简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 29 – ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය

Content Image

දුර්ලභ සතුන්ගේ විනාශය දැකීමත් අමතක කරන්න බෑ

මම  ආදම්ගේ පාලම ජතික සාගර උද්‍යානයේ රාජකාරියට ආවේ 2020 ජනවාරි මාසයේදී. ඒ වන සත්ව අඩවි ආරක්ෂකවරයෙක් විදියට. මෙය මගේ පළමු පත්වීම.

දූපතේ කෙළවර තලෛමන්නාරම. තලෛමන්නාරමේ ඉඳලා ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා දුපත් 17ක් විතර තියෙනවා. එයින් ලංකාවේ මුහුදු සීමාවේ තියෙන දූපත් අටේ අයිතිය ලංකාවට. මේ දූපත් අටට තමයි ආදම්ගේ පාලම ජාතික සාගර උද්‍යානය කියන්නේ. ඉතිරි දුපත් 9 අයිති ඉන්දියාවට.

මෙහේ තියෙන්නේ ටිකක් කටුක පරිසරයක්. තලෛමන්නාරම ජනතාව වැඩිපුර දෙමළ හා මුස්ලිම්. පොළීසිය හා නාවුක හමුදාව වගේ රාජ්‍ය ආයතනවල සිංහල අය ඉන්නවා. මේ පැත්තේ අලි, කොටි, වලස්සු නැති නිසා වනපීවී දෙපාර්තමේන්තුව ජනගත වෙලා නෑ.

ආදම්ගේ පාලම ජාතික සාගර උද්‍යානයේ දුපත් හා ඒ අවට සාගරය හරි ලස්සන පරිසර පද්ධතියක්. මුහුදු තෘණ කලාපයකුත් අයිතියි. මුහුදු ඌරන් කැස්බෑවුන් හා මාළුන් ඉන්නවා. මුහුදු ඌරන් හා කැස්බෑවුන් අනෙකුත් තැන්වලට යන්නේ බිත්තර දාන්න. මෙහෙට එන්නේ ප්‍රජනන කාර්යයට හා ආහාර සොයා ගන්න. ඒ නිසා පරිසර පද්ධතිය ඔවුන්ට වැදගත් වෙනවා.

වැලිපර දුපත් 3,4,5 ආශ්‍රිතව සංචාරක පක්ෂියෝ කාලෙකට බිත්තර දානවා. ඔවුන් ලිහිණි විශේෂ. ඒ කාලෙට දුපත් වලට අඩිය තියලා යන්න බැරි තරම් බිත්තර තියෙනවා. මේ දුපත් අටේ පක්ෂීන් දහ දාහක් විතර ඉන්නවා. ඉර බහින වෙලාවට හරි ලස්සන දර්ශන දකින්න පුළුවන්.

මේ දුපත් වල හැඩය දවසෙන් දවස වෙනස් වෙනවා. වර්ග කිලෝමීටර් ½ක විතර දුපත් තියෙනවා. 1 වෙනි දූපත තියෙන්නේ මන්නාරම් දූපතට සවි වෙලා. මන්නාරම දුපත‍ ආදම්ගේ පාලමට අයිති නෑ.

ආදම්ගේ පාලම උද්‍යානයට අයිති මුළු ප්‍රදේශයම හෙක්ටයාර් 18,000ක් විතර. එයින් ගොඩක්ම සුළු ප්‍රමාණයක්. ඉතිරිය සාගරය. වනජීවි දෙපාර්තමේන්තුවට බෝට්ටුවක් තියෙනවා. අපි සෝදිසි කිරීම් වලට යන්නේ එ් බෝට්ටුවෙන්. ඒ නිසා වාරකන් කාලයට යන්න අමාරුයි. මුහුද සෞම්‍ය කාලයට යනවා. ඒ කාලයේ කෝච්චියේ තලෛමන්නාරමට ඇවිත් බෝට්ටුවකින් ඉන්දියාවේ රාමේෂ්වරන් හා ධනුෂ්කොඩි යන්න බෝට්ටු පහසුකම් තිබිලා තියෙනවා. තවමත් ගරා වැටුණු ජැටි (Piers) 2ක් තියෙනවා.

ආදම්ගේ පාලම සම්බන්ධයෙන් පුරාවෘත්ත කිහිපයක් තියෙනවා. රාවණා රජු සීතා දේවිය ලංකාවට අරගෙන ආවාට පස්සේ රාම කුමාරයාට හා හමුදාවට හනුමන්තා හා වානර හමුදාව හදපු පාර කියලා. ඒකඑක පුරාවෘත්තයක්.

ඊට අමතරව “ආදම්” හා “ඒව” සම්බන්ධ කරලාත් පුරාවෘත්තයක් තියෙනවා. මේ හරියේ පාවෙන ගල් විශේෂයන් තිබුණාලු. ගලින් ගලට පැනලා ආදම්ට ඒවා හොයාගන්න පුළුවන් වුනා කියලා.

මේ සිදුවීම සිද්ධ වුනේ තලෛමන්නාරම “නඩු කුඩා” කියන ප්‍රදේශයේ. එදා 2021.12.12  දිනය. ජාතික උද්‍යානය පටන් ගන්නේ ඌරුමලේ ප්‍රදේශයෙන්. අපේ කාර්යාලය තියෙන්නේ ඌරුමලේ. එතැන ඉඳලා නඩුගුඩා වලට කිලෝමීටර් 15ක් විතර තියෙනවා.

ධීවරයෙකුගෙන් දුරකථන පණිවුඩක් ලැබුණා කාර්යාලයට ලොකු මාළුවෝ දෙදෙනෙක් මා දැලක පැටලිලා ඉන්නවා කියලා. අපි පරීක්ෂා කරන්න පිටත් වුනා. මම අඩවි සහකාර මහත්මයාත් එක්ක මෝටර් බයිසිකලේ ගියා. තව ආරක්ෂක නියාමකවරයෙකුයි බෝට්ටු ඔපරේටර්වරයායි බස් එකේ ආවා.

අපි ගිහින් බලනකොට මා දැලට අහුවෙලා තියෙන්නේ මාළු නෙවෙයි මුහුදු ඌරන් දෙදෙනෙක්. ලංකාවේ වෙරළ  අවට ඔවුන් ඉන්නේ ටික දෙනයි. ජීවත් වෙලා ඉන්න මුහුදු ඌරන් දැකපු අය මෙහේ නෑ. මැරිලා මුහුදට ගොඩ ගහපුවමයි අපි දකින්නේ. ඒත් අවුරුද්දට එක්කෙනෙක් විතර.

මෙතෙන හිටියේ ගැහැණු සතෙක් හා පිරිමි සතෙක්. ගැහැණු සතා විශාලයි අඩි 4යි අඟල් 6ක් විතර. පිරිමි සතා අඩි 7ක් විතර බැලු බැල්මට අම්මයි පුතයි කියලා තේරෙනවා.

අපි යනකොට ධීවරයන් මා දැල ගලවලා සත්තු දෙන්නාම ගොඩ හිටියේ. අම්මාගෙන් කිරි වෑස්සෙනවා දැක්කාම තේරුණා පැටවා අම්මාගෙන් කිරි බිබී ඉන්න ඇති කියලා. සමහර විට අම්මට දැල කඩාගෙන යන්න පුළුවන්කම තියෙන්න ඇති. ඒ වුනත් පැටියා එක්ක රැදෙන්න ඇති.

ඉන් පස්සේ මම සහකාර අධ්‍යක්ෂ තුමා හා ප්‍රධාන කාර්යාලය සමඟ කතා කළා උපදෙස් ඉල්ලලා. සත්තු දෙන්නා සංරක්ෂණය කරන්න ඕනෑ කියලා ප්‍රධාන කාර්යාලයෙන් උපදෙස් ලැබුණා. ඉන්පස්සේ අපි ලොරියකින් තලෛමන්නාරමේ මාළු දාන ශීතකරණයට සිරුරු ගෙනවිත් දැම්මා. පැටෙව්වෙත් බෑවෙත් ඩෝසරයකින්. සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිළිනොච්චිය පශු වෛද්‍ය තුමා සිදු කළා. දැලට පැටලිලා හුස්ම ගන්න බැරිව සතුන් මියගිියා කියලා වාර්තාව ලැබුණා. මරණ පරීක්ෂණයෙන් පස්සේ සිරුරු දෙක කල්පිටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ඇරියා සංරක්ෂණය කරන්න. එතන සංරක්ෂණ කටයුතු පටන් ගන්න.

මේ වෙනකොට සංරක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතිනවා.

මුහුදු ඌරන් ආරක්ෂිත දුර්ලභ සත්වයන්. මේ සත්වයන් දෙදෙනාගේ මරණය මා තුල කම්පනයක් ඇති කලා. ඒ නිසා මේ සිදුවීම මාගේ ජීවිතයේ අමතක නොවන මතකයක් ලෙස රැදුනා.

කේ.ඩබ්. මල්ෂාන් මහතා

කේ.ඩබ්. මල්ෂාන් මහතා වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණේ 2019.11.19 වැනි දිනය. අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා විශයෙන් සමත්ව ඇති හෙයින් තරඟ විභාගයට පෙනී සිට අනතුරුව ඉන් සමත්ව සම්මුඛ පරීක්ෂණයකින්ද සමත් වීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ 3 වන ශ්‍රේණිය වන සත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙස ඔහු සේවයට බැඳිණි.

විල්පත්තු කලාප අංක 4, තන්තිරිමලේ අඩවි ආරක්ෂක කාර්යාලය හා නල්ලතැන්න අඩවි ආරක්ෂක කාර්යාලයේ මාස 6ක පුහුණුවකින් පසු මල්ෂාන් මහතා පළමු පත්වීම ලැබුවේ ආදම්ගේ පාලම සාගර අභය භූමියටය.

සතුන්ට ඇති කැමැත්ත නිසා වනජීවී දෙපාර්තමේන්තුවට බැදුණු ඔහු තම රාජකාරිය සතුටින් කැපවීමෙන් සිදු කරයි. මේ වනවිට ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ ආයුධ පුහුණුව හා නීතිය සම්බන්ධව පුහුණුව ලබා ඇත.

මල්ෂාන් මහතා ඉගෙනුම ලබා ඇත්තේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේය.

තවමත් අවිවාහක ඔහු මව, පියා සහ නැගෙනිය සමඟ 127, වට වන්දනා පාර, කුට්ටම් පොකුණ, අනුරාධපුර යන ලිපිනයෙහි පදිංචිව සිටී.   

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය

ඓතිහාසික,ජෛව විද්‍යාත්මක,පරිසර විද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයක් ලෙසමන්නාරම් මුහුදු සීමාවට අයත්ව පිහිටා ඇති වැලිපර දූපත් සමුහය,ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය ලෙස 2015 ජුනි මස 22  වෙනි දින ප්‍රකාශයට පත් කෙරිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක් ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිත ප්‍රදේශ වලින් ගැසට් පත්‍රයේසමුද්‍රීය යන වචනය ඇතුලත්ව ප්‍රකාශයට පත් කර ඇති එකම රක්ෂිත ප්‍රදේශයද මෙයයි. කරදිය තෙත්බිම් පරිසර පද්ධතියක් ලෙස ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රිකයේ තලෙයිමන්නාරම දූපතේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා විහිදෙන වැලිපර දූපත්හි දේශ සීමාව දක්වා ප්‍රධානදූපත් 08ක් හා අවට නොගැඹුරු මුහුදු ප්‍රදේශය මෙයට අයත් වේ.වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක  ආඥාපනතේ ප්‍රතිපාදනයන්ට අනුව මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 18990ක් පුරා විහිදී ඇත.ශ්‍රි ලංකාවේ සිට ඉන්දියාව දක්වා දිවයන දූපත් සමුහය ආශ්‍රිත මුහුදු කලාපය නොගැඹුරු වනඅතර එයට හේතු වී ඇත්තේ මන්නාරම ආශ්‍රිතව ව්‍යාප්තව ඇති කොරල්පර පද්ධතිය වේ.

අතීතයේ සිට ලංකාව හා ඉන්දියාව අතර වු දේශ සීමාව කලකදී ගොඩබිමක් ලෙස යාවෙමින් ද තවත් වරක මුහුදු ජලයෙන් යටවෙමින් ද පැවතිනි. සම්බන්ධය අදින් වසර 10000-7000 කට පමණ පෙර වු අයිස් යුගයේ දී දෙරට වෙන් වීම සමඟ අවසන් වීම සිදුවිය.රාමායනයේ  සදහන් පරිදි හින්දු භක්තිකයින්ගේ විශ්වාසය වන්නේ ඉන්දියාවේ සිට රාවණා රජු විසින් සීතා දේවිය පැහැරගෙන ලංකාපුරයට රැගෙන ඒම නිසා රාම කුමරු හට යුධ සේනාව ඉන්දියාවේ සිටමෙහි කැදවාගෙන ඒම සදහා 40000 අධිකවු වානර හමුදාවක් තනා දුන් පාලම හනුමන් පාලම,රාමා පාලමලෙසය.තවදමුස්ලිම් බැතිමතුන්ගේ මෙන්ම ක්‍රිස්තු භක්තිකයන්ගේ ද විවිධ වු ඓතිහාසික විශ්වාස හා සංසිද්ධි පදනම් කරගෙන පසු කාලීනව ආදම්ගේ පාලම ලෙසද හදුන්වාගෙන ඇති බවටද සදහන් වේ. එම නිසා මෙය  සංස්කෘතිමය වශයෙන් ඉමහත් ගෞරවයට පත්වු භූමියක්ද වේ.

ආදම්ගේ පාලම ජාතික උද්‍යානයේ සුවිශේෂි ලක්ෂණය වන්නේ දූපත්ය.ප්‍රධාන වශයෙන් කරදිය තෙත්බිමක් ලෙස හඳුනාගත්තද ඇතැම් දූපත් වල ඇති දිය කඩිති වල ඇති මුහුදු ජලයේ ලවණතාවය අඩුබවක් දක්නට ලැබේ. විශේෂයෙන් සුළංධාරා හා මුහුදු රළ මගින් මෙහි දූපත් වල හැඩය නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වේ.අර්ධශුෂ්ක දේශගුණිකතත්ත්වයක් දක්නට ලැබෙන මෙහි මුහුදු සුළංප්‍රභවය නිසා එතරම් උෂ්ණත්වයක් ඇති බව  නොදැනෙයි.

                                                                                                                                දූපත් වල ඇති දිය කඩිති

කරදිය පරිසර පද්ධතියක් ලෙස අනෙකුත් පරිසර පද්ධති වල මෙන් වැඩි ශාක විවිධත්වයක් නොපෙන්වුවද විශේෂ 20ක් පමණ හදුනාගෙන ඇත.මෙහි විශේෂයෙන් තෘණ විශේෂ හා ලවන හැල් වලින් යුතු පරිසර පද්ධතියක් දක්නට ඇත.මෙම ශාක විශේෂ ලවණ ජලයේ වැඩීමට ප්‍රිය කරන අතර තෙත්බිම් වල ලවණතාවය පාලනය සදහා මහත් සේ උපකාරි වේ.මුහුදුබිම් තඹුරු,බැරිය,හීන් තක්කඩ,මහා රාවණ රැවුලආදී ශාක විශේෂ දැක ගත හැක.

                                                                                                                          ශාක ව්‍යාප්තව  ඇති පරිසරය

සත්ව විශේෂ අතරින් ප්‍රධාන වශයෙන් දැකගත හැකි වන්නේ පක්ෂි විශේෂ වේ. තෙත් බිම් වෙත පර්යටන කරන සහ නේවාසික පක්ෂි විශේෂ 38ක් පමණ වාර්තා වේ. නේවාසික මුහුදුළිහිණි විශේෂ රැසක් තම කැදලි සාදා බිත්තර දමන ඉතා සංවේදි අභිජනන ප්‍රදේශයකි.ඒ අතර කැප්සියා මුහුදුළිහිණියා, මහ කොණ්ඩ මුහුදුළිහිණියා, හීන් කොණ්ඩ මුහුදුළිහිණියා, අළුපිය කාන්ගුල්ළිහිණියා ආදී නේවාසික මුහුදුළිහිණියන්ගේ බිත්තර කැදළි දහස් ගණනක් මෙහි තිබෙන අතර අප රටේ වාර්තා වන මුහුදුළිහිණියන්ගේ විශාලතම අභිජනන කැදලි තනන කලාපය ලෙස 02,03,05, වැනි දූපත් දැක්විය හැකිය. අතිශය දුර්ලභ යුරාසියා  බොලුගුල්ලානම් වගුරු බිම් වල පමණක් ජිවත් වීමට කැමති බෙල්ලන් මත යැපෙන පක්ෂියාද, ටෙරෙක් සිලිබිල්ලා, වැලිහින්නා, වයිරපෙද ගොහොදුවිත්තා, දුඹුරු හින්නා ආදී තරමක් දුලභ පර්යටන පක්ෂීන් ද මෙහිදී හමුවේ.

                                                                                                              රංචු ලෙස දැකිය හැකි මහ කොණ්ඩ මුහුදුළිහිණියන්

උද්‍යානයේ සමනළ විශේෂ 08 ක් හා සලඹ විශේෂ 06ක් හමු වන අතර ඉතා අලංකාර සෙව්වන්දියා සමනළ විශේෂද එහි හමුවේ. කූරන් විශේෂ 07ක්ද මෙම පරිසරයේ දී දැකගත හැකිය. උරග විශේෂ ලෙස ගරා කටුස්සා හා කරදියවාසී කැස්බෑ විශේෂ 02ක් ද;කොළ කැස්බෑවා, බටු කැස්බෑවා දක්නට හැකිය.

උද්‍යානයේ ජෛව විවිධත්වය පක්ෂීන් සදහා නවාතැන්පලක් වීම සහ ආහාර සුලභ වීමත් නිසා  නේවාසික ලිහිණි විශේෂයන්ගේ කැදලි බිම් ආරක්ෂාකිරිමටත් පියවර ගැනිම වැදගත් වේ.එසේම ලෝකයේ දැඩි ලෙස වදවීමේ තර්ජනයට ලක්වී සිටින මුහුදු අශ්වයා යන සත්ව විශේෂ වල නිජබිම් ආරක්ෂා කිරීමටත් ලංකාවේ වාර්තා වන සියලු කැස්බෑ විශේෂ මේ අවට ප්‍රදේශය, අභිජනන ප්‍රදේශ ලෙස යොදා ගැනීම නිසාත් එම ප්‍රදේශ ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.තවද සංක්‍රමණික පක්ෂීන් දිවයිනට පැමිණීමේදි සහ දිවයිනෙන් පිටව යාමේදි  මෙහි සතරවන දූපත පක්ෂීන්ගේ නැවතුම් පලක් ලෙස භාවිතා කිරීමට පුරුදු වී සිටීමද විශේෂත්වයකි.

සේතු සමුද්‍රම්,හනුමන්තා පාලම සහ ආදම්ගේ පාලම වශයෙන් නම්ලද මෙම වැලිපර දූපත් සමුහය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථිකමය,සමාජීයමය,සංස්කෘතිමය වශයෙන් වැදගත් වු බැඳීම් සමුදායකින් ගොඩනැගුණු අපූර්ව සොබාදම් නිමැවුමකි.භූ විද්‍යාත්මක සාක්ෂි අනුව මෙම පාලම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැරණි ගොඩබිම් සම්බන්ධතාවයක් වේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙහි ජෛව විවිධත්ව සමික්ෂණයක් සිදුකරන ලද අතර එහිදි සැලකිය යුතු ජෛව විවිධත්වයක් මෙන්ම පාරිසරික  වැදගත්කම්ද ඇති බව තවදුරටත් අනාවරණය කර ගන්නා ලදි.

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

කැප්සියා මුහුදුළිහිණියාகஸ்பியன் ஆலாCapsian ternSterna caspia

මහ කොණ්ඩ මුහුදුළිහිණියා

பெரிய கொண்டை ஆலா

Great crestedtern

Thalasseus bergii

හීන් කොණ්ඩ මුහුදුළිහිණියා

சிறிய கொண்டை ஆலா

Lesser crested tern

Thalasseus bengalensis

අළුපිය කාන්ගුල්ළිහිණියා

மீசை ஆலா

Whiskered tern

Chlidonias hybrida

යුරාසියා  බොලුගුල්ලා

ஐரோவாசியா சிப்பி பிடிப்பான்

Eurasian oystercatcher

Haematopus ostralegus

ටෙරෙක් සිලිබිල්ලා

தெரக்கு உள்ளான்

Terek sandpiper

Xenus cinereus

වැලිහින්නා

வெள்ளை உள்ளான்

Sanderling

Calidris alba

වයිරපෙද ගොහොදුවිත්තා

பட்டைவால் மூக்கன்

Bar-tailed godwit

Limosa lapponica

දුඹුරු හින්නා

உள்ளான்

Dunlin

Calidris alpina

සෙව්වන්දියා

சிவப்புடல் அழகி

Crimson rose

Pachliopta hector

ගරා කටුස්සා

பொதுவான தோட்டப்பல்லி

Common garden lizard

Calotes versicolor

කොළ කැස්බෑවා

தோணியாமை

Green sea turtle

Chelonia mydas

බටු කැස්බෑවා

ஒலிவ நிறச் சிற்றாமை

Olive ridley sea turtle

Lepidochelys olivacea

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

මුහුදුබිම් තඹුරුஅடும்பு

Bay hops or beach morning glory

Ipomoea pescaprae
බැරියதீப்பரத்தை

White flowered black mangrove

Lumnitzera racemosa
හීන් තක්කඩ     –   –

Scaevola plumieri

මහා රාවණ රැවුලஇராவணன் மீசைRavan’s moustacheSpinifex littoreus

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූපරෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව