්ඝ වියළි කාලයකදී පවා නොගැඹුරු ලෙස භූගත ජලය ඇති අතර, එබැවින් හොඳ ශාකමය ආවරණයකට සහය වීමට සහ ශාක හා සත්ව ප්‍රජාව සඳහා අද්විතීය පරිසරයක් සැපයීමටත් සියලුම වාසස්ථානවල ශාක වර්ධනය ප්‍රශස්තව රදා පවත්වා ගැනීමටත් උදවු වේ. මෙම සියලු සාධකවල ප්‍රතිඵලයක් ලෙස උද්‍යානය විවිධ පාරිසරික කලාප වලින් සමන්විත වේ.

උද්‍යානය මහවැලි ගඟේ පහළ ද්‍රෝණියේ පිහිටා ඇත. ජලගැලුම් නිම්න තැනිතලාව තුළ විශාල වු විල්ලු මෙන්ම වගුරු වනාන්තර වල වාර්තා වී ඇති ශාක විශේෂ 231  ක්  පමණ හදුනා ගෙන ඇත. ගංවතුර තැනිතලා ජාතික උද්‍යානයේ කුඩා වැව් ඇතුළුව තෙත් බිම් සහිත විල්ලුවේ මුළු ප්‍රමාණය හෙක්ටයාර 2823ක් පමණ වේ. උද්‍යානය හරහා ගලා බසින සියලුම දිය පහරවල් මහවැලි ගඟට සම්බන්ධ වූ නාලිකා වේ.වැසි ජලයෙන් සෑදූ ජල මූලාශ්‍ර රැසක් වේ. ප්‍රධාන වාසස්ථාන වර්ග පහක් ඇත. විවෘත වියන් උස් වනාන්තර, විවෘත වියන් පහත්, මධ්‍යම වනාන්තර, ලඳු වෘක්ෂලතා හා තණබිම් වේ.උස් වියන් ස්ථරයේ ප්‍රමුඛ ගස් විශේෂ වන්නේ වීර,මිල්ල, වේලන්, පනක්කා, කුඹුක්ය. කළුවර සහ බුරුතවැනි සමහර විශේෂ මෙම උස් වියන් ස්ථරයේ කලාතුරකින් නිරීක්ෂණය වේ. පලු , දිවුල් ශාකද මේ අතර වේ.

අලි රංචු

ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින්, උභයජීවීන් වැනි සියලුම ප්‍රධාන සත්ව කණ්ඩායම් මෙහි ජිවත් වන අතර රිලවා, අළු වදුරා, ආසියානු අලියා, කොටියා, හිවලා, වල් ඌරා, මී හරකා, තිත් මුවා, ඉත්තෑවා මෙන්ම තැනිතලා ස්වභාව රක්ෂිතයේ අලි ගහන ප්‍රමාණය 50ත් 100ත් අතර යැයි විශ්වාස කෙරේ. තිත් මුවා, වැලි මුවන්ට වඩා උද්‍යානයේ බහුලව දක්නට ලැබෙන විශේෂයයි. මුවන් රංචුව තෘණ භූමි ප්‍රදේශයට නිතර නිතර පැමිණේ. වැලි  මුවාද විවෘත ප්‍රදේශවලට වඩා වනාන්තර වාසස්ථානවල බහුලව දක්නට ලැබේ.

ආසියානු අලින්
මී හරකා
රිලවා
තිත්මුවන්
හිවලා
අළු වදුරා
කිරි ඉබ්බා
හැල කිඹුලා

ජාතික උද්‍යානය විශේෂයෙන් සංක්‍රමණික පක්ෂීන්ගේද නිවහනක් වන අතර එමඟින් එහි සත්ව විශේෂයේ විවිධත්වයෙන් පොහොසත් වේ. දියකාවා, අළුපැස්කුඩුවා, අළු කොකා, කරවැල් කොකා, ආසියානු විවරතුඩුවා, පාදිලි මානාවා, පොරෝ කෑදැත්තා, කෑරලා, ශ්‍රී ලංකා මහරත් කෑරළා, ශ්‍රී ලංකා වැහිලිහිණියා, ඇලි කොකා මෙහි සිටින නේවාසික පක්ෂීන් වේ.

ලතුවැකියන්
දුම්බොන්නා
පිළිහුඩුවා

මෙවැනි වටිනාකමික් සහිත සුන්දරත්වයෙන් අනූන වන පියසක් වුවද පොළොන්නරුව ජල ගැලුම් නිම්නය මානව ක්‍රියාකාරකම් නිසා විනාශය කරා ලගා වෙමින් පවති. උද්‍යානය තුල  දඩයම් කිරීම, නීති විරෝධී ලෙස ඇතුළුවීම, නීති විරෝධී ලෙස ගස් කැපීම, දැව නොවන නිෂ්පාදන නීති විරෝධී ලෙස ඉවත් කිරීම, වැලි කැපීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතට විරෝධි ක්‍රියා සිදු කිරිම හේතුවෙන් උද්‍යානය තුල පවත්නා ස්වභාවික සම්පතට හානි පැමිණිම ඒවා හීන වි යාමට හේතු වී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජාතික උද්‍යානය සංචාරකයින්ට මනම්පිටිය – යක්කුරේ හන්දිය හරහා භූමියට ඇතුළු වීමට අවසර දී ඇත.

ජල ගැලුම් නිම්නය ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

දිවියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

රිලවා

செங்குரங்கு

Sinica

Toque monkey

ආසියානු අලියා

ஆசிய யானை

Asian elephant

​Elephas maximus

කුළු මී හරකා

காட்டெருமை

Wild buffalo

Bubalus bubalis

අළු වදුරා

சாம்பல் முகக் குரங்கு

Gray langur

Semnopithecus entellus

හිවලා

செந்நரி

Golden jackal

Canis aureus

වැලිමුවා

குரைக்கும்மான்

Barking deer

Muntiacus muntijak

තිත් මුවා

புள்ளி மான்

Spotted deer 

Axis axis ceylonensis

මී හරකා

எருமை

Domestic Water buffalo

Bubalus bubalis

වල් ඌරා

காட்டுப் பன்றி

Wild boar 

Sus scrofa

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

දියකාවා

நீர்க்காகம்

Cormorant

Phalacrocorax fuscicollis

අළු පැස්තුඩුවා

சாம்பல் கூழைக்கடா

Spot-billed pelican

Pelecanus philippensis

අළු කොකා

சாம்பல் நாரை

Grey heron

Ardea cinerea

කරවැල් කොකා

செந்நாரை

Purple heron

Ardea purpurea

ආසියානු විවරතුඩුවා

நத்தை குத்தி நாரை

Asian openbill

Anastomus oscitans

පාදිලි මානාවා

வெண்​ கழுத்து நாரை

Woolly-necked stork

Ciconia episcopus

පොරෝ කෑදැත්තා

மலபார் சாம்பல் இருவாச்சி

Malabar pied hornbill

Anthracoceros coronatus

කෑරලා

சின்ன மரங்கொத்தி

Brown wood pecker

Dendrocopos nanus

ශ්‍රී ලංකා මහරත් කෑරළා

இலங்கை சிறிய  செதில் வயிற்று பச்சை மரங்கொத்தி

Crimson-backed woodpecker

Chrysocolaptes lucidus

ශ්‍රී ලංකා වැහිලිහිණියා

இலங்கை தகைவிலான்

Sri Lanka Swallow

Hirundo hyperthra

ඇලි කොකා

சின்னக்கொக்குஅல்லதுசிறுவெண்கொக்கு

Little egret

Egretta Garzetta

ලතු වැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork 

Mycteria leucocephala

දුම්බොන්නා

பனங்காடை

Indian roller

Coracias benghalensis

පිළිහුඩුවා

வெண்தொண்டை​மீன்கொத்தி

White throated kingfisher

Halcyon myrnensis

කිරිඉබ්බා

இந்திய மடல் ஓடு ஆமை

Indian flapshell turtle

Lissemys ceylonensis

හැල කිඹුලා

சதுப்பு முதலை

Mugger crocodile

Crocodylus palustris

ජල ගැලුම් නිම්නය ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

වීර

வீரை

Hedge Box wood

Drypetes sepiaria

පලු

பாலை

Palu

Manilkara hexandra

මිල්ල

சாவண்டலை மரம்

Halmilla

Berraya cordifolia

වේලන්

வெண்ணங்கு

Welang

Pterospermum canescens

පනක්කා

சிறு பியாரி- கருவாலி

Panakka

Pleurostylia opposita

කුඹුක්

வெண்மருது

kumbuk

Terminalia arjuna

බුරුත

முதிரை

Satinwood 

Chloroxylon swietenia

කළුවරகருங்காலி

Ebony

Diospyros altissima

දිවුල්

விளா

Divul

Limonia acidissima

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව   

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, සී.ඒ.ඩී.ඩී.ඒ.කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.