简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 30 – උස්සන්ගොඩ ජාතික උද්‍යානය

Content Image

උස්සන්ගොඩ වන බිම ජාතික උද්‍යානයක් වූ වගයි

මම 2006 අවුරුද්දේ කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ආසන්නවයි උස්සන්ගොඩ ප්‍රදේශය තිබුණේ. උස්සන්ගොඩ ප්‍රදේශය සංරක්ෂණය කළේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රේරණ කලාපයක් විදියට එම රක්ෂිතය වටා සංරක්ෂණය කළා.

උස්සන්ගොඩ පිහිටලා තියෙන්නේ අම්බලන්තොට නගරයත් හුංගම නගරයත් අතර දිවෙන ප්‍රධාන මාර්ගයේ නෝනාගමෙන් මුහුද දෙසට යන අතුරු මාර්ගයේ කිලෝමීටර් 2.5ක විතර දුරකින්. උස්සන්ගොඩ ප්‍රදේශයේ කඳු  ගැට දෙකක්ද මිටියාවතක්ද තෘණ පිට්ටනි දෙකක්ද තියෙනවා. මේ වන වැස්මක්. වන වැස්මේ දලුක්, හිඟුරු වැල්, කොර කහ, පතොක්, කරඹ, අන්දර, කුකුරුමාන්, කටුපිල වැනි අර්ධ ශුෂ්ක කලාපයේ වැවෙන කටුපඳුරු සහිත ශාක තියෙනවා.

වන වැස්මට නුදුරින් මුහුදු. මුහුද රළ ඇවිත් වෙරළේ වැදෙන හැටි චමත්කාරජනකයි. මුහුදු ජලය නිල් කැටයක් වගේ.  දවල් කාලයේ නොගැඹුරු ජලයේ නිදැල්ලේ පිහිනමින් ඉන්න කැස්බෑවුන් වරින් වර දකින්න පුළුවන්. ගොළු කිරලන්, ගොම රිට්ටන්, හොට කහ කිරළුන්, හොට රතු කිරළුන්, දුම් බොන්නන්, කුරුමිණි කුරුල්ලන් වගේ කුරුළු විශේෂ රාශියක් දකින්න පුළුවන්. උදර කුරුමිණි කුරුල්ලන් පොළව මත ගුල් හාරාගෙන කැදලි තනාගෙන ඉන්න අවස්ථාවක් දකින්න පුළුවන්. මේ ප්‍රදේශයේ විශාලඅඳුරු පාට කටුසු විශේෂයක්ද ඉන්නවා. ඒ වගේම ඉත්තෑවුන්, තිත් මුවන්, මීමින්නන්, හාවුන්, තලගොයින් වැනි සතුන්ද ඉඳහිට පැමිණෙන වන අලින්ද දකින්න පුළුවන්.

උස්සන්ගොඩ භූමිය සම්බන්ධයෙන් ජනප්‍රවාද ගොඩක් තියෙනවා. රාම-රාවණා කතාවේ  හනුමා සැඟවිලා හිටියේ උස්සන්ගොඩ බවත් තුවාල හොඳ කර ගන්න ඉන්දියාවෙන් ඖෂධ පැල ගෙනත් හිටවපු බවත් විශ්ණුක්‍රාන්ති , චන්ද්‍රකාන්ති වගේ ඖෂධ පැල එම පැල බවත් එක ජනප්‍රවාදයක්.

මේ ප්‍රදේශය මංගල දෙවියන්ගේ අඩවිය බවත් මංගල දෙවියන්ගේ වාහනය ‘මීමා’ ලැගුම් ගත් වැව මෙහි තියෙන වැව බවත් තවත් ජනප්‍රවාදයක්.

මෙම භූමිය භූ තුල මාරුවෙන ස්ථානයක් බවත් භූ තුල මාරුවීම මත මදුනාගල උණුවතුර ලිං ඇති බවත් තවත් ජනප්‍රවාදයක්.

කළු කුමාර දිෂ්ඨිය තියෙන ප්‍රදේශයක් බවත් තව ජනප්‍රවාදයක්.   

උස්සන්ගොඩ ප්‍රදේශය බලන්න පාසැල් සිසුන්ද තරුණ ජෝඩුද නිතර පැමිණියා.  මේ අයගේ මුදල් පසුම්බි කණකර රත්රන් බඩු සොරකම් කිරීමත් රෑට වන සතුන් දඩයමත් පැතිරුණා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මේවා සිදු කරන බවත් පැතිරුණා. උස්සන්ගොඩ ප්‍රදේශයේ කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්වුණේ අම්බලන්තොට          ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මම ඒකට සහභාගි වෙනවා. එක දවසක් මේ රැස්වීමේදී ප්‍රදේශය භාර පරිසර නිලධාරි තුමා විසින් උස්සන්ගොඩ ප්‍රදේශය අනවසර මිනිස් ක්‍රියාකාරකම් වලට ගොදුරු වුන ස්ථානයක් ලෙස වාර්තා කළා. එතැනදී එතැන ඉන්න සතුන් ශාක හා පරිසරයේ වැදගත්කම ගැන සාකච්ඡා කරලා ඇමති තුමා ඇතුළු සියළු දෙනාම තීරණය කෙරුවා රූමස්සල වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරන්න. ඉන්පස්සේ  වනජීවී දෙපාර්තමේන්තුවේ කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට රූමස්සල ප්‍රදේශයේ දළ මායිමක් සහිතව භූමි ප්‍රදේශය සඳහන් කරන ලෙසට දැනුම් දීමක් ලැබුණා.

ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මායිම් ඉල්ලනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ලක්ෂ 2ක් බඳින්න කියනවා.

නමුත් කාගෙන්වත් මායිම් ලැබුණේ නෑ. මේ අතරේ පුද්ගලික කොම්පැණියකට මේ ඉඩමෙන් අක්කර 60ක් ඉල්ලුවා හෝටලයක් හදන්න. ගමේ මිනිස්සු එයට විරුද්ධව උද්ඝෝෂණයක් කළා.

ඒ කාලයේ මම වන සත්ව නියාමකවරයෙක්. පාර්ශව අතර ලිපි හුවමාරු වෙනවා විතරයි. මොකක්ද මගෙන් කෙරෙන්න ඕනෑ කියලා මම කල්පනා කළා. මම පිපාසයට වතුර බෝතලයක් අරගෙන බයිසිකලේ බැදගෙන රූමස්සලට ගියා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ක කතා කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් අයිති මායිම් ගැන දැනගත්තා. කටු අකුල් අතරෙන් රිංගලා, දුෂ්කර පාරවල් දිගේ ගිහින් මම මායිම් හෙව්වා. අවසානයේ මට පුළුවන් වුනා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ප්‍රදේශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ප්‍රදේශය වගේම මෙම ප්‍රදේශ අයිති ග්‍රාම සේවා වසම් දෙකකට නිසා එම මායිම මගේ හිතේ සටහන් කර ගන්න.

කාර්යාලයේදී මම මේ මායිම් කොළයකට ඇන්දා. ඇත්තටම කිව්වොත් ඒක චිත්‍රයක්. මම ඉතාම මහන්සි වෙලා ඒක ඇන්දේ. පස්සේ මම චිත්‍රයත් අරගෙන අඩවි ආරක්ෂක නිලධාරි තුමා හමුවෙන්න ගියා. නමුත් එතුමා ඒක දිහා බලලා වීසි කරලා දැම්මා. සිතියම දෙකට ඉරුනා. මට පුදුම වේදනාවක් දැනුනේ. මම සිතියමේ කෑලි දෙක අරගෙන අලවලා පරෙස්සමින් තිබ්බා.

තවත් කාලයක් ගියා. දැන් ප්‍රශ්නය උග්‍රයි. ගමේ මිනිස්සු උද්ඝෝෂණ මාලාවක් ගෙනියනවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය ලුණාම ප්‍රදේශයේදී අවහිර කළා. මේ ප්‍රදේශය දැන් වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීලා තියෙන්නේ කියලා බලධාරීන් උද්ඝෝෂණය අවසන් කෙරුවා.

ඊට පස්සේ දවසක වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් තව කණ්ඩායමක් සමඟ කඩිනමින් ආවා. උස්සන්ගොඩ භූමියේ මායිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වහාම දෙන්න කිව්වා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ලියුම් යැව්වට පිළිතුරු ලැබිලා තිබුණේ නැහැ. මම ඇදලා තිබුණු සිතියම අරගෙන ඇවිත් එතුමියට පෙන්නුවා. ඇය ඉතා සතුටු වුනා. මාව වාහනයේ නංවා ගෙන උස්සන්ගොඩ භූමියට ඇවිත් භූමියේ කොනකින් පටන්ගෙන මගේ සිතියම අනුව G.P.S. පාඨාංක ලබා ගත්තා.

එදා දවල් අපේ ආහාරය වුනේ කුරුම්බා විතරයි. නිලධාරිතුමිය සිතියම සකස් කර ගෙන කොළඹට පිටත් වුනා.

2010 වර්ෂයේ මැයි 06 බ්‍රහස්පතින්දා අංක 1652/49 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් හෙක්ටයාර් 349.077ක් සහිතව උස්සන්ගොඩ ජාතික උද්‍යානයක් වශයෙන් ප්‍රකාශයට පත් වුනා.

මේ සිද්ධියේදී මගේ දායකත්වය ගැන මම දරන්නේ අප්‍රමාණ සතුටක්.

විදානපතිරනගේ රංජිත් මහතා

වයස අවුරුදු 17දී 1983.12.01 වැනි දින රංජිත් මහතා වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුනේ සුලු සේවකයෙකු ලෙස දවස් පඩියටය. එවක දෛනික පඩිය රු.22.50කි.

ඔහුට පැවරුණු පළමු රාජකාරිය ගම්පලගම කඳවුරක සිට අලි එලවීමයි.

එතැන් සිට විල්පත්තුව, හෝර්ටන් තැන්න, කතරගම අඩවිය, ගල්ගේ බීට්ටු කාර්යාලය යන ස්ථානයන්හි ඔහු සේවය කළේය.

රංජිත් මහතා ස්ථිර සේවකයෙකු බවට පත්වුයේ 1988.12.01 දිනය. ඔහු වනසත්ව අඩවි සහකාරවරයෙකු බවට උසස් වීම් ලැබුවේ 2014 වසරේදීය.

රාජකාරී කාලය තුල ඉන්දියාවේ අධ්‍යාපන චාරිකාවක නිරත වීමට ඔහුට අවස්ථාව ලැබිණි.

රංජිත් මහතා තම රැකියාව ආදරයෙන් හා භක්තියෙන් යුතුව ඉටු කරන්නෙකි. තම රැකියාව පිළිබඳව තමා ඉතා තෘප්තිමත් බව ඔහු පවසයි.

රංජිත් මහතා දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකරන අතර දියණිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නීය. පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඩුබායි හිල්ටන් හෝටලයේ සේවය කරයි. අනෙක් පුතා වනජීවී දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කරයි.

රංජිත් මහතාගේ ලිපිනය W.D.රංජිත්, නො.339, මහයාය පාර, මිරිස්වත්ත, බෙලිඅත්තය.    

උස්සන්ගොඩ ජාතික උද්‍යානය

ජාතික උද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණු වන්නේ ප්‍රදේශයේ ජෛව විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා භූගෝලීය වටිනාකම් සඳහා දිගුකාලීන ආරක්ෂාව සැපයීමයි. නැගෙනහිරින් කලමැටිය වනජීවී අභයභූමියට මායිම්වසොබා දහමේ අපූර්ව නිර්මාණයක් වු උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැසකටද උරුමකම් කියන සුවිශේෂීවු පොළෝ තලයකින් සමන්විත වන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ පරිසර පද්ධතියකි.මෙය ශ්‍රී ලංකාවේ 21 වන ජාතික උද්‍යානය වේ.කළමැටිය අභය භූමියෙහි ඉහලින් පිහිටා ඇති මෙම ප්‍රදේශය අතීතයේ සිටම හදුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය.

උස්සන්ගොඩ වනාහි දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි විශේෂ පරිසර පද්ධතියකි. මෙය පිහිටා තිබෙන්නේ ශ‍්‍රී ලංකාවට දකුණු දිග අම්බලන්තොට ප‍්‍රදේශයේ නෝනාගම මුහුදු තීරයට ආසන්නයෙනි. හෙක්ටයාර 349.077  ක්  පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක් වු මෙය 2010.05.06 දින  ගැසට් අංකය 1652/49 යටතේ  ජාතික උද්‍යානයක් ලෙස නම් කොට ඇත.

උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී.එහෙත් මෙම තලාවේ ඇති දර්ශණීය බව මතුකරවන්නේ එහි පැතිර පවත්නා දුඹුරු පැහැයට හුරු රතු පැහැ  පස් තට්ටුවයි.  උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය.විද්‍යාත්මක පර්යේෂණවලට අනුව මෙම පසෙහි ෆෙරික් ඔක්සයිඩ් 27%ක් හා සිලිකන් ඔක්සයිඩ් 53%ක් අඩංගුවේ. මෙම අධික ලෝහ සාන්ද්‍රණය නිසා මෙහි ගස් වැල් හටනොගනී.ගඩොල් රතු පැහැ පස මේ සඳහා සාක්ෂි දරයි.  තලාව මතුපිට දර්ශණය වන පාෂාණ කොටස් කළු පැහැයට ආසන්න දුඹුරු-රතු මිශ‍්‍ර පැහැයක් දරණ අතර උණුවී ද්‍රව වී ගිය ස්වරූපයක් පෙන්වයි.  උල්කාපාතයක් පිපිරීමේදී පිටවන අධික තාපය මගින් පාෂාණ උණුවී ගොස් ඇති බැව් විශ්වාස කෙරේ.

මෙම සුන්දර භුමි ප්‍රදේශය මුහුදු වෙරළට උසින් පිහිටි කුඩා කඳු දෙකකින් හා මිටියාවතකින් හා තෘණ පිට්ටනි දෙකකින් සමන්විත වු භූමියකිනි. රතු පස්  නිසා  ශාක නොවැඩේන  මෙම භූමිය පුරා කටු වන ලැහැබ පැතිර පවති. අතරින් පතර තැන් කිහිපයක පමණක් කුඩා පඳුරු කිහිපයක් වර්ධනය වී ඇත.උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. මදටිය ඇට පැහැයෙන් යුතු බිම්කඩ පුරා ගහක් කොළක් දැකීමට අපහසුය. ඒ මත වැවී  ඇත්තේ සුවිශේෂි තෘණ විශේෂයක් පමණකි.රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කරඹ, පතොක්, එරමිණියා ආදී ශුෂ්ක පරිසරයට ඔරොත්තු දෙන ශාකඑහි තැනින් තැන දිස්වෙයි. දළුක්, හිගුරු වැල්, කොරකහ, අන්දර, කුකුරුමාන්, කටුපිල,සූර්ය ක්‍රාන්ති,විෂ්ණු ක්‍රාන්ති,චන්ද්‍ර කාන්ති යන ඖෂධ පැළෑටි ද මෙම භුමියේ දක්නට ලැබේ.තෘණපිටි දෙක නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සුදු පුළුන්ගුලි සේ වෙරළ සිප ගැනීමට එන රළ පහරේ චමත්කාර ජනක දර්ශනය ද දිස්වේ. දිවා කාලයට නොගැඹුරු ජලයේ ඔබ මොබ පිහිනමින් නිදැල්ලේ සැරිසරන කැස්බෑවන් වරින්වර දැක ගත හැකි වේ. උස්සන්ගොඩ එක් කෙළවරකමහ සයුර ඇති නිසා එය ඉතා ශීඝ‍්‍රයෙන් මුහුදුට බිලිවන ප‍්‍රදේශයක්ද වේ.

කරඹ
පතොක්

කුරුළු විශේෂ කිහිපයක් දැක ගත හැකිවෙයි. ගොළු කිරලන්, ගොමරිට්ටන්, හොට කහ කිරළුන්, හොට රතු කිරළුන්, දුම් බොන්නන්, කුරුමිණි කුරුල්ලන් බහුලය. එහිදී  කුරුමිණි කුරුල්ලන් පොළව මත ගුල් හාරා ගෙන කැඳලි තනා ගෙන වෙසෙන අවස්ථාද දැක ගත හැකිය.වනසතුන් වශයෙන් වල් ඌරන්, ඉත්තෑවන් ඉතා සීමිත සහිත තිත් මුවන්, මීමින්නන්, හාවුන්, තලගොයින් හා මුහුදු වෙරළ ආසන්නයේ කඹරගොයින් දැකිය හැකිය.

ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩමෙම අසාමාන්‍ය ගති ලක්ෂණ මායිම් වී ඇත්තේ වර්ග කිලෝමීටරයක් පමණ වූ කුඩා බිම් කඩකය.  අන්තර්ලජාලයේ චන්ද්‍රිකා ඡායාරූප වල සටහන් වී ඇති ආකාරයට මේ බිම්කඩ මුහුදු අශ්වයකුට සමාන හැඩයක් දරයි. 

කොළඹ-කතරගම ප‍්‍රධාන මාර්ගයෙන් කතරගම දෙසට ගමන් කරද්දී නෝනාගම මංසන්ධියට පෙර දකුණට හැරී මුහුද දෙසට කිලෝමීටර 2ක් පමණ දුරක් ගෙවීමෙන් මෙම ප‍්‍රදේශයට ළගා විය හැක. අභිරහස් හා කුතුහලය මතුකරන ඡනප‍්‍රවාද ගණනාවකට මූලික වූ මෙම ප‍්‍රදේශය ඉතා දැකුම්කඑ මනස්කාන්ත බවක් උසුලයි.  ඇස ගැටෙන තෙක් මානයේ දර්ශනය වන තැනිතලා භූමිය පරදා නැගී සිටින කඳුගැටය මත හාත්පස විහිද තිබෙන තලාව එහි සුන්දරතාවය වඩ වඩාත් ඔප් නංවයි.උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.හින්දු මිත්‍යාවන්ට අනුව උස්සන්ගොඩ රාවණා රජුගේ දඩුමොණර රථය භූමිගත කරනු ලබන ස්ථානය බවට විශ්වාස කෙරේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් ද පවතී.

දකුණු ප්‍රදේශයේ එදා සිට අද දක්වා එකසේ විශාල සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් වන අම්බලන්ගොඩ වැලිපටන්විල ප්‍රදේශයේ පිහිටා තිබෙන උස්සන්ගොඩජාතික උද්‍යානය කළමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයෙන් පාලනය වේ.

උස්සන්ගොඩ ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

වල් ඌරා

காட்டுப் பன்றி

Wild boar

Sus scrofa

ඉත්තෑවා

முள்ளம்பன்றி

Porcupine

Hystrix indica

තිත් මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

මීමින්නා

புள்ளி சருகு மான்

Spotted chevrotain

Moschiola meminna

හාවා

முயல்

Indian hare

Lepus nigricollis

තලගොයා

இந்திய உடும்பு

Iguana

Varanus bengalensis

කඹරගොයා

நீர் உடும்பு

Water Monitor

Varanus salvator

ගොළු කිරලා

ஐரோவாசியா நத்தைக் குத்தி

Eurasian thick- KneeBurhinus oedicnemus

පඳුරු ගොමරිට්ටා

வானம்பாடி

Jerdon’sbushlark

Mirafra affinis

හොට කහ කිරළා

மஞ்சள் மூக்கு ஆள்காட்டி

Yellow-wattled lapwing

Vanellus malarbaricus

හොට රතු කිරළා

சிவப்பு மூக்கு ஆள்காட்டி

Red- wattled lapwing

Vanellus indicus

දුම් බොන්නා

பனங்காடை

Indian roller

Coracias benghalensis

පුංචි බිඟුහරයා (කුරුමිණි කුරුල්ලා)

பச்சைப் பஞ்சுருட்டான்

Little green bee eater

Merops orientalis

උස්සන්ගොඩ ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

මහ කරඹ

கிளா

Bengal thorn karanda/ Jamson

Carissa carandas

හීන් කරඹ

சிறு கிளா

Bush plum

Carissa spinarum

පතොක්

நாகதாளி

Cactus

Opuntia dillenii

එරමිණියා

இலந்தை

Ziziphus species

දළුක්

சதுரக்கள்ளி

Fleshy spurge tree

Euphorbia antiquorum

හිගුරු වැල්

ஈங்கை

Senegalia caesia

කොරකහ

காசன்

Ironwood tree

Memecylon umbellatum

අන්දර

பனை

Febacea sps

කුකුරුමාන්

மலைமாதுளை

Spiny randia emetic- nut, false guava

Catunaregam spinosa

කටුපිල

வெட்புலா

Katupila

Flueggea leucopyrus

සූර්ය ක්‍රාන්ති

சூரியகிராந்தி

Sun flower

Helianthus annuus

විෂ්ණු ක්‍රාන්ති

விஷ்ணுகிராந்தி

Slender wart morning glory

Volvulus alsinoides

චන්ද්‍ර කාන්ති

சந்திரகிராந்தி

Moon flower

Ipomoea alba

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූපසමන්ත වික්‍රමරත්න, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව