简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 33 – සේනානායක සමුද්‍ර අභය භූමිය

Content Image

ශ්‍රි ලංකාවේ ප්‍රථම වනජීවි බෝට්ටු සේවය ආරම්භ කලා

මම වනජීවි දෙපාර්තමේන්තුවට ආවේ 1996 ජුනි 03 වන දින 3 වන ශ්‍රේණියේ වන සත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙස. මුලන්ම මාස 06 ක් විතර කතරගම අඩවිය භාරව ඉදලා ඊලඟට 1997 ජනවාරි මාසයේ ගල්ඔය ජාතික උද්‍යානයේ බටහිර  පැත්තේ  මීගල අඩවිය භාරව පත් වුනා. 

ගල්ඔය ජාතික උද්‍යානය පිහිටා තියෙන්නේ සේනානායක සමුද්‍රය වටේ.  එය පාලනය වෙන්නේ උද්‍යාන භාරකරු ඉඟිනියාගල යටතේ. මෙහි හෙක්ටයාර 25,900 ක ප්‍රමාණයක වපසිරියක් තියෙනවා.  ගල්ඹය පාලනය පහසුවට උතුරු, දකුණ, බටහිර, නැගෙනහිර කියලා ප්‍රධාන අඩවි හතරක් තියෙනවා.  නමින් කිව්වොත් උතුරු පැත්ත මුල්ලේගම අඩවිය, දකුණු පැත්ත බදුලුවෙල අඩවිය, බටහිර පැත්ත නිල්ගල අඩවිය හා නැගෙනහිර පැත්ත ඉඟිනියාගල උද්‍යාන මුලාස්ථාන අඩවිය.

උද්‍යාන මුලස්ථානය කාර්යාලය තියෙන්නේ සේනානායක සමුද්‍රයේ ජලාශ වේල්ලට පහලින්.  නමුත් කලින් ජලාශ වේල්ල උඩ තිබුනේ.  පැරණි උද්‍යාන භාරකරු බංගලාව.  මේ වන විට ඉඟිනියාගල සංචාරක බංගලාව බවට පත් කර තිබෙනවා.

මට රාජකාරි භාරගත්තේ බටහිර ගල්ඔය පැත්තේ.  එනම් නිල්ගල අඩවිය පැත්තේ රතුගල හා නිල්ගල ආදීවාසින් ජිවත් වුනා.  ඔවුන්ගේ පෙළපත් නාමය දුනිගල මහ බණ්ඩාරලාගේ.  ඒ කාලයේ හිටියේ ‘රන්දුනා’ වන්නියා වැදි නායකයා. දැන් එයාගේ පුතා  ‘සුදා වන්නියා’ වැදි නායකයා.

1949-1953 කාලයේදී තමයි සේනානායක සමුද්‍රය ගල්ඔය ගඟ හරස් කරලා හැදුවේ.  මෙයට ඉස්සර නිල්ගල ලොජ්ගලවෙල පැත්ත ආදී වාසින් හිටපු හුදකලා ගම්මානයක්, සේනානායක සමුද්‍රය වටේ හෙක්ටයාර්  25,900 ක ජාතික වනෝද්‍යානය ගැසට් කරන කොට පරණ ගම්මාන 20 ක් පමණ ඉවත් කරලා ගල්ඔය සංවර්ධනයට පවරා ගෙන තියෙනවා.  ආර්.එල්.ස්පිට්ල් මහතාගේ පොත්වල තියෙන හේනේ බැද්ද හා දානිගල වැදි ගම්මාන සේනානායක සමුද්‍රයට යටවුනා.  ඒ තැන්වල හිටපු ආදීවාසින් දැනට රතුගල පදිංචි කරවලා තියෙනවා.  එහෙම අයින් කරපු ගමන් තමයි ලොප්ගල්වෙල නිල්ගල අඩවිය.

මට හිටපු නිල්ගල අඩවිය කාර්යාලය තියෙන්නේ බිබිල නිල්ගල පාරේ කී.මි. 20 ක් විතර ඇවිත් බුළුගල ගමේ ඉඳලා කි.මී 10 ක් වනන්තරේ දකුණු පැත්තට ගියාම.  මෙය 1950 හදපු කාර්යාලයක්.  එතන ඉස්සර දඩයමේ ආපු සුදු ජාතිකයන් නවාතැන් ගත්ත බංගලාවක් තිබිලා තියෙනවා. ලොප්ගල්වෙල බංගලාව කියලා.  දැනට එහි නටබුන් අලුත් කාර්යාලය අසල තියෙනවා.  ඒ නිසා තවමත් අලුත් කාර්යාලයත් මිනිස්සු හඳුවන්නේ ලොප්ගල්වෙල බංගලාව කියලා.

බටහිර නිල්ගල පරිසරය වෙනස්  සවානා වනාන්තරයක්  අරළු, බුළු, නෙල්ලි ශාක තියෙනවා. ‘දැව්’ ශාක තියෙනවා. ‘දැව්’ ශාක වල නමේ අරුත ගින්නට අහුවුණත් මැරෙන්නේ නෑ කියන එක.  පැඟිරි මාන තියෙනවා.

ගල්ඔය ආරම්භය බිබිලට ඉහලින් ලුණුගල, පස්සර අතර තියෙන දොරබොර කන්ද එතනින් පටන් ගන්න ගල්ඹය  බිබිල අධිවල හරහා කි.මී. 20 ක් විතර නිල්ගල සවානා වනාන්තරය මැදින් ගිහින් මකර කියන කඳුවැටියක් අතර ඇතින් පිහිටලා තියෙන තැනින් සේනානායක සමුද්‍රයට වැටෙනවා.  එතන ඉඳලා සේනානායක සමුද්‍රයේ ජලාශ වේල්ලට කි.මී 11 ක් තියෙනවා. මකර ලඟදී ගල්ඔය පොළොව යටට යනවා.  උඩින් ගඟක් පේන්නේ නෑ.  ජලාශයේ ආරම්භයේදී ගඟ නැවත උඩට මතු වෙනවා.

ඉන්පස්සේ තියෙන්නේ ගල්ඔය ගඟ හරස් කරලා හදපු සේනානායක සමුද්‍රය.  එය හෙක්ටයාර් 3927 ක් පුරා පැතිරිලා තියෙනවා.සේනානායක සමුද්‍රය 1954 පෙබරවාරි 12 වැනිදා අභයභූමියක් ලෙස ගැසට් වෙනවා.  සේනානායක සමුද්‍රයෙන් ගොවි ජනතාවට වතුර දෙනවා.  විදුලි බලාගාරයට වතුර ගන්නවා.  ධීවරයන් රැකියාව කරනවා.  ඉඟිනියාගල ‘ඉඟිනි’  කන්දත්   ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ  දකුණු  ‘දංගොල්ල’කන්දත් යා කරලා අඩි 140 ක් උස අඩි 3600 ක් දිගට පස් යොදලා ජලාශ වේල්ල හදලා තියෙන්නේ.

සේනානායක සමුද්‍රය ලංකාවේ ලොකුම ජලාශය අක්කර අඩි 7, 77,000 ක් ජල ප්‍රමාණයක් රඳවා ගන්නවා.  ජලාශයට යට වුනු උස් කඳු තවමත් සේනානායක සමුද්‍රයේ දුපත් විදියට මතු වී තියෙනවා.  මේ වගේ දුපත් 10 කට අධික සංඛ්‍යාවක් තියෙනවා.  මේ සෑම දුපතක්ම ලංකාවේ ජලජ පක්ෂින්ගේ  ගොදුරු බිම් හා ප්‍රජනන බිම්.  දහස් ගනණක් පක්ෂීන්  මේවායේ කූඩු හදනවා.  කුරුලු දුපත, නෑබිලි ගල දුපත, සඳගිරි පව්ව මේ දුපත් අතරින් සමහරක්. සඳගිරි පව්ව නම් කළේ ඩබ්.ඩි.අමරදේව ශුරින්, ධර්මසිරි ගමගේ මහතා හා උද්‍යාන භාරකරු පුෂ්පානන්ද මහතා සඳ තියෙන දවසක දුපතේ නැවතිලා ඉද්දී 1997 දී  දුටු සුන්දර දර්ශණය නිසා.

ප්‍රධාන ගඟ, ගල්ඔය හරස් කරලා හැදුවාට ගල්ඔට විතරක් නෙමයි තවත් ඔයවල් කීපයක් ජලාශයට වැටෙනවා. බදුලු වෙල ඔය, දකුණු පැත්තෙන් එන සෙල්ලක්කා ඔය, බුද්දම කඳුවැටියෙන් පටන් ගන්න ගුරුළු ඔය, උතුරු මුල්ලේගම පැත්තෙන් එන මුල්ලේගම මුලයට ආර හා දාංගල කඳුවැටියේ ඉඳලා  එන කැදැල්ල බොක්ක ආරත් සමුද්‍රයට වැටෙනවා .

දැන් මේ දුපත වනජීවි කඳවුරු බිමක් ලෙස භාවිතා කරනවා. මේ දුපත්වලට අවුරුද්දේ හැමදාම අලි පීනනවා.  හේතුව 1949 ජලාශ වේල්ල හදන්න ඉස්සර අලින්ගේ සංක්‍රමණික පාරවල් මේ හරහා තිබිලා තියෙන්නේ.  ඒ නිසා තවමත් ඒ පාරවල් ඔස්සේ අලි දුපතෙන් දුපතට පීනා ගෙන යනවා. හරිම ආකර්ශණියයි.

මේ සිද්ධිය පාදක කරගෙන මම උද්‍යාන භාරකරු විදිහට 2008 අවුරුද්දේ සංචාරයට යන්න තිබුණු බෝට්ටු සේවයක් පටන් ගත්තා.  පළමුවෙන් භාවිතා කළේ ජලාශයේ ආරක්ෂාවට මුර සංචාරයට යන්න තිබුණ බෝට්ටුව. ජලාශ වේල්ල පැත්තෙන් මකර දක්වා ඇවිත් නැවත ජලාශ වේල්ල පැත්තට බෝට්ටු යනවා. එක බෝට්ටුවකින් පටන් ගෙන බෝට්ටු සංඛ්‍යාව 03 දක්වා වැඩිකලා. මුලින් පැය 06 ක ගමනක්.  පස්සේ ඉල්ලුම වැඩිවුන නිසා පැය 3 බැගින් බෝට්ටු සංචාර 3 ක් උදේ 6.00, උදේ 9.30 ට හා හවස 3.00 ට පටන් ගත්තා.  මෙයින් උදය 6.00 හා සවස 3.00 බෝට්ටු සේවයන් දෙක ඉතාමත් ජනප්‍රියයි.

එක බෝට්ටුවක ආසන 08 ක් තියෙනවා. ජීවිතරාක්ෂක කබා හා පුහුණු වුන බෝට්ටු ක්‍රියාකරුවෙකු හා මඟ පෙන්වන්නෙකු වනජීවි දෙපාර්තමේන්තුවෙන් දෙනවා.  එවිට යා හැකි සම්පුර්ණ සංඛ්‍යාව 10 ක් ඉඟිනියාගල උද්‍යාන භාරකරු කාර්යාලයෙන් බෝට්ටුවලට ටිකට් ගන්න පුළුවන්.  සේනානායක සමුද්‍රය පිහිටා තියෙන්නේ ලංකාවේ විදේශීය සංචාරකයින් යන මාර්ගයක් වන  පාසිකුඩා, අරුගම්බේ සිට බදුල්ල දක්වා යන මාර්ගයේ.  ඒ නිසා  විදේශීය සංචාරකයන් අතරේ බෝට්ටු සේවය ජනප්‍රිය වුනා.  මුලදී අවුරුද්දකට රු. 18,000/- ක විතර ආදායමක් ලැබුණු බෝට්ටු සේවයෙන් දැන් අවුරුද්දකට ලක්ෂ 100 කට වැඩි ආදායමක් ලැබෙනවා.

අද වෙනකොට මේ ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ සංචාරක හෝටල් 02 ක්ද තවත් සංචාරක නවාතැන් පහසුකම්ද සැකසී තියෙනවා.  මීට අමතරව ධීවර බෝට්ටු 130 ක් විතරක් සමුද්‍රයේ මසුන් ඇල්ලීමට භාවිතා වෙනවා.

මේ සංචාරක බෝට්ටු සේවය සේනානායක සමුද්‍රයේ ආරම්භ කරන්න ලැබීම මගේ ජයග්‍රහණයක්.  එය මට කිසිදා අමතක වෙන්නේ නෑ. මේ වන විට මගේ ජීවිතයේ වනය සම්බන්ධ මතක රාශියක් තිබුණත් බෝට්ටු සේවය ආරම්භ කිරීම ඒ අතරින් විශේෂයි.

බුද්ධික විතානගේ මහතා

1972 පෙබරවාරි 05 වෙනිදා මාතර නගරයේ උපන්නේය. ඔහු පළමුව පාසැල් ගියේ කිරින්ද පුහුල්වැල්ල කණිෂ්ඨ විද්‍යාලයටය. ඔහු පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු මාතර රාහුල ඇතුලත්ව උසස් පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේ උගත්තේය.  බුද්ධික විතානගේ මහතා 1996 වර්ෂයේ වනජීවි දෙපාර්තමේන්තුවේ වන අඩවි ආරක්ෂක 3 ශ්‍රේණියේ  නිලධාරියෙකු ලෙස එක් විය.  ඒ කාලසීමාවේ එතැන් සිට කතරගම අඩවිය, නිල්ගල අඩවිය, ලුණුගම්වෙහෙර හා යාල ජාතික උද්‍යානයන්හි රාජකාරි කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි.

2006 වර්ෂයේදී වනසත්ව අඩවි ආරක්ෂක 2 ශ්‍රේණියට උසස්වීමක් ලැබු බුද්ධික විතානගේ මහතා  ගල්ඔය  ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස පත්වීම් ලැබුයේය. එතැන් සිට වසර 06 ක් ගල්ඔය ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස සේවය කල ඔහුට යාල හා මින්නේරිය වන උද්‍යානවල සේවය කිරීමෙන් අනතුරුව 2013 වර්ෂයේ නැවතත් ගල්ඔය ජාතික උද්‍යානයේ දෙවන වතාවට උද්‍යාන භාරකරු ලෙස පැමිණිමට අවස්ථාව ලැබිණි.  ඔහුට 1 වෙනි ශ්‍රේණියට උසස්වීමක් ලැබුනේ ඒ අතරය. නැවත මන්නාරම හා  මාදුරුඔය ජාතික උද්‍යානවල සේවය කර  ඔහු  මේ වන විට  ලාහුගල ජාතික උද්‍යානයේ සේවය කරයි. 

බුද්ධික විතානගේ මහතා  මේ වන විට වුරුදු 28 ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇත.  1997 වසරේ කොළඔ  විශ්ව විද්‍යාලයේ වනජීවි ඩිප්ලෝමා පාඨමාලාව හැදැරු බුද්ධික විතානගේ මහතාට එහි අංගයක් ලෙස මාස 3 1/3 ක් ඉන්දියාවේ  ඩෙහෙරාදුන් වනජීවි අධ්‍යයන ආයතනයේ අධ්‍යනයට අවස්ථාව  ලැබිණි. 2018 දී සති 03 ක්  මැලේසියාවේ සංචාරයක් කිරීමටත් 2014 සති 03 ක් චීනයේ සංචාරයක් කිරීමටත් ඔහුට අවස්ථාව ලැබුණි.

ඔහු විනෝදාංශ ලෙස සමාජ මාධ්‍යයන්ට වනජීවි දෙපාර්තමේන්තුවේ හා වනාන්තර පිළිබඳව අතීත කතා ලියයි. බුද්ධික විතානගේ මහතා විවාහ වුයේ   නිශාන්ති දිල්රුක්ෂි හෙට්ටිආරච්චි මහත්මිය සමඟය. ඒ පාසල් ප්‍රේමයකි.  එවකට ඇය මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියක් වුවාය.  මේ වන විට ඇය සියනෑ විද්‍යා පිඨයේ ඉගෙන  විද්‍යා ගුරුවරියක් ලෙස හක්ගම කෝන්ගල මහා විද්‍යාලයේ සේවය කරන්නිය.

ඔවුනට පුතුන් දෙදෙනෙකි. වැඩිමල් පුතු  සිනත් සාකළ්‍ය විතානගේ රාහුල විද්‍යාලයේ 2024 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ කිරීමට සුදානමින් සීටි. දෙවන පුතා විහත් විතානගේ රාහුල විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරයි. බුද්ධික විතානගේ මහතාගේ ලිපිනය, කේතකී, පාසැල් මාවත, කඹුරුපිටිය පාර, කිරින්ද, පුහුල්වැල්ල වන අතර දුරකථන අංකය 0719800777 වේ.

 

සේනානායක සමුද්‍ර අභය භූමිය

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩි.එස්.සේනානායක මැතිතුමා විසින් 1949/1950 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය වාරියෝජනා ක්‍රමය යටතේ ගල්ඔය හරස් කරගනිමින් පිහිටුවා ගත් විශාල ජලාශය සේනානායක සමුද්‍රය ලෙස නම් කළ අතර එය එකල ලංකාවේ විශාලතම වාරිමාර්ග ජලාශය විය. ජල ධාරිතාව අක්කර අඩි 770,000ක්වු සේනානායක සමුද්‍රය ඉදිකිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ජලාශය ආසන්නයේ හෙක්ටයාර් 2590ක්වු ජලධර ප්‍රදේශ වපසරිය ගල්ඔය උද්‍යානය ලෙසද,හෙක්ටයාර් 9324ක් වු වාරි ජලාශය සේනානායක සමුද්‍ර අභය භූමිය ලෙසද1954.02.12 දින ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණ.මෙම උද්‍යාන දිවයිනේ නැගෙනහිර ප්‍රදේශයේ මොණරාගල හා අම්පාර දිස්ත්‍රිකයන්ට අයත්ව පිහිටා ඇත.

එම ප්‍රදේශයේ සංරක්ෂණය සේම වනජීවි සංරක්ෂණය ස්ථීර වශයෙන්  පවත්වා ගෙන යාම සදහා 1954 වසරේදී ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ සේනානායක සමුද්‍රය හා අවට ජලධාර වනාන්තර වලට ආරක්ෂාව ලබා ගැනීම මූලික කර ගනිමින් වනජීවී ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් ගල්ඔය ජාතික උද්‍යානය, සේනානායක සමුද්‍ර අභය භූමිය, ගල්ඔය  නිම්න ඊසානදිග අභය භුමිය හෙක්ටයාර් 12432ක් සහ ගල්ඔය නිම්න නිරිත දිග අභය භූමිය හෙක්ටයාර් 15281ක් වශයෙන් වනජීවී ආරක්ෂිත ප්‍රදේශ හතරක් ස්ථාපිත කරන ලදි.

දිවයිනේ වියලි කලාපයේ පිහිටි මෙම උද්‍යානයන්ට ඊසාන දිග මෝසම් සමයේදී වර්ෂාව ලැබෙන අතර එය සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර්1600- 1700 අතර වේ.සේනානායක සමුද්‍රය ආශ්‍රිතව පිහිටා ඇති  මෙමභුමියේ පස රතු- දුඹුරු පැහැයකින් යුක්ත වේ.ශ්‍රී ලංකාවේ විශාලතම අභ්‍යන්තර ජලකඳ වන සේනානායක සමුද්‍රය ආශ්‍රිතව හෙක්ටයාර් 25000 කට අධික සදාහරිත වනාන්තර සහ විවෘත සැවනා වනාන්තර වේ.ජලමතුපිට දූපත් වලින් පිරී ඇත.

සේනානායක සමුද්‍ර අභය භූමිය අවට උද්‍යාන වියලි කලාපයට ආවේණික වු ශාක වලින් සමන්විත වේ.මෙම උද්‍යානයහි දක්නට ලැබෙන වනපෙතේ වෘක්ෂලතාදිය වර්ග තුනකි. වනාන්තර, පඳුරු සහ තණබිම් නම් වු මෙහි  45%ක් පමණ සදාහරිත වනාන්තරවලින් වැසී ඇති අතර තවත් 33%ක්  තෘණ බිම් වලින් සහ 9% වලින් යුක්ත කඳුකර තණබිම් වේ.කදු පාමුල නිම්න දෙපස ඉතා සරුවට තෘණ වර්ග හා ඖෂධීය ශාක වැඩී ඇති අතර ආයුර්වේදයේ ප්‍රධානතම ඖෂධීය දැව ත්‍රිත්වය වන අරළු Aralu ( Terminalia chebula),බුළු Bulu (Terminalia bellirica),නෙල්ලි Nelli (Phyllanthus emblica) සහ ගම්මාලු Gammalu (Pterocarpus marsupium) මෙන්ම මාන Mana (Cymbopogon confertiflorus), ඉලුක් Illuk (Imperata cylindrica) ආදී තෘණ වර්ගත් ඉතා සරුවට වැඩි ඇත.මෙම වනාන්තරයේ උසට වැඩුණු ශාක ලෙස හල්මිල්ල Halmilla (Berraya cordifolia), ඇටඹ Etamba (Mangifera zeylancia) සහ කළුමැදිරි Kalumediri (Diopyros chaetocarpa), වීර Weera  (Dryptes sepiaria),පලු Palu (Manilkara hexandra),කළුවර Ebony (Diospyros altissima) සහ දිවුල් Divul  (Limonia acidissima) ද පදුරු ශාක වශයෙන් එරමිණියා (Zizyphus sps.) වැනි දේශීය ගස් ගණනාවක් විශාල වශයෙන් දක්නට ලැබේ.

උද්‍යානයේ ඉහළ අහස අලංකාර කරන විවිධ පක්ෂි විශේෂ 150කට ආසන්න ප්‍රමාණයක් ජලාශය අවට දූපත් වල කූඩු සාදා ඇත. ජලාශයේ ඇති කුරුල්ලන් කූඩු සදහා භාවිතා කරන දූපත් Bird Island ලෙස හදුන්වයි.ඝන කොළ පැහැති වියනක් සහිත උද්‍යානය පක්ෂීන්ගේ තෝතැන්නක් වන අතර  සේනානායක සමුද්‍රයට ආසන්නයේ කොකුන් Heron, (Ardeidae Sps.) දියකාවුන් cormorant (Phalacrocorax fuscicollis), අළු කොකා Grey heron (Ardea cinerea) සහ තඹසේරුවා Lesser whistling duck (Denbrocygna javanica) සහ උකුසු විශේෂ ජලාශයේ බහුලව දක්නට ලැබෙන පක්ෂීන් වේ. බහුරුමානාවා Lesser Adjutant (Leptoptilos javanicus), පැස්තුඩුවන් Spot-billed Pelican (Pelecanus philippensis), ශ්‍රී ලංකා අළුකෑදැත්තා Sri Lanka grey hornbill (Ocyceros gingalensis), රතු මුහුණැති මල්කොහා Sri Lanka Red Faced Malkoha (Phaenicophaeus pyrrhocephalus), වළි කුකුලා Sri lanka junglefowl (Gallus lafayetii), හබන් කුකුලා Sri lanka Spurfowl (Galloperdix bicalcarata), ලංකා මුදුන් බොර දෙමලිච්චා brown Capped Babbler (Pellorneum fuscocapillus) ආදි උද්‍යානයන්හි අභ්‍යන්තරයට වන්නට ජිවත් වන පක්ෂි විශේෂ වේ.

වළිකුකුලා (Gallus lafayetii)
මල්පිළිහුඩුවා (Alcedo atthis)
මානම් /පතන්කුකුලා (Francolinus pictus)
ශ්‍රී ලංකා අළුකෑදැත්තා (Ocyceros gingalensis)
මැඩි-මූණා (Batrachostomus moniliger)
උලමා (Bubo nipalensis)
කොණ්ඩරාජාලියා (Spizaetus cirrhatus)
මුහුදු රාජඅලියා (Haliaeetus leucogaster)
දියකාවුන් (Phalacrocorax fuscicollis)
කොකුන් (Ardeidae Sps.)

ජාතික උද්‍යානයක් වනසතුන්ට ඉතා හිතකර වන්නේ වසර පුරාම ජලය නොඅඩුව ඇති බැවින් සහ හරිත වර්ණයේ සෙවනින් නිරතුරුවම පහස ලබන නිසාත්ය.එබැවින් ගල්ඔය ජාතික උද්‍යානයේ වැදගත්ම අංගයක් වන්නේ වසර පුරා දක්නට ලැබෙන අලි රංචුයි.තම ස්වභාවික වාසභූමිය තුළ සාමකාමීව ජීවත් වන ආසියානු අලියා Asian elephant (Elephas maximus) දැක බලා ගැනීමට ලෝකයේ ඇති හොඳම ස්ථානයන්ගෙන් එකකි ගල්ඔය ජාතික උද්‍යානය. වන සතුන් සහ පරිසරය අතර සමගිය නිදර්ශනය කරන ගල්ඔය ජාතික උද්‍යානයේ සිටින සියලුම ක්ෂීරපායින් අතරින් ප්‍රබලම පිහිනුම් ක්‍රීඩකයා වන්නේද අලි ඇතුන්ය.මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ බෝට්ටු සෆාරි මගින් සේනානායක සමුද්‍ර ජලාශයේ එක් දූපතක සිට තවත් දූපතකට පිහිනන අලි රංචු දැකගත හැක. ක්ෂීරපායින් 32කට ආසන්න ප්‍රමාණයක් උද්‍යානයේ වාර්තා වී ඇති අතරශ්‍රී ලංකා අලියා, කුළු මී හරකා Wild buffalo (Bubalus arnee), ගෝනුන් Sambar (Rusa unicolor) ශ්‍රීලංකා දිවියා Leopard (Panthera pardus kotiya), වලසා Sloth bear (Melursus ursinus), මුවා Barking Deer (Muntiacus muntijak), තිත් මුවන් Spotted deer (Axis axis ceylonensis), අළු වදුරා Gray langur (Semnopithecus entellus), රිළවා Toque Macaque (Macaca sinica) සහ වල් ඌරා Wild Boar (Sus scrofa) ඒ අතර වේ. උද්‍යානයේ උරග විශේෂ අතරට හැල කිඹුලන් Mugger crocodile (Crocodylus palustris) සහ තාරකා ඉබ්බන් Star tortoise (Testudo elegans), කිරි ඉබ්බා Flapshell Turtle (Lissemys ceylonensis), ගල් ඉබ්බා Parker’s blackturtle (Melanochelys trijuga), පිඹුරා Python (Python molurus), සහ නයා Cobra (Naja naja) ඇතුළත් වේ.

                                                                                                                    ආසියානු අලියා (Elephas maximus)

                                                                                                                                        පිහිනන අලි

හැල කිඹුලන් (Crocodylus palustris)

සේනානායක සමුද්‍ර වැවේ නිසල ජලය මතින් ඔබ ගමන් කරන විට, ගල්ඔය ජාතික උද්‍යානය ජීවයෙන් පිරී පවතින බව ඔබට ඉක්මනින්ම වැටහෙනු ඇත.උද්‍යානයේ ඇති නිසංසල පරිසරය සංචාරකයින් හට උපරිම නිදහසේ නැරඹිමට මග සලසා දෙයි.

වියළි මිශ්‍ර සදාහරිත උද්‍යානයක් වන මෙම භුමිය කොළඹ සිට කිලෝමීටර් 368ක් පමණ දුරින් පිහිටා ඇත. උද්‍යාන පිවිසුම අම්පාර සිට කිලෝමීටර් 20ක් බටහිරින් ඉඟිනියාගල පිහිටා ඇත. ගල්ඔය ජාතික උද්‍යානයට කොළඹ සිට රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ, වැල්ලවාය, මොණරාගල, සියඹලාන්ඩුව-අම්පාර පාරේ 17වැනි සැතපුම් කණුවෙන් හැරි ඉගිනියාගලටද එසේම කොළඹ,නුවර,මහියංගනය,අම්පාර හරහා ඉගිනියාගලටද ළගා විය හැක.ඉගිනියාගල සිට බෝට්ටුවකින් සේනානායක සමුද්‍රය තරණය කිරීම ගල්ඔය ජාතික උද්‍යානයට පිවිසීමේ විකල්ප ක්‍රමයකි.

සංචාරකයින් සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පහසුකම් ලබා දෙන අතර සංචාරක බංගලාවන්හි නවාතැන් ලබා ගැනීමට ප්‍රධාන වනජීවි කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු වේ. වනජීවි සංචාරක බංගලා ඉඟිනියාගල, එක්ගල් ඔය සහ නිල්ගල පිහිටා ඇති අතර සේනානායක සමුද්‍රාසන්නයේ සහ පරෙවියන්ආර,මහදොරොව්ව,කොස්සපොළ යන ස්ථාන වල කදවුරු බිම් ස්ථාපිත කොට ඇත.තවද මුල්ලේගම සිට කැබැල්ලබොක්ක දක්වා ද අලිවංගුව සිට කොස්සපොල්ල දක්වාද ජිප් රියකින් සංචාරය කිරීමේ හැකියාව ඇත.

ගිමන්හල

සේනානායක සමුද්‍ර අභය භූමිය පිලිබඳ විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

කොකා

கொக்கு

Heron

Ardeidae Sps.

දියකාවා

நீர்க்காகம்

cormorant

Phalacrocorax fuscicollis

අළු කොකා

சாம்பல்நாரை

Grey Heron

Ardea cinerea

තඹසේරුවා

சிறிய சீழ்க்கைச்சிரவி

 Lesser Whistling Duck

Denbrocygna javanica

බහුරුමානාවා

சிறுத்த பெருநாரை

Lesser Adjutant

Leptoptilos javanicus

පැස්තුඩුවා

சாம்பல் கூழைக்கடா

Spot-billed Pelican

Pelecanus philippensis

ශ්‍රී ලංකා අළුකෑදැත්තා

இலங்கை சாம்பல் இருவாய்ச்சி

Sri Lanka Grey Hornbill

Ocyceros gingalensis

රතු මුහුණැති මල්කොහා

செம்முகப் பூங்குயில்

Sri Lanka Red Faced Malkoha

Phaenicophaeus pyrrhocephalus

වළිකුකුලා

இலங்கை காட்டுக்கோழி

Sri Lanka Junglefowl

Gallus lafayetii

හබන්කුකුලා

சின்னக் காட்டுக்கோழி

Sri Lanka Spurfowl

Galloperdix bicalcarata

ලංකා මුදුන් බොර දෙමලිච්චා

பழுப்பு நிற மூடிய புழுணி

Brown Capped Babbler

Pellorneum fuscocapillus

මල් පිලිහුඩුවා

 சிரல்

Common Kingfisher

Alcedo atthis

මානම් / පතන් කුකුළා (තිත් වටු-කුකුළා)

வண்ணந்தீட்டியக் கவுதாரி

Painted Francolin

Francolinus pictus

මැඩි-මූණා

 இலங்கை தவளைவாயன்

Frogmouth

Batrachostomus moniliger

උලමා

 பெரிய காட்டு ஆந்தை

Spot-bellied Eagle Owl

Bubo nipalensis

කොණ්ඩරාජාලියා

 குடுமிக் கழுகு

Changeable Hawk Eagle

Spizaetus cirrhatus

මුහුදු රාජ අලියා

 கடல் பருந்து

White-bellied Sea Eagle

Haliaeetus leucogaster

අලියා

ஆசியயானை

Asian Elephant

​Elephas maximus

මීහරකා

எருமை

Wild Buffalo

Bubalus arnee

ගෝනා

மரை

Sambar

Rusa unicolor

ශ්‍රී ලංකා දිවියා

சிறுத்தை

 Leopard

Panthera pardus kotiya

වලසා

கரடி

 Sloth Bear

Melursus ursinus

මුවා

மான்

Barking Deer

Muntiacus muntijak

තිත්මුවා

புள்ளிமான்

Spotted Deer

Axis axis ceylonensis

අළුවදුරා

சுள்ளிய சாம்பல் குரங்கு

Gray Langur

Semnopithecus entellus

රිළවා

செங்குரங்கு

Toque Macaque

Macaca sinica

වල්ඌරා

காட்டுப்பன்றி

Wild Boar

Sus scrofa

හැලකිඹුලා

சதுப்பு முதலை

Mugger Crocodile

Crocodylus palustris

තාරකාඉබ්බා

நட்சத்திர ஆமை

Star Tortoise

Testudo elegans

කිරිඉබ්බා

பால் ஆமை

Flapshell Turtle

Lissemys ceylonensis

ගල්ඉබ්බා

கல் ஆமை

Parker’s Black Turtle

Melanochelys trijuga

පිඹුරා

மலைப்பாம்பு

Python

Python molurus

නයා

நாகம்

Cobra

Naja naja

සේනානායක සමුද්‍ර අභය භූමිය පිලිබඳ විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව

Sinhala Name

Tamil Name

English Name

Scientific Name

අරළු

 கடுக்காய்

Aralu

Terminalia chebula

බුළු

 தான்றி

Bulu

Terminalia bellirica

නෙල්ලි

 நெல்லி

 Nelli

Phyllanthus emblica

ගම්මාලු

வேங்கை

Gammalu

Pterocarpus marsupium

මාන

 மானா

Mana

Cymbopogon confertiflorus

ඉලුක්

 தர்ப்பைப்புல்

Illuk

Imperata cylindrica

හල්මිල්ල

 சாவண்டலை மரம்

Halmilla

Berraya cordifolia

ඇටඹ

 காட்டுமா

Etamba

Mangifera zeylancia

කළුමැදිරි

 பதுரங்கலி

Kalumediri

Diopyros chaetocarpa

වීර

 வீரை

Weera 

Dryptes sepiaria

පලු

 பாலை

Palu

Manilkara hexandra

කළුවර

 கருங்காலி

 Ebony

Diospyros altissima

දිවුල්

 விளா

Divul

Limonia acidissima

එරමිණියා

 இலந்தை

 

Zizyphus sps.

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

                             – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා  නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූපරෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව