简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 32 – හොරව්පොතාන ජාතික උද්‍යානය

Content Image

ලංකාවට අලි සමීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ වන අලින්ගේ සංඛ්‍යා පිළිබඳව විවිධ පලාත්වල විවිධ අවස්ථාවල සමීක්ෂණ සිදු කර තිබුණත් මුළු දිවයිනම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක් සිදු කරලා නැහැ. ඒ නිසා එම සමීක්ෂණය 2011 අගෝස්තු මස සිදු කරන්න සැලසුම් කලා. 2011 වසරේ මම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විදියට පත් වුනු විගස මෙම සමීක්ෂණය දියත් කරන්න කටයුතු කළා. ඒ කාලයේදී මුළු ලංකාවම ආවරණය වන විදියට අලි සමීක්ෂණයක් සියලු දෙනාම සහභාගි කරගෙන කරන්න අවශ්‍ය මුලික සැලසුම සිදු කලා. අලි සමීක්ෂණය මාගේ අමතක නොවන මතකයක්.

ලංකාවේ ඈත අතීතයේ සිට අලි ඇතුන් වාසය කලා. අසියානු අලි උප විශේෂ තුනෙන් එකක් වෙන Elephas maximus maximus ඉන්නේ ලංකාවේ විතරයි. ලංකාවේ අලි කොපමණක් ඉන්නවාද කියන එක හැම විටම අනුමානයක්. එක් එක් කාලවල අලි 15,000 – 10,000ක් හිටියා කියනවා නමුත් නිවැරදි නෑ. මේ වෙනකොට අලි සංගණනය සිද්ධ වෙලා තිබුණේ පළාත් පදනම් කරගෙන විතරයි. ඉස්සර ලංකාව පුරා අලි ව්‍යාප්ත වෙලා හිටියා.  මේ ව්‍යාප්තිය ඉංග්‍රීසි පාලනයෙන් පස්සේ වතු ආර්ථිකයත් එක්ක වෙනස් වුනා. කඳුකර කලාපයේ අලි ඉංග්‍රීසි පාලකයින් විසින් මරා දැමු නිසා එම කලාපය අලින්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත් වුණා. දැනට සිරීපා අඩවියේ අලි දහ අට දෙනෙක්ද සිංහරාජයේ අවට දෙන්නෙක්ද ඉන්නවා. ඉතිරි සියළුම අලි ඉන්නේ වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ.

ලංකාවේ කාලයක් තිස්සේ පවතින අලි මිනිස් ගැටුම නිරාකරණය කර ගන්න අවශ්‍ය තොරතුරු වශයෙන් ලංකාවේ අලි කී දෙනෙක් ඉන්නවාද, පැතිරිලා ඉන්නේ කොහොමද? ගැහැණු පිරිමි අනුපාතය මොකක්ද? ඔවුන්ගේ ගහණ ප්‍රතිශතය කොහොමද? ඇතුන්ගේ ගහණ ප්‍රතිශතය කොහොමද හා සෞඛ්‍ය සම්පන්න අලි ගහණයක් සිටිනවාද ආදි තොරතුරු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුනා. උතුරු නැගෙනහිර යුද වාතාවරණය නිසා ඒ ප්‍රදේශවල අලි කොපමණ ඉන්නවාද යන්න ගැන දත්ත එකතු කර ගන්න අපහසු වී තිබුණා. 2009 වසරේදී යුද්ධය ඉවර වුනත් ඒ ප්‍රදේශවල බිම් බෝම්බ වැනි ප්‍රශ්න නිසා කැළෑ තුලට යන්න භයානක වී තිබුණා. 2011 වසර වන විට බොහෝ බිම් බෝම්බ ඉවත් කර තිබුණා. එම නිසා එම ප්‍රදේශත් සමීක්ෂණයට ගන්නට පුළුවන් වුනා.

අලි සමීක්ෂණය ගැන සැලසුම් කරද්දී අපි මුලින්ම අවධානය යොමු කළේ සම්පුර්ණයෙන්ම ලංකාව පුරා තියෙන කැළෑ බද ප්‍රදේශ ආවරණය වන විදියට සමීක්ෂණය සිදු කරන්න. මේක සාමාන්‍ය ජන සංගණනයකට වඩා වෙනස් නිසාත් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ සිටින නිලධාරීන් සීමිත නිසාත් වෙනත් ආයතනවල නිලධාරීන් හා සිවිල් වැසියන් පිටතින් සොයා ගැනීමට සිදු වුනා. එය අභියෝගකාරියි. ඔවුන් අඩුම තරමින් සම්පුර්ණ දින දෙකක් වත් කැළෑ තුළ ගත කිරීමට අවශ්‍යයි. එ් වගේම අලින් වර්ගකර හඳුනා ගැනීම පිළිබඳව අවබෝධයක් සහ දැනුමක් තිබිය යුතුයි.

මෙම සමීක්ෂණය සැලසුම් කරන දිනවල වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පුර්ණ කාර්ය මණ්ඩලය දහසකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගෙනුත් මේ කාර්යයට යොදා ගැන්නට පුළුවන් වුනේ කොටසක් පමණයි. ඒ නිසා පිටතින් විශාල නිලධාරීන් පිරිසක් සොයා ගන්න අවශ්‍ය වුනා.

අපි ආරාධනා කලා ස්වෙච්ඡා සංවිධාන වලට, ග්‍රාමීය සංවිධාන වලට, ත්‍රිවිධ හමුදාවට හා පොළීසියට වගේම විශ්ව විද්‍යාල සිසුන්ටත් මේ සඳහා සහභාගී වෙන්න කියලා. විශාල ප්‍රමාණයක් කැමැත්ත පළ කලා. විශේෂයෙන් ස්වෙච්ඡා සංවිධාන ශ්‍රම දායකත්වය වගේම ද්‍රව්‍යමය ආධාර දීමටත් කැමැත්ත පළ කලා. විශ්ව විද්‍යාල  වලිනුත් විශාල සහයෝගයක් දැක්වුවා. අලින් පිළිබඳ නිරතුරුව පර්යේෂණ කළ මහාචාර්ය චාල්ස් සන්තියා පිල්ලේ හා ආචාර්ය එස්. විජය මොහාන් වගේම මහාචාර්ය යු.කේ.ජී.කේ.පද්මලාල් ඉතා කැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත් වුනා.

අලි සමීක්ෂණයේ මුලිකත්වය භාර දුන්නේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුව සිටි එන්.ආර්.බී.දිසානායක මහතාට.වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂවරුවන් වශයෙන් සිටි චන්දන සුරිය බණ්ඩාර, රන්ජන් මාරසිංහ, මංජුල අමරරත්න, ඩබ්.එන්.කේ.පතිරත්න, පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, යු.එල්.තව්ෆික්, චාන්දනී විල්සන් හා පී.එම්.යු. ධර්මතිලක යන නිලධාරීන්ට පළාත් වශයෙන් වගකීම භාර දුන්නා. එමෙන්ම මේ සඳහා යොදවා ගන්නා ත්‍රිවිධ හමුදාවේ හා පොළිසියේ නිලධාරීන්ට, ග්‍රාමාරක්ෂක භටයන්ට, විශ්ව විද්‍යාල හා ස්වෙච්ඡා සංවිධාන වලින් සහභාගි වන අයට, දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම දුෂ්කර කාර්යයක් වුනා. නමුත් ඒ සියලු කටයුතු සාර්ථකව කරන්නට අපිට පුළුවන් වුනා.

2011 වසරේ අපි බලාපොරොත්තු වු විදියට දීර්ඝ වියළි කාලගුණයක් තිබුණා. පෝය එළැඹීම අනුව සඳඑළිය හොඳින් ලැබෙන දින මේ සඳහා යොදා ගන්න බලාපොරොත්තු වුනා. මේ කටයුතු විද්‍යාත්මකව සිදු කළේ සතුන් දිය බොන ස්ථාන පදනම් කර ගන්නා ක්‍රමය (Water hole countsmethod) අනුවය.අලියා එක දවසක් ඇතුලත කිසියම් ජල භාවිතයන් සිදු කර නිසා දිනයේ යම් කිසි අවස්ථාවක ජලය පානය කරන ස්ථානයට පැමිණෙනවා. එවිට ඔවුන් පහසුවෙන් ගණනයට ඇතුලත් කර ගැනීමට හැකි වෙනවා. අපි එවැනි දිය බොන ස්ථාන 1553ක් තෝරා ගත්තා. දින තුනක් කැළයේ රැදී සිටීමට අවශ්‍ය ක්ෂේත්‍ර මෙවලම් කට්ටලයක් නිලධාරීන්ට ලබා දුන්නා. වියළි ආහාර, අවශ්‍ය සන්නිවේදන පහසුකම්, විදුලි පන්දම් වැනි උපකරණ අවශ්‍ය පරිදි ලබා දුන්නා.

මේ සම්බන්ධව පුළුල් මාධ්‍ය ප්‍රචාරණයකුත් අපි ලබා දුන්නා. නමුත් සංගණනයට දින 2-3ක් තියෙද්දී සහය පල කරමින් සිටි ස්වෙච්ඡා සංවිධාන බොහොමයක් එම කාර්යය ඉටු කිරීම සම්බන්ධව විවිධ මත පළ කරමින් එයට සහභාගී නොවන බව දැන්වුවා.

මේ අවස්ථාවේ සංගණනය නතර කළොත් නැවත අවුරුදු ගණනක් එය පසුපසට යනවා. වියදම් කළ මුදල් අපතේ යනවා. දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අපි වහා තීරණ ගත්තා. ත්‍රිවිධ හමුදාව හා පොළීසියටත්, විශ්ව විද්‍යාල සිසුන් වැඩිපුර එක් කර ගත්තා. තවත් උනන්දුවක් දක්වන පුද්ගලයන් සම්බන්ධ කර ගත්තා. ඔවුන් සියළුදෙනාටම නැවත ක්ෂණික පුහුණු වීම ලබා දුන්නා. වනජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් හා අයත් නොවන සියලු වනාන්තර, ගොවිබිම්, අර්ධ ජනාකීර්ණ පෙදෙස් සියල්ල ආවරණය වන පරිදි ස්ථාන ගත කිරීම් කළා. සැලසුම් කල පරිදි 2011 වසරේ අගෝස්තු මාසයේ 11,12 හා 13 දින තුන පුරා නිරීක්ෂණ මධ්‍යස්ථාන 1553ක සිට නියමිත අලි සංගණනය අපි සිදු කලා. වන අලි සමීක්ෂණයට සහභාගි වුන අය විවිධ ආකාරයේ  ඇබැද්දි වලට මුහුණ දුන්නා. අලි පැන්නීම්, වෙනත් සතුන්ගේ කරදර වගේ දේවල්. නමුත් කිසිවෙකුට ශාරීරික ආබාධ නොමැතිව කටුයුත්ත අවසන් කළා.

සියළු තොරතුරු ගිරිතලේ ජාතික වනජීවී හා පුහුණු මධ්‍යස්ථානයේදී විශ්ලේෂණය කළා. මේ විශ්ලේෂණ සඳහා දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂක රන්ජන් මාරසිංහත් ආචාර්ය විජයකෝන් මහත්මියත් නොමද සහයෝගයක් ලබා දුන්නා. එක් දිනක වාර්තා වුන වැඩිම අලි සංඛාව ගත්තේ. නැවත නැවත ගණනය වීම්(Repetitions) ඉවත් කළා. අපි ලබාගන්නේ අලි ගහණයේ අවම සංඛ්‍යාව. සම්පුර්ණ දත්ත පත්‍රිකාවක් සකස් කලා. අවසානයේ ශ්‍රී ලංකාවේ අවම  අලි සංඛාව 5871ක් ලෙස සඳහන් වුනා. එනම් 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න බව විද්‍යාත්මකව නිගමනය කලා. මෙයින් 67.17%ක් පමණ අලි වනජීවී රක්ෂිත තුලින් ද 29.78%ක් පමණ වන රක්ෂිත තුලින් ද 3.03%ක් පමණ රක්ෂිත වලින් බැහැරව සිටිය බව සොයාගත්තා. මේ අලින් අතුරෙන් පිරිමි අලි හා ගැහැණු අලි අනුපාතය 1:1.09 ක් බවත් වැඩිහිටි අලි 3285, තරුණ අලි 1487, පැටවුන් 731 හා ළදරුවන් 376ක් සොයා ගත්තා. ඒ වගේම ඇතුන් සංඛාව සම්බන්ධයෙන්ද දත්ත ගත්තා.  ඒ අනුව පිරිමි සතුන් අතුරෙන් 5.3%ක් තරුණ පිරිමි අතුරෙන් 7.7%ක් හා පැටවුන් අතුරෙන් 8.4%ක් ඇතුන් බව සොයා ගත්තා.

මෙම සමීක්ෂණ අනුව වන අලි 200ක් පමණ රක්ෂීත වලින් බාහිරව ගම්මාන ආසන්නයේ සිටින බව සොයා ගත්තා. මෙම අලි නිතර නිතර ගම්මාන වලට පැමිණ දේපල හා වගා හානි කරනවා. ඔවුන් වෙනත් ස්ථාන වලට ගෙන ගොස් දැමුවද නැවත පළමුව සිටි ස්ථාන වලට පැමිණෙනවා. එමෙන්ම එම අලින් ගෙන ගොස් දැමු තැන් වලද ජනතාව කරදර කරනවා. එම නිසා ප්‍රදේශවල ජනතාව මෙයට අකමැතියි. ඒ නිසා හොරොව්පොතන, මාදුරුඔය, ලුුණුගම්වෙහෙර, විල්පත්තු අනුරාධපුර ආසන්නයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථාන හතරක් පිහිටුවීමටත් යෝජනා කලා.

පළමු පියවර ලෙස අනුුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රදේශයේ හොරව්පොතන ජාතික උද්‍යානයක් ලෙස නම් කර හෙක්ටයාර්  1000ක ප්‍රමාණයක වන අලි 40ක් සඳහා පළමු අලි සංරක්ෂණ මධ්‍යස්ථාන ඉඳිකිරීමට සැලසුම් කළා. එවකට සිටි විෂයභාර අමාත්‍යවරයා ලේකම් තුමා සහ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සම්බන්ධයෙන් විශාල සහයෝගයක් ලබා දුන් අතර එම අලි සංරක්ෂණ මධ්‍යස්ථානය 2015දී වැඩ නිම කිරීමට හැකි වුණා. 

එච්. දයාවන් රත්නායක මහතා

1996.10.01 දින වනජීවී දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ හා පුහුණු) ලෙස බැඳුනු එච්.දයාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ අධ්‍යක්ෂ මෙහෙයුම් ලෙස උසස් වීම් ලැබ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වනුයේ 2011 වසරේදීය. 2016 සිට ඔහු වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස සේවය කරනු ලබයි. තවද ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන වන සංරක්ෂක ජනරාල් ලෙස ද කෙටි කාලයක් සේවය කරන ලදී.

වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා කාලය තුල වනජීවී රක්ෂිත ජාලය කළමණාකරණය කිරීම, සංරක්ෂණය කිරීම, අලි මිනිස් ගැටුම් අවම කිරීම ක්‍රියා කිරීම, හොරොව්පොතන අලි පුනුරුත්ථාපන කඳවුර ස්ථාපනය කිරීම, ගිනි පැතිරීම වලක්වන කළමණාකරණ ක්‍රම හඳුන්වා දීම, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත (FFPO) සංශෝධනය කටයුතු කිරීම, තල්මසුන් හා ඩොල්ෆින් සතුන් වැනි ක්ෂීරපායී සාගර සතුන් නැරඹීමේදී අවශ්‍ය නිති රීති හඳුන්වා දීම හා ඒ ඇසුරෙන් රජයට දේශීය හා විදේශීය වශයෙන් විශාල ආදායමක් ලබා ගැනීමට සැලැසීම, මුහුදු ක්ෂීරපායීන්, අලින්, කැස්බෑවන් හා කුරුල්ලන් සඳහා සංරක්ෂණ ක්‍රම වේද හඳුන්වා දීම ආදී විවිධ ක්‍රියාකාරකම් රැසක් ඉටු කරන ලදි. තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක වු රක්ෂිත ප්‍රදේශ කළමණාකරණය හා වනජීවී සංරක්ෂණ ව්‍යාපෘති කටයුතු කිරීම, ලෝක බැංකු ආධාර යටතේ ESCAMP ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා ගැනීමට මුලික කටයුතු කිරීම, සමුද්‍රජීවී සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම මෙන්ම රක්ෂිත ජාලය පුළුල් කිරීම සඳහා ආදම්ගේ පාලම, මඩුපාර, චුන්ඩිකුලම්, ඩෙල්ෆ්ට් යන ජාතික උද්‍යාන හතර සහ නාගකෝවිල් ස්වභාව රක්ෂිතය 2015.06.22 දින ස්ථාපිත කිරීමද සිදු කළේය. තවද ත්‍රස්තවාදී ආක්‍රමණ නිසා කඩා වැටුණු යාල, විල්පත්තුවල සංචාරක බංගලා, මරඳමඩු නිවාඩු නිකේතන හා විල්පත්තුව උද්‍යාන සංවර්ධනයද හික්කඩුව ජාතික උද්‍යානයේ කාර්යාල ගොඩනැගිල්ල ඇතුළු  කාර්යාලය ස්ථාපිත කිරීමද කාර්යාල හා නිවාඩු නිකේත රාශියක අළුත්වැඩියා කටයුතු සිදු කිරීමද ආයතන සඳහා නව වාහන රාශියක් මිලදී ගැනීමට කටයුතු කිරීමද ඔහු විසින් සිදු කරනු ලැබිනි. එමෙන්ම ඔහු විසින් නිලධාරීන් සඳහා සිදු කරන ලද සුබ සාධක කටයුතුද රාශියකි.

මහනුවර ධර්මරාජ විදුහලේ පාසැල් අධ්‍යාපනය ලැබු දයාවන් රත්නායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා විශේෂ උපාධිධාරියෙකි. එමෙන්ම එම විශ්ව විද්‍යාලයේම පරිසර විද්‍යාව පිළිබඳව දර්ශනපති පශ්චාත් උපාධියද, එක්සත් රාජධානියේ ‘Reading‘ විශ්ව විද්‍යාලයේ වනජීවී සංරක්ෂණය හා කළමණාකරණය පිළිබඳ විද්‍යාපති පශ්චාත් උපාධියද විශිෂ්ඨ සමාර්ථයක් සහිතව හදාරා ඇත. ‘ Wild Flowers of Sri Lanka හා Common way side tree of Sri Lanka’ ඔහු විසින් රචිත ග්‍රන්ථයන් 2කි. ඔහු විවිධ අංශ යටතේ පර්යේෂණ පත්‍රිකා සහ වාර්තා එළි දක්වා ඇත. ඔහු තම විද්‍යාත්මක දැනුමට අමතරව නීතිය පිළිබඳවද විශාරදයෙකුද වේ. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥය මහතෙකි.

දයාවන් රත්නායක මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිඳ ඩබ්.ආර්.ඩී.එම්.යු.පී.රත්නායක කථිකාචාර්යවරියක් ලෙසද, වැඩිමහල් දියණිය එච්.අනුෂි උදංගා රත්නායක මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි ලැබ ඇඟලුම් ක්ෂේත්‍රයේ මෝස්තර සැලසුම් ශිල්පිණියක ලෙසද සේවය කරන අතර දෙවන දියණිය එච්.ඩිලුෂි විෂ්වනී රත්නායක රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියෙකි.

දයාවන් රත්නායක මහතාගේ දුරකථන අංකය 0714465444 හා ඊමේල් dayawanratnayake@yahoo.com

හොරව්පොතාන ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ පවතින අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගන්නා අන්තරාදායක අලි ඇතුන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමේ මූලික අරමුණ ඇතිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිම වන්නට පිහිටා ඇති හොරව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල හොරව්පොතාන ජාතික උද්‍යානය පිහිටුවන ලදී. තවද වනසතුන් සහ පරිසර පද්ධති සංරක්ෂණ කිරීම, පාරිසරික සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය, අවට ගම්වාසීන්ගේ සාමාජීය සහ ආර්ථික තත්වයන් ඉහල දැමීම යන අරමුණුවලින් යුතුව 2011.12.06 දින ගැසට් අංක 1735/21 යටතේ හෙක්ටයාර් 2570 ක භුමි ප්‍රමාණයකින් යුත් හොරොව්පොතානජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදී.

හොරොව්පොතාන ජාතික උද්‍යානය ස්වභාව ධර්මයට ආදරය කරන්නන්  විසින් දැකබලා ගැනීමට කැමති ලංකාවේ ඇති ප්‍රධාන ස්ථාන අතරින්එකකි. ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වයේ අද්විතීය ඉස්මතුවන තවත් භූමියක් වන මෙම උද්‍යානය ශ්‍රී ලංකාවේ අලි ඇතුන්, වලසුන්, කොටියන්,  මුවන් සහ බොහෝ පක්ෂීන් ඇතුළු විවිධ වන ජීවීන්ට රැකවරණය සපයන වාසස්ථානයකි. උද්‍යානය  අලි ගහනය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතරඅලින් විශාල සංඛ්‍යාවක් මෙම ස්වභාවික වාසභූමිය තුළදී, තෘණ බුදමින් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරමින් ජිවත්වනු දැක ගත හැකිය.

විශාල ක්ෂීරපායින්ට අමතරව, උරගයින්, උභයජීවීන් සහ කෘමීන් ඇතුළු කුඩා සතුන් විශාල ප්‍රමාණයක් මෙම උද්‍යානයේ ජිවත් වේ. මොනරා සහ අළු කොකා ඇතුළු උද්‍යානයේ සිටින විවිධ පක්ෂීන් අතර සංක්‍රමණික පක්ෂීන් විශේෂ කිහිපයකටද මෙම උද්‍යානය වාසස්ථාන සපයයි. මෙලෙස උද්‍යානයේ වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ එහි පරිසර පද්ධතිය අලංකාර කිරීමටත් සමතුලිතව පවත්වාගෙන යාමටත් මහත් ලෙස උපකාරී වේ. ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ ජාලයේ කොටසක්ද වන මෙහි සංරක්ෂණයද ඉතා වැදගත් වේ. මෙම උද්‍යානයේ පරිසර පද්ධතිය, කලාපයේ ජෛව විවිධත්වයට ඉතා වැදගත් වේ.

ශාක ප්‍රජාව මිශ්‍ර වියළි සදාහරිත වනාන්තරගණයට අයත්ය. පලු, බුරුත හා වීර බහුලව හමුවන අතර කළුවර,දිවුල්, මිල්ල, දඹ හා හුළං හික් මෙන්ම මයිල, වෙලන්, ඇහැල හා කටු අන්දර ශාක ද ප්‍රදේශයේ පවතී.

දිවයිනේ ජනගහන වර්ධනයත් සමග ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වන ගහනය අඩුවී අලි ඇතුන්ගේ සංක්‍රමණ රටා ද වෙනස් වන්නට විය. මේ නිසා අලි ගම්වලට කඩා වැදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් දේපළවලට හා මිනිස් ජීවිතවලට හානි කිරීම වැඩිවිය. 2010 වසර පමණ වන විට මෙමගින් අලි-මිනිස් ගැටුම දරුණු ලෙස උග්‍ර වීමත්, එමගින් දළ වශයෙන් මිනිස් ජීවිත 100 සිට 130 දක්වාත් වාර්ෂිකව අලි ඇතුන් 200 සිට 400 දක්වාත් ප්‍රමාණයක් මිය යන්නට විය. මේ අතර භෞතික, දේපළ හා වගා හානි විශාල ප්‍රමාණයක් සිදු වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එවකට හදුනාගෙන තිබූ බරපතලම අභියෝගය ලෙස,අලි-මිනිස් ගැටුම පෙන්වා දිය හැකිය.මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන ජීවිත දේපළ හා වගා හානි අවම කර ගැනීමේ අරමුණින් ප්‍රචණ්ඩකාරී අලි ඇතුන් ගාල්කර පුනරුත්ථාපනය කිරීමට අලි රුදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය තදින්ම පැන නැගිණ.

ජනතාවට දැඩි විපතක් සිදු කරන වන අලි රඳවා තබාගෙන පුනරුත්ථාපනය කිරීම සඳහා පළමු අදියර ලෙස අනුරාධපුර කලාපයේ හොරව්පොතාන ජාතික උද්‍යාන තුළ වන අලි සංරක්ෂණ භූමියක් පිහිටු විය.හොරව්පොතාන අලි රැඳවුම් බිම පිහිටා ඇති වනාන්තරය ද්විතියික ස්වභාවයක් ඇති මිශ්‍ර සහ වියලි සදාහරිත වනාන්තරයකි. 2015 දී රටේ ප්‍රථම අලි රැඳවුම් පිටිය (EHG) ලෙස හොරව්පොතාන ස්ථාපිත කරන ලද අතර, රට පුරා ඇති ගැටළු සහිත අලි ඇතුන් එහි ස්ථානගත කරනු ලැබීය.

පිවිසුමක්
පිවිසුම ඉදිරිපිට ඇති ඵලකය

හොරව්පොතාන අලි රැඳවුම් පිටිය (EHG) යනු ලොව ප්‍රථම අලි රැඳවුම් පිටිය වන අතර මෙහි අලි ඇතුන් 30 දෙනෙකු පමණ රඳවා තබා ගැනීමේ හැකියාව ඇති අතර ඊට අමතර වශයෙන් අලි රඳවා තබාගන්නේ ඔවුන් සඳහා අවශ්‍ය ආහාර පිටතින් සපයා දිය යුතුවේ. අලින්ට අවශ්‍ය ජලය සහ ආහාර සපයා ගැනීමට වැව් 05ක් අලුත්වැඩියා කර ඇති අතර තෘණ පිටි ද සකසා ඇත. රඳවා තබාගන්නා අලි පිටවීම වැලැක්වීම සඳහා සුවිශේෂ ආරක්ෂක උපක්‍රම භාවිතා කර ඇත. රට වටේ සිට අල්ලා ගන්නා ලද කලහකාරී අලි ඇතුන් රඳවා තබා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා  පිහිටවු මෙහි ආරම්භයේ සිට අලින් 64 ක් පමණ මේ දක්වා නවාතැන් ගෙන ඇත.

                                                                                                                         රැකවරණය ලද අලින්

උද්‍යානයේ කළමනාකාරිත්වයඋද්‍යානයේ ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමටත් එහි සංචාරක ව්‍යාපාරය අතර සියුම් සමතුලිතතාවයක් පවත්වා ගැනීමටත් ඇප කැපවී සිටී.අප විසින් උද්‍යානයේ නීති රීති වලට ගරු කරමින් එහි ස්වභාවික සුන්දරත්වය අනාගත පරපුරට වෙනුවෙන් රැක දීමටත් උත්සාහවන්ත විය යුතුය.හොරව්පොතාන ජාතික උද්‍යානය සොබා දහමට ආදරය කරන්නන් සඳහා අපූර්ව ස්ථානයකි.එහි ඇති විස්මිත දර්ශන, විවිධ වන සතුන් සහ එහි සංරක්ෂණය සඳහා ඇති කැපවීම ඔබට අද්විතීය හා අමතක නොවන මතක සටහන්  බවට පත් කරනු ඇත.දැනට සංචාරකයින් සදහා විවෘත කර නොමැති හොරව්පොතාන ජාතික උද්‍යානය ඉදිරියේදි සංචාරකයින් සදහා විවෘත කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

හොරව්පොතාන ජාතික උද්‍යානය පිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

කොටියා

சிறுத்தை

Leopard

Panthera pardus kotiya

අලියාஆசிய யானைAsian elephantElephas maximus

වලහා

தேன் கரடி

Sloth bear 

Melursus ursinus

මුවාஇலங்கைப் புள்ளிமான்Spotted deerAxis axis ceylonensis
මොනරාமயில்PeafowlPavo cristatus
අළු කොකාசாம்பல் நாரைGrey heronArdea cinerea

හොරව්පොතාන ජාතික උද්‍යානය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala NamesTamil NamesEnglish NamesScientific Name
පලුபாலைPalu

Manilkara hexandra

වීරவீரைHedge Box wood

Drypetes sepiaria

බුරුතமுதிரைSatinwood

Chloroxylon swietenia

කළුවරகருங்காலிEbony

Diospyros ebenum

දිවුල්விளாWood apple

Limonia acidissima

මිල්ලகாட்டு நொச்சிMilla

Vitex altissima

දඹநாவல்Damba

Syzgium Sps

හුළං හික්வெடிவேம்புIndian Mahogani

Chukrasia tabularis

මයිලஆத்திMila

Bauhinia racemosa

වෙලන්வெண்ணங்குFishing rod tree

Pterospermum suberifolium

ඇහැලகொன்றைGolden shower tree

Cassia fistula

කටු අන්දරவிடத்தலைSickle bush

Dichrostachys cinerea

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

                            – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූපඉන්දික විජේනායක, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව.