简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

කථාංග 35 – මහකනදරාව අභයභුමිය

Content Image

ඒ පවුලෙන් බේරුණේ එක දරුවෙක් විතරයි

මම රැකියාවට එන්නේ 1998 අවුරුද්දේ නොවැම්බර් මාසේ මුලදීවනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙසයි. එතකොට මට වයස අවුරුදු 20යි මාසයක්. මුලින්ම මම රාජකාරියට වාර්තා කළේ අනුරාධපුර අඩවියේ අඩවි කාර්යාලයට. එය පිහිටා තිබුනේ අනුරාධපුර කච්චේරියේ. මම නවක අඩවි ආරක්ෂකවරයෙක් ලෙස එහි භාරව කටයුතු කල ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක ඩබ්.ඒ. සරත් වික්‍රමසිංහ මහත්තයා සමඟ පළමුවෙන්ම රාජකාරී කටයුතු සිදු කලේ.අදට මගේ සේවා කාලය වසර 26කට ආසන්නයි.

මගේ ජීවිතයේ මට අදත් මතකයේ තියෙන්නේ අලි මිනිස් ගැටුම නිසා සිදු වූ එක සිද්ධියක්.මෙය  මගේ මුල්ම පත්වීම ලබලා මාසයක් වගේ කාලයක් ඇතුලත,  ලබපු අත්දැකිමක්. ඒ කියන්නේ  අලි මිනිස් ගැටුම හේතුවෙන් එක දිනක එක තැනක එක නිවසක පස් දෙනෙක් මියගිය සිද්ධියක්. මට මතක හැටියට ඒ 1998 දෙසැම්බර් මාසයේදි.  ඔය කියන දවසේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂකවරයා, මගේ ගුරුවරයා එදා නිවාඩු. අසනීප තත්වයක් හේතුවෙන්. ඔහු පදිංචිවෙලා හිටියේ කහටගස්දිගිලියේ, අනුරාධපුරයේ ඉදලා ගොඩාක් දුරයි. ඒ කාලේ ටෙලිෆෝන්  තිබුණේ   කාර්යාලවලට විතරයි. ජංගම දුරකථන තිබුණේ සීමිත ගණනක්. ඔය කියන දවසේ මම  ස්ථාන භාරව කටයුතු කලේ. අලුත් වුනාට තනතුරේ වගකීම් ගොඩාක් තිබුණා. අපේ අඩවිය භාරව තිබුණේ වනජීවි වයඹ කලාපයට. මේ කලාපය භාරව කටයුතු කලේ හොද සහකාර අධ්‍යක්ෂකවරයෙක් වන ජේ.එම්. රෑපසිංහ මහතාය. මම හිතන්නේ අද ඔහු ජීවතුන් අතර නැ. ඔය කියන දවසේ  ඔහු අපේ අඩවියට කථා කරලා කට්ටියත් එක්ක යන්න ලෑස්තිවෙන්න නාච්චාදූවේ අලියෙක් ගහලා මිනිහෙක් මැරිලා කිව්වා.

එතකොට ඔය කාලයේ අපි රාජකාරියක් යනකොට  තුන් හතර දෙනෙක් යනවා. මම ලැස්ති වෙන්න කිවුවා කාර්ය  මණ්ඩලයට. මට මතක රියදුරු ආරියරත්නයි , අඩවි සහකාර  ඒ. ඒම්. සෙනෙවිරත්න මහතා, සමඟ වන සත්ත්ව නියාමකවරු වන ඩී.ආර්. නන්දසේන, රංජිත් ධර්මබන්දු, ලක්ෂ්මන් අටලුගමත් එහි ගියා. අපේ වාහනේ තිබුනේ 31-1064 දරණ පොඩි ජීප් ඒකක්. ඒ කාලේ එල්.ටී.ටී.ඊ*. ප්‍රශ්ණය නිසා ගුවන්තොටුපොළපාර බාධක දාලා තිබුනේ. අනුරාධපුර පාරෙන් කීරක්කුලම හරහා අපි නාච්චාදූවේ ගියා. ඔය ආසන්නයේ තමයි නාච්චාදූව නගරය පිහිටා තිබුනේ. එහි වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජනතාව. ඔතනින් හැරිලා නාච්චාදූව වැව් ඉස්මත්ත ප්‍රදේශයේ තමයි ඔය කියපු තැන. අපි නගරයට ඇවිල්ලා, විමසීමක් කෙරුවා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවද කියලා. මම හිතන්නේ වෙලාව උදේ 10ට විතර ඇති. කවුරුත්එමස්ථානයදන්නේ නැ.නාච්චාදූවට ආසන්නයෙන් කිලෝමීටර් එකහමාරක් දෙකක් යනවිට ස්ථානය  හොයාගෙන යන්න පුඵවන් වුනා. අපි නාච්චාදූව නගරෙන් ගමට ආවා. ගම පිහිටා තිබෙන්නේ වැව් ඉස්මත්තට වෙන්න. ඈත පේනවා වැව් පිටියත්.අපි එතන්ට  එනකොට මිනිස්සු 30ක් 40ක්විතරවැව් පිටිය අයිනේ වට වෙලා හිටියා. වැව් පිටිය අයිනේ තිබුණා කුඩා මැටි ගහපු ගෙවල් දෙකක්. නමුත් එකක් සම්පූර්ණයෙන්ම කැඩිලා.

ඒ ගෙදර එකම ශාලාවක් වගේ තිබුනේ. ඒ ගෙවල් දෙක අතර පරතරය තියෙන්නේඅඩි තිහක්  විතර ප්‍රමාණයක්.  කැඩුණු ගෙදරවහල කඩා වැටිලා,මැටි බිත්ති පෙරලිලා, ඒ ගෙදර තමයි මිනිස් ජීවිත හානි වෙලා තිබුනේ.  එකම දවසේ අම්මයි දුවයි දුවගේ ස්වාමියයි පොඩි පුතයි හතර දෙනයි දුව ඒ වෙනකොට මාස නවයක විතර ගැබිණියක්.  ඒකයි මං කිවේ ජීවිත පහක් කියලා. වයස් බලපුවාහම අම්මා අවුරුදු හතලිහක විතර පෙනුමක් තිබුනේ. දුවත් විස්සක් විතර ඇති. ඇයගේ ස්වාමිපුරුෂයාත් ඔහුගේ වයස අවුරුදු විස්සක් විතර, ඇති මිය ගිය දරුවා අවුරුදු අටක් විතර ඇති. හැබැයි ඒ පවුලේ එක දරුවෙක් ඉතුරු වෙලා හිටියා.පස්සේ හොයලා බලනකොට ඒ ගෙවල් දෙකේ ලමයි උදේ එකට සෙල්ලම් කරලා හවස නිදාගන්න කොට ඒ ළමයා විතරක් නිදා ගන්නඅනිත් ගෙදර ගිහින්. ජීවිතය බේරුනේඒ නිසා. අල්ලපුගෙදර මිනිස්සු කියන විදියට පාන්දර අලියෙක් ඇවිල්ලා මේ ගෙදර කඩනවා ඇහිලා බලලා, එලවලා තියෙනවා. එලෙව්වට ගිහිල්ලා නෑ. එකපාරටම අලියා බිත්ති පෙරලගෙන ගේ ඇතුලට ගිහිල්ලා. බිත්තිත් පෙරලලා සහ අලියා ගේ ඇතුලේ ඇවිදිපු නිසායි සියලු දෙනාම නැති වුනේ. නිදාගෙන හිටිය ඉරියව්වෙන්ම සියලු දෙනාඅලියට පෑගිලා මැරිලා තියෙන්නේ.

අපිත් මිනිස්සුත් එක්කම එතන සෑහෙන වේලාවක් හිටියා. හදිසි මරණ පරික්ෂක සහ පොලීසිය එනකොට හවස දෙක යි තිහයි විතර.  ටික වේලාවකින් ඒ පරීක්ෂණ කටයුතුකරලා අදාල මරණ ටික නාච්චාදුව රෝහලට අරන් ගියා. ඒත්එදා දවසේ අපිට එතනින් හෙල්ලන්න බැහැ. ගමේ ලොකු විරෝධතාවයක් ඉල්ලීමක් ආවා මහත්තුරු යන්න බැහැ. අද අපේ ගෙවල් වල ඉන්න හරි බයයි. එකම තැන හතර දෙනෙක් මැරුණු නිසා.

මේ අලියාගේ බෙල්ලේ මාලයක් තිබුණා කියලාඅනිත් ගෙදර මනුස්සයා දැකලා තිබුනා. දැන් අවුරුද්දකට විතර කලින් අලින්ට රේඩියෝ කොලර් දැම්මා, ඒ රේඩියෝ කොලර් දාලා ඉන්න අලියෙක් මේ පැත්තේ ඉන්නවා කියලා කාර්ය මණ්ඩලය කිව්වා. අඩි සලකුණු වලින් අඩි දහයක් විතර ලොකු අලියෙක්. කොහොම හරි මිනිස්සු අපිට එතනින් යන්න දුන්නේ නෑ.  අද රාත්‍රිය බලන්න ඕනේ කියලා. අනුරාධපුරෙන් නාච්චදුවට එනකොට අපි දවල්ට කාලා තිබුනේත් නැහැ.  අපි  කොහොම හරි එතනින්  ආපහු තැපැල් කන්තෝරුවට ගිහිල්ලා සහකාර අධ්‍යක්ෂවරයෙක්ගේ ඔපිස් එකට පණිවිඩේ දුන්නා.  මෙහෙම පස්දෙනෙක් නැති වෙලා අපිට රෑට ගම්මු එන්න දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ අපට දැනුම් දුන්නා ජංගම ඒකකයක් විදිහට ඒ පළාතේ යන්න කියලා. 

අපි කොලර් මාල දාපු අලියා ගැන හොයන්න පටන් ගත්තා. ඒ කාලේ තිබුණා ඇන්ටනාවක් දිලා ශ්‍රවණාධාර(ඉයර් ෆෝන්) දෙකක් එක්ක. සාමාන්‍යයෙන් අලියා ඉන්නවානම් අපිට ඒ ශ්‍රවණාධාර දාලා අතින් ඇන්ටනාව උස්සලා අලියා ඉන්න දිශාවකට කරකවලා බලපුවාහාම පොඩි ටික් ටික්ගාලා ශබ්දයක් එනවා. ඒකේ ත්‍රීවතාවය වැඩි වෙනවා අලියා පොඩ්ඩක් ලග ඉන්නවානම්.කිට්ටුව පාතක නම් අපිට හොයා ගන්න පුළුවන්. අපි බයිසිකලයක ගිහින් පැයක් දෙකක් යනෙකාටඅලියා ඉන්න පැත්ත අපි ඒකෙන් බැලුවා. ලඟපාතකද,මෙතනමද ඉන්නේ කියලා. බලපුවහම ටිකක් වැවේ අනිත් පැත්තේ ඉන්නවා වගේ ලකුණු ටික් ටික් ගාන  ශබ්දෙන් දැනුනා. අලියා ලග පාතක ඉන්නවා.

එතකොට මේ පැත්තේ තිබුණා ගම්මාන, නාච්චාදූව ආසන්නව තුරුවිල, කීර්තිකුලම, නෙළුබෑව, කුඩානෙළුබෑව, කුලුවිල, නෙල්ලිකුලම, ඔය කියන ප්‍රදේශයන්මේ සිද්ධිය නිසා භීතියට පත්වෙලා හිටියේ. ඉතින් ඇන්ටනාව අල්ලලා මේ පැත්තේ අලියා ඉන්නවා කිව්වට මිනිස්සුන්ට ඒක වැඩක් නෑ. මිනිස්සු බලාපොරොත්තු වුනේ කොයි වෙලාවේ හරි තමන්ගේ ගෙදරට ඇවිල්ලා තමන්ගේ අයත් මරයි කියලා. හතර දෙනෙක් මරපුවහම ඒ කට්ටිය හිතන්නේ මේ අලියා හැම තැනම මිනිස්සු මර මර යනවා කියලා. නමුත් අපිට තේරුණා අලියා ඈත ඉන්නේ. ඩී. ආර්. නන්දසේනඒ වෙනකොට එයා අලි අල්ලන කණ්ඩායමේ හිටියා.  ඒ නිසාඑයාට පුරුදුයි. මේ අලියා හොයද්දීත්එයා විටින් විට බැලුවා අලියා කොහෙද ඉන්නේ කියන එක. නමුත් දුර පිළිබඳව අපිට හරි නිශ්චයක් ගන්න බැරි වුණා.

අපේ කට්ටියටත් මේක ටිකක් බය හිතෙන දවසක්. අලියෙක්නිසා පස්දෙනෙක් මරණයට පත්වීම. අපි අරන් ගිහිල්ලා තිබුනේ  තුවක්කු දෙකයි. අලි වෙඩි විස්සක් පමණයි. ඉතින් මම කාර්ය මණ්ඩලයට කථා කරලා මොකද කරන්නේ කියලා ඇහැව්වා. ඊට පස්සේ අපි තීරණය කළා. මුළු රෑම ඔය කියපු ගම් වල ගමන් කරමු කියලා. නිතරම ඇන්ටනාව තැන් තැන් වලින් අල්ලලා  බැලුවා අලියා ඉන්නවද කියන එක.කඳු වලට මුවා වුනාම සංඥා එන්නේ නෑ. ඉතින් අපි ඒක රෑ වෙනකොට ඇන්ටනාව අල්ලන එක නතර කලා. ඒ වෙනකොට අපේ වාහනයේ තෙල් තිබුනේ නැ. ඊටපස්සේ අපි  නාච්චාදූව නගරයට ඇවිල්ලා පොඩි කඩේකින් සල්ලි ටිකක් දීලා තෙල් ටිකක් ගහගත්තා. මරණ පිළිබඳ හොයලා  බලද්දි මරණ පරීක්ෂණ කටයුතු අවසන් කරලා තිබුණේ නැ. පාන්දර වෙනකොට තමාඥාතියෙකුගේ ගෙදරට අරන් යනවා කියලා තිබුණේ.එ් සිද්ධිය වුන තැන ඉදලා කිලෝමීටර් අටක්-දහයක් විතර ඈත කීරක්කුලමට.

එතන පොලිසියෙන් කිව්වා මහත්තයා ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න ඒ පැත්තෙත් ඔය අලියා යනවා කියලා.අපි කීරක්කුලම පැත්තේ අවස්ථා කිහිපයක්ම ගියා රාත්‍රි කාලයේ. අපි  ඒ වෙනකොට රැට කාලා හිටියෙත් නෑ. පළාතේ සියලුම කඩ වහලා . එකම මනුස්සයෙක්වත් ගෙයින් එළියට එන්නේ නැ. භීතියට පත්වෙලා .එක ගමකවත්එක කඩයක්වත් ඇරලා තිබුනේ නෑ. අපි ඩී. ආර්. නන්දසේන වන සත්ත්ව නියාමකවරයාගේ හිතවත් පවුලක් හිටියා නෙල්ලිකුලම කියන ගමේ. ඒ කට්ටියත් බයෙන් හිටියේ මේ අලියා ඇවිල්ලා කොයි වෙලවේ හරි ඒ ගෙවල් කඩයි කියලා. පස්සේ ඒ කට්ටිය අපිට සම්බෝලයකුයි බතකුයි හදලා දුන්නා. අපි ආපහු රෑ නැවත ජංගම මුර සංචාරය යන්න පටන් ගත්තා. පොලිසියේ කට්ටිය ආවෙත් නෑ. අපි සම්පූර්ණයෙන්ම රෑ වටේටම ගියා පොඩි වෙලාවක්වත් හිටියේ නෑ. අපි උදේ අටහමාරට විතර නැවත අනුරාධපුරයට ආවා.

මම ආපු ගමන්ම ගියේ සහකාර අධ්‍යක‍්ෂවරයා හම්බුවෙන්න. ටික වේලාවකින් ඔහු කිව්වා ඊයේ රෑත් ඒ අලියා මනුස්සයෙක් මරලා ගල්කුලම පැත්තේ කියලා. ගල්කුලම තියෙන්නේ නාච්චාදූව අනිත් පැත්තේ සාමාන්‍යයෙන් බැලුවොත් කිලෝමීටර් පහලොවක් විස්සක් ඈතට ගමන් කරන්න ඕනැ. ඊයේ අපට සංඥා ආවෙත් ඔය පැත්තෙන්ම තමයි. ඒ පැත්ත තියෙන්නේ මහකනදරාව මිහින්තලය අභයභූමිය ආසන්නව. අලි ගමන් කරන මාර්ගය. අපි හිටියේ කලාවැව ඉදලා අලි පනින පැත්තේ. අනිත් මරණය  සිදුවෙලා තියෙන්නේ මිහින්තලය මහකනදරාව අභයභූමිය ආශ්‍රිතව. එතකොට කීරක්කුලම කියන්නේ අනුරාධපුර පැත්තට ආසන්නව පොඩි දුරවල් කිලෝමීටර් දහය,පහලොව, විස්ස ඈත දුරවල්. නමුත් අභයභූමියක් අතර යම් සම්බන්ධතාවයක් කැළෑවලින් තිබුනා අලින්ට යන්න එන්න පුළුවන් විදිහට. සහකාර අධ්‍යක‍්ෂකවරයා කිව්වා මඩුගල්ල දැන් ගිහින් නිදා ගන්න. මේකට වෙන කවුරු හරි කණ්ඩායමක් යවන්නම් කියලා.මමසහකාර අධ්‍යක‍්ෂකතුමා හම්බ වෙලාපැහැදිලි කිරිමක් කළා. දැන් තියෙන තත්වයගැන අලියාගේ තියෙන බරපතලකම. ඒ වෙනකොට දිසාපතිතුමා කථා කරලා තීරණය කරලා  තිබුණා අලියා අල්ලන්න. නමුත් ඒකට සතියක් විතර යන බව කිව්වා. එතෙක් ජංගම මුර සංචාරයක් යන්නටත්,   මිනිසුන්ගේ ආරක්ෂාවට හා දැනුවත් කිරිමට ප්‍රචාරක රථයක් යවන්නත් තීරණය කළා.  ඒ හින්දා කච්චේරියේ අතිරේක දිසාපතිතුමා හම්බවෙලා ස්පීකර් සෙට් එකක් හයි කරගෙන එන්න කියලා වාහනේ මට දුන්නා.අතිරේක දිස්ත්‍රික්ලේකම් තුමා පරිස්සමෙන් කියලා ස්පීකර් සෙට් ඒක මට දුන්නා.

ඒ කාලේ වනජීවි එකෙන් දැනුවත් කිරීම් කළොත් මිනිස්සු ගහන විරෝධතාවයක් එයි කියලා දැනුම් දීම කළේ මහ දිසාපතිතුමාගේ පණිවිඩයක් විදිහට. මට  මතකයි මම කියපු නිවේදනය‘කරුණාවෙන් සවන් දෙන්න, මේ ඔබ අමතන්නේ අනුරාධපුර මහ දිසාපතිතුමාගේ පණිවිඩයකටය. මේ දිනවල මේ ප්‍රදේශයේ සැරිසරණ දරුණු වල් අලියා අල්ලා ඉවත් කිරීමට තීරණය කර ඇත. අලියා ඇල්ලීමට දින කිහිපයක් ගතවන බැවින් එතෙක් සවස් කාලයේ නිවසට වී ගතකරන ලෙසත්, අවේලාවේ ගමන් කිරිමෙන් වලකින ලෙසත් දන්වා සිටින අතර ඔබගේ ආරක්ෂාවට වනජීවි නිලධාරීන් රාත්‍රි කාලයේ ප්‍රදේශය ආශ්‍රිතව රැදී සිටින බව දන්වා සිටිමි ස්තූතියි’ කියලා. මම එතනින් පිටත් වෙලා පොඩ්ඩක් නිදාගන්න බෝඩිමට ආවා.ඒත් පැයක් විතර නිදාගෙන ඉන්නකොට සහකාර අධ්‍යක‍්ෂක රෑපසිංහ මහත්තයා වාහනේ අරන් ඇවිල්ලා ගේට්ටුව ගාව ඉන්නවා. මම ඇවිත්ඉක්මනින්මවාහනේට නැග ආවේ අපේ කච්චේරියේ කාර්යාලයට.එතන්ට එනකොට අපේ තව අඩවි ආරක්ෂකවරයෙක් හිටියා එම්.ඩී.එල්.ලයනල් ඩී. ආර්. නන්දසේනත්, අටලුගමත් ඇවිල්ලා හිටියා. රෑපසිංහ මහත්තයාකිව්වා ඊයේ මැරුණු මිනිස්සුන්ගේ මලගෙදර තියෙන්නේ කීරක්කුලම ගමේ. අදම වලදානවා. සොහොන ලඟ ඒ අලියා ඉන්නවා කියලා පණිවිඩයක් ඇවිත් දැන්ම යන්න කියලා. ලයනල් මහත්තයා ජ්‍යෙෂ්ඨ කෙනෙක් හන්දා එයා තමයි වගකීම අරන් තිබුනේ. පස්සේ මමයි, ලයනල් මහත්තයයි, ඩී. ආර්. නන්දසේනයි, අටලුගමයි, රියදුරුයි, වාහනෙන්ම කීරක්කුලම ගමට ගියා. මලගෙදර ගාවට යනකොට තත්වය හොඳ නැති නිසාඅපි ඇතුලට ගියෙ නෑ. පාංශුකූලයට ලගයි කියලා කට්ටිය කිව්වා. කිලෝමීටර් භාගයක් විතර ඈතින් සොහොන තියෙන්නේ.එතන අලියා ඉන්නවා කියලා කිව්වා. අපිට පාර පෙන්නන්න ගමෙන් කොල්ලො හතර දෙනෙක් විතර ආවා.

අපි සොහොන ගාවට ගියා. සොහොන තිබුණ තැනඑළිමහන් ප්‍රදේශයක්.නමුත් වටේට කැළැව. හතර දෙනාගේ මිනී වලදාන්න වලවල් හතර ගමෙන් කපලා තිබුණා ඒ වෙන කොට. අපි එතන කිට්ටුවට යනකාට කැළේ ඇතුලෙන් ශබ්දයක් ආවා. වේලාව දවල් දෙකහමාරට විතර ඇති. අපි ලග තිබුණේ තුවක්කු දෙකකුයි අලිවෙඩි වගයකුයි. තුවක්කු දෙක තිබුණේ ලයනල් මහත්තයා ගාවයි ඩී.ආර්.නන්දසේන ගාවයි. අලිවෙඩි අටලුගමයි, මායි ලග. ලයනල් මහත්තයා කිව්වා අපි අලි වෙඩිල්ලක් ගහලා බලමු කියලාමොකද කියලා. එසද්දේ ආව පැත්තට මමත් අලිවෙඩිල්ල  වීසි කලා. එකපාරටම වෙඩිල්ල පුපුරණ සද්දෙටම අලියා කෑගහගෙන සොහොනේ එහා මුල්ලෙන් මතුවුණා. මහා දවාලක අලි එළවන එක අපේ වනජීවි ක්ෂේත්‍රයේ කළමනාකරණයේදි කරන්නේ නැති වැඩක්. නමුත් මෙතන තත්වෙත් එක්ක එය කරන්න සිදුවුණා. අලිවෙඩිල්ල ගහපු ගමන්ම අලියා අපි දෙසට ආවා. ලොකු ජිවිත අවදානමක්. ඒ වෙලාවේ ඒක සිද්ධකල හේතුව තමයි මිනි හතරක් වළදාන්න තියෙන ස්ථානයේ අලියා සිටීම.  අලියා මිටර් පනහක් හැටක් එහායින්  කැළෙන් මතුවුනේ. අලියා අපි දිහාට පන්නගෙන ආවා.ඇත්තටම ඒ කොලර් දාපු අලියා. ඒ වෙලාවේ අපිට අලිවෙඩි දාන්න වෙලාවක් තිබුනේ නෑ. අපිත් එක්ක ආව මිනිස්සු දුවන්න ගත්තා. මමත් අටලුගමත් දුවන්න පටන් ගත් නමුත් පරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වුන අලියා එන පැත්තේ හිටපු ඩී.ආර්.නන්දසේනත් එම්.ඩී.ඒල්.ලයනල් අඩවි ආරක්ෂකවරයාත් හෙල්ලුනේවත් නෑ. ඒ කට්ටිය තුවක්කු මානගෙන අලියා එන දෙසට වෙඩි තිබ්බා. ඒ වෙලාවේ අලියා කිට්ටුවට ඇවිල්ලා. අලියට වෙඩි වැදුනා.අලියා හැරිලා එතනින් ගියා. ඒ වෙලාවේ අලියට වෙඩි නොවැදුනානම් අපි කිහිප දෙනෙක් එදා මරණයට පත්වෙනවා. ඉතින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම් නිසා අපි බේරුණා.

 ඒ එක්කම අපි අලිවෙඩි දෙක තුනක් ගැහැව්වා. ගහලා ටික වෙලාවක් යනකොට අපිට තේරුණා අලියා ටිකක් ඈතට ගියා කියන එක. අපි කතාවට අහලා තියෙනවා අලි මරපු මරණ ගාවට අලියා එනවා කියන එක. මට එය අත්දකින්න ලැබුණා. මරණ වල දාන්නත් කලින් ඒ සොහොන් ගාවට මේ අලියා ඇවිල්ලා හිටියා. පස්සේ ඒ මිනී අරන් එන ආරන්චියක් ආවා. පැයක් විතර යනකොට අපිට විරෝධතාවයක් එයි කියලා, අවමගුල් පෙරහැර කිට්ටු වෙන්න ඇරලා අපි එතනින් අනුරාධපුරයේ ආවා. අනුරාධපුරයටඑනකොට අනිත් කණ්ඩායම ජිප් ඒකේ  ස්පීකරෙත් බැදගෙන ගමට යන්න ලෑස්ති වෙලා හිටියා. හවස පහේ ඉදලා හත විතර වෙනකල් එදා නිවේදනය කලා.ඊට පස්සේ රෑට ජංගම මුර සංචාරය කලා. ඒ වගේ දවස් වල දවල් වරුවට පොඩ්ඩක් නිදාගන්නවා. මෙන්න මේවගේ දවස් පහ හය යනකොට අලි අල්ලන කණ්ඩායම් කඳවුරු බදින්න ටිකෙන් ටික ආවා. තුරුවිල නාච්චාදූව ආශ්‍රිතව තමයි කඳවුරු බැන්දේ. කොහොම හරි තව දවස් හතරකින් අලියා අල්ලලා  බැන්දා.  අලියා ඇල්ලුවේ අපේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නන්දන අතපත්තු මහතා.මෙහෙයුවේ පශු වෛද්‍ය  තාරක ප්‍රසාද්, අධ්‍යක්ෂ සෞඛ්‍ය කළමනාකරණ. ඒ කාලේ තීරණය කලේ අලියා යාලට දාන්න. ඊට පස්සේ මේ අලියා නාච්චාදූවෙන් යාලට මුදා හරින්න අලි ලොරියේ පටවාගෙන ගියා. තව සතියක් විතර යනකොට ආරංචි වුනා යාලදි හමුදා බංකරයක් කඩන්න ඇවිල්ලා සිවිල් ආරක්ෂක භටයෙක් පස්සේ පන්නපු නිසා අලියට වෙඩි තියලා කියලා. මං හිතන්නේ දාලා දවසක්  දෙකක් ඇතුලත  අලියා එහෙම මරලා දාලා තිබුණා.

කොහොම නමුත් අලි මිනිස් ගැටුම නිසා ජීවිත අහිමි වීමත් දරුවෙකුට මුළු පවුලක්ම අහිමි වීමත් ඒ මරණ සිදු කල අලියා අලි මිනිස් ගැටුම නිසාම මරණයටපත්වීමත් මේ කෙටි කාලය තුල වුනා. එතකොට අලි හිටියේ අභයභූමි ගණනාවක් මැද. සංවර්ධන ක්‍රියා හේතුවෙන් ඔවුන්ගේ වාසභූමි අහිමිවෙලා. අදත් මහකනදරාව, මිහින්තලේ, කහල්ලපල්ලකැළේ අභයභූමි රැකිලා තිබෙනවා ඒ ගැන සතුටුයි. අද වෙනකොට විදුලි වැටවල් ඇවිල්ලා. අද කළමනාකරණ ක්‍රමවේද වෙනස් වෙලා.සංවර්ධන ක්‍රියා බොහොමයක් අවසානයේ අහිමි වෙලා තියෙන්නේ මේ වනසතුන්ගේ වාසභූමි.

*දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය

භාතිය මඩුගල්ලේ මහතා

භාතිය මඩුගල්ලේ මහතා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට එක් වන්නේ 1998 නොවැම්බර් මාසේ 09 දිනය. වන සත්ත්ව අඩවි ආරක්‍ෂකවරු කණ්ඩායමක් රාජකාරී සඳහා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට එක් වෙනු ලබන අවස්ථාවේ  එහි ලාබාලතමයා ලෙස ඔහු සේවයට එක්ව ඇත. මේ වනවිට ඔහු වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වස්ගමුව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස කටයුතු කරනු ලබයි.

 භාතිය මඩුගල්ලේ  මහතා වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් හා මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ විද්‍යා විෂයන් සමත්ව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එක්විය. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලබාගනු ලැබුයේ සේවයේ සිටින විටදීය. තවද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ පවත්වනු ලබන වනජීවි සංරක්‍ෂණ හා කළමනාකරණ  ඩිප්ලෝමා පාඨමාලාව හැදැරු ඔහු එම  කණ්ඩායමේ හොදම දක්ෂතාවය ඇති ඩිප්ලෝමාධාරියාට හිමි රන් සම්මානය දිනාගෙන ඇත.

භාතිය මඩුගල්ලේ මහතා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවිය, තන්තිරිමලේ අඩවිය, විල්පත්තු ජාතික උද්‍යාන මුලස්ථානය, ගල්ගමුව අලි කළමනාකරණ ඒකකය, නුවර එළිය හග්ගල අඩවිය, රන්දෙනිගල අඩවිය, කල්පිටිය අඩවිය, යන ස්ථානයන්හී වන සත්ත්ව අඩවි ආරක්ෂක ලෙසද,මාදුරුඔය ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු, මින්නේරිය ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු, ලෙසද රාජකාරි ඉටුකර ඇත.

වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කිරීම පිළිබඳව ඉතාමත් තෘප්තිමත් වන බවත්, මේ වනවිට අත්දැකීම් රාශියක් ලබා ඇති බවත්, ක්ෂේත්‍රයේ   ජ්‍යෙෂ්ඨයන් විශාල ප්‍රමාණයක් ඇසුරු කිරිමටත්, ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් ලබා ගැනීමටත් තමන්ට අවස්ථාව ලද බව මඩුගල්ලේ මහතා   පැවසීය .

විවාහකයෙක් වන ඔහු මේ වනවිට පිරිමි  දරුවන් දෙදෙනෙකුගේ  පියෙකු වේ. එම දරුවන්  දෙදෙනාම  ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලයේ 11වසර හා 10වසර පංති වල ඉගෙනුම ලබති.

මහකනදරාව අභයභුමිය

අදින් වසර 1700කට පෙර රන්දිය දහර හෙවත් කණක ධාරාව මහසෙන් රජු නිර්මාණය කරන ලද්දේ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළින් තබා ගැනීමටත් රටට බත සපයන ගොවියන්ගෙ කෙත් සරුකිරීමත් අරමුණු කරගෙනය. භූගත ජල මට්ටම ඉහළ තබා ගැනීමේ අරමුණ නම් පානීය ජලය ලෙස කුඩා ළිං මගින් ජනයාට ජලය ලබා ගැනීම පහසු කරවීමය. ඒ නිසා කණක ධාරාවේ ජලය කෙත් බිම් සාරවත් වීම පිණිසත් දිය නෑම ආදී කටයුතු පිණිසත් පමණක් භාවිත කර තිබුණි. මහසෙන් රජුගේ එදා කණක ධාරාව අද මහකනදරා ජලාශය වේ. මහකනදරාව වැව සම්පූර්ණ ජලාශය වටායාර 400කි.

වැව් තාවුලෙහි විශාල ගස් කඳන්, ගල්පර්වත රාශියක් දක්නට තිබීම එහි සුන්දරත්වය තව තවත් ඉහළ නංවන කරුණකි. වැව වටා වූ වන තීරයේ මුවන් Spotted deer (Axis axis ceylonensis), ගෝනුන් Sambar(Rusa unicolor) ඇතුළු ක්ෂීරපායීන් රැසක් දිවි ගෙවනු ලබන අතර ඉඳහිට අලිඇතුන් ද Asian elephant (Elephas maximus), මෙහි පැමිණෙනවා දැකිය හැකිය. මෙලෙස අවට පරිසරයේ ඇති වැදගත්කම නිසා 1966 දෙසැම්බර් 9 දා ගැසට් අංක 414 යටතේ, මහකනදරා වැව අභය භූමිය ලෙස ප්‍රකාශ පත් කෙරිණ.

මුවා (Spotted deer)
අලින් (Asian elephant)

ඓතිහාසික වටිනාකමක් සඟවාගත් මේ වැව ආශ්‍රිතව ගොවි පවුල් විශාල ප්‍රමාණයක් ජීවත් වෙයි. බොහෝ ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ කෘෂිකර්මාන්තය යි. වැවෙහි අක්කර අඩි 36,000ක ජල ධාරිතාවයක් රැඳවිය හැකි වනඅතර ගබඩා කරන ලද ජලය යල-මහ දෙකන්නයටම නිකුත් කරනු ලැබේ. විවිධ පරසතුරු උපක්‍රම කුමන්ත්‍රණ ආදියෙන් පීඩාවට පත්වුවද නොනැසී පැවැති මහකනදරා ජලාශය 1959දී ප්‍රතිසංස්කරණයට ලක්ව මහා වාරි ගොවි ජනපදයක් ලෙස අදියර දෙකකින් ගොවි පවුල් පදිංචි කර ඇති ගොවි රජ දහනකි. ආරම්භයේදීම අක්කර 6100ක කුඹුරුප්‍රමාණයක් මහකනදරා ජලාශයෙන් පෝෂණය වී ජාතියට බත සැපයීම සිදුවිය.

මහසෙන් රජුවිසින් තැනු මෙම වැව ,කනදරා ඔය හරස් කිරීමෙන් එයට ජලය ලබාගෙන තිබේ. කාණවාපී යනුවෙන් එකල එය හඳුන්වා තිබේ. 1 වන සේන රජු (833- 855) කාණවාපිය මිහින්තලේ විහාරය උදෙසා පූජා කරන ලදි. ඊළඟට රජ පැමිණි දෙවැනි සේන මෙහි ජල ධාරිතාව වැඩි කිරීමට වේල්ල උස්කර සැදීමට කටයුතු කළ අතර හතරවැනි මහින්ද රජු ද මෙහි ජලය මිහින්තලේ විහාරයේ ප්‍රයෝජනයට පැවරූ බව මිහින්තලේ සෙල්ලිපිවල සඳහන් වේ. පොළොන්නරු යුගයේ දී විජයබාහු සහ පරාක්‍රමබාහු යන රජවරුන් මහනකනදරාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කාණවාපී වැව් බැම්ම රියන් 1600ක් දික්වූ බව පරාක්‍රමබාහු රජුගේ සෙල්ලිපියක දැක්වේ.

වැවෙහි ස්නානය කිරීමත් අපූරු අත්දැකීමක් විඳගත හැකි අවස්ථාවකි. ඒ සඳහා ගම්වැසියන් භාවිත කරන නාන තොටුපොළක් යොදාගැනීමට සැලකිලිමත් විය යුතු යි. වැවෙහි ගැඹුර ගැන අපට අවබෝධයක් නැති නිසා එහි දී ප්‍රවේසම් වීම උචිත යි.

වැව් බැම්ම මතට මිහින්තලා කඳුවැටියේ සොඳුරු දර්ශනයක් ද දැකගත හැකියි. අභය භූමියේ ඉහළ අහස අලංකාර කරන විවිධ පක්ෂින් නැරඹීමටත් වැව අවට සුදුසුම ස්ථානයක් වේ. මොණරා මෙහි ඉතා සුලබව රංචු වශයෙන් දැකගත හැකි පක්ෂියෙක් වන අතර දියකාවන් සිය ගණනින්ද මෙහි සැරිසරති. මහ දියකාවා Great cormorant (Phalacrocorax carbo), අහිකාවා Darter (Anhinga melanogaster), මහසුදු කොකා Great egret (Casmerodius albus), කණකොකා Indian pond- horon (Ardeola grayii), කරවැල් කොකා Purple heron (Ardea purpurea), ලතුවැකියා Painted stork (Mycteria leucocephala), විවරතුඩුවා Asian openbill (Anastomus oscitans), පාදිලිමානාවා Woolly-necked stork (Ciconia episcopus), කිතලා Purple coot (Porphyrio porphyria), තඹසේරුවා Lesser whistling teal (Denbrocygna javanica) බහුරුමානාවා Lesser adjutant (Leptoptilos javanicus), පෙඳ නිල් බිඟුහරයා Blue tailed bee eater (Merops philippinus) සියක්කාරයා Greater flamingo (Phoenicopterus ruber) ඇතුළු ජලාශ්‍රිත පක්ෂින් වර්ග රාශියක් මෙහි දිවි ගෙවයි.

මහසුදු කොකා (Great egret)
ලතුවැකියා (Painted stork)
පෙඳ නිල් බිඟුහරයා (Blue tailed bee eater)
කිතලා (Purple coot)
තඹසේරුවා (Lesser whistling teal)
බහුරුමානාවා (Lesser adjutant)

නිකිණි මාසයේදී රජරටට උරුම නියං තත්වය උදාවීමත් සමඟ මහකනදරා වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමට පටන්ගනි.මේ හේතුවෙන්, පැරණි අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ සළකුණු මතුවී එම මාර්ගයේ උතුරු පැත්ත දිස්වෙමින් පවතින අතර, දකුණු දිසාවේ සිඳී යන දියකඩිති දර්ශනය වේ.

මිහින්තලේ කන්දට නැගි විට පෙනෙන වනතුරු අතරින් පැතිර යන වැව් අතර විශාලම වැව මහකනදරාව යි. මේ වැව සහ ඒ වටා පිහිටි නටබුන් දැකගැනීමෙන් ඔබට අපුරු අත්දැකීමක් ලබාගත හැකි වනු නිසැක යි.මිහින්තලෙත් වැඳ පුදාගෙන මහකනදරා වැව නටබුන් පහසුවෙන් නැරඹීමටත් ඔබට හැකිය. මිහින්තලේ හන්දිය පසුකරගෙන ත්‍රිකුණාමලය පාරේ කෙත්වතු අතරින් කි. මී. 3ක් පමණ යන විට මහකනකදරා වැව හමු වේ. මේ මහා මාර්ගය දිව යන්නේ වැව දෙකට බෙදා, ඉංග්‍රීසි යුගයේ දී පස් ගොඩකර තැනූ කන්ඩියක් හරහා යි. වැව් බැම්මට පිවිසීමට නම් ඔබ කනදරා හන්දියෙන් හැරී තවත් කි. මී. 3ක් ගම්මාන හරහා ගමන් කළ යුතු වේ.

මහකනදරාව අභය භමිය තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මහකනදරාව සංචාරක බංගලාව පිහිටා තිබේ. දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට එහි පහසුවෙන් නවාතැන් ලබාගැනීමට හැකියාව ඇති අතර බංගලාව වෙන් කරවා ගැනීම ප්‍රධාන කාර්යාලයෙන් සිදුකෙරේ.

මහකනදරාව අභයභූමිය පිලිබඳ විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව

 Sinhala Names

Tamil Names

English Names

Scientific Name

මුවා

புள்ளி மான்

Spotted deer

Axis axis ceylonensis

ගෝනා

மரை​கள்

Sambar

Rusa unicolor

අලියා

ஆசிய யானை

Asian elephant

Elephas maximus

මහ දියකාවා

பெரிய நீர்க்காகம்

Great cormorant

Phalacrocorax carbo

අභිකාවා

பாம்புத்தாரா

Darter

Anhinga melanogaster

මහ සුදු කොකා

பெரிய கொக்கு

Great egret

Casmerodius albus

කණකොකා

குளத்துக் கொக்கு

Indian pond-horon

Ardeola grayii

ලතු වැකියා

மஞ்சள் மூக்கு நாரை

Painted stork 

Mycteria leucocephala

විවිර තුඩුවා

 நத்தை குத்தி

Asian openbillstork

Anastomus oscitans

පාදිලිමානාවා

வெண்கழுத்து நாரை

Woolly-necked stork

Ciconia episcopus

රජ සියක්කාරයා

அமெரிக்க பூநாரை

Greater flamingo

Phoenicopterus ruber

පෙඳනිල්බිඟුහරයා

நீலவால் பஞ்சுருட்டான்

Blue tailed bee eater

 Merops philippinus

බත් කූරා

ஊசித்தட்டான்

Damsel fly

Suborder zygoptera

කිතලා

நீலத் தாழைக்கோழி

Purple coot

Porphyrio porphyrio

තඹසේරුවා

சிறியசீழ்க்கைச்சிரவி

Lesser whistling teal

Denbrocygna javanica

බහුරුමානාවා

சிறுத்தபெருநாரை

Lesser adjutant 

Leptoptilos javanicus

වලිකුකුළා

இலங்கைக்காட்டுக்கோழி

Sri lanka jungle fowl

Gallus lafayettii

පළා පොළඟා

பச்சை விரியன்

Green Pit Viper

Trimeresurus trigonocephalus

සර්ප රාජාලියා

கொண்டை பாம்புண்ணிக் கழுகு

Serpent Eagle

Spilornis cheela

කරවැල් කොකා

செந்நாரை

Purple heron

Ardea purpurea

සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

වෙබ් අඩවි සැකසුම –එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.

ඡායාරූපවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව