简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 27 – ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය

Content Image

සාම ගිවිසුම සමඟ

2002 වර්ෂයේ මම වැඩකලේ ලාහුගල කිතුලාන ජාතික උද්‍යානයේ. මම මෙම උද්‍යානයත් කුමන හා පානම උද්‍යානත් භාරව උද්‍යාන භාරකාරු ලෙස සේවය කලා. මේ උද්‍යාන සියල්ල නැගෙනහිර පළාතේ එක ලඟ තිබුණේ.

2002 වර්ෂයේ අන්තිම කාලයේදී එවකට හිටපු රජය එල්.ටී.ටී.ඊ.* සංවිධානය සමඟ සාම ගිවිසුමක් ඇති කර ගත්තා.

සාම ගිවිසුම සමඟ සාමය ආවා. රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා වසා තිබෙන උද්‍යාන විවෘත කරන්න.

මට නැගෙනහිර සහකාර අධ්‍යක්ෂවරයාගෙන් නියෝගයක් ලැබුණා වසර විස්සක් විතර වසා තිබුණු කුමන උද්‍යානය විවෘත කරන්න. මේ ප්‍රදේශය ඉතාම භයානක ප්‍රදේශයක් විදිහට සැලකුනේ. යන්න තිබුණ පාරට තාර දාලා නෑ. ඒ නිසා හැම තැනම කැළෑ වෙලා. ගමේ මිනිස්සු දවල් කාලයේ සත්තු බලන්න යන්න පුරුදු වෙලා. පොතුවිල් , අක්කරෙයිපත්තු ඉන්න මහජනතාව කැළෑව ඇතුළට යනවා. සතුන් නරඹන ගමන් කැළෑව ඇතුලේ කෑම උයනවා. විනෝදයටත් එක්කයි ඇතුලට යන්නේ. ඒ ගමනට උයාගෙන කනවා කියලා නමක් දාගෙන තිබුණා. මේ නිසා සතුන්ට විශාල වශයෙන් හානි වෙන්න පුළුවන් කියලා අපි දැනගත්තා.

අපිට ලොකු කාර්ය මණ්ඩලයක් හිටියේ නෑ. වාහන පහසුකම් අඩුයි. ලාහුගල කිතුලාන ඉඳලා, පළමුවැනි දවසේ මම පාපැදියෙන් පානමට ගියා. ඒ පාර තාර දාලා. ඉන් පස්සේ වන සත්ව නියාමක පී.ජයවර්ධනගේ ගෙදර රෑ නතර වුනා. පසුදා හැදල පාර‍ෙන් කුමනට ගියා.  කුමන කාර්යාල ගොඩනැගිලි බිමට සමතලා වෙලා. ගොඩනැගිලි දෙකක විතරක් ගරා වැටුණු ශේෂ තිබුණා. ඔකඳ වැව කඩා වැටිලා. කජු ගස් හොඳට හැදිලා. වැල්ල හැම තැනම.  ගඳපානත් හොඳට හැදිලා. මම නැගෙනහිර සහකාර අධ්‍යක්ෂවරයාට තත්ත්වය පැහැදිලි කරලා උපදෙස් ඉල්ලුවා.

අපිට වැඩ කරන්න සිද්ධ වුනේ අනුග්‍රාහක මුදල් හොයාගෙන. රජයේ වියදමින් කුමන උද්‍යානයට ඇතුළු වන තැන කඩුල්ලක් දාන්න කිව්වා. පානම ජාතික ග්‍රාමීය සංවර්ධන සමිතියෙන් පොඩි මුර කුටියක් මැටියෙන් ඉඳි කලා. ගමත් කුමන උද්‍යානයත් අතර මායිම සලකුණු කළේ මේ මුරකුටිය. මුරකුටිය ළඟ ගේට්ටුවක් දැම්මා. එතන පරණ ළිඳක් තිබුණා. ළිඳ පිරිසිදු කලා. වැඩ කටයුතු ආරම්භ කරපු පළමු වෙනි දවසේ ගමේ උද්ඝෝෂණයක් තිබුණා. කරුණා අම්මාන්ගේ කණ්ඩායම තැන් තැන්වල දේශපාලන කාර්යාල අරිනවාට විරුද්ධවයි උද්ඝෝෂණය.

මේ සිද්ධිය වුනේ 2002 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ අග නැත්නම් ඔක්තෝම්බර් මුල. මට දිනය හරියට මතක නෑ. ඒ කාලේ මගේ වයස අවුරුදු 23ක් විතර ඇති. එදා හැන්දෑවේ ඇමතිතුමාගේ උපදේශකවරයා ආවා.

ඔහු නිර්වින්දන වෛද්‍ය රන්ජන් ප්‍රනාන්දු මහතා. එයාට ඕනෑ වුනා ලාහුගල-කිතුලාන කාර්යාලයේ ඉඳලා කුමනට යන්න. එතකොට වෙලාව හවස 3.30ට විතර ඇති. එයත්, මමත්, රියදුරාත් අඩවි ආරක්ෂක ජයසේන සිල්වාත් දෙපාර්තමේන්තුවේ ලෑන්ඩ් කෘසර් ජීප් එකෙන් පිටත් වුනා කුමනට යන්න. ජීප් රථය දෙපාර්තමේන්තුවෙන් උපදේශක තුමාගේ පරිහරණයට දීලා තිබුණේ.

හවස 4.30 විතර වෙනකොට අපි කුඩුම්බිගල හැලව ප්‍රදේශයට ගියා. දැන් විශාල වැස්සක් පටන් ගෙන. පාර පටුයි. පැහැදිලි නෑ. පාර හරහා ආරක් තිබුණා. ජීප් රථය ආර හරහා යන්න ඕනෑ. ආර මඩ වලක්. කුඩුම්බිගල ඉඳලා හැලව කලපුවෙන් මෝය පැත්තට ආර ගලන්නේ.

ආරට ජීප් රථය ආරට දාන්නේ නැතිව ගමන යන්න බෑ. අවාසනාවට ආරට දාපු ජීප් රථය දාපු ගමන් එතන හිරවුනා. ගොඩ ගන්නම බෑ. ආර ගලනවා. වැස්සත් වැඩි වෙනවා. ජල මට්ටම ටික ටික වැඩි වෙනවා. දැන් ජීප් එකේ වීදුරුවටත් උඩින් වතුර. එංජිම දිගටම ධාවනය වෙමින් තිබුණේ.

වාහනය විනාඩි 20ක් විතර වතුරේ තිබුණා. දොර අරින්න බෑ වතුර ගහනවා. වාහනයට ‍“ෆෝ වීල්” දාලා තිබුණේ.

රියදුරා උත්සාහ කරලා, උත්සාහ කරලා, එහාට මෙහාට කපලා, අන්තිමේදී වාහනය ආරෙන් උඩට ගත්තා. අපි සැනසුම් සුසුම් හෙලුවා.

කොහොම හරි අපිට වෙලාවට ඔකඳ දේවාලෙට යන්න පුළුවන් වුනා. ඔකඳ දේවාලය කියන්නේ මිනිස්සු යන්න පුරුදු වුන දේවාලයක්.

මේ කාලයේ අපි වැඩකලේ විශාල උනන්දුවකින් හා කැපවීමකින්. 2003 මාර්තු වෙනකොට කුමන උද්‍යානය නැවත විවෘත කිරීමේ වැඩ අවසන් වුනා. වාහනය අස්සේ වතුරට හිර වුන සිද්ධිය මට අමතක නොවන සිදුවීමක්.

*එල්.ටී.ටී.ඊ. – ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන ලද සංවිධානයකි.0

ප්‍රදීප් මුණසිංහ මහතා

1998 නොවැම්බර් මස වන සත්ව අඩවි ආරක්ෂක 2 ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස මුණසිංහ මහතා වනජීවී දෙපාර්තමේන්තුවට බැදුනි. පුර්වව කතරගම, බුන්දල ප්‍රදේශවල සේවය කිරීමෙන් පුහුණුව ලද ඔහු අනතුරුව ලාහුගල-කිතුලාන ජාතික උද්‍යානයට අනුයුක්ත කෙරිනි. මෙම කාලය තුල පානම අභය භූමියත් කුමන ජාතික උද්‍යානයන් වසා තිබුණු අතර ඒවායේ පාලනයද සිදු කෙරුනේ ලාහුගල -කිතුලාන ජාතික උද්‍යානයේ සිටය. පසුව හෝර්ටන් තැන්න, මොණරාගල, වැල්ලවාය, ප්‍රදේශවලද මුණසිංහ මහතා රාජකාරි ඉටු කළේය. ඔහු වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අනුග්‍රාහය දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාව හදාරා ඇති අතර විදේශ පුහුණු කිහිපයකටද දායක වී ඇත.

තම පළපුරුද්දෙන් ලබා ගත් දැනුම සොබා රක්ෂණය හා කළමණාකරණය වෙනුවෙන් යෙදවීම

මුණසිංහ මහතා දරු තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිඳ රාජ්‍ය හෙද නිලධාරිනියකි. ඔහුගේ දරුවන් තිදෙනා සාමාන්‍ය පෙළ මට්ටමේ අධ්‍යාපනය ලබති.

මුණසිංහ මහතාගේ ලිපිනය හක්මන, වේපත ඉර වේ.

ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය

ලාහුගල-කිතුලාන ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික උද්‍යානවලින් එකකි.මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1,554ක් පමණ වේ.නැගෙනහිර වෙරළේ පොතුවිල් සිට කිලෝමීටර් 16ක් රට අභ්‍යන්තරයේ පිහිටි හෙදඔය ආශ්‍රිතවමෙම උද්‍යානය පිහිටා ඇත.මෙම උද්‍යානය පුරාණ ජලාශ තුනක් වන ලාහුගල, කිතුලාන සහ සෙංගමුව යන වැව් තුනකින් සමන්විතය.ලාහුගල වැව හෙක්ටයාර 243ක් පමණ වු විශාල වැවකි.

ශ්‍රී ලංකාවේ අලින් සහ ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් සඳහා වැදගත් වාසස්ථානයක් වනලාහුගල කිතුලාන ප්‍රදේශය මුලින්ම වනජීවී අභයභූමියක් ලෙස නම් කරන ලද්දේ 1966 ජුලි 01 වැනිදාය. අනතුරුව 1980 ඔක්තෝම්බර් 31 වැනි දින මෙම රක්ෂිත ප්‍රදේශය ජාතික උද්‍යානයක් ලෙස උසස් කරන ලදී.කුමන ජාතික උද්‍යානයට ආසන්නයේ පිහිටා ඇති මෙම උද්‍යානය එක් පසෙකින් පොතුවිල්-මොණරාගල මහාමාර්ගය වේ.යුධමය ගැටුම් මත දිගු කාලයක් වල්වැදි පැවති ලාහුගල-කිතුලාන ජාතික උද්‍යානය මෑත කාලයක සිට මිනිසුන්ගේ සංචාරයට විවෘතව ඇත.

දිවියා

නැගෙනහිර පළාතේ පිහිටිලාහුගල කිතුලාන ජාතික උද්‍යානය සම්පූර්ණයෙන්ම වියළි කලාපයට අයත්ය.මෙම ජාතික උද්‍යානය කොළඹ සිට කිලෝමීටර් 318කට ආසන්න දුරකින් පිහිටා ඇත. ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1,650 පමණ වන අතරඊසාන දිග මෝසම් වැසි මගින් නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ  මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබේ.මැයි සිට ඔක්තෝබර් දක්වා සහ ජනවාරි සිට මාර්තු දක්වා වියළි දේශගුණයක් පවතී. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26-29 අතර  වේ. උද්‍යානයේ භූමි ප්‍රදේශය පාෂාණමය බිම් සහිත සමතලා ස්වරූපයක්  වේ.

                                                                                                                                    රාත්‍රී දර්ශනයන්

නීලගිරි ස්ථුපය නමින් හැඳින්වෙන 1 වන සියවස දක්වා දිවෙන දැවැන්ත පුරාණ ස්ථූපයකින් යුත් මෙම භූමිය ඓතිහාසික ස්ථානයකි. අඩි 72 ක් උසැති සහ අඩි 597 ක වට ප්‍රමාණයකින් යුත් මෙම දැවැන්ත ස්ථූපය කාවන්තිස්ස රජු (ක්‍රි.පූ. 205-161) විසින් ඉදිකරන ලද්දක් බව විශ්වාස කෙරේ.පුරාවිද්‍යාඥයන් එහි ඇති බොහෝ අභිරහස් හෙළි කිරීමට උත්සාහ කරන බැවින් මෙම ආරක්ෂිත ඓතිහාසික ස්ථානය කැණීම් කර ප්‍රතිසංස්කරණය කරමින් පවතී.මගුල් මහා විහාරයඋද්‍යානයේ උතුරු මායිමේ පිහිටි පැරණි විහාරස්ථානයක්  වේ. එකල මෙම විහාරය උත්ත්ර සීවලී පබ්බත විහාරය ලෙස හඳුන්වා ඇත. රජතුමා විහාර මහා දේවිය සමඟ විවාහ වූ ස්ථානය මෙය බව පැවසේ. විවාහ මංගල්‍යය සිදුවූ “මඟුල් මඩුවේ” අඩිතාලම තවමත් විහාර පරිශ්‍රයේ දක්නට ලැබේ.මෙම විහාර සංකීර්ණය අක්කර 10,000 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ අතර, මාළිගාවක්, සඳකඩ පහණක්, ආරාමයක්, බෝ මළුවක්, ස්තූප, පොකුණු ආදියෙහි නටඹුන් තැනින් තැන දක්නට ලැබේ. මෙහි ඇති සඳකඩ පහණ මෙරට සුවිශේෂී වන්නේ සඳකඩ පහණ තුළ අලි ඇතුන් සහ ඇත් ගොව්වන් සතර දෙනෙකු කොටා ඇති එකම ස්ථානය මෙය වන බැවිනි.

සඳකඩ පහණ

මෙහි වෘක්ෂලතාදිය ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර ලෙස වර්ගීකරණය කර ඇත.මෙහි ශාක සංයුතිය තුළ පලු, වීර, කොහොඹ, බුරුත, හල්මිල්ල, මිල්ල ආදි ශාක විශේෂ පවති.ලාහුගල ආසන්නයේ අලින්ගේ ප්‍රියතම ආහාරයක් වු ප්‍රමුඛ තෘණ විශේෂයක් වන බෙරුතණ බිම් පැවැතීම නිසා අලින් නිතර එහි සැරිසරයි.මෙම ප්‍රදේශය අලින්ගේ ආහාර ගබඩාව ලෙසද හදුන්වයි.

ක්

                                                                                                                          බෙරුකන අලි

රිළවා, වලසා, නරියා, කොළදිවියා, හදුන්දිවියා,වල්ඌරා,අලියා, මුවා, ගෝනා, මීමින්නා වැනි ක්ෂීරපායින්ද, වළිකුකුළා, කරවැල් කොකා, ලතු වැකියා, හීන්මානාවා, සුදු පපුව සහිත මුහුදු රාජලියා,වැව් රාජාලියා, වතරතු මල්කොහා, හබන් කුකුලා වැනි පක්ෂීන්ද මෙහිදි හදුනා ගත හැක.

තුරු මුදුනේ ජලජ පක්ෂීන්

(Bufo atukoralei)(Fejervarya limnocharis) සහ (Polypedates maculatus) යන උභයජීවීන් උද්‍යානය තුල හඳුනාගෙන ඇත.පිඹුරා, ගැරඬියා, මල්සරා, මාපිලා, තිත් පොළඟා, ගල් ඉබ්බා, කිරි ඉබ්බා සහ තාරකා ඉබ්බා උද්‍යානයේ සිටින උරගයන් අතර වේ.

ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය සැඟවුණු මැණිකකි. එය වනජීවීන් අතින් පොහොසත්ම උද්‍යානයකි. මෙම උද්‍යානය ශ්‍රී ලංකාවේ අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ජුනි සහ අගෝස්තු අතර කාලය තුළ හස්තීන් 150 කින් පමණ සමන්විත රංචු දැකිය හැක.

නරඹන්නන්ට වනජීවී සම්පත විදීමේ උපරිම අවස්ථාවත්, වනාන්තරයක ජිවත් විමේ අද්විතීය අත්දැකීමත් තම ජිවිතයට එක්කර ගත හැකි වීමට සංචාරකයින්ගේ නවාතැන් පහසුව සදහා ලාහුගල මහ වැව ආසන්නයේ සංචාරක බංගලාව ඉදිකර ඇති අතර එය වෙන්කරවා ගැනීම කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරනු ලැබේ. සොබා සෞන්දර්ය රසය නිදහසේ විදගැනිම සදහා කරඳ ඔය, කිතුලානගල, බණ්ඩාර පට්ටියෙහි කදවුරු බිම්ද පිහිටුවා ඇත.

ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

ශ්‍රීලංකා දිවියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

අලියාஆசிய யானைAsian elephantElephas maximus

වලහා

தேன் கரடி

Sloth bear

Melursus ursinus

නරියා

நரி

Golden jackal

Canis aureus

වල් ඌරා

காட்டுப்பன்றி

Wild boar

Sus scrofa

හදුන් දිවියා

மீன்பிடிப்பூனை

Fishing cat

Prionailurus viverrinus

කොළදිවියා

துரும்பன் பூனை

Rusty spotted cat 

Prionailurus rubginosus

මුවා

இலங்கைப் புள்ளிமான்

Spotted deer

Axis axis ceylonensis

ගෝනා

மரை

Sambar

Rusa unicolor

මීමින්නා

கேளையாடு

Indian muntjac

Muntiacus muntjak

ලංකා වළි කුකුළා

இலங்கை காட்டுக்கோழி

Sri lankaJunglefowl

Gallus lafayetti

කරවැල් කොකා

செந்நாரை

Purple heron

Ardea purpurea

ලතු වැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork  

Mycteria leucocephala

හීන්මානාවා

சிறுத்த பெரு நாரை

Lesser adjutant

Leptoptilos javanicus

සුදු පපුව සහිත මුහුදු රාජලියා

வெள்ளை வயிறு கொண்ட கடல் கழுகு

white-bellied sea eagle

Haliaeetus leucogaster

වැව් රාජාලියා

சாம்பல் தலை மீன்பிடிக் கழுகு

Grey headed fish eagle

Haliaeetus ichthyaetus

වතරතු මල්කොහා

செம்முகப் பூங்குயில்Red-faced malkohaPhaenicophaeus pyrrhocephalus

හබන් කුකුලා

இலங்கைச் சுண்டங்கோழி

Sri lankaSpurfowl

Galloperdix bicalcarata

ඇමිබියා (ගෙම්බන්) විශේෂ

எமிபியா (தவளை) இனங்கள்

Amphibians Sps.

Bufo atukoralei

Fejervarya limnocharis

Polypedates maculatus

පිඹුරා

மலைப்பாம்பு

Sri Lanka phython

Python molurus

ගැරඬියා

சாரைப்பாம்பு

Rat snake

Ptyas mucosa

මල්සරා

இரட்டைப்பட்டை மரப்பாம்பு

Banded flying snake

Chrysopelea sps.

මාපිලා

இலங்கை பூனைப்பாம்பு

Cat snake

Boiga sps.

තිත් පොළඟා

கண்ணாடி விரியன்

Russell’s viper

Vipera russelli

ගල් ඉබ්බා

கறுப்பு ஆமை

Hard shelled terrapin

Melanochelys trijuga

කිරි ඉබ්බා

பால் ஆமை

Soft shelled terrapin

Lissemys punctata

තාරකා ඉබ්බා

நட்சத்திர ஆமை

Star tortoise

Testudo elegans

ලාහුගල කිතුලාන ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

පලු

பாலை

Palu

Manilkara hexandra

වීර

வீரை

Hedge Box wood

Drypetes sepiaria

කොහොඹ

வேம்புKohomba 

Azadirachta indica

බුරුතமுதிரைSatinwood

Chloroxylon swietenia

මිල්ල

காட்டு நொச்சி

Milla

Vitex  altissima

හල්මිල්ල

சாவண்டலை மரம்

Halmilla

Berraya cordifolia

බෙරු

கப்ஸ்கேல் புல்

Cupscale grass

Sacciolepis interrupta

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී.ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූප- කෝලිත නුවන් ජයසිංහ