简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 31 – හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය

Content Image

හික්කඩුව අභය භූමිය ජාතික උද්‍යානයක් වුනේ මෙහෙමයි

හික්කඩුව ප්‍රදේශය මුලින්ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් වෙනවා. ඊළඟට සොබාව රක්ෂිතයක් විදිහටද තුන්වැනුව ජාතික උද්‍යානයක් විදිහටද ප්‍රකාශයට පත් වෙනවා. හික්කඩුව ජාතික උද්‍යානය, 2002 වසරේදී පූර්ණ සමුද්‍ර ජාතික උද්‍යානයක් විදියට ස්ථාපිත වෙනවා.

1998 වසරට කලින් හික්කඩුවේ ඝනයන් 60කට අයිති කොරල් විශේෂ 180කට වැඩි ප්‍රමාණයක් තිබුණා. 1998 ආපු “එල්නිනෝ” කියන උණුසුම් දියවැල් ප්‍රහාරය නිසා කොරල් විනාශ වුනා. සමහර විශේෂ වල ඝනත්වය අඩු වුනා.

මෙහි විද්‍යාත්මක අයිතිකාරීත්වය වනජීවී දෙපාර්තමේන්තුව පැවරුනත්, දෙපාර්තමේන්තුවට අයිති ගොඩනැගිල්ලක් තිබුණේ නෑ. කාර්යාලය පවත්වා ගෙන ගියේත් කුලියට ගත්ත ගොඩනැගිල්ලක. 2006 වසරේ අන්තිමට වගේ හික්කඩුව සමුපකාර ආයතනය දෙපාර්තමේන්තුවට ඉඩමක් ලබා දුන්නා. එතන කුඩා කාර්යාලයක් හැදුවත් විද්‍යාත්මක කළමණාකාරයට ඒක ප්‍රමාණවත් වුනේ නෑ.

2008 වසරේ අන්තිමට මට යාල ජාතික උද්‍යානයේ සිට හික්කඩුව ජාතික උද්‍යානයේ ස්ථාන භාරකරු විදියට ස්ථාන මාරුවීමක් ලැබුණා.

මේ කාලය පුරා ඉතාමත් අක්‍රමවත් විදියට මසුන් මරණ බෝට්ටු දොළහකට ආසන්න ප්‍රමාණයක් නැංගුරම්ලා තිබුණා. බෝට්ටු වලින් ගෙනෙන මසුන් එළියට ගෙන ගියෙත් ජාතික උද්‍යානය තුලින්. සංචාරකයන්ට දිය නෑම, ස්නොර්කලින් කිරීම, වගේම කොරල් නැරඹීමට යෑමත් අන්තරාදායක වුනා.

අපි මුලින් විධිමත් සැලැස්මක් සකස් කළා. වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පොළීසිය එකතු වෙලා සංචාරක කළමණාකරණ සැලැස්මක් හැදුවා. මේ කාර්යයට ප්‍රාදේශීය කමිටු සහයද ලැබුණා. ඒ කාලයේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මැතිතුමා.

මේ සැලැස්මට අනුව අපි මුලින්ම කොරල් නරඹන වීදුරු පතුල් බෝට්ටු ලියාපදිංචි කළා. මුලින් බෝට්ටු 53ක් ලියාපදිංචි වුනා. ඒ වගේම මසුන් මැරීමට යොදා ගන්නා බෝට්ටු ජාතික උද්‍යානයෙන් ඉවත් කළා. ස්නෝර්කලින් කිරීම සඳහා කලාපයකුත් සංචාරකයන්ට දිය නෑමට කලාපයකුත් සැකසුවා. ඒ සමඟම මේ කලාප වලට බාහිරව බෝට්ටු ගමන් කරන මාර්ගය සැකසුවා. මේ මඟින් සංචාරකයන්ගේ ආරක්ෂාව සැලසුණා.

බෝට්ටු නැවැත්වීමට වෙනම ප්‍රදේශයක් හැදුවා. මෙයට විරෝධතාවයන් ආවා. බෝට්ටු අයිතිකාරයන් බෝට්ටු කිහිපයක් පාරට ඇදලා ගාල්ල, කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක් සිදු කලා.

ඒ සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

අපේ කාර්යාල භූමියට ඉඩමක් අරගෙන තිබුණා. කාලයක් තිස්සේ මුහුදේ වාරකන් කාලයට බෝට්ටු ගොඩට ඇදලා මේ භූමියේ තියෙනවා. 2010 වර්ෂයේ අපි මේ ඉඩමේ අපේ නව කාර්යාලය හදන්න සුදානම් කළා.

ගොඩනැගිල්ලේ පදනම දාන්න ගිරිතලේ පුහුණු කණ්ඩායම් දෙකක නිලධාරීන් ආවා. ඒ වගේම හික්කඩුවේ වනජීවී කාර්යාලයෙන්, ප්‍රධාන කාර්යාලයෙන් හා කලමැටිය වනජීවී කාර්යාලයෙන් නිලධාරීන් ආවා. මිනිස්සු එදා එතැන විශාල උද්ඝෝෂණයක් කළා. ගොඩනැගිල්ල ඉඳිකරන්න ඉඩ ලබා දුන්නේ නෑ. අපි ඒ වෙලාවේ පසුබෑමට ලක් වුනා. වැඩය නැවැත්වුනා.

ඉන්පස්සේ අමාත්‍යාංශයේ සහය අරගෙන දිස්ත්‍රික් කමිටුවට ගිහින් සහය ගත්තා. මාසයකට පස්සේ නැවත වැඩ පටන් ගත්තා. උද්ඝෝෂනයට සම්බන්ධ වුන හාමුදුරුවන්ම ඇවිත් පිරිත් කිව්වා.

මේ වෙනකොට වනජීවී කාර්යාලය නිර්මාණය අවසන් වෙලා සම්පුර්ණ රාජකාරී කටයුතු එතන සිද්ධ වෙනවා. අපිට වනජීවී බලපත්‍රයක් දෙන්න බැරිවී තිබුණා. මේ ක්‍රියාදාමයට සමගාමීව බල පත්‍රයක් ලබා දෙන්න කටයුතු කළා.

බල පත්‍රය දුන්න දවසෙත් උද්ඝෝෂණය ඇති වුනා. පොලිසීයෙත් හික්කඩුව නගර සභාවේ කමිටු වලත් සහය අපට ලැබුණා. අපේ බල පත්‍ර සමඟ බෝට්ටු වලින් අය කළ යුතු සියයට දහයක විනෝද බද්ද අය කරන්න හැකි වුනා.

මේ කාලය තුල එනම් 2009-2014 දක්වා කාලයේ මා හික්කඩුව ජාතික උද්‍යානයේ රැදී සිටියා. අමතක නොවන සිද්ධි මාලාවක් මගේ මතකයේ රැදුණා.

2023 වර්ෂයේ නැවත මට හික්කඩුවට මාරුවීමක් ලැබුණා. මේ වසරේ කොරල් පිළිබඳ දත්ත එකතු කිරීමට පටන් ගත්තා. එය ලබන වසරේ ජුලි වලදී අවසාන කරන්න පුළුවන් වෙයි.

හික්කඩුව ජාතික උද්‍යානයේ අභිවෘද්ධියට කටයුතු රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා.

අසංක ගුණවර්ධන මහතා

අසංක ගුණවර්ධන මහතා 1998දී වනසත්ව අඩවි ආරක්ෂක 11 වන ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුනේ තරඟ විභාගයකින් තේරී පත්වීමෙනි.

ලුණුගම්වෙහෙර, ප්‍රධාන කාර්යාලය, උඩවලව, මාදුරු ඔය, යාල හා හික්කඩුව ජාතික උද්‍යානයන් තුල මේ වනවිට ඔහු වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇත.

සේවයට බැදෙන විට කෘෂිකර්ම ඩිප්ලෝමාවක් හදාරා සිටි අසංක ගුණවර්ධන මහතා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන කොළඹ විශ්ව විද්‍යාලයේ වනජීවී කළමණාකරණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද හදාරා ඇත.

අසංක ගුණවර්ධන මහතා බාලාංශයේ සිට උසස් පෙළ දක්වා ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලැබීය.

2004 වසරේදී සඳමාලි බටුවන්තුඩුව මෙනෙවිය සමඟ විවාහ වු ඔහු මේ වන විට දියණියකගේත් පුතෙකුගේත් පියෙකි. බිරිඳ සඳමාලි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්නීය. දියණිය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ හදාරණ අතර පුතා ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරයි.

ඔහුගේ ලිපිනය 551, බටුගොඩ, බුස්ස වේ. 

හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය

1979 වසරේ මැයි 18 දින අභයභූමියක් ලෙස ද 1988 වසරේ අගෝස්තු 14 දින ස්වාභාවික රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත් කරන ලද හික්කඩුව ප්‍රදේශය කොරල්පර සංරක්ෂණය කිරීමේ ප්‍රධාන අරමුණින් යුතුව2002 වසරේ ඔක්තෝබර් 05 වන දින වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින්ගැසට් අංක 1257/14  යටතේහික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය  ලෙස ප්‍රකාශයට පත්කෙරිනි.හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයදකුණු පළාතේගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇත.වර්ග හෙක්ටයාර 101.58කින් සමන්විත වූ මෙය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ ඇති උද්‍යාන අතරින් සාගර ජීවීන් සහිත පරිසර පද්ධතියක්  නැරඹිය හැකි ශ්‍රී ලංකාවේඇති ජාතික සමුද්‍ර උද්‍යාන තුනෙන් එකකි.අනෙක් උද්‍යාන දෙක එනම් ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සහ පරෙවි දූපත ජාතික උද්‍යානයයි.

හික්කඩුව වනජීවී කාර්යාලය

හික්කඩුව ජාතික උද්‍යානය සතු වෙරළ කිලෝමීටර 4ක් දුරට විහිදෙන අතර  පටුය එනම් මෙහිඇති එනම් කොරල්පර මුහුදු ජීවින්ගේ බෝවීමේ ස්ථානයක් ලෙසවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කොරල්පර ස්වභාවිකව සිදුවන වෙරළ ඛාදනයට එරෙහිව ක්‍රියා කරන බැවින් ඒවා ස්වභාවික දියකඩන ලෙසද හැදින්වේ.

තෙත් කලාපයට අයත් මේ භූමිය නිරිත දිග මෝසම් සුලගින් මෙන්ම ඊශාන දිග මෝසම් සුලගින් වැසි ලබන අතර උෂ්ණත්වය 28oC පමණ වේ.මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය  මිලි මීටර් 1500 ත් 5000 ක් ප්‍රමාණයක් වන  මෙහිවසරේ අප්‍රේල්  මස මැද සිට ජූනි මැද කාල සීමාව දක්වා  නිරිත දිග මෝසම්  වැසි වලින්  පෝෂණය වී සැප්තැම්බර් මස  මැද කාල සීමාවේ සිට  නොවැම්බර් මස දක්වා  ඊසාන දිග මෝසම් වැසි වලින් පෝෂණය ලබයි. මෙම මෝසම් වැසි ලබන කාල සීමාවේදි  මුහුදේ රළ වේගවත් වන ස්වභාවයක්  පෙන්නුම් කරයි.ජනවාරි සිට මාර්තු දක්වා  කාලය වියළි කාළගුණයකින් යුතු වනඅතර,මේ කාලය උද්‍යානය තුළ සංචාරය සදහා සුදුසු කාලයකි. මෙහි ජලයේ උෂ්ණත්වය සෙ. ග්‍රේ. 28o C-30oC දක්වා වේ.

මෙම උද්‍යානය මුහුදු තෘණ වලින් ගහණය.Green macro algae (Halimeda Sps.), Sea water algae (Caulerpa Sps.),Sea lettuce-Edible green algae (Ulva Sps.) හා Small brown algae (Padina Sps.)යන ඇල්ගී විශේෂ මෙහි සුලභව හමුවේ.කොළ පැහැති කරදිය ඇල්ගී, එනම් Green macro algae සහ Sea water algae මුහුදු ගැඹුර මීටර් 5 සිට 10 දක්වා වු ප්‍රදේශයක් පුරාම පැතිර පවතී. මුහුදු තෘණ යනු සමුද්‍ර ජීවීන් රාශියකගේ ආහාර ප්‍රභවයකි.මුහුදු තෘණ රොන්මඩ රදවාගෙන මුහුදු පත්ල ඛාදනය වීම වලක්වයි.තවද වදවීමේ තර්ජනයට මුහුණ පා සිටින මුහුදු ඌරා හා රක්ෂිත සතුන් වන මුහුදු කැස්බෑවනට වාසස්ථාන සපයයි.

කොරල් පර සාදන කොරල් බොහෝවිට හමුවන්නේ නොගැඹුරු ජලයේය. කොරල්පර සංරක්ෂණයේ අරමුණ ඇතිව ප්‍රකාශයට පත් කර ඇති මෙම ජාතික උද්‍යානයේ, කොරල් පර, කොරල් ස්වභාව අනුව ගැටිපර (Fringing Reef),බාධක පර (Barrier Reef)හා අතොලුව (Atolls)ලෙස වර්ග කෙරේ. මුව අං කොරල් Stag Horn Coral (Acropora Sps),ගෝන අං කොරල් Elk Horn Coral (Acropora Sps.), ගෝවා හැඩැති කොරල් Cabbage Coral (Montipora Sps.), මොළ හැඩැති කොරල් Brain Coral (Mussidae and merulinidae Sps.), මේස ආකාර කොරල් Table Coral (Acropora Sps.), තාරකා ආකාර කොරල් Star Coral (Montastraea Sps.) වශයෙන් ආකාර කිහිපයකට කොරල්ඝන 31 කට අයත් විශේෂ 60ක් වාර්තා වී ඇත. කොරල් පරයක් ලොව වැඩිම ඵලදායීතාවයක්‌ ඇති පරිසර පද්ධතියක්‌ ලෙස හඳුනා ගත හැකි අතර මත්ස්‍ය  වර්ග ඇතුළු සාගර ජීවීන් රාශියකට වාසස්ථාන සහ ආහාර සපයන එනම් සාගරයෙහි ජීවය පවත්වාගෙන යන්නාවූ පරිසර පද්ධතියකි. ජලයෙහි උෂ්ණත්වය,ලැබෙන ආලෝක ප්‍රමාණය, ආහාර ලබා ගැනීමේ පහසුකම ආදී බාහිර ලක්ෂණ අනුව ද කොරල් වල පෙනුම හා ප්‍රමාණය වෙනස් වීමට බලපායි.

                                                                                                                                     කොරල් පර විශේෂ

හික්කඩුව ජාතික උද්‍යානය තුළ කුල 48 කට අයත් පරාශ්‍රිත මත්ස්‍ය විශේෂ 113ක් සහ වර්ණවත් පියකරු මත්ස්‍ය විශේෂ 8 ක් පමණ වාර්තා වී ඇත.

                                                                                                       කොරල්පර ආශ්‍රිත මසුන්

කකුළුවන්, කැස්බෑවන්, ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන් සහ මුහුදු පණුවන් වැනි කොඳු ඇට පෙලරහිත සතුන් රාශියක්ද කැස්බෑ විශේෂ 3ක් මෙන්මහික්කඩුව සමුද්‍රී ජාතික උද්‍යානයේ වාසය කරයි.

කැස්බෑවකු

විශේෂයෙන් හික්කඩුව කොරල් පරය සමුද්‍රජීවීන්ගේ  බෝවීමේ ස්ථානයක් (Breeding grounds) ලෙසටද හැඳින්විය හැක. මෙහි දී වීදුරු පතුල් සහිත බෝට්ටු වලින් කොරල්පර නිරීක්ෂණය කිරීමට මෙන්ම ස්නෝර්ක්ලින් (Snorkeling), ස්කූබා ඩයිවින් (Scuba diving) සහ පිහිනීම වැනි ජල ක්‍රියාකාරකම්වල යෙදීමට ද සංචාරකයින්ට අවස්ථාව ඇත.

ස්නෝර්ක්ලින් (Snorkelling)
වීදුරු පතුල සහිත බෝට්ටු (Bottom Glass Boats)

                                                                                                                                            වෙරළ

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැමිණ  හික්කඩුව  සමුද්‍රීය ජාතික උද්‍යානයට පැමිණිය හැක.කොළඹ  ගාල්ල  අධිවේගී මාර්ගයේ  ගාල්ලට පැමිණ ගාල්ලෙන් පැරණි ගාලු පාර ඔස්සේ  කොළඹ දෙසට පැමිණීමෙන්  හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයට පැමිණිය හැක.

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ ඇති නොගැඹුරු අලංකාර කොරල්පර දෙස් විදෙස් සංචාරකයින් ආකර්ශනය කරගන්නා නමුත් ස්වභාවික උපද්‍රව හා මිනිස් ක්‍රියාකාරකම් කොරල්පර විනාශ වීමට දැඩිව බලපැම් කරන ඇත.ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීමට බොහෝ ධීවරයින් පෙළඹීම  මත්ස්‍ය ගහනය  විනාශ වීමට හේතුවක් වනවාසේම කොරල් පර විනාශයටද හේතුවකි.අවිධිමත් ධීවර පන්න ක්‍රම  මෙලෙස දර්ශනීය කොරල්පර විනාශ කර දමයි.   කලකට පෙර දෙස් විදෙස් සංචාරකයින්ට  කොරල් පර නැරඹීම සඳහා භාවිත කරන  වීදුරු පතුල සහිත  බෝට්ටු   (Bottom Glass Boats)  වැඩි වාර ගණනක් කොරල් පර ආශ්‍රිත සාගර පරිසරයේ  ධාවනය වීමේදී  එම බෝට්ටු වලින් පරිසරයට  මුදා හැරෙන තෙල්  සහ අනෙකුත්  අපද්‍රව්‍ය මගින්  කොරල් පර ආශ්‍රිතව වෙසෙන  ජීවීන්ටවිවිධ තර්ජන ඇති වී කොරල්  පරවලටද ප්‍රබල හානියක් ගෙන දීමට සමත්වී ඇත. දේශීය හූණු කර්මාන්තය සඳහා  කොරල් පර කැඩීම නිසාත් කලක පටන් කොරල් පරයට ප්‍රබල හානි සිදුවී මෙලෙස  කොරල් ජීවීන් විශේෂ ගණනාවක් වඳවී යාමේ තත්වයට පත්විය. 1998 දී ඇති වූ උණුසුම් මුහුද දිය වැල් සහිත එල්නිනෝ තත්වය නිසා කොරල් පර විශාල ප්‍රමාණයක් විනාශයට ලක්විනි.  සුනාමි වැනි තත්වයන් වලදී කොරල්පර දැඩි බාධකයක් ලෙස කටයුතු කරන බැවින් කොරල්පර ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අප සැමගේ යුතුකමකි.

එබැවින් කුඩා වුවත්  සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවේ  මහඟු සම්පතක් වන  හික්කඩුව  සමුද්‍රීය  ජාතික උද්‍යානය සතු පාරිසරික හා  සෞන්දර්යාත්මක  වටිනාකම්  වටහාගෙන එය රැක ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක්ව පවති.

උපුටා ගැනීම-

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන(පී.ඇම්. සේනාරත්න) ග්‍රන්ථය හා

අන්තර්ජාලය ඇසුරෙනි.

හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

කකුළුවා

நண்டு

crab

Brachyura sps.

කැස්බෑවා

கடலாமை

turtle

Testudine sps.

ඉස්සාஇறால்PrawnsDendrobranchiata sps.

පොකිරිස්සා

பாறை இறால்

lobster

Nephropidae sps.

බෙල්ලා

சிப்பி

oyster

Ostreidae sps.

මුහුදු පණුවා

கடல் புழு

sea worm

Belong to six phyla

මුව අං කොරල්

மான் கொம்பு பவளப் பாறை

Stag Horn Coral

Acropora Sps

ගෝන අං කොරල්

மரை கொம்புப் பாறை

Elk Horn Coral

Acropora Sps.

ගෝවා හැඩැති කොරල්

கோவா வடிவமுள்ள பாறை

Cabbage Coral

Montipora Sps.

මොළ හැඩැති කොරල්

மூளை வடிவமான பவளப் பாறை

Brain Coral

Mussidae and merulinidae Sps.

මේස ආකාර කොරල්

மேசை வடிவான பவளப் பாறை

Table Coral

Acropora Sps.

තාරකා ආකාර කොරල්

நட்சத்திர வடிவான பவளப் பாறை

Star Coral

Montastraea Sps.

 

හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

  Green macro algae

Halimeda Sps.

  

Sea water algae

Caulerpa Sps.
  

Sea lettuce-Edible green algae

Ulva Sps.
  Small brown algaePadina Sps.

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය– සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූපරංග විජේරත්න, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව