简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 26 – හොරගොල්ල ජාතික උද්‍යානය

Content Image

කිඹුලා පැනලා ගියා

2017 වසර ඉඳලා 2021 වසර දක්වා මම වැඩකළේ හොරගොල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු විදිහට. හොරගොල්ල උද්‍යානය තුල සංචාරකයන්ට පහසුකම් සැපයීම, අනාථ වන පැටවුන්හා වැඩිහිටි සතුන් ගෙනවිත් රැක බලා ගැනීම, එම සතුන් තව දුරටත්  තබා ගැනීමට අවශ්‍ය නම් අත්තිඩියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීම, එහෙම නැත්නම් වනයට නැවත නිදහස් කිරීම, මෙහි සිටින සතුන්ට ආහාර පාන ලබා දීම, ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවට අදාල නීතිමය කටයුතු වලට මැදිහත් වීම වගේ කටයුතු හොරගොල්ල උද්‍යානයේ අපේ ප්‍රධාන කටයුතු වුනා. බස්නාහිර පළාතටම තිබෙන එකට ජාතික උද්‍යානය හොරගොල්ල නිසා නිතර අපට ඇතැම් සතුන් පිළිබඳව ඇමතුම් ලැබුණා. අපි ඒ අනුව අවශ්‍ය කටයුතු සිදු කළා.

හොරගොල්ල ජාතික උද්‍යානය රජයට ලබා දී තියෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින්. මෙය අක්කර 35ක් විශාලයි. ජාතික උද්‍යානයට ඇතුළු වෙන තැනම අක්කර 3ක විතර වැවක් තියෙනවා. වැස්ස කාලෙට පුංචි ඇලක් හරහා මේ වැවට වතුර එනවා. වැස්ස නැති කාලෙටත් වැවේ වතුර තියෙනවා. ඉබ්බෝ, මාළු විශේෂ මේ වැවේ ජීවත් වෙනවා. අපි අත් අඩංගුවට ගන්නා ඉබ්බොත් නිදහස් කරන්නේ මේ වැවට.

මම එන කාලයේ මේ උද්‍යානයේ ගැට කිඹුල් පැටියෙක් හිටියා. අල්ලලා ගෙනත් දාපු එකෙක් වෙන්න ඕනෑ. මේ කිඹුල් පැටියා ඉක්මණින්ම ලොකු වුනා. අවුරුදු 10ක් 15ක් විතර වයස මේ පැටියා තරුණ ශක්තිමත් කිඹුලෙක් වුනා බලාගෙන ඉද්දි වගේ, මෙයා උද්‍යානය ඇතුලේ එහේ මෙහේ යන්න පටන් ගත්තා. මෙයාව විල්පත්තුවට නිදහස් කරන්න ඕනෑ කියලා අපි හිතා හිටියා. නමුත් ඊට කලින් එකපාරටම කිඹුලා නැති වුනා. දවස් කීපයක්ම නැතිව හිටියා. කිඹුලාගෙන් මිනිස්සුන්ටත් සතුන්ටත් අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ගෙන් හා වාහන වලින් කිඹුලාට අනතුරු වෙන්න පුළුවන්. අපි හොඳටම කලබල වුනා.

අපි හැම තැනම හෙව්වා. ඉන්පස්සේ ලඟම ගමෙන් පණිවුඩයක් ආවා කිඹුලෙක් ඇවිදිනවා කියලා. හොරගොල්ල වලව්වට කිට්ටුව පොල් අතු බත්කඩේ ලඟ වතුර පොකුණක් තිබුණා. කිඹුලා පොකුණට ගිහින් බැහැලා ඉන්නවාකියන පණිවුඩය ලැබුණා. කිඹුලෙක් අල්ලන්න ලේසි නෑ. එහෙට මෙහෙට පීනනවා. ඉස්සරහට පනිනවා. වලිගෙන් ගහනවා. එදා නියාමකවරුන්ගේ වර්ජනයක්. මම අඩවි සහකාර චන්ද්‍රසිරි හා ක්ෂේත්‍ර සහායක සුමිත් සමඟ එතෙන්ට ගියා. පැය 4ක් විතර මහන්සි වෙලා මදු දාලා කිඹුලා අල්ලා ගත්තා. සැනසුම් සුසමක් හෙළුවේ ඊට පස්සේ. සිද්ධිය බලන්න සෙනඟ රැස් වෙලා හිටියා.

අපි කිඹුලා ලීයක බැදලා එතැනින්ම විල්පත්තුවට අරගෙන ගියා. විල්පත්තුවට යද්දි පාන්දර වුනා. එලුවන්කුලමෙන් ඇතුලට ගිහින් කිඹුලාව පරිස්සමෙන් මුදා හැරියා.

කිසිවකුට අනතුරක් නොවී කිඹුලා අල්ලා ගන්න ලැබුණ එක  ලොකු දෙයක්. මට හොරගොල්ල ගත කරපු කාලය මතක් වෙනකොට මේ කිඹුලා සම්බන්ධ සිද්ධිය මතක් වෙනවා.

ටී.ආර්.ප්‍රදීප් මහතා

ටී.ආර්.ප්‍රදීප් මහතා 3 වන ශ්‍රේණියේ වන අඩවි ආරක්ෂකවරයෙකු ලෙස බැදෙනුයේ 1998 වසරේ නොවැම්බර් 9 වෙනිදාය. තරඟ විභාගයකින් සමත් වීම ඔහුට එම භාග්‍යය අත් කර දිනි.

ඔහු මුල්ම පත්වීම ලැබුයේ විල්පත්තු ජාතික උද්‍යානයේ විලච්චිය අඩවියටය. එකල *එල්.ටී.ටී.ඊ. කලබල බහුල කාලයකි. අනතුරුව තන්තිරිමලේ විල්පත්තු කලා ඔය අඩවිය, අනුරාධපුර කච්චේරිය අඩවි කාර්යාලය, මුතුරාජවෙල අඩවිය, හොරගොල්ල, වස්ගමුව ජාතික උද්‍යානයේ කිරි ඔය අඩවිය ඔහු රාජකාරි ඉටුකල ස්ථානයන් වේ.

වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ගිරිතලේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ප්‍රදීප් මහතාට අවස්ථාව ලැබුණු අතර එහි අංගයක් ලෙස ඉන්දියාවේ ඩෙහෙරාදුන්හි සති 2ක පුහුණුවක් ලැබීය. එයට අමතරව ගිනි අවි පිළිබඳ කෙටි පාඨමාලාව හා වනජීවී නීතිය පිළිබඳ කෙටි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබිණි.

දකුණු කොරියාවේ ලෝක තෙත් බිම් වැඩසටහනකට හා චීනයේ දේශගුණික විපර්යාසය පිළිබඳව වැඩමුළුවකට සහභාගී වීමටත් ප්‍රදීප් මහතාට අවස්ථාව ලැබිණි.

ඔහුගේ ආදරණීය පවුල, බිරිඳ හා දියණියකගෙන් සමන්විතය. ඔහුගේ බිරිඳ ඩී.ඩී.එන්.එස්.කේ.බෝඹුවල මහත්මිය උපාධිධාරි ගුරුවරියක් වන අතර මාවනැල්ල, බැමිණියාවත්ත මහ විදුහලේ ප්‍රාථමික අංශයේ සේවය කරන්නීය. වයස අවුරුදු 13ක් වන දියණිය ඩසිති දිසාරා, කෑගල්ල ස්වර්ණ ජයන්ති පාසැලේ 8 වසරේ ඉගෙනුම ලබන්නීය.

ඔවුන්ගේ ලිපිනය බැමිණියවත්ත, මාවනැල්ල වේ.  

*එල්.ටී.ටී.ඊ. – ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන ලද සංවිධානයකි.

හොරගොල්ල ජාතික උද්‍යානය

බණ්ඩාරනායක පවුලේ නිවහන වූ හොරගොල්ල වලව්වට ආසන්නව පිහිටා ඇති හොරගොල්ල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ නවතම ජාතික උද්‍යානවලින් එකකි. හොර ගස් බහුලව තිබීම නිසා මෙනමින් හැඳින්වෙන හොරගොල්ල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ඇති එකම නාගරික උද්‍යානය වේ.මෙම උද්‍යානය කොළඹ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටා ඇති අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඩාම ජාතික උද්‍යානයයි.හෙක්ටයාර 13.40 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම ජාතික උද්‍යානය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාඹදළුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත. හැත්තෑව දශකයේ දී රජයට අයත් වූ මෙම ඉඩම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රදේශයේ පවත්නා බහුල ජෛව විවිධත්වය සැලකිල්ලට ගනිමින් අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදඅතර 2004 ජූලි 28 දින අංක 1351/17දරණ ගැසට් පත්‍රය මගින් හොරගොල්ල ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

                                                                                                                                        නාම පුවරු

හොරගොල්ල ජාතික උද්‍යානය හියුමස් පස් ව්‍යුහයක් සහිත පහතරට සදාහරිත වනාන්තරයක් වන අතර වසර පුරා උණුසුම් උෂ්ණත්වයක් පවතී. මෙම ජාතික උද්‍යානයේ බහුලව වැඩෙන විවිධ දේශීයගස් විශේෂයන්  අතර හොර, කැකුණ,ගොඩපර, කිතුල්, නැඳුන්,ඇටඹ, බෝරුක්,මිල්ල යන නම්වලින් හැඳින්වෙන ශාක දක්නට ලැබේ. පුස්වැල් විශේෂ ද විශාල වශයෙන් දක්නට ලැබන මෙම භුමිය ප්‍රමාණයෙන් කුඩා වුව ද ජෛව විවිධත්වයෙන් පොහොසත්  උද්‍යානයකි. උද්‍යානය තේක්ක සහ කළුවර වැනි උස් ගස් වලින්ද ආධිපත්‍යය දරන අතර යටි පඳුරු,වැල් සහ උණ බම්බු වලින්ද ඝන වේ.

හොර (Dipterocarpus zeylanicus)

උද්‍යානය පුරා භූ දර්ශනය ආවරණය වන පරිදි විවිධ ශාක විශේෂ සහ තණකොළ දක්නට ලැබෙන මෙම උද්‍යානයේ  විවිධ වෘක්ෂලතා මගින් කුරුල්ලන්ට, සතුන්ට සහ උරගයින්ට ආහාර සහ ප්‍රමාණවත් ජලය සපයනවා මෙන්ම සදාහරිත වනාන්තරවල දක්නට ලැබෙන සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයකට වාසස්ථානයද වේ. නමුත් මෙම උද්‍යානය සත්ත්ව විශේෂවලට වඩා ශාක වලින් පොහොසත් ය. අපට හුරුපුරුදු අහස් ගොඩනැගිලි වෙනුවට විවිධ උස් ගස් විශේෂ ඇති මෙම උද්‍යානයේ ගස්වල ජීවත් වන විවිධ පක්ෂීන්ගේ ඉඳහිට ඇසෙන නාද  විටක විනෝදාස්වාදය සපයයි.

උද්‍යානයේ ඇතුලත
පුස්වැල්

අක්කර 33 ක් පුරා පැතිරී ඇති උද්‍යානය ක්ෂීරපායින් වර්ග 10 ක්, පක්ෂීන් වර්ග 64 ක්, මාළු වර්ග 7 ක් සහ සමනලුන් වර්ග 28 ක් සඳහා නිවහන වේ.හදුන් දිවියන් සහ වැලිමුවන්,උණ හපුළුවා,නරියා,කලු වදුරා, දඩු ලේනා, ඉත්තෑවා සහ වල් ඌරා ඇතුළු විවිධ සතුන් සඳහා මෙම උද්‍යානය පහසුකම් සපයයි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ බොහොමයක් හොරගොල්ල උද්‍යානයේ දක්නට ලැබෙන අතර පිඹුරන් සහ නාගයන් උද්‍යානයේ දක්නට ලැබෙන බොහෝ උරගයින් අතර වේ.

කටුස්සා

පක්ෂි විශේෂ 100 කට අධික සංඛ්‍යාවක් සැරිසරන මෙම ජාතික උද්‍යානය කුරුළු නිරීක්ෂකයින්ගේ තවත් ප්‍රියතම ස්ථානයක් වේ.ශ්‍රී ලංකාවට ආවේණික ශ්‍රි ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා,ශ්‍රී ලංකා ගිරාමලිත්තා,ශ්‍රී ලංකා සැලළිහිණියා,ශ්‍රී ලංකා අලු ගිරවා,කැළෑ හැලපෙන්දා  වැනි කුරුල්ලන් මෙහිදි දැක ගත හැකිය.

උකුසු කෝකිලයා

ඔබ උද්‍යානය තුළ ඇති මංපෙත් දිගේ ඇවිද යන විට,එහි ඇති වාතයේ නැවුම් බව නිසාම ඔබේ ආතතිය දුරුවේ.වනයේ යන ජීප් සෆාරි වෙනුවට, වඩාත් විවේකී ආකාරයෙන් පරිසරය ධර්මය සමඟ එක් වීමට උපකාරී වන හොරගොල්ල ජාතික උද්‍යානය නරඹන්නන් සඳහා ක්‍රියාකාරකම් රාශියක් ඉදිරිපත් කරයි. කුරුල්ලන් නැරඹීම මෙහි ඇති ජනප්‍රිය ක්‍රියාකාරකමක් වන අතර උද්‍යානයේ ආවේණික සහ සංක්‍රමණික පක්ෂින් විශේෂයන් හඳුනා ගැනීමටද ප්‍රමාණවත් අවස්ථා සපයයි. නිදහසේ ඇවිදීම් සහ විනෝද චාරිකා සඳහාද ජනප්‍රිය මෙම උද්‍යානය අමුත්තන්ට ස්වභාවික සුන්දරත්වය විවේකීව ගවේෂණය කිරීමට ඉඩ සලසා දෙයි.

විස්තර පුවරුවක්
විවේක ගන්නා ස්ථානයක්

කොළඹ නුවර පාරේ කිලෝමීටර් 35ක් ගමන් කිරීමෙන් හොරගොල්ල ජාතික උද්‍යානයට ළඟා විය හැකිය. නිට්ටඹුවෙන් හැරී වේයන්ගොඩ දෙසට කිලෝමීටරයක් ගිය විට හමුවන පින්නගොල්ල හන්දියේ සිට කිලෝමීටර් 6 ක් දුරින් උද්‍යාන කාර්යාලය හමු වේ.

හොරගොල්ල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා වැදගත් ප්‍රදේශයක් වන අතර උද්‍යානයේ කුඩා ප්‍රමාණය සහ නාගරික ප්‍රදේශ ආසන්නයේ පිහිටීම නිසා එය විවිධ ආක්‍රමණයන්ට සහ සංවර්ධනයට ගොදුරු වේ. උද්‍යානයේ පැවැත්ම සහ අඛණ්ඩ ජෛව විවිධත්වය සහතික කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාසස්ථාන ප්‍රතිසංස්කරණය සහ තිරසාර සංචාරක ව්‍යාපාරය ඇතුළු සංරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කර ඇත.

පොකුණ

හොරගොල්ල ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

හදුන් දිවියා

மீன்பிடிப்பூனை

Fishing cat

Prionailurus viverrinus

වැලි මුවා

செம்மான்

Barking deer

Muntiacus muntjak

නරියා

பொன்னிறக் குள்ளநரி

Golden jackal

Canis aureus

වල් ඌරා

காட்டுப்பன்றி

Wild boar

Sus scrofa

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

කලු වදුරා

சாம்பல் முகக் குரங்கு

Purple faced langur

Semnopithecus vetulus

දඩු ලේනා

பழுப்பு மலை அணில்

Giant squirrel

Ratufa macroura

උණ හපුළුවා

தேவாங்கு

Gray Slender Loris

loris lydekkerrianus

ශ්‍රි ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා

குக்குறுவான்

Yellow-fronted barbet

Megalaima flavifrons

ශ්‍රී ලංකා ගිරාමලිත්තා

இலங்கை தொங்கும் கிளி

Sri Lanka Hanging Parrot 

Loriculus beryllinus

ශ්‍රී ලංකා  සැලළිහිණියා 

இலங்கை மைனா

Sri Lanka  Myna

Gracula ptilogenys

ශ්‍රී ලංකා අලු  ගිරවා

சாம்பல் கிளி

Sri Lanka Layard’s Parakeet 

Psittacula calthropae

කැළෑ හැලපෙන්දා  

கொடிக்கால் வாலாட்டி

Forest wagtail 

Dendronanthus indicus

උකුසු කෝකිලයා

அக்காக்குயில்

Common hawk cuckoo

Hierococcyx varius

නාගයා

நாகம்

Cobra

Naja naja

පිඹුරා

மலைப்பாம்பு

python

Python molurus

කටුස්සා

ஓணான்

Common garden lizard

Calotes versicolor

හොරගොල්ල ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

හොර

எண்ணை

Hora

Dipterocarpus zeylanicus

කැකුණ

கருவா

kekune

Canarium zeylanicum

ගොඩපර

உவா மரம்

Godapara 

Dillenia retusa

කිතුල්கூந்தல் பனைkitul

Caryota urens

නැඳුන්நெந்துன்Nedun

Pericopsis mooniana

ඇටඹகாட்டு மாAtambaMangifera zeylanica
බෝරුක්அரச மரம்Sacred fig

Ficus religiosa

මිල්ලகாட்டுநொச்சிMillaVitex  altissima
පුස්වැල්யானைக் கொழிஞ்சிBeen entada

Fabaceae sps.

තේක්කதேக்குTeak

Tectona grandis

කළුවරகருங்காலிEbony

Diospyros ebenym

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- කවිදු සදමින් ගුණවර්ධන