简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

රජයේ ආයතන ආදායම් උත්පාදනය කරමින් ස්වයංව නඩත්තුවීමට කටයුතු කළයුතුයි….

Content Image

රජයේ ආයතන ආදායම් උත්පාදනය කරමින් ස්වයංව නඩත්තුවීමට කටයුතු කළයුතුයි…

අභිනවයෙන් ඉදිකළ සඳතැන්න වන විද්‍යායතනය  කුලී පදනම යටතේ පුද්ගලික අංශයට ඔවුන්ගේ වැඩමුළු සඳහා එයට සරිලන ගණනකට ලබාදිය යුතුයි. මෙම ආයතනයේ නඩත්තුව සඳහා වැයවන මුදල් අප සොයාගත යුතුමයි. මෙහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් එය සිදු කළයුතුමයි.  එසේ නොමැතිව රුපියල් මිලියන 1500ක් වැයකර ආයතනය වසා තැබීමෙන් කිසිදු ඵලක් ඇත්තේ නෑ. මෙම ආයතනයේ නඩත්තුව ස්වයංව පවත්වා ගතයුතුයි. ඒ සඳහා ක්‍රමවේදයක් ඇතිකරන ලෙසද මා ඉල්ලා සිටිනවා යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.  

අමාත්‍යතුමිය එසේ පැවසුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ප්‍රදේශයේ රුපියල් මිලියන 1500ක් වැය කර ඉදිකළ ශ්‍රී ලංකා වන විද්‍යායතනය විවෘත කිරීමේ අවස්ථාවට 2023/09/02 දින එයට එක්වූ අවස්ථාවේදීය. 

අමාත්‍යතුමිය එහිදී මෙසේද පැවසීය. 

“වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රටේ වන ආවරණය ආරක්ෂා කරගනිමින් වගකීමක් දරන කීර්තිමත් දෙපාර්තමේන්තුවක්. මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතාම වෙහෙස මහන්සියෙන් මෙම වන ලැහැබ ආරක්ෂා කරගැනීම නිසා අපට මේ රටේ ස්භාව සෞන්දර්යය ඉතිරි වී තිබෙනවා. 

මේ රටේ පුරවැසියෝ ලෙස මෙම දෙපාර්තමේන්තුවේ යොමුව කුමක්ද යන්න සොයා බැලිය යුතුයි. අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය වශයෙන් ගතයුතු තීන්දුව කුමක්ද යන්න තීරණය කළ යුතුයි. මෙම දෙපාර්තමේන්තුවෙන් සිදුවන විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතු රටට ලබා දෙන්නේ කෙසේද යන්න බැලිය යුතුයි. රටේ ප්‍රතිපත්තිමය තීන්දුව ගතයුත්තේ කෙසේද, මෙම දෙපාර්තමේන්තුවේ මෙම මොහොතේ ප්‍රධානතම කාරණයක් වන්නේ එයයි. 

අප සතුව විශාල වන සම්පතක් තිබෙනවා. එම සම්පත රටේ දියුණුවට යොදාගන්නේ කෙසේද, රටේ නැගිටීමට භාවිතා කරන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි.  වනාන්තර සුරැකීමටත් අවශ්‍යයි. එමෙන්ම රටේ ආර්ථිකය නඟාසිටුවීමට වන සම්පත යොදාගත යුතුයි. එය සිදුකරන්නේ කෙසේද යන්න අභ්‍යන්තර වැඩමුළු සාකච්ඡා පවත්වා ගතයුතු තීන්දුවක් ලෙස මා දකිනවා. නොයෙකුත් කාලවලදී නොයෙකුත් ආකාරයට මෙම දෙපාර්තමේන්තුවේ අවධානය වෙනස් වී තිබෙනවා. 

එසේ වුනත් ප්‍රධානතම අවධානය වෙනස් නොවූ නිසා අද අපට වනාන්තර ආරක්ෂා වී තිබෙනවා. ශ්‍රී ලංකාව පාරාදීසයක්.  ලොව තිබෙන සුන්දරම රටක්. මේ රටේ  පවතින වනාන්තර ආරක්ෂා කරගෙන මෙරට ආර්ථිකය ගොඩනැගීමට භාවිතා කළ හැක්කේ කෙසේද,යන්න මේ මොහොතේ අප කල්පනා කළ යුතුයි. වන සම්පත යොදාගෙන රටට ඩොලර් උපයන්නේ කෙසේද, මෙය විශාල ධන නිධානයක් ලෙසයි මට හැඟෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ දේශගුණය වෙනස්වන ලොව වෙනත් කිසිදු රටක් ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. අපට  ශීත දේශගුණයක් අවශ්‍ය නම් පැය කිහිපයක් ඇතුලත යා හැකියි. නැවතත් ඉතාමත් කෙටි කාලයක් තුළ උෂ්ණාධික දේශගුණයකට යා හැකියි. මේතරම් සුන්දර රටක් අප රැකගත යුතුයි. අප මෙය ආරක්ෂා කරගෙන රටක් ලෙස ඉදිරියට යා යුතු වන්නේ කෙසේද යන්න අප අවබෝධ කරගත යුතුයි. 

අද ආරම්භ වුනු මෙම ආයතනය දිගටම මෙම තත්වයෙන් තබාගැනීමට අපට විශාල වගකීමක් තිබෙනවා. මෙම ආයතනය වෙනුවෙන් මේ රටේ මුදල් විශාල ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එම නිසා මෙම ආයතනය අප හොඳින් රැකගත යුතුයි. අපේ පෞද්ගලික නිවස්වයක යම් අලුත්වැඩියාවක් ආවොත් එය අපි සිදු කරනවා. ඒ ආකාරයෙන්ම මෙම ආයතනයත් අලුක්වැඩියා කර හොඳ තත්වයෙන් තබාගැනීමට අප වෙහෙස විය යුතුයි. එසේම ආදායම් උපදවා ගතයුතුයි. 

මෙම අවස්ථාවට වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, වන ජීවි හා වන සංරක්ෂණ  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩී.රත්නායක මහතා, සමන්ති රණසිංහ මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා, වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ. බණ්ඩාර මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා, අතිරේක වන සංරක්ෂක ජනරාල් දීපානී අලවතුගොඩ මහත්මිය, ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ එස්.එච්. බන්දුමාලා මහත්මිය, ESCAMP ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර සතුරුසිංහ මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මුදිත ප්‍රසන්නජිත් පෙරේරා මහතා, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ සහකාර සාමාන්‍යාධිකාරි අනුර සේමසිංහ මහතා, නුවරඑළිය  රෝහලේ අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.